SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2000 දශකයේ සිට ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහනය පුරුෂයන් ගණන ඉක්මවා තිබේ.

වර්තමානයේ දී රටේ ජනගහනයෙන් 52%ක් සිටින්නේ කාන්තාවන්ය. නමුත් මෙම වර්ධනය ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හේතු වී තිබෙනවා ද?

වර්තමාන ඩිජිටල් ලෝකය තුළ කාන්තා අයිතීන් ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තිබුණ ද, පුරුෂාධිපත්‍ය සමග බැඳුණු දීර්ඝ ඉතිහාසයක් ඉක්මණින් වෙනස් කිරීම ඉතා අපහසු කාර්යක් වී ඇත.

එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතා දර්ශකයට අනුව රටවල් 187 ක් අතර ශ්‍රී ලංකාව 74 වන ස්ථානයේ පසුවේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති නමුත්, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට තවමත් දේශපාලනය, රැකියා, විවාහය මෙන්ම පෞද්ගලික දිවිය තුළ බොහෝ බාධකවලට මුහුණ දීමට සිදුව තිබේ.

කාන්තාවන්ගේ සමාජ භූමිකාව පිළිබඳ පූර්ව නිගමනවලට එළැඹීම හේතුවෙන් අදටත් ඔවුන්ට බොහෝ අවස්ථා මග හැරෙන අතර, විවිධ තහංචි මධ්‍යයේ දිවි ගෙවීමට සිදුව තිබේ.

'රැකියා දෙන්නේ නැහැ'

"මම ඉහළට ඉගෙන ගත්ත කෙනෙක්. විවාහයෙන් පස්සේ රැකියාවලට අයැදුම් කළා. සම්මුඛ පරීක්ෂණවලට ගියාම කසාද බැන්දේ ළඟදී නම් ඔයා ඉක්මණට බබෙක් හදයි නේද කියලා අහනවා. ඒ ප්‍රශ්නේ අහනකොටම මම දන්නවා මාව රැකියාවට ගන්නේ නැහැ කියලා. රස්සා හොයලා බැරිම තැන මම සුළු ව්‍යාපාරයක් කරනවා," ගාල්ල පදිංචි ඉරන්ති හේවගේ පැවසීය.

"පොත්වල අයිතීන් ලියලා තිබුණත් කාන්තාවන් සම්බන්ධයෙන් තවමත් අපේ රටේ පවතින්නේ පසුගාමී අදහස්. දරුවෙක් හැදුවොත් රස්සාවක් නැහැ, දරුවෙක් නොහැදුවොත් පවුලෙන් සමාජයෙන් ලැබෙන අපවාදවල ඉවරයක් නැහැ," ඇය පැවසුවාය.

 

ශ්රමය 1

 

පුරුෂයන් 72.4% ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32.5% ක් පමණි. එසේම, කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 36.3% ක් වන අතර, පුරුෂයන් අතර එය 21.1% ක් පමණි.

එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය 2020 දී නිකුත් කළ වාර්තාවකට අනුව, දැරිය හැකි මුදලකට ගුණාත්මක දිවාසුරැකුම් මධ්‍යස්ථාන සහ ළමාරක්ෂක සේවා නොමැතිකම, නිවසේ රාජකාරි බෙදා ගැනීමට සහාය නොලැබීම සහ සේවිකාවන්ට අවශ්‍ය සහාය නොදක්වන සමහර සේවා ස්ථාන සංස්කෘතීන් වැනි බොහෝ සාධක නිසා රට තුළ ශ්‍රම බලකායට කාන්තා සහභාගීත්වය අවම වී තිබේ.

බොහෝ කාන්තාවන් ස්ථීර ආදායමක් නොලැබෙන රැකියාවල නිරත වන බැවින්, කොවිඩ්-19 වැනි අර්බුද ශ්‍රී ලංකාවේ පවුල් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක සිටින කාන්තාවන්ට දැඩි ලෙස බලපා ඇත.

