නූතන මිනිස් චර්‍යාවන් සකස් විය යුතු ආකාරය, විමුක්තිය ශාක්ෂාත් කරගත යුතු ආකාරය, සාමූහික යහපත සාක්ෂාත් කරගත යුතු ආකාරය බහුතරයක් දෙනා දනී.
ධනේශ්වරයේ පැවැත්ම තුල අස්සක් මුල්ලක් නෑර කෙලවී ඇති යතාර්තය තුලත් ඉන් තව බොහෝ දේ දිනාගැනීමට තිබෙන බවත්, එසේ දිනාගැනීම තුල සාමූහික යහපත සාක්ෂාත් කරගැනීමට හැකි බව මොවුන් නැවත නැවත පවසන්නේ කුමන පදනමින්ද?
ධනවාදය තුල මිනිසාගේ පැවැත්මේ කොන්දේසි අහෝසි කල පසුවත් ප්‍රජාතන්ත්‍රවාදය නමැති සංකල්පය බුද්ධිමය කතිකාව තුල මතුවන්නේ කෙසේද? ප්‍රජාතන්ත්‍රවාදය මිනිසාගේ විමුක්තිය උදාකර දීමේ යතාර්ථය වන්නේ කෙසේද? උදාහරණයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය තුල "යුක්තිය" සංකල්පගත කොට තිබේ. වැදගත් වන්නේ යුක්තිය ඉටුවන්නේ කෙසේද යන්නයි. යුක්තිය ඉටුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ කුමන මූලධර්ම තුලින්ද යන්න විමසීමයි. එය සමාන වන්නේ ලෙනින් සමාජවාදී විප්ලවයට පෙර ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කාර්‍යයන් දිනාගැනීම සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය දිනාගැනීමට ගත් උත්සහයටය. වැදගත් වන්නේ එවැන්නක් ජනතාවට අවශ්‍ය වූවේද යන්නයි. එසේ නොමැතිව ඉන් අදහස් වන්නේ සමාජවාදයට පෙර සියලු ධනේශ්වර කාර්‍යයන් ඉටුවිය යුතුය යන බුද්ධිමය කතිකාවේ බලපෑමට එදා රුසියාව මුහුණ දුන් බව නොවේද?. නැවත වටයකින් මේ ගෙන එන්නේ එයට වෙනස් කතිකාවක්ද?.
ධනවාදය තුල මිනිසුන් ගෙල වටක් ගිලෙමින් විඳවමින් සිටින මොහොතක ඔවුන්ට යුක්තිය අවශ්‍ය වන්නේ ඇයි. යුක්තිය ජනතාවට වැදගත් වන්නේ කුමන හේතුවක් නිසාද? ජනතාවට යුක්තිය ඉටුවන්නේ ධනේශ්වර ක්‍රමයේ කුමන ආයතනික ව්‍යූහයක් තුලද?. නීති සම්පාදනය කරනු ලබන ආයතන පද්දතියට අමතරව යුක්තිය ඉටුකරන ආයතනික ව්‍යූහයක් පවතීද?. පවතීනම් ඒකී පද්දතිය කුමක්ද?
මේවාට පිළිගත හැකි පිළිතුරු යුක්තිය අපට යෝජනා කරන මහතුන් ඉදිරිපත් කල යුතුය. එසේ නොමැතිව නිදිවරා කරනුලබන සංවාද නැවත බලන ලෙස පැවසුවද ඒ තුලද කිසිදු පිළිතුරක් ලබාදී නොමැති බව පැවසිය යුතුය.
එසේනම් නැවත වටයකින් මේ කරනු ලබන්නේ කුමක්ද?
පවතින ක්‍රමය තුල තව ඉටුකරගත යුතු බොහෝ දේ ඇති බවයි. ඒවා ඉටුකර ගැනීම මේ ක්‍රමය තුලදීම සිදුවිය යුතු බවයි. සමාජවාදය ගොඩනැගෙනා විට ධනේශ්වර සංවර්ධනය හිනිපෙත්තටම ගෙනයා යුතුය. එතෙක් ධනේශ්වරය පැවැතිය යුතුය. ඊට පෙර එය බිඳ දැමීම කාලෝචිත නොවේ යන්නත් ධනේශ්වරය විසින් ඉටුකරගත යුතු යුක්තිය, සාධාරණත්වය, සැමට සමානව සැළකීම, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම........ ආදීය තවමත් ඉටු වී නැත යන්නත් එකම කාසියේ දෙපැත්ත මෙන් අවියෝජනීයව බැදී පවතියි.
මිනිසාගේ සැබෑ ජීවිතයේදී මෙකී කිසිදු සංකල්පයක් බලනොපැවැත්වෙන ත්ත්වයක් තුල බුද්ධිමය කතිකාවක් නිර්මාණය කරනු ලබන ආත්මීයත්වය කුමක්ද? එකී ආත්මීයත්වයන් පෙරළා සේවය කරන්නේ කාහටද යන්න නැවත නැවත ප්‍රශ්න කරමින් විමසීම එකී මතවාදයන් නැගෙන සෑම මොහොතකම අවශ්‍ය නොවන්නේද?
මින් තවදුරටත් තහවුරු වන්නේ බුද්ධිමය කතිකාව ධනවාදය විසින්ම පවත්වාගෙන යන්නක් බව නොවේද? එම කතිකාව පවතින තාක් ධනවාදය තුලින් ඉටු කරගත යුතු සංකල්පයන් බොහෝ නිර්මාණය කරනු ඇත. එතෙක් සැබෑ අරගලය පමා කල යුතුය.
ප්‍රශ්නය වන්නේ ක්‍රමය තමන් ප්‍රතික්ෂේප කරනවා යැයි පැවසමින් නැවත නැවතත් බුද්ධිමය කතිකාව තුල ක්‍රමය රැකීමට දරන උත්සාහයයි. ඒ තුල සැබෑ අරගලය මතු වීමට ඇති ඉඩ ඇහිරීමයි. එකී දෘෂ්ටිවාදයේ ගිලී කටයුතු කිරීමයි.
ධනවාදය සියලු මනුෂ්‍ය වර්ගයා ගිලගෙන ඇති යතාර්තය තුල එකී විදවීමෙන් මිදීම හැර වෙනත් දෙයක් තවත් ඉටුවීමට ඇතැයි අප කිසිසේත් නොසිතමු. ධනවාදයේ සියලු මූලාශ්‍රයන් විනාශය දෙසට ක්‍රියාත්මක වන බව ඕනවටත් වඩා අත්දැකීමෙන් අවබෝධ කරගත් මොහොතක නූතනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය..... ආදිය ඉටු කර ගැනීම යනු වහල් ක්‍රමයට එරෙහි ස්පාටකස් සටනේදී විමුක්තිය වෙනුවෙන් සටන් කිරීම වෙනුවට සටන් කිරීම සඳහා හොඳ කඩු, දුනු, ශරීර ආවරණ, හොද නවාතැන් පහසුකම්, සටන් කිරීමට ශක්තිය අවශ්‍ය බැවින් හොඳ ආහාර ආදිය වහල් හිමියන්ගෙන්ම ඉල්ලා සිටිනවා වැන්නක් නොවන්නේ කෙසේද? එසේ ස්පාටකස්ලා ඉල්ලා සිටියේනම් වහල් හිමියන් එකී පහසුකම් සපයා එකී ක්‍රමය තව දුරටත් පවත්වා නොගන්නේද?.
එසේනම් මිනිස් වර්ගයා සඳහා මෙතරම් විනාශයක් ගෙනදී ඇතිබව අත්දැකීමෙන් අවබෝධ වී ඇති යතාර්ථයක් තුල එය විනාශකර දමා වාර්ගික සත්තාව අත්පත් කරගැනීම හැර ධනවාදයේම නිශ්පාදනයක් වන බුද්ධිමය කතිකව තුලින් ගෙන එන සංකල්ප තුලින් තව තවත් පහසුකම් ධනවාදයෙන්ම ඉල්ලාසිටිමින් සැබෑ අරගලය පමා කිරීමේ මෙම කතිකාව, පවතින ක්‍රමයේම තවත් දිගුවක් නොවන්නේද?.