SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්ත්‍රීවාදයට අභ්‍යන්තර විවේචනයක්!

‘ගැහැණිය සාරයක් බවට පත් කරගන්න අවශ්‍ය නැහැ. මේ ප‍්‍රශ්නය මීට වඩා සංකීර්ණයි. ස්ත්‍රීවාදයේ මට නම් ප්‍රධාන පණිවිඩය වන්නේ ගැහැණියක්ට පුළුවන් සත්භාවවේදය පිළිබද දර්ශනයක් ගොඩනගන්න. ගැහැණියකට පුළුවන් විප්ලවවාදී පක්ෂයකට නායකත්වය දෙන්න. ගැහැණියකට පුළුවන් දර්ශනය වෙනුවෙන් පෙනී සිටින්න. ඒ කියන්නේ ගැහැණිය අවසානයේ කොහෙ හරි ගිහින් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් තමා පෙනී ඉන්න  ඕන කියන එක නෙමේ (පෙනී ඉන්න එපා කියල නෙමේ කියන්නේ, ඒක වෙනුවෙන් පෙනී ඉන්න  ඕන අපි සියලූ දෙනාම).

 

gender 1

 

ඔබ ගැහැණියක් කියල කියනව නම් ඔබ ගැහැණියක් පමණක් වෙන්න බැහැ. අන්න ඒකයි මූලික දෙය. ඔබ ගැහැණියක් විතරක් නෙමේ. ඔබගේ සම්පූර්ණ අනන්‍යතාවය ගැහැණියක් කියන එකට ඌනනය කරන්න බැහැ. කෙනෙක් චිත්‍රශිල්පිනියක්. ඒක එයා ගැහැණියක් වීම නෙමේ. ඒක එයාගෙ වෙන කොටසක්. ඔබගේ සම්පූර්ණ පැවැත්ම ගැහැණියක් කියන තැනට ඌනනය කරන්න බැහැ. හැබැයි එහෙම බැහැයි කියල කියන්නෙ ඔබ තුළ තියෙනවා කිසිදු ගුණාංගයක් නැති ශුද්ධ වූ පුද්ගලත්වයක් තියෙනවා කියන අර්ථයෙන් නෙමේ.

ජුඩිත් බට්ලර් කියන්නෙ මෙහෙම එකක්, අපිට නිකම් හිතෙන්නෙ පාරිශුද්ධ පුද්ගලත්වයක් තියෙනවා. ඒක  ඉතිහාසයක් නැති එකක්. ඒ පුද්ගලත්වයට තියෙනවා විවිධ අනන්‍යතාවයන්. එයාට තියෙනවා Gender අනන්‍යතාවයක්. එයා ගැහැණු හෝ පිරිමි. ඊට පස්සෙ එයාට පන්ති අනන්‍යතාවයක් තියෙනවා. එයා ධනේෂ්වර හෝ නිර්ධන, එයාට තියෙනවා ජනවාර්ගික අනන්‍යතාවයක්. ඒ කියන්නෙ එයා සිංහල හෝ දෙමළ. එයාට ලිංගික අනන්‍යතාවයක් තියෙනවා. විෂමලිංගික හෝ සමලිංගික. එයාට ප‍්‍රාදේශීය අනන්‍යතාවයක් තියෙනවා. එයා ග‍්‍රාම්‍ය හෝ නාගරික.

 

ජුඩිත් බට්ලර් 00

 

මේ වගේ කියනකොට අපිට අදහසක් යනවා මේ සියළු ගුණාංග වලට යටින් පුද්ගලත්වයක් තියෙන්න  ඕන එහෙම නැත්නම් ඒජන්තයෙක් ඉන්න  ඕන කියලා. අපිට පුළුවන් එයා තමයි ‘මනුෂ්‍යත්වය‘ කියලා නම් කරන්න පුළුවන් වෙන්නේ.  ජුඩිත් බට්ලර් ට අනුව සම්භාව්‍ය ස්ත්‍රීවාදය කරපු වැරද්දක් තමයි මෙහෙම පුද්ගලත්වයේ සාරයක් තිබෙනවා කියා උපකල්පනය කිරීම. Sex සහ Gender අතර වෙනස සලකුණු කිරීම කොයිතරම් වැදගත් උනත් මේක පදනම් වෙන්නේ අර සාරය පිළිබඳ අදහස මතයි. එතකොට Gender කියන්නේ පීතෘ මූලික සමාජයේ ගොඩනැංවීමක් උනත් Sex  කියන්නේ මේ එම ගොඩනැංවීමට යටින් තිබෙන සාරභූත පැවැත්මක්.