ගෘහමූලිකයා කාන්තාව වූ විට ඔවුන්ගේ පවුලට සහයෝගය දැක්වීමේදී තුන් ගුණයක බරක් දැරීමට මෙම කාලය තුළ සිදුව ඇතැයි එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් තිබියදීත්, තවමත් ඔවුන්ගේ ශ්‍රමය බොහෝවිට වැයවන්නේ නිවසේ එදිනෙදා වැඩකටයුතුවලටය.

"මම උපාධිධාරිණියක් වගේම අවුරුදු 28 වෙනකම් උසස් රැකියාවක් කළා. හැබැයි බැඳලා දරුවෙක් ලැබුණට පස්සේ මහත්තයාගෙන් පිඟානක් හෝදන්නවත් සහාය ලැබුණේ නැහැ. මට පැය හතරකට වඩා නින්දක් නැතුව ගියා, අසනීප වුණා. ඉතින් රස්සාව අත ඇරලා දැන් ගෙදර වැඩ විතරක් කරනවා. මට ඇත්තටම මේ ජීවිතය අපායක් වෙලා තියෙන්නේ," 'දිලී' යන කෙටි නමින් තමන් හඳුන්වන ලෙස ඉල්ලීමක් කළ කාන්තාවක සිය අත්දැකීම් බීබීසී සිංහල සේවයට හෙළි කළාය.

කාන්තාවන්ට වෙනස් කොට සැලකීමේ යම් 'සංස්කෘතියක්' හේතුවෙන් අදටත් බොහෝ රැකියා අවස්ථා පිරිමි අපේක්ෂකයින් සඳහා වෙන් කර ඇති බවට විවේචන එල්ලවේ.

 

ශ්රමය 2

 

එසේ විවේචන එල්ල වූ සිදුවීම් අතරින් ආසන්නතම උදාහරණය ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පති නිලයට පත් කළ ප්‍රථම කාන්තාව බිම්ශානි ජාසිං ආරච්චිගේ පත් වීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම දැක්විණි.

කාන්තාවක් අදාළ නිලයට පත්කිරීමට විරුද්ධ නොවුණත් 'කාන්තා නියෝජ්‍ය පොලිස්පති' ලෙස නිලයක් තවමත් ශ්‍රී ලංකා පොලිසිය තුළ නොමැති වීම නිසා අදාළ පත්කිරීම නීතියට පටහැනි බව පෙත්සමේ සඳහන් වේ. "මේක පරිපාලනයට සම්බන්ධ ප්‍රශ්නයක්," යැයි නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට මීට පෙර ඒ සම්බන්ධයෙන් පැවසීය.

වැටුප් පරතරය

ලොව පුරා රැකියා තුළ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් බොහෝ විට දැකිය හැකිය.

පුද්ගලයෙකු නිරත වන රැකියාව අනුව ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් ඇතිවීම සාමාන්‍ය වුවද එක හා සමාන අධ්‍යාපනයක් ලබා, එක සමාන අත්දැකීම් ඇති කාන්තාවකට, පුරුෂයෙකුට ගෙවන වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් ගෙවන ආයතන, කර්මාන්ත සහ වෙනත් රැකියා ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ ඇති බවට වාර්තා වී තිබේ.

නීති, ඉංජිනේරු වැනි වෘත්තීන් මෙන්ම තේ දළු, කුරුඳු, රබර් කිරි කැපීම වැනි රැකියාවල ද ශ්‍රී ලංකාවේ ස්ත්‍රී සහ පුරුෂයන් අතර සැළකිය යුතු වැටුප් පරතයක් දක්නට ලැබේ.

ලිංගිකත්වය, ශරීරය සහ දරුවන් වැදීම

සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ශරීරය ගැන ස්වාධීන තීරණ ගැනීමට හැකි විය යුතුය. එය සෑම පුද්ගලයෙකුටම ඇති හිමිකමකි.

ඒ අනුව, සෑම කාන්තාවකටම ලිංගික හා ප්‍රජනන අයිතීන් ඇත. මෙයින් අදහස් වන්නේ ලිංගිකව එක්වීමට, ගැබ් ගැනීමෙන් ආරක්ෂා වීමට මෙන්ම ආරක්ෂිත ගබ්සා කිරීම් වැනි සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශ වීමට කාන්තාවන්ට ඇති අයිතියයි.

කෙසේනමුත්, ගබ්සා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය ඉතා දැඩිය. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි.

මෙම නීතිය ලිහිල් කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් හා කාන්තා සංවිධානවලින් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් ලැබුණු නමුත් ඒ සැම අවස්ථාවකම ආගමික නායකයන්ගේ විරෝධය හේතුවෙන් එම ඉල්ලීම් කිසිදු රජයක් ක්‍රියාත්මක කළේ නැත.

 

lenin 1

"මේ තත්ත්වයේ අවාසනාවන්තම සිදුවීම තමයි ගැහැණියක් දූෂණයට ලක් වීමෙන් දරුවෙක් ලැබෙන එක. එවැනි සිද්ධි බොහොමයක් උසාවිවල අපි දකිනවා. ඒ කාන්තාවන්ගේ මුළු ජීවිත කාලයම ගෙවෙන්නේ අඳුරු මතකයක් එක්ක, අපායක. කාන්තා අයිතීන් ගැන කතා කරන ලෝකයක අපිට වඩාත් ගැඹුරින් හිතලා, නීති සහ මානව හිමිකම් සමබර කරන්න වෙනවා," නීතීඥ ලහිරුණී වීරරත්න පැවසුවාය.

කාන්තාවක් විවාහ වන්නේ කවදාද, කවුරුන්ද යන්න තෝරා ගැනීමටත්, දරුවන් බිහිකිරීමට අවශ්‍යද යන්න තීරණය කිරීමටත්, එසේ නම්, කොපමණ සංඛ්‍යාවක් ද, කිනම් වයසේදී ද සහ කවුරුන් සමඟද යන්න තීරණය කිරීමට ඔවුන්ට අයිතියක් ඇත.

ස්ත්‍රී දූෂණ හා වෙනත් ලිංගික හිංසනයන්, ස්ත්‍රී ලිංගික අවයව විකෘති කිරීම (FGM), බලහත්කාරයෙන් විවාහ වීම, බලහත්කාරයෙන් ගැබ් ගැනීම, බලහත්කාරයෙන් ගබ්සා කිරීම හෝ බලහත්කාරයෙන් වන්ධ්‍යකරණය ඇතුළු ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට බිය නොවී ජීවත් වීමට කාන්තාවන්ට හැකි විය යුතුය.

නමුත් සියලුම කාන්තාවන්ට මෙම අයිතිවාසිකම් එකලෙස භුක්ති විඳීමට හැකිවන දින තව බොහෝ දුරය.

නිදසුනක් වශයෙන්, ලොව පුරා බොහෝ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට තවමත් ආරක්ෂිත සහ නීතිමය ගබ්සා කිරීම්වලට ප්‍රවේශ විය නොහැකි අතරම සිය සැමියාගේ අවසරය නැතිව නිවසින් පිටතට යෑමට පවා නොහැකි සමාජ ඇත.

"මම සෑහෙන කාලයක් යාළු වෙලා ඉදලා විවාහ වුණා. හැබැයි මහත්තයා සෑහෙන වෙනස් වුණා. දරුණුතම ප්‍රශ්නය තමයි එයා දරුවෝ හදන්න කැමතියි, ඒ වගේම හැමදාම ලිංගිකව එක්වෙන්න බල කරනවා. මට දැනට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයා උපත් පාලන කොපු භාවිත කරන්නෙත් නැහැ. මට හොරෙන්වත් එළියට ගිහින් නිතරම පෙති ගන්නත් බැහැ. මම නිකම් වහලියක් වගෙයි. මට තව දරුවෝ ඕනේ නැහැ, මම දැඩි මානසික පීඩනයක ඉන්නේ," සිය නම හෙළි කිරීමට අකමැති වූ කාන්තාවක සිය අත්දැකීම් පැවසුවාය.

ශ්රමය 3

හානිකර සමාජ සම්මතයන් මෙන්ම අයිතීන් ගැන නොදැනුවත්කම ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා බාධක ලෙස ක්‍රියා කරයි.

"ශ්‍රී ලංකාවේ කාන්තාවන් බොහෝ දෙනෙක් ඉන්නා සමූහයක ඉන්නකොට පේන දෙයක් තමයි බොහෝ කාන්තාවන්ට තමන්ගේ අයිතීන් ගැන කිසිම දැනුමක් නැතිකම. තමන්ගේ ශරීරයේ අයිතිය තමා සතු බව නොදැන සිටීම. විවාහ ජීවිතය ඇතුළේ සිදුවන ශාරිරික හා ලිංගික හිරිහැරවලට විරුද්ධ වීමට තමාට අයිතියක් තියෙනවයි කියලා නොදැන සිටීමත්, නිතීයෙන් එසේ කතාකිරීමට තමාට ඉඩක් තිබෙන බව නොදැන සිටීමත් ඉතාමත් ඛේදනීය තත්ත්වයක්. පාසලෙන් හෝ පටන්ගෙන මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කතිකාවක් මුලු ලාංකීක සමාජයේම ඇති විය යුතු බව මා පෞද්ගලිකව විශ්වාස කරනවා," සමාජ සේවා ක්‍රියාකාරිනියක වන නදීෂා රණසිංහ ලින්ඩන් පැවසීය.

හිරිහැර විඳගෙන ඉන්නවා ද?

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2019 වසරේ සිදුකළ කාන්තා සුභසාධන සමීක්ෂණ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 35.3% ක් තම බිරිඳට පහර දීමට පුරුෂයන්ට හොඳ හේතුවක් තිබිය හැකි බවට එකඟ වී ඇති අතර, කාන්තාවන්ගෙන් 47.5% ක් පුරුෂයන් කාන්තාවන්ට වඩා උසස් යැයි පවසා ඇත.

මෙම සමීක්ෂණයට එක් වූ කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිත කාලය තුළ ශාරීරික හා / හෝ ලිංගික හිංසනයන් අත්විඳ ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. කොවිඩ්-19 වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය වැඩි වී ඇති බව එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය 2020 දී නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

 

ශ්රමය 4

ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරස ඇඳිරි නීතිය පනවා තිබෙන කාලය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබූ බව පොලිස් කාන්තා හා ළමා අපචාර කාර්යාංශය 2020 මැයි මස දී පැවසීය.

2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන්නන්ට නීතිමය රැකවරණය සලසයි.

ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් කාන්තා අයිතීන්වලින් ඔබ්බට ගිය විශාල වපසරියක් එම පනත මගින් ආවරණය කර තිබේ. ළමා හිංසනය සම්බන්ධයෙන් ද නීතිමය ආවරණයක් මෙම පනතෙන් ලබා දී තිබේ.

පීඩාවට පත් තැනැත්තා හා පීඩා කරන තැනැත්තා අතර ඇති පෞද්ගලික සම්බන්ධතාවෙන් පැන නගින නිවසේ පරිසරය තුළදී හෝ පිටදී සිදු කරන දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ ඇතුළත් මිනී මැරීම, සිය පණ හානිකර ගැනීමට අනුබල දීම, ගබ්සාව, පහරදීම්,තුවාල කිරීම්, ලිංගිකත්වය හා සම්බන්ධ වැරද්දක් සිදුකිරීම හා උද්වේගශිලි බැන වැදීම ඇතුළු තවත් වැරදි කීපයක් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස පනතේ අර්ථ දක්වා ඇත.

කායික, ලිංගික මෙන් ම මානසික වශයෙන් සිදුවන හිංසනයන් ද මෙම පනතේ සඳහන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට අයත් වේ.

දේශපාලන නියෝජනය

1931 දී 4%ක් වූ කාන්තා නියෝජනය තවමත් පාර්ලිමේන්තුව තුල 6%කට වඩා වැඩිකර ගැනීමට නොහැකි වී තිබේ.

2010 වසරේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8% දක්වා වැඩි වුව ද වර්තමානයේ දී එය 5% දක්වා පහත වැටී තිබේ.

ලොව පළමු අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක තේරී පත්වූයේ මීට අවුරුදු 61කට පෙර එනම්, 1960දීය.

එතැන් සිට අවුරුදු 34 ක් ගෙවී ගිය තැන ඇයගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 දී අගමැතිනිය ලෙස පත්වීමෙන් නොනැවතී රටේ ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස තේරී පත් වූවාය. එතැන් සිට ඇය 2005 නොවැම්බර් මස දක්වා රට පාලනය කළාය. රටේ මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට හැම වරකම පාර්ලිමේන්තුවේ කාන්තාවන් කීපදෙනෙක් හෝ සිටියහ.

 

ශ්රමය 6

කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා

"කාන්තාවගේ ප්‍රධාන භූමිකාව ඇයගේ ජීව විද්‍යාත්මක සහ ප්‍රජනන කාර්යය බව ශ්‍රී ලංකාවේ පොදු ජන සමාජයේ බොහෝ දෙනා තවමත් සළකන බව ප්‍රසිද්ධ කාරණයක්. මේක සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. කාන්තාවන්ගේ දේශපාලනික හා සමාජයීය දැනුම සම්බන්ධයෙන් ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ දිගයි යන ආකල්පය තවමත් බොහෝ පිරිසක් විශ්වාස කිරීම නිසා, ඔවුන්ට දේශපාලන අවකාශයට පිවිසෙන දොරගුළු සෘජුව මෙන්ම වක්‍රාකාරවත් වසා දමලා තිබෙනවා," මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී කෞශල්‍යා හේරත් පැවසුවාය.

"කාන්තාවට ළමා කල සිට පුරුදු කරන දිවි පැවැත්මට දේශපාලන අවකාශය ඉතා දුරයි. කාන්තාවන් එකිනෙකා හමුවන ස්ථාන දේශපාලන අර්ථයකින් හඳුනා නොගැනෙන අතර, එම අවකාශ ඕපාදූප සංගම් ලෙස හා ඔවුන්ගේ කතා ගෑණු කතා හෝ ඕපාදූප ලෙස ගර්හාවට ලක්වන අවස්ථා අනන්තයි."

යුරෝපීය රටවල් බොහොමයක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 30% වඩා වැඩි බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි.

තවමත් බොහෝ රටවල නායකත්වයට පුරුෂයන් පත්වී සිටිය ද 2021 වර්ෂය වන විට රටවල් 22ක කාන්තා නායකත්වයක් දැකිය හැකි විය.

නීතිය

ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන 1978 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට' අනුව සියලුම පුද්ගලයෝ නීතිය ඉදිරියේදී සමාන වන අතර නීතිය මගින් සමාන ආරක්ෂාව ලැබිමට හිමිකම් ලබති.

ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය සමානාත්මතාවට ඇති අයිතිය තහවුරු කරයි.

12 (1) වගන්තිය:

සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියෙන් සමාන ආරක්ෂාවක් ලැබීමට හිමිකම් දරයි.

12 (2) වගන්තිය:

කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි වෙනත් හේතුන් මත වෙනස් කොට නොසැලකිය යුතුය.

12 (3) වගන්තියේ ඇතුළත් වන කරුණු අතර, කාන්තාවන්ට විශේෂ වූ නීති සම්පාදනය කිරීමට සහ පනත් සම්මත කිරීමට රජය විසින් ගන්නා ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සපයයි.

1993 මාර්තු මස 3 වන දින සම්මත කරන ලද ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තියෙන් කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලු වෙනස්කම් දුරු කොට ඔවුන්ට අදාළ තීරණාත්මක ගැට‍ලු නිරාකරණය කිරීම සඳහා රජයේ කැපවීම ප්‍රකාශයට පත් කර ඇත.

 

ශ්රමය 7

ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ වෙනස්කම් මුලිනුපුටා දමා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම මෙම ප්‍රඥප්තියේ අරමුණ විය. කාන්තා ප්‍රඥප්තියේ සඳහන් වන වගන්තිවලට අනුව ජාතික කාන්තා කමිටුවක් පිහිටවුවද, ස්ත්‍රී - පුරුෂ පරතරය සම්බන්ධයෙන් තවමත් රට තුළ සැළකිය යුතු සංවාදයක් නිර්මාණය වී නොමැත.

දේශපාලන බලය, ආර්ථික හැකියාව සහ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සලකා බැලීමේ දී කාන්තාවන් සහ පුරුෂයන් අතර පරතරය ගතව ගිය වසරේ අඩුවී ඇතත්, ඒ පරතරය සම්පූර්ණයෙන්ම පහව යාමට තවත් ශතවර්ෂයක් වත් ගතවනු ඇති බව ලෝක ආර්ථික සංසදය (World Economic Forum - WEF) 2019 දී නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

ස්විට්සර්ලන්තය මූලස්ථාන කොටගත් ලෝක ආර්ථික සංසදය ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් ලෝක ප්‍රවණතා මැන බලන සංවිධානයකි.

ලොව පුරා බොහෝ රටවල වැඩි වැඩියෙන් කාන්තාවන් පරිපාලනයට සම්බන්ධවෙමින් සිටිය ද, ආර්ථික හැකියාව සම්බන්ධයෙන් කාන්තාවන් සහ පුරුෂයන් අතර පරතරය ඉහළ ගොස් ඇති බව ද වාර්තාව පවසයි.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැදගත් වන්නේ ඇයි?

කාන්තා අයිතිවාසිකම් යනු මානව හිමිකම්මය

ඔවුන් අන් පුද්ගලයන්ගෙන් වෙනස් නොවන නමුත්, සමාජ, ආර්ථික, අධ්‍යාපන සහ දේශපාලනික වශයෙන් ඔවුන්ට තවමත් බොහෝ විට ලැබෙන්නේ පසු පෙළ අසුනකි. මේ හේතුවෙන්, කාන්තාවන් වෙනුවෙන් වෙනම හඬක් නැගීමේ අවශ්‍යතාව පැන නැගී තිබේ.

සෑම කෙනෙකුම නිදහස් හා සමාන වන තුරු අපට නිදහස් හා සමාන සමාජයක් තිබිය නොහැක. පුරුෂයන්ට සමාන අයිතිවාසිකම් කාන්තාවන් භුක්ති විඳින තුරු, මෙම අසමානතාව සෑම පුද්ගලයෙකුගේම ගැටලුවක් බවට පත් වේ.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, "ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සහ ගැහැණු දරුවන් සවිබල ගැන්වීම හුදෙක් ඉලක්කයක් නොව, එය තිරසර සංවර්ධනය, ආර්ථික වර්ධනය, සාමය සහ ආරක්ෂාව සඳහා යතුරක් වේ".

කාන්තාවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර, එයට වටිනාකමක් දෙමින් සලකන විට සමාජයේ සෑම කෙනෙකුටම යහපත් සිදු වන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කාන්තා අයිතීන් ගැන නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එකට වැඩ කරන විට අපි ශක්තිමත් වෙනවා

වෙනසක් ඇති කිරීම සඳහා මේ වන විට බිම් මට්ටමේ ව්‍යාපෘති බොහෝමයක් ක්‍රියාත්මක කර ඇතත්, සෑම කෙනෙකුම කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට සහයෝගය දක්වන්නේ නම් අපට සමාජයක් ලෙස වඩාත් ශක්තිමත් විය හැකිය.

"වැඩි දුර යන්න ඕනේ නැහැ, පවුල නම් සමාජයේ කුඩාම ඒකකය තුළ පවා බිරිඳ සහ සැමියා එකට එක්ව, වැඩ බෙදාගෙන, එකිනෙකාට සහාය වෙමින් ක්‍රියා කරනවානම් පුළුල් සමාජයට මේ ප්‍රශ්න එන්නේ නැහැ. සෑම මනුස්සයෙකුටම සමානව සැළකීම, ගෞරව කිරීම වගේ දේ නිවසින් පුරුදු වුණාම, මුළු මහත් සමාජයක් තුළ ප්‍රශ්න පැන නඟින්නේ නැහැ," කාන්තා අයිතීන් ක්‍රියාකාරිනියක වන නීතිවේදී ධරීෂා පෙරෙයිරා පැවසුවාය.

"නමුත් අවාසනාවට අපි ඉන්නේ අනියම් සම්බන්ධතා වැහිවැහුණු 'ඔයා මට අකමැතිනම් බෙල්ල කපනවා' කියන අමනුස්ස සමාජයක."

 

@බීබීසී සිංහල

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි