SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ අතීත උරුමය ලොවට හඳුන්වා දීමේ ගෞරවය බොහෝ විට හිමි වන්නේ විදේශික වියතුන්ට ය. රොබට් නොක්ස්, ජෝන් ඩේවි, එමර්සන් ටෙනන්ට්, හෙන්රි පාකර්, එච්.සී.පී. බෙල් වැනි වියත්තු ඒ අතර ප‍්‍රධාන වෙති.

ඔවුහු ශ්‍රී ලංකාවේ අතීත උරුමය ද, සොබා සොඳුරු ස්ථාන ද පිළිබඳ විස්මිත වූහ. ඒ පිළිබඳ තොරතුරු රැස්කිරීමටත්, වාර්තා කිරීමටත් ඔවුන් උත්සුක වූයේ ඒ විස්මිත බව නිසා ම ය.

මේ විදේශිකයන් ගේ ගමන් මඟ යමින් ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරය මැනැවින් ග‍්‍රහණය කර ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර්ට ය. නම ඇසූ පමණින් බ්‍රෝහියර් ද විදේශිකයකු සේ හැඟී ගියත්, සැබැවින් ම ඔහු ශ්‍රී ලාංකිකයෙකි.

එසේ වුවත් බ්‍රෝහියර් පරපුර විදේශිකයන් වූ බව සැබෑවකි. බ්‍රෝහියර් ගේ පරපුර ප‍්‍රංශ සම්භවයක් ඇත්තෝ වෙති. 1999 වසරේ දී ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ලන්දේසි, නැඟෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගම් යටතේ සේවා කරනු සඳහා ය.

බ්‍රෝහියර් පරපුර කුමක් වුව ද, ඔවුන් පැමිණි දේශය කුමක් වුව ද, රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර් විසින් ඉටු කර ඇති ජාතික මෙහෙවර කිසිවකුටවත් ලඝු කළ නො හැකි ය. එය බ්‍රෝහියර් පරපුරට ම ආලෝකය ලබා දෙන්නක් වූ බවට ද විවාදයක් නැත.

1892 ඔක්තෝබර් 05 කොළඹ පිටකොටුව ප‍්‍රදේශයේ දී උපත ලැබූ බ්‍රෝහියර් කුඩා කල අධ්‍යාපනය ලැබූයේ රාජකීය ඇකඩමියෙනි. අනතුරු ව 1909 වසරේ දී රජයේ කාර්මික විද්‍යාලයයට බැඳුණු බ්‍රෝහියර්, මිණුම් කටයුතු පිළිබඳ පාඨමාලාව සාර්ථකව හදාරා 1910 වසරේ මිණුම් දෙපාර්තමේන්තුවට එක් වූයේ අතිරේක මිණුම්දෝරුවකු වශයෙනි.

තියඩෝලයිටයත්, මිණුම් දම්වැලත් ඔහු ගේ වෘත්තීය උපකරණ බවට පත් වූයේ එතැන් සිට ය.

brohiyar 4

ඔහු තියඩෝලයිටයෙන් දුටුවේ තම මිණුම් ඉලක්කය පමණක් නො වේ. ඒ තුළින් ඔහු ශ්‍රී ලාංකික අතීත උරුමයන් ද වාරි ශිෂ්ටාචාරය ද මතු නො ව, සමකාලීන ජන ජීවිතය ද මැනැවින් ග‍්‍රහණය කර ගන්නට සමත් වූයේ ය. එමඟින් ඔහු එක් රැස් කර ගත් තොරතුරු ඇතුළත් කොට ග‍්‍රන්ථ රැසක් ම එළි දක්වා තිබේ. ආර්.එල්.බ්‍රෝහියර් මනා ව දැකිය හැක්කේ ඔහු විසින් සම්පාදිත මේ ග‍්‍රන්ථ රැස පරිශීලනය කිරීමෙනි.

විද්වතකු පර්යේෂකයකු, සමාජ විද්‍යාඥයකු මෙන් ම පරිසර ලෝලියකු වශයෙන් ද, බ්‍රෝහියර් සතු ව පැවැති විපුල ඥාණ සම්භාරය මේ කෘතීන් කෙරෙන් ප‍්‍රකට වේ. මේ කෘති අතරින් බ්‍රෝහියර් නාමය වඩාත් ලොව ප‍්‍රචලිත ව ඇත්තේ ඔහු විසින් සම්පාදිත Ancient Irrigation Works in Ceylonකෘතිය නිසා ය.

brohiyar 5

කාණ්ඩ තුනකින් සමන්විත මේ කෘතිය එවකට මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ ආචාර්ය ව සිටි එල්. පියසේනයන් විසින් ලක්දිව පුරාතන වාරිමාර්ග නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී. අද වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ විද්වතුන් අතර ප‍්‍රධාන මූලාශ‍්‍ර ග‍්‍රන්ථයක් වශයෙන් මේ කෘතියට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.

වාරිමාර්ග පිළිබඳ ව පුරාණයේ පැවැති තාක්ෂණික සහ ඉංජිනේරු විෂයක ජයග‍්‍රහණයන් පමණක් නො ව ජනකතා සහ ජනප‍්‍රවාද මේ කෘතියට ඇතුළත් කර තිබීමෙන් එය සමාජ විද්‍යාත්මක වටිනාකමකින් ද යුක්ත ග‍්‍රන්ථයක් වෙයි.

වාරි කර්මාන්ත පිළිබඳව බ්‍රෝහියර් විසින් කැරුණු හඳුන්වාදීම චිත්තාකර්ෂණීය වේ. පාරිසරික සුන්දරත්වයේ ආහ්ලාදයෙන් කැරෙන මේ හැඳින්වීම මඟින් ආර්.එල්. බ්‍රෝහියර් ගේ නිර්මාණශීලී ගවේෂණයන් මෙන් ම පරිසර ලෝලිත්වය ද මනා කොට පිළිබිඹු වේ. කන්තලේ වැව සම්බන්ධ ව ආර්.එල්. බ්‍රෝහියර් ගේ හඳුන්වා දීම එල් පියසේන විසින් පරිවර්තනය කරනු ලැබ ඇත්තේ මෙ පරිද්දෙනි.

brohiyar 8

“කන්තලේ වැව දෙනෙතට රසඳුනකි. සොබා සම්පන්න වැවකි. ගව් ගණනක් දුර එය පැතිර තිබේ. සිහිනයකින් මෙන් ඈත කඳුවැටියක් පෙනේ. සිත් කළු වූ කඳුවැටිය වැවේ ඡායාවක් මෙන් වැටී තිබේ. ඝන කැලෑ මැදින් ගව් ගණනක් ගෙවා ගිය අපි මේ අද්භූත දර්ශනය විස්මය සහගත ප්‍රීති චිත්තයෙන් අවලෝකනය කෙළෙමු. ඝන වනන්තරයෙන් පිටතට වන කල්හි සත්වයෝ හා එළිමහන් ප‍්‍රදේශයෝ අපි පිළිගත්තාහු මෙන් හැඟුනි.

අප ගමනින් බියපත් ව ඔබ මොබ පිහඹමින් හැසිරෙන පක්ෂීන් ගේ නානා විධ විචිත‍්‍ර වර්ණයෝ දෘශ්‍යමාන වූහ. මෙය දුටු අපි වසඟවූවාක් මෙන් බලා සිටියෙමු. සියල්, ම නිශ්ශබ්ද ය. වැව් වෙරළේ සිට සතුන් හැර අන් සියල්ල ම නිශ්ශබ්ද විය. තිත් මුවෝ තණ කති.

විචිත‍්‍ර වූ පිල් කළඹ විදහා රැඟුම් දෙන මයුරයෝ ය. තඩාගයේ සන්ධ්‍යාවේ ජල කී‍්‍රඩා කරන්නා වූ හස්ති රාජ්‍යයෝ ය. පිපාසය සන්සිඳුවා ගැන්ම සඳහා වන මැදින් දිවු වන මහීෂයෝ ය. අව්ව තපිමින් හෝ ගොදුරු සොයමින් හැසිරෙන කිඹුල්ලෝ ය. රුක් මත ඔන්චිලි පදිමින් සිටින වානරයෝ ය. ඔබ මොබ සරන බලාවැලය සහ ස්වර්ණ හංසයෝය. කන්තලේ වැව අසල මෙවැනි දේවල් දක්නට ලැබේ.”

ආර්.එල්. බ්‍රෝහියර් විසින් සම්පාදිත කෘතීන් හුදෙක් වාරි කර්මාන්තයන්ට සම්බන්ධ වූ ඒවා පමණක් නො වේ. ඔහු විවිධ ක්ෂේත‍්‍ර යටතේ ග‍්‍රන්ථ රැසක් ම සම්පාදනය කර ඇත.

. The golden age of military adventure in Ceylon

. Irrigation and colonization in Ceylon - 1942

. The Gal Oya Vally project in Ceylon - 1921

. Seeing Ceylon - 1965

. Furniture in the dutch period - 1969

. Links between Sri Lanka & Netherlands

. Discovring Ceylon - 1973

බ්‍රෝහියර් විසින් රචිත ඉහත ග‍්‍රන්ථ රැස අතුරින් සිංහල පාඨකයන්ට කියවන්නට හැකි ව ඇත්තේ ග‍්‍රන්ථ කිහිපයකි. Seeing Ceylon කෘතිය සහ Discovering Ceylon කෘතිය අබය හේවාසම් විසින් සිංහලයට පරිවර්තනය කර තිබේ. මේ කෘතීන් දෙක ම චාරිකා සාහිත්‍ය බඳු ය.

brohiyar 3

ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල භූගෝලීය පසුබිම සහ පාරිසරික සොඳුරු බවත්, ඓතිහාසික වැදගත්කමත් ඒ කෘති මඟින් ඔහු අනාවරණය කරයි. අද පරිසරලෝලීන් අතර ජනප්‍රිය ස්ථානයක් වන හුම්මානය පිළිබඳ ව කදිම විස්තරයක් Seeing Ceylon කෘතියේ දක්වා තිබේ.

හුම්මානය ඔහු හඳුන්වා ඇත්තේ හුමනිය නමිනි. එමතු නො ව මහපැලැස්ස උණු වතුර ළිං, කටුවන කොටුව සහ ප‍්‍රධාන නගර පිළිබඳ ව ද විස්තර දැක්වීමට ඔහු Seeing Ceylon කෘතියෙන් උත්සාහ ගෙන ඇත. Discovering Ceylon කෘතිය ද චාරිකා සාහිත්‍ය ගණයට වැටේ.

එසේ වුව එහි දී ඔහු සමකාලීන සිංහල ග‍්‍රාමීය ජන සමාජයේ ඇවතුම් පැවැතුම්, කී‍්‍රඩා හා විනෝදාංශ, යන්ත‍්‍ර මන්ත‍්‍ර වැනි කරුණු පිළිබඳ ව විස්තර කරනුයේ සමාජ විද්‍යාඥයකු මෙනි.

ආර්.එල්. බ්‍රෝහියර් ශාස්ත්‍රීය සේවාවේ වැදගත්කම ඔහු ගේ ජීවිත කාලයේ දී ම දුටු දේශපාලනඥයන් වශයෙන් හැඳින්විය හැක්කේ දිවංගත අගමැති ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන් ය. ඔහු බ්‍රෝහියර් ගේ ලක්දිව පුරාතන වාරිමාර්ග කෘතියට පෙරවදනක් සපයමින් මෙසේ සඳහන් කර ඇත.

ලංකාවේ අතීතය ගැන අප දන්නා කරුණුවලින් විශාල කොටසක් ආණ්ඩුවේ පාලන සහ කාර්මික දෙපාර්තමේන්තුවල නියුක්ත ව සිටි නිලධාරීන් විසින් රැස් කර ගන්නට යෙදුණ බව නොයෙක් තැන්වල සඳහන්ව තිබේ. මේ නිලධාරීන් කෙරෙහි අපි ණය ගැත්තෝ වම්හ.

පඩි කෑමෙන් හෝ පඩි සම්බ කිරීමෙන් තෘප්තියට නොපැමිණියා වූ මේ නිලධාරීන් ස්වකීය තනතුරුවල නියුක්ත වී සිටීමෙන් ලැබූ සෑම අවස්ථාවක දී ම ප‍්‍රයෝජනය ගනිමින් පුරාතන දේපල ගැන වග විභාග කර බැලූහ. මිණුම් දෙපාර්තමේන්තුවේ උද්යෝගිමත් නිලධාරීන් අනුගමනය කරන බ්‍රෝහියර් වැන්නකු මේ ග‍්‍රන්ථය සම්පාදනය කිරීමට ඉදිරිපත් වීම මහත් වාසනාවකි. (ලක්දිව පුරාතන වාරිමාර්ග - පිට 11)

අගමැතිවරයා බ්‍රෝහියර් ගේ අගය මැනැවින් වටහා ගත් නිසා ම ස්වකීය හා වාරිමාර්ග ව්‍යාපෘතිය වන ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ සාමාජික වශයෙන් ද පසු කලෙක ඔහු පත් කරනු ලැබිණි.

දිවංගත ගාමිණී දිසානායකයන් ආර්.එල්. බ්‍රෝහියර් මහතා ගේ අගය මැනැවින් වටහා ගනු ලැබුවේ ඔහු වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත් කිරීමෙන් අනතුරු ව ය. බ්‍රෝහියර් Ancient Irrigation Works in Ceylon කෘතිය මහවැලි සංවර්ධන අමාත්‍යාංශය මගින් නැවත ප‍්‍රකාශයට පත් කිරීමට උක්ත වූයේ ආර්.එල්. බ්‍රෝහියර් මහතාට ගෞරවයක් වශයෙනි.

එහි සිංහල පරිවර්තනය වූ ලක්දිව පුරාතන වාරිකර්මාන්ත ග‍්‍රන්ථය 2001 වසරේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් නැවත ප‍්‍රකාශයට පත් කෙරිණ.

බ්‍රෝහියර් රාජකාරි කටයුතු මෙන් ම ශාස්ත්‍රීය කටයුතු ද පාලකයන් ගේත් වියතුන් ගේත් ගෞරවයට පාත‍්‍ර වූයෙන් ඔහුට මිණුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය සර්වේ ජනරාල් තනතුර දක්වා ගමන් කිරීමට හැකි විය.

එමතු නො ව ඔහු ගේ වියත් බවත්, ශාස්ත්‍රීය සේවාවත් සලකා 1963 වසරේ ලංකා විශ්ව විද්‍යාලය මගින් සාහිත්‍යශූරී ගෞරව උපාධියෙන් ද ඔහු පුදනු ලැබිණ. බ්‍රෝහියර් නියෝජනය කළ ශාස්ත්‍රීය ආයතන රැසක් වේ.

ඒ සියලු ආයතනයන්හි සභාපති ධුරය දක්වා ගමන් කිරීමට ඔහුට හැකි වූයේ ය. රාජකීය ආසියාතික සංගමය, ලංකා ඉංජිනේරු ආයතනය, ලංකා භූගෝල විද්‍යා සංගමය, ලංකා මිණුම් ආයතනය, බර්ගර් සංගමය ඒ අතර ප‍්‍රධාන වේ.

මේ සියලු ආයතනයන්ට ඔහු ගේ සේවය ආලෝකයක් වූ බව නිසැක ය. වසර 87 ක් ආයු වලඳ්‍ර ආර්.එල්. බ්‍රෝහියර් මහතා 1980 පෙබරවාරි 14 දින මෙලොවින් සමු ගත්තේ ය.

ඔහු ස්වකීය ජීවිත කාලය තුළ අමරණීය සේවාවක් ඉටු කරලීම බ්‍රෝහියර් පරපුරට ම ආඩම්බරයකි. බ්‍රෝහියර් ගේ ජාතික මෙහෙවර සලකා තැපැල් දෙපාර්තමේන්තුව ඔහු වෙනුවෙන් අනුස්මරණ මුද්දරයක් ද නිකුත් කෙළේ ය.

අපට සාඩම්බරයෙන් ලොවට කිය හැක්කේ අපේ පුරාණ වාරි ශිෂ්ටාචාරයේ මහිමය යි. ඒ පිළිබඳ තොරතුරු රැස් කිරීමටත්, ගවේෂණය කිරීමටත් වෙර දැරූවන් අතර ආර්.එල්. බ්‍රෝහියර් විද්වතාණන්ට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. එබැවින් ජාතියේ ප‍්‍රණාමය නිතැතින් ම ඔහුට හිමි විය යුතු ය.

සුනිල් විජේසිරි

මහවැලි කේන්ද්‍රය

.silumina 2008 03 02

බ්‍රෝහියර්ගේ දියණිය

බෝයර් ජාතික යුද සිරකරුවකු වශයෙන් දකුණු අප්‍රිකාවේ සිට ලංකාවට පැමිණි, පසුව යාල ව‍නෝද්‍යාන‍යෙහි ප්‍රථම පාලකයා ලෙස පත් වූ එංගල් බ්‍රෙෂ්ට්ගේ ජීවිතය ඇසුරින් 'වන බිමේ සිරකරු' නමැති ටෙලිනාටකය කිරීමෙන් පසුව ද මම ඔහු ගැන සෙවීම නතර නොකළෙමි.

එම නාටකය නිර්මාණය සඳහා අප පොළඹවාලූයේ විජේසිංහ බෙලිගල්ල ලියූ 'යාලෙහි රජ කළ අප්‍රිකානු සිරකරුවා' නමැති රසවත් ග්‍රන්ථයයි. එහි දී බෙලිගල්ලගේ ප්‍රධාන මූලාශ්‍රයන් වන්නේ පැරණි ගැමියන්ගෙන් ඇසූ විස්තර, නීතිඥ පෝලියර්ගේ නඩු වාර්තා සහ අල්ලිස් ගම්බාර තැනගේ දින සටහන් ය.

බෙලිගල්ල ඔහුගේ කෘතියෙහි විශ්වසනීයත්වය සුරකිනු පිණිස, අල්ලිස් ගම්බාර තැනගේ ඇතැම් සටහන් උපුටා දක්වයි. එම සටහන් ලේඛන සහිත යකඩ සේප්පුව නැදිගම්විල විල්පිට රජ මහා විහාරයට පූජා කර ඇති බව ද ඔහු පවසයි. එහෙත් එම දින සටහන් අපට නම් දක්නට නොලැබුණි. (තවමත් එම ලේඛන එම විහාරයෙහි තිබේදැයි නොදනිමු. එසේ තිබේ නම් ඒවා කෞතුකාගරයට හෝ ජාතික ලේඛනාගාරක්ෂකාගාරයට බාරදීම වටනේ යයි සිතමු) බෙලිගල්ලගේ පොතෙහි, අල්ලිස් ගම්බාරගේ දින සටහන්හි ඡායාරූපයක් හෝ පළ නොකිරීම බලවත් අඩුපාඩුවකි.

එංගල් බ්‍රෙෂ්ට් පිළිබඳ ව වඩා ප්‍රකට හා විශ්වසනීය ලිඛිත මූලාශ්‍රය වන්නේ ආර්.එල්. බ්‍රෝහියර්ගේ 'Seen Ceylon' ග්‍රන්ථයට ඇතුළත් 'එංගල් බ්‍රෙෂ්ට් හා යාල' නමැති ලිපියයි.

1892 දී කොළඹ පිටකොටුවේ දී උපත ලැබූ (එවකට වැදගත් නේවාසික පරිසරයකි.) රිචඩ් ලෙස්ලි බ්‍රෝහියර්, ඩච් බර්ගර් ජාතිකයකු ලෙස හැඳින්වුණ ද ඔහු පැවත එන්නේ ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ (VOC) සේවකයන් වශයෙන් ලංකාවට පැමිණි ප්‍රංශ ජාතික පරම්පරාවකිනි. බ්‍රෝහියර්ලා හැරුණු විට ලූස් (Loos) ලා සහ කැරම්ස්ලා ද එම ප්‍රංශ මුල් ඇත්තෝ ය. වී.ඕ.සී. සමාගමේ සේවය කළ කෝඩි, ස්පිට්ල්, ෆෙල්සින්ගර් හොප්මාන් සහ ඇල්බ්‍රෙව්ට්ලා ජර්මානු සම්භවයකින් ද, සූසලා (Souza) හා ඔර්ලූෆ් (Oorloffs) ලා ඉතාලි සම්භවයකින් ද යුක්ත වූහ.

ලංකාවේ බර්ගර්වරු මුල් කාලයේ නීති, වෛද්‍ය, ඉංජිනේරු, මිනුම්දෝරු හා ගුරු වෘත්තීන්හි යෙදුණු උගත්තු වූහ. කොළඹ කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරීමෙන් පසු බ්‍රෝහියර් ද මිනුම්දෝරු රැකියාවෙහි යෙදෙන්නට වෙයි.

ඔහු කළ වැදගත් සේවාවක් වූයේ, ලංකාවේ අස්සක් මුල්ලක් නෑර කළ සංචාර‍යන්හි දී ඇසූ දුටු දේ වාර්තා කර තැබීම ය. (ඔහුගේ එම වාර්තා ලේඛන ඇතුළත් කාණ්ඩ ‍තුනක් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයෙහි සිටි එල්. පියසේන විසින් සිංහලට නැගූ බව, බ්‍රෝහියර් 33 වැනි මරණ සංවත්සරය වෙනුවෙන් 'ඩේලි නිවුස්' පුවත්පතට ලිපියක් සැපයූ ස්ටැන්ලි ඊ. අබේනායක සඳහන් කරයි. පසු කලෙක අභය හේවාවසම් විසින් 'සීන් සිලෝන්' කෘතිය 'බ්‍රෝහියර් දුටු ලංකාව' නමින් ද, 'ඩිස්කවරින් සිලෝන්', 'බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව' නමින් ද 'වෝටර් මැනේජ්මන්ට්' හෙළයේ ජල කළමනාකරණය නමින් ද පරිවර්තනය කරන ලදි. - සූරිය ප්‍රකාශන )

ආර්.එල්. බ්‍රෝහියර්ගේ දියණිය ඩැල්රීන් බ්‍රෝහියර් ය. කොළඹ ගාලු පාරේ බම්බලපිටිය මංසන්ධිය පසු කර මඳ දුරක් ගිය තැන, මුහුද දෙසට හැරුණු පටු මඟක පිහිටි පරණ තාලේ නිවසක ඇය එකලාව ම දිවි ගෙවන්නී ය.

මා ඇය හමුවන්නට ගියේ එංගල් බ්‍රෙෂ්ට් ගැන වැඩිමනත් විස්තර දැන ගැනීමේ කුහුලිනි. ඔහු පිළිබඳ ව අප ටෙලි වෘත්තාන්තයක් කළ බව ඇය දැන සිටියේ නැත. එහෙත් අප එංගල්ගේ චරිතය ප්‍රතිනිර්මාණය කළ අයුරු දැන ගැනීමට ඇය උනන්දු වූවා ය.

ඩැල්රින්, බෝයර්වරුන් ගැන දැන සිටියේ පියාගෙනි. එංගල් ගැන ද එසේ ම ය. බෙලිගල්ලගේ පොත ඇසුරින් කළ ඉංග්‍රීසි පරිවර්තනය පිළිබඳ ව ඇය කතා කළේ එතරම් ප්‍රසාදයෙන් නොවේ. එහි ඇති ඇතැම් කරුණු නිවැරැදි විය යුතු බව ඩැල්රීන්ගේ මතය විය.

බෝයර් සිරකරුවන් නිදහස ලබා ආපසු යන විට ඔවුන් සමඟ සිටි වෛද්‍යවරයෙක් ද (ඉංග්‍රීසි හෝ බර්ගර් විය හැකි ය) දකුණු අප්‍රිකාව බලා ගිය බවක් බ්‍රෝහියර් මෙනවිය මා සමඟ පැවසුවා යැයි මතක ය.

එම වෛද්‍යවරයා පසු කලෙක ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවක, ආර්.එල්. බ්‍රෝහියර් හමුවීමට ද ගියේ ය. ඒ හමුවේ දී ඔහු බ්‍රෝහියර්ට, වටිනා ග්‍රන්ථයක් තෑගි කළේ ය. එය බෝයර් සිරකරුවන්ගේ අත්දැකීම් ඇසුරින් ලියැවුණකි.

'මට ඒ පොත බලන්න පුළුවන් ද?'

මම බ්‍රෝහියර් මෙනවියගෙන් ඇසුවෙමි. ඇය ඊට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

'ඒක පොත් පෙට්ටියක යට ම ඇත්තෙ. දැන් හොයන්න අමාරුයි.... ඒ නැතත් ඔබ ඒ පොත කියවන්නේ කොහොමද? එය ලියා තිබෙන්නේ ඇෆ්රිකානා භාෂාවෙන්.'

පසු කලෙක ඇය ලියූ ලිපියක සඳහන් ජේ.එන්. බ්‍රින්ක්ගේ 'Recollections of a Boer Prisnor - of - War at Ceylon' (1904) එම ග්‍රන්ථය විය හැකි ය. දියතලාවේ බෝයර් සිරකඳවුරේ ඡායාරූප කීපයක් ද, එම ග්‍රන්ථයෙන් උපුටා ගත් බව සඳහන් කරමින්, ලිපිය සමඟ පළ කර තිබුණි. (එංගල් බ්‍රෙෂ්ට් වැනි අභීත බෝයර්වරුන් පිළිබඳ ව අප නොදත් තොරතුරු රැසක් බ්‍රින්ක්ගේ මතක සටහන් තුළින් සොයා ගත හැකි වනු ඇත.)

ඩැල්රින් බ්‍රෝහිරයර්ගේ මව මිය යන්නේ ඇය වයස 13 දී ය. එතැන් සිට පියාගේ රැකවරණය යටතේ දිවි ගෙවූ ඇය 1950 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබ ගුරු වෘත්තියට පිවිසෙන්නී ය. එහෙත් ටික කලකින් ම ගුරුකමෙන් සමුගන්නා ඩැල්රීන් ගුවන් විදුලි සේවයේ ඉංග්‍රීසි පිටපත් රචිකාවක වශයෙන් සේවයට යයි. පසු කලෙක නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ද, ඉන්පසුව ලංකාවේ සංචාරක අමාත්‍යාංශයෙහි ද සේව කරන ඩැල්රීන්, ඩච් බර්ගර් සංගමයේ සභාපතිනිය බවට ද පත්වූවා ය.

මෑතක දී, ඩැල්රින් වෙත මාධ්‍ය අවධානය යොමු වූයේ ඇය එළි දැක් වූ A Taste of Sugar and Spice නමැති කෘතිය නිසා ය.

සිය පියාගේ පරණ පතපොත අතර තිබී හමුවන 1770 තරම් ඈතකට දිව යන සූප ශාස්ත්‍ර පොතක් ඇසුරින් ඉපැරණි 'ලන්සි ඉවුම් පිහුම්' යළි සමාජගත කරන්නට ඇය කටයුතු කර ඇත. නෙළුම් හරස්ගමගේ පිටු සැකසුමින්ද, අනුර ශ්‍රීනාත් හා සුජිත් කුමාරගේ සන්නිදර්ශන චිත්‍රයන්ගෙන් ද අලංකාර වී ඇති මෙම ග්‍රන්ථය හුදු කෑම වට්ටෝරු එකතුවක් නොව එක් ජන කොට්ථාසයක සංස්කෘතිකාංගයක් පිළිබඳ රසබර විවරණයක් බඳු ය.

ඩැල්රීන් පවසන අන්දමට බර්ගර් කැලැන්ඩරයේ ප්‍රීතිමත්ම මාසය දෙසැම්බර් ය. නත්තලට හත් ගව්වක් තිබිය දී ම, බර්ගර් මුළුතැන්ගෙයින් නානාවිධ සුවඳ විහිදෙන්නට පටන් ගනී.

සිංහලයා, ලංසි මිනිස්සු හඳුන්වන්නේ හොඳට කන බොන, අඳින පලඳින, නැව ගිලුණත් බෑන් චූන් ජාතියේ කොටසක් ලෙස ය. ලන්සි කෙල්ලන්ට පෙම් කරන්නට සිංහල කොල්ලෝ පොර කති. අනෙක් අතට ඔවුන් ඉතා මිත්‍රශීලි ජන කොටසක් බව කාගේත් පිළිගැනීමයි.

ඩැල්රින්ගේ ඉවුම් පිහුම් පොතෙන්ද මතු වන්නේ එම කන බොන - හිත හොඳ සංස්කෘතියයි.

වර්ෂ 1770 තරම් ඈතකදීත් ඔව්හු කජු මද 200ක් හා බිත්තර 30 දමා 'ලව් කේක්' ද කිරි බෝතල් හතරකට අරක්කු බෝතල් 6ක් දමා 'මිල්ක් වයින්' ද හැදූහ.

මත්පැන් පෙරීම සඳහා කොට්ට උරයකට දමා පුටු ඇන්දක ගැට ගසා ඊ‍ට යටින් බේසමක් තැබූ සැටි, බර්ගර් සූප ශාස්ත්‍ර පුරාණය අපට කියන්නේ මුවඟට සිනහවක් නංවමිනි. 'බර්ත් ඩේ පාටි' ද අපට 'බෝ වන්නට' ඇත්තේ බර්ගර් ජනයාගෙන් විය හැකි ය.

වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයකු වශයෙන් සේවය කළ බර්ගර් ජාතික මිත්‍රයෙක් කියූ කතාවකින්, මිනුම්දෝරු බ්‍රෝහියර්ගේ දියණිය ඩැල්රීන්ගේ ඉවුම් පිහුම් පොත කළ කතාබහ අවසන් කිරීම මැනවයි සිතේ.

'බර්ගර්ස් කියන්නෙත් මේ රටේ සුළු ජාතියක්. ඒත් අපි කවදාවත් රටෙන් කෑල්ලක් ඉල්ලන්නේ නෑ. කොටින්ම අපට ඔයගොල්ලන්ගෙන් ගෙයක්වත් අයිති කර ගන්න ඕනේ නෑ.'

මගේ මිතුරා හඬ නඟා සිනාසුණේ ය.

බර්ගර් ජාතිකයන් කුලියට වෙසෙමින්, ගෙයින් ගෙයට මාරුවීමෙහි හපනුන් බව නොරහසකි! අස්ථිර ජීවිතයට ස්ථිර නවාතැන් නොසොයන ඔවුනට 'හැමදාම නත්තල්' යැයි ද කතාවක් ඇත.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ලිපි