SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙම ලියවිල්ල ලංකාව අරාජිකත්වයකට යාම වලකා ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීම සඳහා

යොදාගත හැකි ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව රටේ දේශපාලන නායකයින්ට හා එම විෂය ගැන උනන්දුවක් දක්වන මතවාදි තලයේ අදහස් දරන්නන්ට පෙන්වාදීම සඳහා ලියන ලද්දකකි. මා මේ අර්බුදය කල් තියා දකින්නට සමත් වූ හා අර්බුදය ඇතිවන්නට පෙර ඒ ගැන දිගින් දිගට දීර්ඝ ලෙස ලියා තිබෙන විචාරකයෙකු වශයෙන් මේ අර්බුදය ජය ගැනීම සදහා අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග ගැන මට පෙනෙන යථාර්ථයන් පැහැදිලි කිරීමේ වගකීමක් මට ඇතැයි කියන හැඟීමෙන් මෙය ලියන බවද කිව යුතුය. එසේම මේ ලිපිය මා ලියන්නේ රට අරාජිකත්වය කරා යන සර්පිලාකාර ගමන අළුත් වටයකින් ඉහල නැග තිබෙන අවස්ථාවක දීය. එම තත්වය රටේ පාලකයින්ගේ හෝ විරුද්ධ පක්ෂවල තියුණු අවධානයට යොමු වී තිබෙන බවක් පෙනෙන්නට නැත.

මේ අර්බුදය අවසන් කිරීම සඳහා ඵලදායි කාර්‍යභාරයක් රටේ සිදු නොවේය කියන හැඟීම සමාජයේ පවතින තෙක් රට රැගෙන යනු ඇත්තේ අරාජිකත්වයකටය. ප්‍රශ්න පත්තර ලබාදීමට අවශ්‍ය කඩදාසි නැතිකම නිසා වාර විභාග පැවැත්වීම අත් හිටුවීමට පැසැල් වලට සිදුවී තිබේ. කඩදාසි නැති කම නිසාම ලොතරැයි පළකිරීම අත් හිටුවීමට ලොතරැයි මණඩලට සිදුවී තිබෙන අතර කඩදාසි නැති කම නිසාම මාසික විදුලි බිල්පත් ලබාදිය නොහැකි අර්බුදයකට මුහුණ දීමට විදුලි බල මණ්ඩලයට සිදුවී තිබේ. රට දැන හෝ නොදැන ගමන් කරමින් තිබෙන්නේ අරාජිකත්වයකටය. බර්ට්‍රම් රසල්ගේ මතය වන්නේ අරාජික තත්වයක් ඒකාධිපති තත්වයකටත් වඩා බිහිසුණු බවය. අර්බුදය විසින් මහජනයා මත ඇතිකර තිබෙන පීඩනය ජනතාව ප්‍රකෝපකාරී ලෙස ක්‍රියා කරන තත්වයකට පත් කිරීමට හේතුවී තිබෙන බව පෙනේ. රට අරාජිකත්වයකට ගමන් කරමින් තිබෙන්නේය කියන ප්‍රශ්නය ආණ්ඩුවේ හෝ විරුද්ධ පක්ෂ නායකයින්ගේ බැරෑරුම් අවධානයට ලක් වී තිබෙන බවක් පෙනෙන්නේ නැත. මෙම අර්බුදයට සැබෑ විසඳුම් ලබා දෙනවා මිස එය සමග සෙල්ලම් කරන්න යෑම ඉතා භයානකය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම

 FILE PHOTO: A participant stands near a logo of IMF at the International Monetary Fund - World Bank Annual Meeting 2018 in Nusa Dua, Bali, Indonesia, October 12, 2018. REUTERS/Johannes P. Christo

ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් හා ණය පහසුකම් ලබා ගැනීමට බොහෝ ප්‍රමාද වී හෝ ආණ්ඩුව තීරණය කිරීම නිවැරදි තීරණයක් ලෙස සැළකිය හැකිය. විසඳා ගැනීම පහසු නැති ගෙවුම් ශේෂ අර්බුදයක පීඩනය ඇතිවූ වහාම වාගේ එම තීරණය ගත්තේ නම් ඒ වෙනුවෙන් ලංකාවට ගෙවන්න සිදුවන වන්දිය මේසා විශාල නොවන්නට ඉඩ තිබුණි.

විනිමය අනුපාතිකය පාවෙන්නට ඉඩ දෙන ප්‍රතිපත්තියකට මාරු වීමේදී දීර්ඝ කාලයක් විනිමය අනුපාතිකයේ කෘතිම පාලනයක් පවත්වා ගෙන ගොස් හදිස්සියේ එක වර එහි මිළ පාවෙන තත්වයක් ඇතිකල විට භාණ්ඩ මිළ අති විශාල ප්‍රමාණයකින් ඉහල නගින තත්වයක් ඇතිවී මහජනයා කෙරෙහි අති විශාල පීඩනයක් ඇතිවීම වැළකිය නොහැකිය. ඒ මගින් මහජනයා මත පැටවෙන පීඩනයේ බර සැහැල්ලු කිරීමට හේතුවන පියවර ගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබුනද ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ගික දැක්මක් ආණ්ඩුවට තිබුනේ නැත. ඒ නිසා සමාන්‍ය මහජනයාට විඳින්නට සිදුවූ පීඩාවේ පරිමාව අති විශාලය. ආණ්ඩුව දේවල් දකින ආකාරයේ ලොකු අවුලක් තිබෙන බව කිව යුතුය. වකුගඩු රෝගයෙන් ලංකාව මුදා ගැනීම යන සටන් පාථයට මුවා වී රසායනික පොහොර හා පළිබෝධ නාශක ආනයනය තහනම් කිරීමෙන් ආණ්ඩුව ලංකාවේ කෘෂිකර්මයට කරන ලද විනාශයේ පරිමාව අති විශාලය. ඒ සියළු බරපතල වැරදි එසේ තිබියදීත් ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලට යාම වේදනාකාරි පිළියමක් විය හැකි වුවත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ගනු ලැබූ එම තීරණය නිවැරදි තීරණයක් ලෙස සැළකිය හැකිය. ඩොලර් රුපියල් විනිමය අනුපාතිකය කෘතිම මිල තත්වයක තබා ගැනීම සදහා ඩොලර් හිඟයක් තිබියදී ආණ්ඩුව ඒ වෙනුවෙන් දරන්නට ඇති ඩොලර් වියදම ඉතා විශාල වන බවට සැකයක් නැතත් එම මෝඩ හා විනාශකාරී ප්‍රතිපත්තිය මත පිහිටා තව දුරටත් ඉදිරියට යනවා වෙනුවට එම මග අත් හැරීම නිවැරදිය. ගෙවුම් ශේෂ අර්බුදය ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ පුපුරන සුළු එක පැති කඩක් පමණය. එය සමඟ එකට ගැට ගැසුනු සමාජ-දේශපාලන ක්‍රමයේ හා රාජ්‍යයේ අර්බුදයක් ද පවතී. ගෙවුම් ශේෂ අර්බුදය ජයගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් හා ණය පහසුකම් ලබා ගන්නවාට අතිරේකව ගෙවුම් ශේෂ අර්බුදය සමග ගැට ගැසී තිබෙන අනෙක් අර්බුද ද ජය ගනිමින් රටේ සැබෑ පරිවර්තනයක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඇති කර ගැනීම රටේ පැවැත්මට මේ මොහොතේ නැතුවම බැරි කොන්දේසියක් ලෙස සැළකිය හැකිය. එය ආණ්ඩුවද ඇතුළු සියළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලද, මහජනයාගේ ද, විශේෂ වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේද පිළිගැනීමට හේතුවන වැඩ සටහනක් විය යුතුය. එය රටේ පවතින අර්බුදය ජය ගනිමින් රාජ්‍යයේද, සමාජ-දේශපාලන ක්‍රමයේද, ආර්ථිකයේ ද යහපත් හා ගැඹුරු විපර්‍යාසයක් ඇති කිරීමට හේතුවන, කාල රාමුවක් ද සහිත අවංක ප්‍රායෝගික වැඩසටහනක් විය යුතුය.

ආණ්ඩුව සහභාගි කරගැනීම

v1

ප්‍රතිසංස්කරණ වැඩසටහනට මහජනයාගේ බලවත් කෝපයට හා විරෝධයට හේතුවී තිබෙන ආණ්ඩුව ද කොටස්කරුවකු කර ගත යුතුයි කියන අදහස බලවත් විරෝධයට හා විවාදයට හේතු විය හැකිය. ඒ නිසා මා එසේ කියන්න්නේ ඇයිද කියා පැහැදිලි කිරීමක් කිරීම සුදුසුය. මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රායෝගිකව ඉදිරියට ගෙනයාමට ව්‍යවස්ථාමය පිළිගැනීමක් අත්‍යාවශ්‍ය වන අතර ආණ්ඩුව එම වැඩසටහනේ කොටස් කරුවකු කර ගැනීම අවශ්‍ය වන්නේ ඒ නිසාය. අපට තිබෙන්නේ පෙරළා දැමිය හැකි පාර්ලිමේන්තු ක්‍රමයේ ආණ්ඩුවක් නොව පෙරළා දැමිය නොහැකි ජනාධිපති ක්‍රමයේ ආණ්ඩුවකි.

බරපතල වැරදි කරන ජනාධිපතිවරයෙකු තනතුරෙන් පහකිරීම සදහා තිබෙන එකම ක්‍රමය ලෙස සැළකිය හැකි දෝෂාභියෝග ක්‍රමයේ පවා කොන්දේසි ඇති කර තිබෙන්නේ බලයේ සිටින ජනාධිපතිවරයෙකු දෝෂාභියෝගයකින් පවා පහ කළ නොහැකි ආකාරයටය. දෝෂාභියෝග ක්‍රමය විධිමත් කිරීම සදහා වන දැක්මක් 19 වැනි සංශෝධනයට හෝ ඊට පෙර ක්‍රියාත්මක වූ ආණ්ඩු ප්‍රතිසංස්කරණ වැඩසටහන් වලට තිබුණේ නැත. අවසානයේදී මේ දක්වා ලංකාව ජනාධිපති ක්‍රමය පවත්වාගෙන ගොස් තිබෙන්නේ බරපතල වැරදි කරන ජනාධිපතිවරයෙකු පවා කවදා හෝ ජනාධිපතිවරණයකදී පරාජය කරනවා හැර ඊට පෙර තනතුරෙන් ඉවත් කිරීම සදහා වන කිසිදු ක්‍රම වේදයක් නැතිවය. අපේ රටේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ දර්ශනය තිබී ඇත්තේ කොතරම් යල් පැන ගිය පසුගාමී තත්වයක ද යන්න ඒ අනුව තේරුම් ගත හැකිය. ව්‍යවස්ථාව අනුව ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වන අවස්ථාවකදී පවා නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැත. එවිට සිදු වන්නේ ආණ්ඩුවේ අගමැති හෝ කථානායක එම තනතුරට පත්වීමය. ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය වන අවස්ථාවක දීද ජනාධිපතිට තනතුර අහිමි වන්නේ නැත. අර්බුදය ජය ගැනීම සඳහා සකස් කරන වැඩසටහනකදී එම යථාර්ථයන් ද සැළකිල්ලට ගත යුතුය. ආණ්ඩුව, ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කොටස් කරුවකූ බවට පත් කර නොගන්නේ නම් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අළුත් ආණ්ඩුවක් බලයට එන තෙක් බලා සිටින්නට සිදුවේ. ඊළඟ ජනාධිපතිවරණය සඳහා තවත් වසර තුනකට ආසන්න කාලයක් තිබෙන අතර ඊට පෙර අර්බුදයට විසඳුමක් ලබා නොදෙන්නේ නම් රට බංකොලොත් වී පූර්ණ අරාජික තත්වයකට තල්ලු වීමේ සැබෑ අනතුරක් පවතී. එවැනි තත්වයකට රට පත් වුවහොත් වීසඳා ගැනීමට පහසු නැති ලොකු ව්‍යවස්ථා අර්බුදයක්ද ඇති විය හැකිය. මේ සියළු තර්ක පිළිගත්තත් ජනාධිපති හා ඔහුගේ ආණ්ඩුව විශ්වාස කළ හැකිද යන ප්‍රශ්නයද තවදුරටත් මතු කළ හැකිය. එය ද සැළකිල්ලට ගත යුතු ඉතා වැදගත් ප්‍රශ්නයකකි. එහෙත් එක්සත් ජාතින් ගේ සංවිධානය මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ නිරීක්ෂකයෙකු බවට පත් කර ගැනීම මගින් වැඩසටහනට දායක වන සියළු පරදු තබන්නන් අතර විශ්වාසනීය තත්වයක් ඇති කළ හැකි ය. එසේම ඒ මගින් වැඩසටහන සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය විශේෂඥ සහාය හා අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම්ද ලබා ගත හැකිය. එසේම ඒ නිසා ප්‍රතිසංස්කරණ වැඩසටහනට මනා ජාත්‍යන්තර පිළිගැනීමක් ද හිමිවනු ඇත.

ප්‍රතිසංස්කරණ වැඩසටහන

v2

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හා ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාවට නැගීමේ වගකීම හා එහි බලධාරිත්වය මහජන නියෝජීතයින්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකට හිමි කර දිය යුතුය. ව්‍යවස්ථාව සම්පාදනය විය යුත්තේ එක්සත් ජාතින්ගේ ද පිළිගැනීමට හේතුවී තිබෙන සහභාගි ව්‍යවස්ථා සම්පාදන මාදිලියකදී යොදා ගන්නා ක්‍රමවේදයට අනුකූලවය. ව්‍යවස්ථා සම්පාදනය මහජන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලකින් කරන විට එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඒ සදහා අවශ්‍ය බලය අතුරු ව්‍යවස්ථාවකින් ලබාදිය යුතුය. ප්‍රතිසංස්කරණ වැඩසටහන ඇති කර ගත යුත්තේද පොදු එකඟතා පදනමකිනි. නව ව්‍යවස්ථා සම්පාදනයකට යන්නට පෙර සම්පාදනය කරන ව්‍යවස්ථාවේ මූලධර්ම සඳහාද පොදු එකඟතාවයක් ඇති කරගත යුතුය. ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ නිර්දේශ මත ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වලට අතිරේකව සමාජ-දේශපාලන ක්‍රමයේ හා රාජ්‍යයේ ඇතිවී තිබෙන ගරාහැලීම හා බිඳවැටීම ජයගැනීම සදහා පහත සඳහන් අරමුණු සහිත ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ඇති කර ගත යුතුය.

v3

(අ) සමාජ ක්‍රමයේ බිඳ වැටීම කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන අතර කුල භේදය මුළුමනින් අහෝසි කොට සියලු ජන කණ්ඩායම් වලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබා දෙන පදනමක් මත ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීම.

(ආ) තිබෙන දූෂිත, අකාර්‍යක්ෂම හා අධිකාරිවාදි ආණ්ඩු ක්‍රමය වෙනුවට නීතියේ පාලනය මත ක්‍රියා කරන යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් සඳහා ප්‍රතිසංස්කරණ ඇති කිරීම.

(ඇ) ජරාජීර්ණ හා අසමත් තත්වයකට පත්ව තිබෙන ලංකා රාජ්‍යය එම අවලස්සන තත්වයෙන් ගොඩ ගෙන දූෂණයෙන් තොර, කාරයක්ෂම හා සියළු පුරවැසියන්ගේ පිළිගැනීමට හා අභිමානයට හේතුවන නවීන රාජ්‍යක් ප්‍රතිනිර්මාණය කර ගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කිරීම.

(ඈ) අධිකරණයේ පරිහානියට බලපා තිබෙන හේතු සොයා බලන අතර අධිකරණයට අධිකරණ විමර්ශන බලය පරිපූර්ණ වශයෙන් ලබා දෙන අතර ආණ්ඩු ක්‍රමය කාර්‍යක්ෂම තත්වයක තබාගැනීම, මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, අවශ්‍ය අවස්ථා වලදී නීතියේ පාලනයක් මත රටේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මග පෙනීම් ලබා දීම හා ප්‍රමාද නොකොට නඩු ඇසීම ප්‍රධාන වගකීම බවට පත් කරගත් ඵලදායි හා ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීම.

(ඉ) බිහිසුණු පිළිකාවක්සේ රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය වෙළාගෙන තිබෙන දුෂණය කෙරෙහි බලපා තිබෙන හේතු පිලිබඳව හොඳින් කරුණු සොයා බලන අතර දුෂණය තුරන් කිරීමට හේතුවන බලවත් හා ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ඇති කිරීම.

(ඊ) රටේ පිහිටීම, භූ දේශපාලන හා ගෝලීය දේශපාලන යථාර්තයන් ද හොඳින් සැළකිල්ලට ගනිමින් රටේ ආරක්ෂාව, ගෞරවය හා ස්වාධීනත්වය තහවුරු කිරීමට හේතුවන විදේශ ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම.

(උ) යල් පැනගිය පරණ ව්‍යවස්ථාව වෙනුවට ඉහත විස්තර කල අරමුණු සපුරාගැනීමට හේතුවන නව ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම.

පරණ ව්‍යවස්ථාව අහෝසි කිරීමට අවශ්‍ය ජන අනුමැතිය හා අලුත් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අවශ්‍ය ජන අනුමැතිය ලබා ගැනීම නව ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමෙන් පසු එක විට පැවැත්වෙන ජනමත විචාරනයකින් සිදු විය යුතුය. අතරමැදි කාලයේ ව්‍යවස්ථාව ලෙස සැළකිය යුත්තේ අතුරු ව්‍යවස්ථාව මිස 1978 ජනරජ ව්‍යවස්ථාව නොවේ. ඉන්දියාවේ මෙන් ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය දුර්වල කිරීමට හෝ විකෘති කිරීමට හේතුවන ව්‍යවස්ථා සංශෝධන නීති විරෝධි කළ යුතුය. ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීමද ඳඩුවම් ලැබිය යුතු වරදක් බවට පත් කළ යුතුය. මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් ඍජු ලෙස හෝ අනියම් ලෙස රජය සමඟ ව්‍යාපාර කිරීම, පොදු දේපළ අයථා පරිහරනය, රජයට අලාභ කිරීමට හේතුවන තීන්දු ගැනීම දැඩි දඬුවම් පැමිණිය යුතු වැරදි බවට පත් කළ යුතුය.

v5

ඉහත ප්‍රතිසංස්කරණ වලට අතිරේකව මෙම අර්බුදය තුළ රක්ෂා අහිමි වන්නන්ට නැවත රට යථා තත්වයට පත් වනතෙක් අවම මට්ටමේ හෝ ජීවිතයක් පවත්වාගෙන යා හැකි විකල්ප ජීවන මාර්ග ඇති කර දිය යුතුය. ඒ සඳහා වැඩිම විභවයක් තිබෙන්නේ කෘෂිකර්ම අංශයේය. ඒ අරමුණ සදහා ඉඩම් භුක්තියේ හා පරිහරනයේ යහපත් වෙනස්කම් ඇතිකරන, වගා කිරීමට ඉඩම් නැති වගා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට ඉඩම් ලබාදෙන ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ඇති කළ හැකිය.

වගා කිරීමට උනන්දුවක් ඇති අයට ඉඩම් ලබා දෙන ප්‍රතිපත්තියක් ඇති කළ හැකි නම් මේ මොහොතේදී උගත් තරුණ පිරිසක් කෘෂිකර්මයට යොමුවීමෙන් සමහර විට කෘෂිකර්මයේ ලොකු විප්ලවයක් පවා ඇති විය හැකිය. ගංජා වගාව සම්බන්ධයෙන්ද නැවත කරුණු සලකා බලන තැනකට යා යුතුය. ගංජා සඳහා තිබෙන තහංචි යුරෝපා රටවල පවා ඉවත් කරමින් පවතී. ඒ ඉඩ ප්‍රස්ථා ලංකාව ප්‍රයෝජනයට ගත යුතු නැද්ද?

v6

උතුරේ දෙමළ මිනිසුන්ගෙන් යුද්ධ කාලයේදී ආරක්ෂක හමුදාවන් විසින් ලබාගෙන තවමත් පරණ හිමිකරුවන්ට ලබාදී නැති සියළු ඉඩම් පරණ හිමිකරුවන්ට ලබා දිය යුතුය. ආණ්ඩුවේම ඇස්තමේන්තු අනුව වන සතුන්ගෙන් කෘෂි බෝග වගාවන්ට සිදුවන හානියේ ප්‍රමාණය සියයට 40 ක් තරම් විශාලය. වන සතුන්ගෙන් වන හානිය තිබිය යුත්තේ සීයයට 8 ත් 10 අතර ප්‍රමාණයකය. වඳුරන්, මොණරුන් හා වල් ඌරන් වැනි වන සතුන් ගේ ගහනය දැඩි ලෙස පාලනය කරන ප්‍රතිපත්තියක් මගින් පමණක් ග්‍රාමීය කෘෂිකරමයේ සියයට 30 ක පමණ වර්ධනයක් ඇතිකළ හැකිය. රටට අවශ්‍ය සහල් වියළි කලාපයේ කුඹුරු ඉඩම් වලින් පමණක් නිපදවිය හැකි නම් තෙත් කළාපයේ කුඹුරු ඉඩම් සත්ව පාලනය, මත්ස්‍ය වගාව හා වාණිජ වගාවන් වැනි ආර්ථික වශයෙන් වඩා ඵලදායි ආර්ථික ක්‍රියාකාරකම් සදහා යොදා ගත හැකිය. ගව මස් කර්මාන්තයට ඉඩ දෙන ප්‍රතිපත්තියක් මගින් හරකුන් ඇතිකිරීම ලාභදායි කර්මාන්තයක් බවට පත් කොට රට කිරිවලින් ස්වයංපෝෂිත කරන තැනකට යා හැකිය. ධීවර කර්මාන්තයටද බර තබන ප්‍රතිපත්තියක් මගින් මාළු අපනයනයෙන් උපයන ආදායම් වර්ධනය කළ හැකිය. වතු සමාගම් පාලනය යටතේ තිබෙන තේ වතුකරය ද ඒ වාහි වැඩ කරන කම්කරු පවුල් වලට බදු පදනමකින් ලබා දී එම කම්කරුන් සුළු තේ ගොවීන් බවට පත් කල හැකි නම් එම අංශයේ ද ආර්ථික වශයෙන් උදා කර ගත හැකි ප්‍රගතිය අති විශාලය. ව්‍යාපාර ක්‍රියා බාහිර මූලාශ්‍ර වෙත පවරන කර්මාන්ත (BPO) හා දැනුම පදනම් කරගත් ව්‍යාපාර ක්‍රියා බාහිර මූලාශ්‍ර වෙත පවරන කර්මාන්ත (KPO) ශක්තිමත් කළ යුතුය. මෙම අතර මැදි කාලය තුල මිනිසුන්ගේ විශේෂ දුක්ගැනවිලි ගැන සොයා බලන ක්‍රමයක්ද ඇති කළ යුතුය.

ඉහත විස්තර කරන ලද වැඩසටහන අදියර දෙකක් යටතේ වුවද ක්‍රියාත්මක කළ හැකිය.

1. පළමු අදියරයට ඇතුළත් කර ගත හැකි අංග මේවාය.

(අ) ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීම

(ආ) මහජන නියෝජිතයින් ගෙන් සමන් විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කර ගැනීම

(ඇ) සොයා බැලීමක් කළ යුතු අංශ හදුනා ගෙන ඒ සඳහා කොමිෂන් සභා හෝ සුදුසු ක්‍රම වේද ඇතිකොට ඒවා ක්‍රියාත්මක කිරීම

(ඈ) ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ සදහා එහඟතාවක් ඇති කර ගැනීම හා නව ව්‍යවස්ථාවේ මූල ධර්ම සඳහා එකඟතාවක් ඇති කර ගැනීම.

(ඉ) ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ලබා දෙන අතුරු ව්‍යවස්ථාව කෙටුම් පත් කොට එය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම.

(ඊ) තෝරාගත් ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාදායකය මැතිවරණයකින් තෝරා ගැනීම දක්වා ඒ සදහා අවශ්‍ය ප්‍රතිපත්ති හා ආයතන ක්‍රම ඇති කොට ව්‍යවස්ථාදායකයේ සමාජිකයින් තෝරා ගැනීම සඳහා පවත්වන මැතිවරණයකින් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අදියරය අවසන් කළ හැකිය.

2. ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි අදියරය ආරම්භ වනු ඇත්තේ නව මැතිවරණ නීති යටතේ හා භාගයට අවසන් කළ නව ආණ්ඩු ක්‍රමය යටතේ තෝරාපත් කරගන්නා ආණ්ඩුව ද ඇතුලත් සමස්ත ව්‍යවස්ථාදායකයේ නියෝජිතයින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එකතු කර ගැනීමෙනි. එතැන් සිට වැඩසටහනේ දෙවැනි අධියරය අවසන් වන තෙක් එනම් නව ව්‍යවස්ථාව ජනමත විචාරනයකින් සම්මත වී එය නීති ගත වන තෙක් අතුරු ව්‍යවස්ථාවේ විස්තර කර තිබෙන ආකාරයට ප්‍රතිසංස්කරණ වැඩසටහනට ඇතුළත් දෙවැනි අධියරේ කටයුතු සම්පූර්ණ කිරීමේ වගකීම පැවරෙනු ඇත්තේ ව්‍යවස්ථාදායකයට තේරුන නියෝජිතයින් ගෙන්ද සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසිනි.

මෙවැනි ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් රාජ්‍යයේ සමාජ-දේශපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ ඇතිවී තිබෙන ජරාජීර්ණභාවය හා බිඳ වැටීම නැති කොට සියළු දෙනාගේ විශ්වාසයට හේතුවන සාමකාමි නව රටක්, නව රාජ්‍යයක්, නව සමාජ-දේශපාලන ක්‍රමයක් හා ආර්ථිකයක් ඇති කිරීමට හේතු වනු ඇත.

නවතම ලිපි