අපි දැක්කා ජුඩිත් බට්ලර් ට අනුව මේක නිසා තව වැරද්දක් ස්ත‍්‍රීවාදය ඇති කරගන්නවා. ඒ තමයි සාරභූත ගැහැණිය කියලා කෙනෙක් උපකල්පනය කරන එක. එම ‘ගැහැණිය‘ කියන එකට මේ ලෝක ජනගහණයෙන් හරි අඩක් පමණ අඩංගු වෙනවා කියලා ඒක උපකල්පනය කරා. නමුත් අපි දන්නවා මේක බරපතල වැරදි උපකල්පනයක් උනා.  ‘ගැහැණු’ කියලා අඳුර ගත්ත සියළු දෙනා ස්ත‍්‍රීවාදය සාධනීය විදියට බාර ගත්තේ නැහැ. අද බාර ගන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි ගැහැණු කියලා සමස්තයක් ගොඩ නගන්න බැරි වීම. මේක තමයි ජුඩිත් බට්ලර් ගේ විවේචනය. හැබැයි මේක ස්ත‍්‍රීවාදයට විරුද්ධ විවේචනයක් නෙමෙයි. එහි අභ්‍යන්තර විවේචනයක්.

 

ප්ලේටෝ ඇරිස්ටෝටල් ප්ලේටෝ, ඇරිස්ටෝටල්

එයා ස්ත්‍රීවාදිනියක් විදිහට ස්ත්‍රීවාදය විවේචනය කරනවා. ඒක හරියට මාක්ස්වාදීන් මාක්ස්වාදය විවේචනය කරනවා වාගෙ. ජුඩිත් බට්ලර් කියන්නෙ සම්භාව්‍ය ස්ත්‍රීවාදය විසින් උපකල්පනයක් කරා සංස්කෘතියට සම්බන්ධයක් නැති, ඉතිහාසයක් නැති ස්වභාවික වූ පුද්ගලත්වයක් තියෙනවා කියල. ඒ පුද්ගලත්වය මත අපි විවිධ අනන්‍යතාවයන්, සංස්කෘතිය විසින් මේකට ලේබල් අලවනවා. නමුත් අපි කරන්න  ඕන ඒ සංස්කෘතිය විසින් අලවනු ලබන ලේබල් ඉවත් කරල මේ පුද්ගලත්වය යටතේ එකතු වෙන්න. නමුත් ජුඩිත් බට්ලර් කියන්නේ මේක තුළ අමතක කරන එක තමයි මේ පුද්ගලත්වය යනුම සමාජය විසින් හදපු එකක් කියන එක.

ජුඩිත් බට්ලර් තර්කයක් ගේනවා දර්ශන සම්ප‍්‍රදාය තුළ ප්ලේටෝගේ සිට ඩෙකාර්ට්ස් දක්වා ආත්මය සහ ශරීරය අතර නැත්නම් සවිඥාණිකත්වය සහ ශරීරය අතර ඒත් නැතිනම් මනස සහ ශරීරය අතර බෙදීමක් ලකුණු කරනවා, ඒ බෙදීම නොවැරදි ලෙසම සෑම විටම උස් පහත් භේදයක් ඇති කරනවා. සරලවම කිව්වොත් මනස උසස්, ශරීරය පහත්, මනස තමයි පිරිමියා ගැහැණිය තමයි ශරීරය. මනස විසින් ශරීරය යටපත් කරනවා පමණක් නොවෙයි සමහර වෙලාවට ශරීරයෙන් සම්පූර්ණයෙන් වෙන් වෙච්ච මනසක් ගැනත් කියවෙනවා. පිරිමියා සමග මනසත්, ගැහැණිය සමග ශරීරයත් එකතු කිරීමේ සංස්කෘතික පුරුද්ද ගැන විශාල පර්යේෂණ කෙරිල තියෙනවා. ඒක හොදටම පෙන්නල දීල තියෙන දෙයක්.

 

රෙනේ ඩෙකාට්

රෙනේ ඩෙකාට්

මනස සහ ශරීරය අතර තියෙන  ඕනෑම බෙදීමක් අපි නැවත සකස් කරනව නම් (මොකද මේ විවේචනය මෙයා ගේන්නෙ අර සම්භාව්‍ය ස්ත‍්‍රීවාදයේ තියෙන sex සහ gender වෙනස - sex ශරීරය gender සංස්කෘතිය) මේ ශරීරය පිළිබද අදහස අපි හරිම පරෙස්සමින් පාවිච්චි කරන්න  ඕන මොකද ඓතිහාසිකව මේ ශරීරය සහ මනස වෙන් කිරීමේ ක‍්‍රියාවලිය තුළදී ගැහැණියව පීඩනයට පත් වුන එක විතරක් වුන නිසා. සෑම විටම ශරීරය කියන එක අනන්‍ය කරන්නෙ ගැහැණිය එක්ක, මනස, ආත්මය, සවිඥානිකත්වය අනන්‍ය කරන්නේ පිරිමියා එක්ක. මේක තමයි ජුඩිත් බට්ලර්ගෙ තර්කය.

මෙයා මේක ගැඹුරුම තර්කය ගන්නෙ නීට්ෂේ ගෙන්. නීට්ෂේගේ විවේචනය පසුකාලීනව හෛඩගර් ට බලපානවා. නමුත් අපි ඉස්සෙල්ල බට්ලර් නීට්ෂේ ගෙන් ගන්න අදහස සලකමු. මෙතන නීට්ෂේගේ අරන් ජුඩිත් බට්ලර් අපිට යෝජනා කරන්නේ අපි මේ ‘දෙයෙහි පාරභෞතිකවාදය‘ - metaphysics of substance විචාරයට ලක් කළ යුතුයි.

 

ෆෙඩ්රික් නීට්ෂේ

ෆෙඩ්රික් නීට්ෂේ

සියළුම මනෝවිද්‍යාත්මක ප‍්‍රවර්ගයන් ඒ කියන්නෙ ඊගෝ එක නැත්නම් අහම ඒත් නැත්නම් පුද්ගලයා මේ වාගෙ අනන්‍යතාවයන් සම්පූර්ණයෙන් පදනම් වෙන්නෙ ද්‍රව්‍යාත්මක අනන්‍යතාව - illusion of  substance පිළිබද මායාව මතයි. ද්‍රව්‍යාත්මක අනන්‍යතාවයක් තියෙනව කියන එක මායාවක්. නමුත් මේ මායාව විසින් සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි දාර්ශනිකයන්වත් රවටනු ලබනවා.

 

සකකමඒසදබ

මේ මායාව තමයි දාර්ශනිකයන් භාෂාව විශ්වාස කරනවා. විශේෂයෙන් භාෂාවේ තියෙන ව්‍යාකරණමය ප‍්‍රවර්ගයන් වලට එයාල රැවටෙනවා. ජුඩිත් බට්ලර්ට අනුව ඩෙකාර්ට්ස් කරපු වැරැද්ද මොකක්ද ඔහු කරපු වැරැද්ද තමයි එයාට සිතුවිලි ආවා. ඒ සිතුවිලි එන කෙනා මම කියල ද්‍රව්‍යයක් කරල ගල් ගැස්සුව. එහෙම වෙන්නෙ ඇයි? මේ I කියල නැත්නම් භාෂාවේ තියෙනවා මම කියල ප‍්‍රවර්ගයක්. මම යමි, මම එමි, ඒ වාගෙ වචන.

 

මාර්ටින් හෛයිඩගර්

මාටින් හෛයිඩගර්

 

මේ සිතුවිලි වල හේතුව මම කියල ඩෙකාර්ට්ස් අර්ථකථනය කිරීම, මම තමයි හිතන්න, මම සිතමි කියන අදහස ජුඩිත් බට්ලර්ට අනුව ඩෙකාර්ට්ස් කරන වැරැද්දක්. එහෙම වෙන්නේ භාෂාව නිසා. භාෂාවේ මම කියල එකක් තියෙනවා. ඩෙකාර්ට්ස් හිතනවා මේ සිතුවිලි එන්නේ මට කියලා. ආත්මය, පුද්ගලයා, ස්වකීයත්වය තමන් මේ සියළුම දේවල් වැරදි සංකල්ප. ඒවා විසින් කරන්නේ මේ භාෂාවේ යථාර්ථයක් ඇත්ත දෙයක් කියල හැරවීම. මේක දාර්ශනික සංවාදයක්

නමුත් පොදුවේ ජුඩිත් බට්ලර් ස්ත්‍රීවාදය වනුවෙන් කරන මැදිහත් වීම, එයාගෙ මූලික තර්ක වෙනස විවේචනය කිරීම, ගැහැණිය කියලා සමස්ථ කුලකයක් නිර්මාණය කිරීමේ අපහසුව ලිංගික අනන්‍යතාව කියන එක සෑම විටම ප‍්‍රසාංගිකත්වයක්, අවසන් නොවුණු දෙයක් කියන අදහස සහ ස්ත‍්‍රී ව්‍යාපාරය කියන එක සෑම විටම පන්ති ගැටලු, ජනවාර්ගික ගැටලු, කුල ගැටලු මේ සියලු ගැටලු අතර තව එකක් බවට පත් වීම. සියළුම ගැටලු එක ගැටලුවක් වීම. මේ තමයි ජුඩිත් බට්ලර්ගේ විවේචනය මේක අති විශිෂ්ටයි.

 

@ජීවනී මංජුලා වීරසිංහ

(සත්හඬ)

මෙම ලිපිය වසර කිහිපයකට පෙර සත්හඩ පුවත්පතේ පළවූවකි. මෙම ලිපියේ කර්තෘ 80 දශකයේ සිට ලංකාවේ ස්ත්‍රීවාදීන් කළ ස්ත්‍රීවාදී කතිකාව හා සම්බන්ධ වූවෙකි. මතවාදයන් සැපයුවෙකි. මෙහි යල් පැන ගිය බව කෙසේ වෙතත් මේ තත්ත්වය හෝ මුලින් වටහා ගැනීම කළයුත්තක්. නොඑසේනම් "ස්ත්‍රීවාදය පැන නැගිල තියෙන්නෙ පුරුෂවාදය තුළින් කියලත් මේ දෙක එකම කාසියේ  දෙපැත්ත බවත්" අවබෝධ කරගැනීම තව දුරටත් කල්යාවි. සංවාදයට විවෘතයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි