ප‍්‍රාග් ඓතිහාසික යුගවල සිට අද දක්වා වන මානව වංශකතා චාරිකාවේ ඕනෑම යුගයක් ඉලක්ක කරගෙන
සංස්කෘතිය නම් ප‍්‍රපංචය අධ්‍යයනය කිරීමට සිදුවන්නාවූ ඕනෑම අයෙකුට,එම අදාළ කාල පරාසය තුළ අදාළ ජන සමාජයන් තුළ තිබුණා වූ ආගම් සහ විශ්වාසයන් මග හැර යා නොහැකිය. අද දක්වාත් ඉතිරිව පවතින අතිශය ප‍්‍රාථමික නොදියුණු ගෝත‍්‍රික සමාජයන්ගේ සිට,දියුණු යැයි සම්මත සමාජ සංස්ථාවන් දක්වාත් මෙම ආගම් සහ ඇදහීම්වලින් ගැලවිය නොහැකි සේ බැඳී පවතින බව පෙනීයයි.
ප්‍රාග් නොදියුණු ගෝත‍්‍රික විශ්වාසයන්ගේ සිට ක්වොන්ටම් වාදය දක්වා වූ අතිශය දියුණු දාර්ශණික පසුබිමක් ඇති,ලෝකයේ ප‍්‍රධානම ඒකදේව වාදී හෝ,බහුදේව වාදී හෝ,අදේව වාදී හෝ ආගම්වල පවා මරර්‍ණය ශරීරයෙන් පිටවී වෙනත් ස්ථාන කරා ගමන් කරන කිසියම් ශක්ති ප‍්‍රභවයක් පිළිබඳව විශ්වාස කරන්නට සලස්වන දාර්ශණික න්‍යාය පද්ධතියක් හෙවත් අධ්‍යාත්ම විද්‍යාවක් වෙයි.
බිලියන හතක් වන ලෝක ජනගහණයෙන් බිලියන හයක්ම කුමක් හෝ ආගමක් අදහන්නන් වන අතර,ඉතිරි බිලියන එකක්වන අනාගමිකයන්ගෙන් 80% ක් පමණම වෙනත් යම් යම් දේශපාලණික දර්ශන පද්ධතීන් හෝ වෙනත් එබඳු ඉගැන්වීම් පද්ධතීන් තම ආගමික ඇදහිල්ල බවට පත්කරගෙන ඇති බව,මේ පිළිබඳව සූක්ෂම බැලූ විට පෙනී යයි.
මේ සියල්ලේම සාරාංශය ගත් විට ප‍්‍රාග් ඓතිහාසික යුගවල සිට මානව වර්ගයා තුළ කිසියම් දෙයක් ඇදහීමට ඔවුන් පොලඹවන නිරායාසික රික්තකයක් ඇති බවත්,ලෝක මානව සංහතියෙන් 80% කට වැඩි පිරිසක් මරණින් මතු ජීවිතයක් හා ආත්මය/භවය හෝ වෙනත් නමකින් හැඳින්වෙන මරර්‍ණය ශරීරය තුළ තිබෙන කිසියම් පාර භෞතික ශක්ති විශේෂයක් පිළිබඳවත් විශ්වාස කරන බව පෙනේ.
විවිධ ආගම් සහ විශ්වාසයන් විශ්ලේෂනය කර බලන විට පැහැදිලි වන්නේ, මෙම ආත්මය/භවය නමැති ශක්ති විශේෂය මානවයා මරණින් මතු වෙනත් ජීවිතයක් වෙත රැගෙන යන බවකි. ගෝත‍්‍රික විශ්වාසයන් තුළ මෙම ආත්මය භූතාත්මයන් ලෙසද, වඩාත් දියුණු කරන ලද ඒකදේවවාදී හා බහුදේවවාදී ආගම් තුළ මෙය මානවයා සදාකාලික ජීවනය වෙත හෝ නිරය වෙත පමුණුවන අමරර්‍ණය ශක්ති විශේෂයක් ලෙසද දැකීමට හැකිය. ජෛන ආගම සහ බුදු දහම වැනි අදේව වාදි ආගම් තුළ මෙය මානවයා පුනරුත්පත්තියකට රැගෙන යන ශක්ති විශේෂයක් ලෙසද අර්ථ දක්වනු පෙනේ.
මේ අතරම,දර්ශණය,විද්‍යාව,සහ තවමත් විද්‍යාවක් ලෙස භෞතීස්ම වන්නට අපොහොසත් වූ මනෝ විද්‍යාව තුළද මෙම ආත්මය/භවය යන පාර භෞතික සංකල්පය විග‍්‍රහ කිරීමට අතිශය අසාර්ථක උත්සාහයක් දරා තිබේ. එමෙන්ම, මෙම පෙර අපර දෙදිග විද්‍යාඥයන් හා දාර්ශණිකයින් බහුතරයක් මෙම ආත්මය නම් පාර භෞතික සංකල්පය හා මරණින් මතු වෙනත් ජීවිතය පිළිබඳව දැඩිව විශ්වාස කරනු පෙනෙයි.
1-මානවයාට පමණක් සුවිශේෂිත, කිසියම් ආගමක් ඇදහීමට ඇති නිරායාසික රික්තකය කුමක්ද?
2-ලෝක ජනගහණයෙන් 80% ක් පමණ විශ්වාස කරන මෙම ආත්මය නම් ප‍්‍රපංචය කුමක්ද?
3-එය ඇත්තේ කොහේද?
මෙහි අරමුණ,මානව ඉතිහාසය පුරා තවමත් නොවිසඳුනු මේ දාර්ශණික ප‍්‍රශ්නයන්ට පිළිතුරු සැපයීමය.
ප්‍රාග් ඓතිහාසික මානවයා ස්වභාව ධර්මයේ නොයෙකුත් වෙනස් කම්(ස්වභාවික විපත්) තමනට ඉහළින් සිටින පාලනය කළ නොහැකි කිසියම් දෙයක් යැයි සිතූහ. එනම්, ආකාශය, මහ පොලොව, ප්‍රචණ්ඩ ගංගාවන්, තරණය කළ නො හැකි කඳු වැටි සහ නපුරු මාංශ භක්ශක සතුන් සහිත වනපෙත් අතර තම පැවැත්ම සඳහා නොනවතින අරගලයක නියැලෙන්නට ඇත. පොලොව මත කලින් කලට පහලවූ විවිධ බියකරු දේශගුණික විපර්යාසයන් පිළිබඳව තම මුතුන් මිත්තන්ගෙන් රළු ලෙස අසා දැනගෙන සිටින්නට ඇතැයි සිතිය හැකි ඔවුන්, අනෙකුත් ඕනෑම සතෙකු මෙන්,ස්වභාව ධර්මය තුළ තම ජීවිත පැවැත්ම තහවුරු කරගැනීම සඳහා නොනවතින භීතියකින් කල්ගෙවන්නට ඇත...
ඒ වන විටත් තම අවට පරිසරයට ජෛව විද්‍යාත්මකව හොඳින් අනුවර්තනය වූ එක්කාසු කරන්නන් වූ දඩයක්කාරයින්(Hunter-gatherers) ගුගුරන අහස යට වර්ෂාවට තෙමෙමින්, භීතියෙන් එකිනෙකාට තුරුලු වෙමින්, දෙගොඩතලා යන්නාවූ මහා ජල ප්‍රවාහයන්ගෙන් පලා යමින්, තම ඇස් ඉදිරියේම මහා කුණාටු එවමින් සුවිශාල වෘක්ශයන් බිම දැම්මාවූ සුළඟින් විශ්මයට පත් වෙමින්, තම නොදියුණු භාෂා දැනුම උපයෝගී කරගෙන මෙම අරුමය පිළිබඳව සිතන්නට උත්සාහ කරන්නට ඇත. තම නොදියුණු භාෂා ඥානය මත පදනම් වූ නොදියුණු තර්කයන් හරහා මෙම අරුමය පිළිබඳව තමනටම අර්ථ ගන්වා ගැනීමට උත්සාහ කරන්නට ඇත.මෙහි අවසානයේදී ඔවුන්,තමනට වඩා සුපිරි වූ,එමනිසාම තමනට පාලනය කළ නොහැකි වූ මෙම දැවැන්ත ස්වභාවික තත්වයන්ට ජීවයක් ඇතැයි සිතන්නට වූහ…
එසේම, ඔවුන් තම ගෝත්‍රයේන් හෝ වෙන්ව වනයේ හමුවන අනෙකුත් ගෝත්‍රයකට අයත් අමනාපයට පත් මානව සාමාජිකයෙකු සමථයකට පත්කර ගැනීම උදෙසා ඔවුන් සතුටු කිරීමට යම් යම් දේ ප්‍රදානය කරන්නාක් මෙන්, මෙම “දැවැන්ත ජීවීනට” තම ජීවිතයන් කෙරෙහි කළ හැකි බලපෑම අවම කර ගැනීමටත්,ඔවුන් සතුටු කර ලීමටත් යම් යම් දෑ ඔවුන් වෙත ප්‍රදානය කිරීමට පටන් ගත්තේය.
මේ ප්‍රදානය කිරීම් ඉහත කී ස්වභාව ධර්මයෙ සුපිරි බලවේගයන් වෙත සුවිශේෂ පරිදි දැනීම පිණිස, ඔවුන් එ'වා තමන්ගෙ සාමාන්‍ය දින චරියාවේ අංගයන්ගෙන් වෙනස්වූ විශේෂ ක්‍රමවලට, එනම් යම්කිසි අභිචාර ස්වරූපයකට අනුව එ'වා කිරීමට උත්සාහ කළහ. එසේම,ලිංගික කාර්යය සහ ගැබ්බර වීම අතර සම්බන්ධයක් නොදත්තවුන්, දරුවන් වදන ස්ත්‍රිය ආශ්චර්යයක් ලෙස සිතා,ඇයද පිදුම් ලැබීමේ තත්ත්වයට ඔසවා තැබීය. මේ,ලෝකයේ මාතෘ දෙවඟන ඇදහීමේ මූලාරම්භයයි...එයින්ද නොනැවතෙන ඔවුහු, සශ්‍රීකත්වය හා බැඳුණු සියලු ආකාර දේවල්වලට ස්ත්‍රීත්වය ආරඪ කළේය. පොලොව සියලු දෙහිම උපත සිදුවන ස්ථානය නිසා ඔවුහු පොලොවට මාතෘත්වය ආරූඪ කළහ. මේ වනාහී පරිණාමයෙන් මානවයාට හිමිවූ ජෛව විද්‍යාත්මක වැඩසටහන හා ඔවුන්ගෙ ආදි කල්පීය තර්කන ක්‍රමය එක්ව සාදාගන්නා ලද අතිශයින්ම සාධාරණ තෝරා ගැනීමක් බව කිව යුතුය. මන්ද, පොදුවේ ගත් කල,අනෙකුත් පෘෂ්ඨවංශී සතුන් මෙන් නොව ක්ෂිරපායි සතුන්ගේ මුලු ළමා වියම ඔවුන්ගේ මව මත රඳා පවතින හෙයිනි. උපන්දා සිට තනිව තමාගේ ආරක්ෂාව සලසා ගැනීම දක්වා තම ප්‍රධානම යැපුම් මාර්ගය වන මව්කිරි බීම උරුමකරගත් මේ ක්ෂීරපායි සතුන් ඊට අමතරව තම ප්‍රාථමික ආරක්ෂකයා,එනම් තමාට කිට්ටුම ආරක්ෂකයා බවට නිතැතින්ම තම මව තෝරා ගනී.
එ' අතරම, අනිකුත් සියලුම සතුන්ට සාපේක්ෂව වඩාත්ම දිගු ළමා වියක හිමිකාරීත්වය සඳහා පරිණාමය විසින් සැළසුම් කරන ලද සහ වඩාත් දියුණු මොළයකට,එනම් නව ක්ෂීරපායි මොළයකට හිමිකම් කීම නිසාම අනෙකුත් ක්ෂීරපායී සතුන්හට නොමැති වූ එක්තරා ආකාරයක දියුණු භාෂාවක් සහ එ' නිසාම හිමි වූ තර්ක බුද්ධියත් විසින් අප ගේ ප්‍රාග් එතිහාසික මානවයා මාතෘත්වය තම ආරක්ෂාවේ ප්‍රතිමූර්තිය ලෙස සලකනු ලැබීම පුදුමයට පත්විය යුතු කාරණයක් නො වේ. අනෙක් අතට මේ වනතුරුත් කිසිම ආකාරයකට ලිංගික කාර්යය සහ ගැබ්බර වීම අතර කිසිදු සම්බන්ධයක් නොදත් මොවුන්, ඒ නිසාම දරුවන්ගේ නියම පීතෘත්වයක් නොදැන සිටියේය. දරුවන් ඔවුන් ගේ මවුනට අයත් වූ අතර, තම මවගේ සමාජයීය තාරාතිරම සහ බලය අනුව දරුවාගේ සමාජ තත්වය තීරණය විණි. ලිංගික කටයුතු පොදු සමාජ කටයුත්තක් වූ අතර, ගැහැණිය විසින් ඒක මතිකව තමා ගේ ලිංගික සහකරුවන් තෝරා ගැණීම සිදු කරන ලදී. මෙහිදී,එකවර ගැහැණිය විසින් සහකරුවන් කිහිප දෙනෙක් සමග සංවාසයේ යෙදීම අපේක්ෂා කළ හැකි අතර,මෙබඳු තත්වයක් යටතේ මෙම සමාජයන් තුළ ලිංගික ඊර්ෂ්‍යාව යනු කිසිසේත් අපෙක්ෂා කළ හැකි දෙයක් නොවේ.
මෙබඳු මාතෘ මූලික සමාජයන් අද දක්වාත් අපේ සමහර වන ගත ගෝත්‍රයන් අතර පමණක් නොව ශිෂ්ඨාචාර වූ සමාජයන් අතරද විටින් විට දැකිය හැකි වන අතර, කුමක් හො කරුණකට අද වන විට මේ සමාජයන් පීතෘ මූලික ප්‍රධාන ප්‍රවාහය වෙත ප්‍රවිෂ්ඨ වීමේ නැඹුරුතාවක් පෙන්නුම් කරයි. අනිත් අතට,ආරක්ෂාව සහ ලිංගික තෘප්තිය ලබා දෙන ගැහැණියගේ හිමිකාරිත්වය කිසිදු පිරිමියෙකු සතු නොවූ හෙයින් සහ ඇයට හිමිකාරිත්වය කියා පෑමට වඩා ඇය ගේ අනුකම්පාව දිනා ගැනීම මිස වෙනත් ක්‍රමයක් නොවූ හෙයින්, කිසිදු ආකාරයක ලිංගික ඊර්ෂ්‍යාවකට හෝ ඒ මත පදනම් ව වෙනත් කල කෝලාහලයකට එම ආදිකල්පික සමාජයන් තුළ කිසිදු ඉඩක් නොවිණි.
මේ වනවිටත් ගල් ආයුධ සොයාගෙන තිබුණු සහ ගින්දර භාවිතය හොඳින් දත් ආදී මානවයා, එම ආයුධ පාවිච්චි කරමින් යම් කෙනෙකු හට කළ හැකි හානියද හොඳින් ඉගෙනගෙන සිටියේය...ඒ අතරම ඔවුන් වෙනත් ආකාරයක ගෝත්‍රික පාලන ක්‍රමයක් නොමැතිව, සහමුලින්ම මාතෘ මූලික පාලන ක්‍රමයක් යටතේ තම එදිනෙදා සමාජ චර්යාවන් අතිශය සාමකාමී ලෙස පවත්වා ගෙන ගියේය. සමහර විටෙක මෙය අපට පුදුම උපදවන සුළු කාරණයක් විය හැකි අතර,මේ ප්‍රකාශය සමහර සත්ව විද්‍යාර්ථීන් ගේ,මානව විද්‍යාර්ථීන් ගේ සහ දේශපාලන චින්තකයන් ගේ නොමඳ විවේචනයට භාජනය වීමද වැලැක්විය නොහැකි වනු ඇත. මන්ද,ඔවුන් බහුතරය සිතා සිටින ආකාරයට "පවුල", එනම් එක් පිරිමියෙකු හට එක් ගැහැණියකගේ අයිතිය හිමිවීම හරහා මෙම ආයුධ පාවිච්චි කිරීමේ විනය පැන නැගුන බව ඔවුන් විසින් විශ්වාස කිරීමයි.
නමුත් ඇත්ත වශයෙන්ම අපේ ආදී මානවයා මෙම "පවුල" නම් සමාජ සංස්ථාව ස්ථාපනය කරන ලද්දේ ඊට බොහෝ කලයකට පසුව බව ඉදිරියේ දී අපට පෙනෙනු ඇත.
ක්ෂිරපායී සතුන් බොහොමයක ගේ පැවැත්ම පරිණාමය විසින් සැලසුම් කර තිබෙනුයේ සංවාස කාලය තුළ අදාල රංචුවේ පිරිමි සතුන් අතර ගැහැණු සතුන් සමග සංවාසයේ යෙදීම සඳහා උග්‍ර තරඟයක් ඇති කර ලීමත්, ඒ හරහා ජයග්‍රාහී ශක්තිවන්ත පීරිමි සතා ගේ ජාන පොදුවේ අදාළ රංචුවේ සියලුම ගැහැණු සතුන් හරහා ඊළඟ පරම්පරාවට ගෙන යාමත් බව මේ වන විටත් නොයෙක් ආකාරවලින් අප දනිමු. අඩු තරමින් ඉතාමත් සරළ ලෙස බල්ලන් සහ බළලුන් වැනි අතිශයින්ම ගෘහාශ්‍රිතව ඇති කරන ලද සතුන් ගේ චර්යා රටාවන් හරහා අපි මේ පිළිබඳව කුඩා කාලයේ සිටම දැනුවත් වී ඇත්තෙමු. අනෙක් අතට, මුලු සංවාස සමය තුළම මෙබඳු ජයග්‍රාහී පිරිමි සතුන් ඉවක් බවක් නොමැතිව සහ විවේකයක් නොමැතිව තම රැළේ ගැහැණු සතුන් සමග සංවාසයේ යෙදෙනු අපට දැකිය හැකි වන අතර,මෙහිදී මෙම පිරිමි සතුන් තම ආහාර පාන ගැනීම වැනි අතිශය අත්‍යවශ්‍ය කටයුතුවලින් පවා ඉවත් වී තම පූර්ණ කාලය තම ලිංගික තරඟ කරුවන් පලවා හැරීමට සහ තම සහකාරියන් සමග ලිංගික සංසර්ගයේ යෙදීම සඳහා පේවී සිටිනු පෙනෙයි.
සාමාන්‍යයෙන් වසරකට වරක්,දෙකක් හො තුනක් සංවාස කාලයන් ඇති බොහෝ ක්ෂිරපායී සතුන් මෙසේ ම වේ. වසර පුරාවටම ප්‍රජනන කටයුතු සඳහා පරිණාමය විසින් සූදානම් කරනු ලැබූ අප ඇතුළු මහා වානරයන්ගෙ තත්වයද මෙසේම යැයි අපට සිතෙනු ඇත. නොහොත් අඩු වශයෙන් අපි එසේ දැක ඇත්තෙමු. ඒ අතරම,මෙම ප්‍රයිමේටාවන් සහ අනෙකුත් ක්ෂීරපායී සතුන්ගේ ගැහැණු සතුන් තම ලිංගික කාර්යයේ දී කිසිදු ආකාරයක සුරාන්තයක් අත් නොවිඳින බව සත්ත්ව විද්‍යාර්ථීන්ගේ පරීක්ෂණ ඇසුරින් අප දනිමු. ඔවුන් සොයාගෙන ඇති පරිදි, ලිංගික කාර්යයේ දී සියලු වරප්‍රසාද සහ සුරාන්තයන් සියල්ල පිරිමි සත්වයා සතු වෙයි!
නමුත් අපේ මානවයා සම්බන්ධව මෙම තත්වය සපුරා වෙනස් වෙයි. එනම් කලින් කී පරිදි, මානව පිරිමි සත්වයා ඉතාමත් අඩු කාලයක් ඇතුළත ශුක්‍රාණු විසර්ජනය කිරීමටත්,එක් විසර්ජනයකින් පසු ඔහුට නැවත ලිංගික වශයෙන් උත්තේජනය වීමට සෑහෙන කාලයක් මිඩංගු කිරීමටත් පරිණාමය විසින් ඔහුට නියම කර තිබේ. මෙම සුරාන්තයක් සඳහා ඔහුට ගත වන කාලය තත්පර කිහිපයක ක්ෂණික මෝචනයේ සිට විනාඩි 3-4 දක්වා අඩු කාලයක් වේ. පිරිමියා මෙතරම් අඩු කාලයක් තුළ ලිංගික වශයෙන් අකර්මන්‍ය කොට ඇති පරිණාමය විසින්ම,මානව ගැහැණිය සඳහා එකකට එකක් පසු පසින් පිළිවෙලින් එන බහු සුරාන්ත තත්වයක් දායාද කොට තිබීම පිළිබඳව අපට නොසලකා හැරිය නොහැකිය. මෙයට හේතුව වන්නේ පරිණාමය විසින් අනෙකුත් බොහෝ සතුන් හට උරුම කරන ලද්දා වූ වඩාත්ම ශක්ති වන්ත පිරිමියාගේ ජාන අනාගත පරම්පරාවට ගෙන යන්නාවූ Alfa Male කෙනෙකු මත පදනම් වූ "පුරුශ මූලික" ප්‍රජනන ක්‍රමයක් වෙනුවට, එක සුරාන්ත තත්වයක් යටතේ ඉතාමත් අඩු කාලයක් තුළ ශුක්‍රාණු විසර්ජනය කිරීමට පරිණාමය විසින් සැලසුම් කෙරුණාවූ පුරුෂයන් කිහිප දෙනෙකුගේ ශුක්‍රාණු අතරින් වඩාත්ම ශක්තිවන්ත ශුක්‍රාණුවට ස්ත්‍රී ඩිම්බය සමග ඊළඟ පරම්පරාව බෝ කිරීමට, බහු සුරාන්ත තත්වයක් ස්ත්‍රියට පරිණාමය විසින් දායාද කර තිබීමයි!
මෙය සැබවින්ම පුදුම දනවන සුලු වෙයි.
මේ සියල්ලේ අරුත,පරිණාමය විසින් මානවයා වෙත ප්‍රජනනය සැලසුම් කර ඇති ආකාරයට මානව ගැහැණිය විසින් එක වතාවකදී පුරුෂයන් කීපදෙනෙකු සමඟ ලිංගික ඇසුරක් පැවැත් විය යුතු බව නොවේද? ඒ කෙසේ වුවත්, මානව ඉතිහාසයේ බොහෝ මෑත සහශ්‍රයන් තුළ සොයාගන්නා ලද වාජීකරණ ඔසුවන්, මානසික හැඩගැසීම් සහ සුන්නත් කිරීම වැනි තාක්ෂණික ක්‍රම හරහා තමන්ගේ ලිංගික දරාගැනීම කෘතිමව වැඩිකර ගැනීමට පුරුෂයා විසින් සොයාගන්නා ලද තත්වයන් මත, අද වන විට මෙම ස්වාභාවික තත්වයන් කෙසේ වලංගු වේදැයි යන්න පිළිබඳව ප්‍රශ්ණයක් මතුවීමට පුලුවන. ඒ කෙසේ වෙතත්,මෙම මානව පිරිමියා ගේ සහ ගැහැණිය ගේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලිංගික අනුවර්තනයන් හෙවත් පරිණාමීය සැලසුම් සඳහා විවිධ හේතූන් ඇති බව අපට ඉදිරියේ දී පෙනෙනු ඇත.
මනිසාට වඩාත්ම සමීප මානව රූපී වානරයන් වන චිම්පන්සින්ගේ සහ බොනොබෝ වානරයන් ගේ ලිංගික හැසිරීම් සහ සමාජ හැසිරීම් සංසන්දනය කිරීම මගින් අපට මේ පිලිබඳව හොඳින් වටහා ගත හැකි වන අතර,මේ සතුන් අතරින් මිනිසාට ජානමය අතින් 99% ක් සමාන බොනොබෝ වානරයා මාතෘ මූලික සමාජ ක්‍රමයක් සහ පොදු ලිංගික පිළිවෙතක් අනුගමනය කිරීම සැලකිල්ලට ගත යුතු කාරණයකි. ඒ අතරම, බොනොබෝ වානරයන්ට වඩා අපගේ ජානවලට අඩුවෙන් සමාන වන කලහකාරී පීතෘ මූලික චිම්පන්සින්ට සාපේක්ෂව බොනොබෝ වානර සමාජයන්හි ලිංගික ඊර්ෂ්‍යාව හරහා හටගන්නා ගැටුම් අතිශයින් දුලබ වීමද මෙහිදී විමර්ෂණයට ලක්කළ යුතුය. එමෙන් ම, තමන්ගේ රංචුවට පිටස්තර අනෙකුත් චිම්පන්සි රංචු සම්බන්ධව ඉතාමත් සාහසික ලෙස ආක්‍රමණශීලී ආකල්පයක් දරන "පීතෘ මූලික" චිම්පන්සින් මෙන් නොව,මාතෲ මූලික බොනොබෝ වානරයන් තමන්ගේ රැළට පිටස්තර බොනොබෝ රංචු වෙත ඉතාමත් සුහදශීලී ආකල්පයක් දක්වන බව ඔවුන් සම්බන්ධව පර්යේෂණ කරන විද්‍යාඥයින් පෙන්වා දෙයි. ඒ අතරම, මෙම බොනෝබෝ වානරයන් තමන්ගේ රංචුවට පිටස්තර රංචුවල වානරයන් සමග ලිංගිකව එක්වීමට පවා මෙම බොනොබෝ වානරයන් දක්වන සුහදශීලී නැඹුරුතාවය ද එම විද්‍යාඥයින්ගේ සැලකිල්ලට යොමු වී ඇත.
මෙය අපේ ප්‍රධාන මාතෘකාවට පිටස්තර දෙයක් බව අපට වැටහී යා හැකි නමුත්, එය අපට ඉදිරියේ දී බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
නැවතත් අපේ ප්‍රධාන මාතෘකාව වන, ආගමික ඇදහීම් සහ ඒවායේ සම්භවය වෙත ගමන් කළ හොත් පෙරකී මාතෘ මූලික ආදී මානව සමාජයන් තුළ ඇති වූ ආගමික ඇදහීම් සියල්ල මාතෘ මූලික ඇදහීම් බවට පත්වේ. මේ සියල්ල ලෝකයේ පේලියෝලිතික යුගයේ අවසාන කාර්තුවේ සිට, ක්‍රි.පූ.10,000 පමණ වන විට ඇරඹි කෘෂිකාර්මික යුගය දක්වා ද, ඉන්පසුව ඇරඹි නියෝලිතික යුගයේ මුල් භාගය දක්වා ද අඛණ්ඩව නොනැසී පැවතිනි. කෙසේ නමුත් මේ මාතෘ මූලික ඇදහිලි ක්‍රම පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂි ලෙස අපට ඉතිහාසයේ මුලින්ම හමුවන්නේ "වීනස් ඔෆ් දොල්නි වෙස්ටොනයිස්"(VENUS OF DOLNI VESTONICE) නම් ක්‍රි.පූ.29,000-25,000 පමණ වන විට සාදා ඇතැයි සිතිය හැකි, ඉහළ පේලියෝලිතික යුගයට අයත් කුඩා ප්‍රමාණයේ ස්ත්‍රී පිළිරුවයි. එතැන් සිට නොයෙක් කාලවලට අයත් නොයෙක් ආකාර මෙබඳු ස්ත්‍රී පිළිරූ ලෝකයේ බොහෝ තැන්වලින් හමු වී තිබේ. මේ අතර මිනිසා විසින් අහම්බෙන් සොයාගත් "සයිකෙඩෙලික්" පැලෑටි සහ "ශාකමය රසායනිකයන්",එනම් උතුරු අමෙරිකානු පෙයොටෙ පතොක් ශාකය, දකුණු අමෙරිකානු "අයහුස්කා" පානය, ජෝර්ජියාවේ සහ ග්‍රීසියේ වයින් මධ්‍යසාරය, ඉරානයේ සහ ඉන්දියාවේ "සෝම" පානය අදිය හරහා ඔවුන් ලද මනෝ භ්‍රාන්තීන් විසින්, ඔවුන් හට ස්වභාව ධර්මය පෙර නුදුටු ආකාරයෙන් විචිත්‍ර ලෙස පෙනෙන්නට විය.
මේ අනුව අතීත මිනිසා විසින් ස්වභාව ධර්මයේ බලපරාක්‍රමයන්ට අනුව ඔවුන්ව වර්ග කර, ධූරාවලි ගත කළෝය. මෙ සියල්ලම, තමාට නොතේරෙන සහ බියජනක තත්වයන්ගෙන් මිදීමට තම පැවත්ම සහතික කර ගැනීම උදෙසා කලාවූ දේවල් බව සහතික ලෙසම පෙනීයයයි. එසේම නියත වශයෙන්ම මරණයට පත් නොවී ජීවත් වීම නමැති පරිණාමීය කාරණය මෙහි මූලිකම ගාමකය (Drive) බව පෙනී යයි…
අද වන විට සොයාගන්නා ලද ලෝකයේ පුරාණතම ලිඛිත ලියවිල්ල වන ‘සුමේරියානු ගිල්ගාමේෂ්‘ නම් වීර කාව්‍යය, ඊජිප්තු මිථ්‍යා ප්‍රබන්ධ, ග්‍රීක පුරාණෝක්තීන්, ග්‍රීක දේව කථා, ග්‍රීක වීර කාව්‍යයන් මෙන්ම ඉන්දීය වේද ග්‍රන්ථ සහ ඉන්දීය වීර කාව්‍යයන් හි උත්පත්තිය ද සිදු වූ අතර...මෙය මානව චින්තන ඉතිහාසයේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යයක් බවටද පත් විය. අද ලෝකයේ පවතින්නා වූ ප්‍රධානම චින්තන පද්ධතීන් දෙකෙහි, එනම් බටහිර දර්ශනයේ සහ ඉන්දීය දර්ශනයෙත්,ඒ මත පදනම් වූ සහ මේ වන විට තිබෙන්නාවූ සංවිධිත ආගම් බොහොමයකත් මූලික තවාන බවට එය පත් විණි…
සැබවින්ම,මේ ස්වාභාවික ශාක රසායනිකයන් අප පූර්වජයන්ගේ මොළයේ ‘ලිම්බික් පද්ධතිය‘ උත්තේජනය කර, එනම් "ඩොපර්මින්" නම් ජෛවරසායනිකය අධි මාත්‍රාවලින් නිකුත් කිරීමට පටන්ගත් නිසා ඔවුන් ගේ ආදි ක්ෂිරපායි මොළය පොලඹවමින්, ඔවුන්ගේ පරිකල්පනය පළමු වතාවට අවධි කළේය.. එතෙක් පැවැති මාතෘ මූලික සමාජ ක්‍රමය පුරුෂයා විසින් අතික්‍රමණය කළේ, ගැබ්බර වීමේ රහසද ඔවුන් විසින් මෙම පරිකල්පනීය හැකියාව විසින් සොයා දැනගන්නා ලද නිසාය.
මෙයින් පසුව ලෝකයේ සතර අත ඇදහූ සියලු ආකාර මාතෘ දේවතාවන් හට පිරිමි ස්වාමි පුරුෂයන් ලැබෙන්නට පටන්ගත් අතර, පොලොව මත පීතෘ මූලික "පවුල" නොහොත් අද පවතින රාජ්‍යයේ කුඩාම ඒකකය ස්තාපිත වීමට පටන් ගත්තේය...මාක්ස් සහ එංගල්ස්ට අනුව මෙම පවුල බිහිවීම, පෞද්ගලික දේපල පිළිබඳ මිනිසාගේ මූලික අත්දැකීම බවට පත් වන අතර, ඔවුන්ට අනුව මෙය ධනවාදයේ ප්‍රාථමික ආරම්භයද වේ.. නමුත් මේ කිසිවකට වඩා, පරිණාමය විසින් ඉතාමත් අඩු කාලයකදී ශුක්‍ර විසර්ජනය කිරීම උදෙසා නිර්මාණය කරන ලද “ලිංගිකව” බෙලහීන පුරුෂයා විසින් බහු සුරාන්තයක් සහිත ගැහැණිය අත්පත් කර ගැනීම නොහොත් යටපත් කිරීම, මිනිසා විසින් ගින්දර සොයා ගැනීම සහ රෝදය සොයා ගැනීම තරම්ම "විප්ලවකාරී" දෙයක් නොවන බව කාහට නම් කිව හැකිද? මෙම අලුත් "පවුල" නමැති සමාජ ඒකකයට අනුව සිතමින්, අතීත මිනිසා විසින් සියලු පුරුෂ මූලික දේව ගණයන් ප්‍රති නිර්මාණය කරන ලද්දේය...ග්‍රීකයන්ගේ සියුස් කේන්ද්‍රිත දේව සභාව සහ වෛදික ඉන්දියාවේ ඉන්ද්‍ර කේන්ද්‍රී දේව මණ්ඩලය මීට හොඳම උදාහරණ ය. මේ සියලු දෙවිවරුන් ලිංගික ඊර්ෂ්‍යාවෙන් මඩනා ලද පසු කාලීන මිනිසා සතුව තිබූ සියලු දුර්ගුණයන්ගෙන්ද යුක්ත විය... උදාහරණ ලෙස යුද්ධයට අධිපති වෛදික ඉන්ද්‍ර වනාහී බොරුකාරයෙකි,සොරෙකි,බේබද්දෙකි,සල්ලාලයෙකි සහ මැරයකු ද වන්නේය. ග්‍රීක සියුස් ද ඊට දෙවෙනි නොවන්නේය…
ඈත අතීතයේදී මිනිසාට ස්වභාව ධර්මය සමග තිබුණු අනාරක්ෂිත භාවය සහ සශ්‍රීකත්වය වෙනුවෙන් ඔවුන් ඇදහූ ඇදහිලි ක්‍රම, එසේත් නැති නම් මාතෘ මූලික ඇදහිලි ක්‍රම යටපත් වී, පුරුෂයා සහ පුරුෂයා අතර ඇති වූ ලිංගික තරඟය හරහා පසුකාලීනව පීතෘ මූලික ඇදහීම් ක්‍රමයන් ඔවුන් විසින් නිපදවා ගන්නා ලදී. ඒ අතරම මේ සියල්ලක්ම තරයේම යුධවාදී විය.
‘ආබ්‍රාහම්‘ගේ දෙවි වන ‘යාහ්වේ‘ වනාහී, යුදෙව්වන්ට අසල්වැසි ගෝත්‍ර සමග යුද වැද ඔවුන් සමූළ ඝාතනය කිරීමට උදව් කළ ඊට අනුබලදුන් ගෝත්‍රික දෙවියා වේ. එසේම වෛදික ඉන්ද්‍ර වනාහී, අසල්වැසි අසුරයන් නොහොත් ඉන්දීයාවේ එවකට සිටි ස්වදේශික ජනතාව හා යුද වැද ඔවුන් සමූල ඝාතනය කිරීමට ඉන්දු ආර්යයන් හට උදව් කළ දෙවියා වීම හරහා මේ සියල්ල තවදුරටත් පැහැදිලි වනු ඇත…
මේ සමගම, පොලොව මත ඉතිරිව තිබූ මාතෘ මූලික ඇදහීම් සහ මාතෘ දේවතාවියන් සමාජයෙන් තුරන් කිරීමේ ආගම මූලික කරගත් දේශපාලනික සහ සාහිත්‍යමය ක්‍රියාවලිය යහමින් ඉදිරියට යමින් තිබිණ. ලෝකයේ අපට හමුවන පැරණිම ලිඛිත සටහන වන සුමේරියානු වීර කාව්‍යය ගිල්ගාමේෂ් හි, සශ්‍රීකත්වයට, ආලයට, කාමයට සහ යුද්ධයට අධිපති බැබිලෝනියානු දේවතාවිය වන ‘ඉෂ්ටාර්‘ වෙසඟනක් ලෙස අර්ථ දක්වා ඇති අතර, ඇය බයිබලයේ පරණ ගිවිසුම තුළ ද යාහ්වේ හෙවත් ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේගේ නොමඳ අමනාපයට පාත්‍ර වේ. අනෙක් අතට, ගැහැණිය යනු සියලුම පාපයන්ගේ සහ අවගුණයන්ගේ එකතුවක් බව අදටත් කියා සිටින සංවිධිත ආගම් බොහෝය.ආබ්‍රහමික ආගම්වල උත්පත්ති කථාවේ එන තහනම් ගසසේ ගෙඩි කෑම හෙවත් ජන්ම පාපයේ සිට ග්‍රීක පැන්ඩෝරාගේ මංජුසාව දක්වාත්, තවත් නොයෙකුත් හේතූන් මත ගැහැණියට එල්ල කරන චෝදනා ඉන්දීය ආගම් තුළ අද පවා දක්නට පවතී. ජෛව විද්‍යාත්මකව සහ පරිණාමීය වශයෙන් ගැහැණිය සතු බහු සුරාන්තික තත්වය අතික්‍රමණය කළ නොහැකිව පවතින පිරිමියාගේ ලිංගික දුබලතාවයේ සහ ලිංගික අනාරක්ෂිත භාවයේ පිළිබිඹුවක් ලෙසින්ද විද්‍යාමාන වේ.
අවාසනාවකට,අද පවතින සංවිධිත ආගම් බහුතරයක්ම මෙම ආබ්‍රහමික සම්භවය තුළ හෝ වෛදික ඉන්දීය සම්භවය තුළ හෝ වැඩුණු නැතිනම් නිර්මාණය වූ ආගම් වේ. එසේම, 99 % ක්ම පුරුෂ මූලික වේ. මේ සියලු දෙයින් නොනැවතී ඔවුන් බොහෝ පසුකාලීනව පොලොවට පීතෘ භාවයක් ආරූඪ කරන්නට නොයෙක් ලෙසින් තැත් කළ ද, ඉතිහාසයේ සරදමකට මෙන් බහුතරයක් රටවල් තවමත් තම භූමිය හඳුන්වන්නේ "මාතෘ භූමිය" ලෙසිනි...
අතිශය බිහිසුණු හදිසි අනතුරුවලට ගොදුරු වන අපි, සියලු භෞතික වේදනාවන් විඳ දරාගනිමින් ජීවත් වීමට උත්සාහ දරන්නෙමු...මියයාම වේදනා රහිත කාරණයක් බව තර්ක ඥාණයෙන් දතුවද, සියළු වේදනා දරාගනින්මින් ජීවත් වීමට උත්සාහ දරමු...මරණයෙන් සියලු වේදනාවන්ගේ කෙළවරක් දැකිය හැකි නම්,අපි කුමන හේතුවක් මත මරණය නමැති සංකල්පයට බියවෙමුද?
එසේ නම් මරණින් මතු ජීවිතයක් ගැන ‘සංකල්පයක්‘ අප තුළ පැළපදියම් වන්නේ කෙසේද? කවදාද?
ඇමීබා නම් ඒක සෛලික ජීවියා පවා "මරණය" නම් සංසිද්ධියෙන් විස්ථාපනය කිරීමට පරිණාමය විසින් සැලසුම් කර තිබෙන ආකාරය බොහෝ කලකට පෙර විද්‍යාඥයන් විසින් ඔප්පුකර තිබෙන අතර, තමාට ගැලවීගත නොහෙන මරණය නම් සංසිද්ධියෙන් ඔබ්බෙහි නැවත ජීවිතයක් ඇති බව ඉපැරණි මානවයා විසින් අහිංසක ලෙස උපකල්පනය කරන්නට ඇත්තේ පරිනාමය විසින් ඔහුට ලබාදුන්නා වූ තර්ක බුද්ධියේ උපකාරයෙන් බව සිතිය හැක. දැනට වසර 100,000 කට ඔබ්බෙහි ජීවත් වූ මානවයන් පවා, තම මියගියවුන් සමග ඔවුන් භාවිතා කළ යම් යම් දෑ මිහිදන් කර ඇති බව මානව විද්යාඥයන් විසින් සොයාගෙන තිබෙන අතර, එය ඔවුන් අතර තිබුණාවූ මරණින් මතු ජීවිතය පිළිබඳ සංකල්පයට හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැක.
අද දක්වා ශේෂ වී පවතින ආදීවාසි ගෝත්‍රයන්ගේ තවත් එක් ආගමික අභිචාරයක් වන්නනේ, මළගියවුන් පිදීමය...මෙහිදී ඔවුන් තමන් සමග ජීවත් වෙමින් සිට මියගිය වුන් නැවත තමන් අතර භූතාත්ම ලෙස ජීවත් වෙතැයි සලකා, ඔවුන් සතුටු කිරීමට නොයෙක් අභිචාරයන් පවත්වති...මේ මගින් ඔවුන්, තම මියගිය ඥාතීන් තමනට උදවු උපකාර කෙරෙතියිද, නො එසේ නම් ඔවුන් යම්හෙයකින් අසතුටු උවහොත් තමනට ලෙඩරෝගාදිය පමුණුවා, දඩයම් අහිමි කර කරදර කෙරෙතියිද සිතති...එමෙන්ම තමන්ද මරණින් පසු තම මියගිය ඥාතීන් අතරට යනු ඇතැයිද, එහි භූතාත්මයක් ලෙස තමාට නැවත දිවි ගෙවිය හැකි යැයිද විශ්වාස කරනු ලැබේ. ලංකාවේ වැදි ජනතාව,නොර්වීජියානු සාමි ජනතාව,අන්දමන් දූපත්වල ආදි වාසීන්, උතුරු අමෙරිකානු ඉන්දියානුවන්, ඔස්ට්‍රෙලියානු ඇබොර්ජින් ජනතාව, ඇමසොනියාවේ ආදි වාසින්, ජාවා සහ සුමාත්‍රා හි ආදිවාසින්, අප්‍රිකානු ගෝත්‍රයන්, ඇන්ඩීස් කඳු ආශ්‍රිත වසන කඳුකර ඉන්දියානුවන්, නූතන වික්කා භක්තිකයන් සහ තවත් බොහෝ ජනසමාජයන්හි තවමත් මේ විශ්වාසයන් පවතිනු දැකිය හැකිවේ...
මෙම බොහොමයක් ප්‍රාථමික විශ්වාසයන් මේ වන විටත් යම් යම් දියුණු ආගමික ආයතන සහ ඔවුන්ගේ විශවාසයන් විසින් හරි හරියට ආක්‍රමණය කර තිබුණද, තවමත් ඔවුන්ගේ ආදි කල්පික විශ්වාසයන් නොනැසී ඔවුන් අතර පවතිනු දැකිය හැකි වේ.. මේ හරහා ඔවුන් මරණය නමැති මගහැරයා නොහැකි විපත්තිය අතික්‍රමණය කරති...යම් ලෙසකින් "අමරණීය" වෙති!
සොක්‍රටීස් නමැති "අදේවවාදී" ග්‍රීක දාර්ශනිකයා හට ඇතෙන්ස් හි රජය මගින් නඩු පවරන්නේ ඔහු අදේවවාදියෙක් යැයි පවසමිනි...ඔහුට එරෙහිව එල්ල වු ප්‍රධානතම චෝදනාව වූයේ "දේවෝපහාසයයි"...එම චෝදනාවට අනුව,ඔහු විසින් සියුස් නම් ප්‍රධාන හිරු දෙවියා ගිනිගෙන දැවෙන ගලකැයිද, ඇපලෝ වනාහී නිකම්ම නිකම් පාෂාණයැකැයි ද පවසමින් ඇතෙන්ස් හි තරුණයන්ගේ ඔලු දූෂණය කර ඇත. එම වරදට,ඇතෙන්ස් හි අධිකරණය මගින් සිය දිවි හානි කර ගැනීමට ඔහුට බල කරන ලදී...ඔහුගේ අවසාන කථාවේ දී ඔහු අධිකරණයට පවසා සිටියේ, “අධිකරණ තීන්දුවට මගින් ඔහුට මෙලොව කථා කිරීමේ අයිතිය අහිමි කලද,මරණින් මතු ලෝකයේ දී ඔහුට හොමර් සමග ඇති තරම් සංවාද කළ හැකි බව යි !!!
පරිණාමය විසින් "සකස්(Program) " කරනලද මෙම මරණයට ඇති සහජාසයීක භීතිය, මරණින් මතු ජීවිතය නම් සංකල්පය, නිසා කිසියම් සුපිරි ආරක්ෂකයෙකු හෝ මැවුම්කරුවෙකු, සහ ඒ වටා ගොඩනැගුණු කිසියම් ආගමක් බවට පත්වන්නේ කෙසේ ද?
වර්ටිබ්‍රේටාවන්ගේ (Vertebrata)එනම්, කොඳු ඇට පෙලක් සහිත(පෘෂ්ටවංශික) සතුන්ගේ මොළය කොටස් තුනකට පරිණාමය වූ බව පොල් ඩී.මැක්ලීන් නම් විද්‍යාඥයගේ මතය වි තිබේ.
ඔහුට අනුව,පළමුව "රෙප්ටීලියන් බ්‍රේන්" (Reptilian Brain)පරිණාමය වූ අතර, මෙය උරගයන්, මසුන් වැනි ප්‍රාථමික සත්වයන් සතු වන ප්‍රාථමික මොළයයි. මෙහි කාර්ය භාරය පොදුවේ ගත් කළ,රස සහ ගන්ධයන් හඳුනා ගැනීම හරහා ආහාර සොයාගැනීම, අනතුරකින් පලා යාමට හෝ සටන් කිරීමටත්(Fight or Flight), ෆෙරමෝන හඳුනාගැනීම හරහා ප්‍රජනන ක්‍රියාවලියට අවශ්‍ය කාර්යයන් සපුරාලීම සඳහා පමණක් අදාළ වේ.මෙය ඩයිනෝසරයන් ගේ සිට, තත් කාලීන උරගයන්, මත්ස්‍යයන් හා කුරුල්ලන් ඇතුලු සතුන් සතුවන මොළයයි.
ඔහුට අනුව පසුකාලීනව පරිණාමය වුයේ පේලියොපේලුම් නොහොත් ආදී-ක්ෂීරපායී(old mammalian Brain) මොළයයි.මෙය රෙප්ටීලියන් මොළයට වඩා දියුණු කාර්ය භාරයක් ඉටු කළ අතර, බල්ලන්, බළලුන්, ඩොල්පින් සහ වෙනත් එවැනි හැඟීම් සහිත සතුන් සතුවන මොළයයි. සාමාන්‍යයෙන් මෙය "ලිම්බික් සිස්ටම්(limbic system)" යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන අතර,මෙය හැඟීම්,චර්යාවන්,දීර්ඝකාලීන මතකය සහ ගඳ සුවඳ නැතහොත් "ඉව" සම්බන්ධ කාර්යයන් ඉටු කරයි.
යමෙකුගේ තර්ක බුද්ධියට අදාල මොලය, එනම් මොලයේ විකසනයේ අවසාන අදියර වන "නියෝපේලියුම් බේ්‍රන්"/ නව ක්ෂිරපායී මොලය, වර්ධනය වී ඇත්තේ් ප්‍රිමේටාවන් වන මනුෂ්‍යයා ඇතුලු සත්ත්ව විශේෂයනට පමණක් වන අතර,ප්‍රයිමෙටාවන් හරුනු කොට අවශේෂ ක්ෂිරපායි සතුන් අතර මෙම කොටස වර්ධනය වී ඇත්තේ අඩුමට්ටමකිනි.නමුත් ඩොල්පින් වැනි ව්‍යතිරේකයන් තිබිය හැකි අතර,කුඩා මානවයෙකුගේ තර්ක බුද්ධිමය මොලය විකසනය වීමට පෙර,නො එසේනම් කුඩා ළදරු අවදියේ ඔහු අත්දකින බොහෝ දෑ නොමැකෙන ලෙස තැන්පත් වන්නේ පෙරකී "ඔල්ඩ් මැමාලියන් බේ්‍රන්" නැතහොත් ලිම්බික් පද්ධතිය තුලයි.
මානව චර්යාවන් අනිච්ඡානුග සහ ඉච්ඡානුග යනුවෙන් කොටස් දෙකකට බෙදේ...මින් පලමුවැන්න,එනම් අනිච්ඡානුග නොහොත් "ඉන්වොලන්ට්‍රි" චර්යාවන් යනු අප විසින් නොසිතා ඉබේ කරනු ලබන දේවල් වන අතර,දෙවැන්න අපවිසින් සිතා මතා කරනු ලබන "වොලන්ටරි" හෙවත් ඉච්ඡානුග ක්‍රියාවලීන් වේ.
යම් හදිසි අවස්ථාවකින් පලා යාමට හෝ සටන් කිරීමට අපව පොලඹවන්නාවූ,පරිණාමය විසින් සියලු වර්ටිබේ්‍රටාවන්ට තම පැවැත්ම සහතික කර ගැනීමට ලබා දුන්නාවූ අනිච්ඡානුග චර්යාව-ෆයිට් ඕර් ෆ්ලයිට්- අපගේ ප්‍රාථමික මොලයෙන් එනම් පරිණාමයේ මුල්ම අවධියේ විකසනය වූ "රෙප්ටීලියන් බේ්‍රන්" හි ක්‍රියාවලිය යටතේ පාලනය වන අතර,මෙම ක්‍රියාවලිය "ට්‍රිගර්" කරනු ලබන්නේ ඇඩ්‍රිනලින් නමැති ජෛව රසායනිකයයි.මෙය පෘෂ්ඨවංශී ජීවීන්ගේ පරිණාමීය පැවැත්මේ මූලිකම සාධකයක් ලෙස හැඳින්විය හැකි වන අතර,අපගේ සියලුම චර්යාවන් මෙබඳු ජෛවරසායනිකයන් ගොන්නකගේ පාලනය යටතේ සිදුවෙනවා.
කේන්තිය,ඉරිසියාව,ආදරය කිරීම,විශ්වාසය,කුතුහලය,කලකිරීම,උද්යෝගය,භීතිය,ත්‍රාසය,ආතතිය,ශෘංගාරය,සංතෘප්තිය,සතුට,දාරක ස්නේහය,සංතාපය,යමෙකු වැලඳ ගැනීමට ඇති ආශාව සහ මානව ඉතිහාසය තුල අති විශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් සලකුනු කල මහා සොයාගැනීම්වල,එසේම අතිවිශිෂ්ට කලාවන්ගේ උත්පත්තියේත් මූලයන් වන තර්කණය සහ පරිකල්පනයත්,මෙම ජෛව රසායනිකයන් අපගේ මොලය තුල සිදු කරන්නාවූ මහා කලබැගෑනිවල ප්‍රතිඵලයන් ලෙස හැඳින්විය හැකියි.
එමතුද නොව,බඩගින්නේ සිට ලිංගික උත්තේජනය දක්වාත්,සුරාන්තයේ සිට දරුවන් වැදීම දක්වාත්,වැදීමේ ක්‍රියාවලිය පුරාවට සහ ඉන් ඔබ්බට මව් කිරි දෙමින් දරුවන් පෝෂණය කිරීම දක්වාවූ සියලු ශාරීරික ක්‍රියාවලීන් පාලනය කරනුයේද මෙම ජෛව රසායනිකයන් අප ශරීරය තුල සිදුකරන්නාවූ ක්‍රියාවලීන්ය.
මෙම සමහරක් ජෛවරසායනික ප්‍රතික්‍රියාවන් අපට මුලුමනින්ම පාලනය කර ගත හැකිවන අතර,ලදරු වියේ සිට යම් යම් හුරු පුරුදු කිරීම් හරහා මෙම පාලනය කිරීම්වලට කුඩා කල සිට අපව පුරුදු පුහුණු කරනු ලැබෙයි.
මේ හරහා අපට මුත්‍රාශය සහ ගුද මාර්ගය පාලනය කිරීමේ සිට, කේන්තිය පාලනය කරගැනීම දක්වාවූ පෞද්ගලික සහ සමාජයීය හර පද්ධතියකට අපව නතු කරවනු ලබයි.මේවා සියල්ල තර්ක බුද්ධියේ පාලනයට නතුවන කලාපයන් වන අතර,නව ක්ෂිරපායී-නියෝ මැමාලියන් බේ්‍රන්-මේ සඳහා හේතුකාරක වෙයි, නොහොත් නව ක්ෂිරපායී මොළය විසින් ආදී-ක්ෂිරපායී මොළය පාලනය කරනු ලබයි.
නමුත්,මෙම පුරුදු පුහුණු කිරීම් හරහා ළදරු අවදියේ අපගේ ආදී-ක්ෂිරපායී මොළය නොහොත් ලිම්බික් පද්ධතිය තුල තැබුනාවූ සලකුනු,නොහොත් "ලිම්බික් ඉම්ප්‍රින්ට්ස්" පාලනය කිරීම හෝ මකා දැමීම සිදුකල නොහැකි කාරණයකි.අපගේ "නියෝ-මැමාලියන්" මොළය හෙවත් තාර්කික මොලය වර්ධනය වීමට පෙරාතුව අපවිසින් අත්දකින ලද දෑ,අපගේ ලිම්බික් පද්ධතිය තුල නොමැකෙන ලෙස සටහන් තැබී ඇත්තේය!
කුඩා දරුවෙකු තම මව්පියන්ගේ අතින් පොලොවට පය ගසන පලමු මොහොතේම ඔහුතුල "ආගමකට" ඇතිවන රික්තකය හටගන්නේයැයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවසා ඇතත්,ඔහු එ' පිලිබඳව ඊට වැඩියමක් පවසා නැත.ඔහුගේ පසුකාලීනයෙකු වූ ශී්‍රමත් ජෝන් බොල්ව්බි විසින් ඉදිරිපත් කරන ලද්දාවූ "ඇටෑච්මන්ට් තියරි" සහ එහි එන "ප්‍රාථමික ආරක්ෂකයා" සම්බන්ධ රීතිය හරහා මෙය තවදුරටත් විග්‍රහකර ගත හැකි වන අතර,මෙය ප්‍රයිමේටාවන් හැරුනු කොට,තවත් බොහෝ ක්ෂිරපායී සහ ක්ෂිරපායී නොවන සතුන් අතර පවා හඳුනාගත හැකි සංසිද්ධියක් වෙයි.
කුඩා දරුවෙකු තම මව්/පිය ඇකයෙන් මිදී අවට ලෝකය ගවේශණය කරන්නට යෙදෙන මොහොතේ,යම් කිසි නුහුරු දෙයකට බියවන කුඩා දරුවා නැවත දිවගෙන එන්නේ ඔහුගේ ප්‍රාථමික ආරක්ෂකයා,එනම් ඔහුගේ වඩාත්ම කිට්ටු පුද්ගලයා වන ඔහුගේ මව/පියා හෝ ඔහු කුඩාකලසිට බලා කියාගත් පුද්ගලයා වෙතයි.මෙම චර්යාව හුදෙක්ම ආත්මාරක්ෂාව කේන්ද්‍රකොටගත් එකක් වන අතර,පරිණාමය විසින් ජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා සහජාසයෙන්ම උරුම කර දෙන ලද්දකි.
මෙම අත්දැකීම් හරහා කුඩා ළදරුවාගේ ලිම්බික් පද්ධතිය තුල තැබෙන සලකුනු "ලිම්බික් ඉම්ප්‍රින්ට්ස්" ලෙස හඳුන්වනු ලබන අතර,ඔහුගේ මුලු ජීවිත කාලය පුරාවටම මෙම සලකුනු සහ එ'වායේ ක්‍රියාවලීන් මැකිය හැකිවන්නේ නැහැ.
කුඩා දරුවා තම ප්‍රාථමික ආරක්ෂකයා තුල, අනාරක්ෂිතභාවයේ සහ භීතියේ විරුද්ධ පාර්ශවය වන ආරක්ෂාව,ආදරය සහ විශ්වාසනීයත්වය අත්දකියි...පෙර කී පරිදි,මේ සියල්ල මොළය තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් ජාලයක ප්‍රතිඵල වන අතර,මානව හැඟීම් වල සර්වාකාර පාලනය මෙකියන්නාවූ ජෛව රසායනිකයන් සතු වෙයි...එමතුද නොව,බිලිඳු අවදියේම මෙම ජෛවරසායනිකයන් මානව ලිම්බික් පද්ධතිය තුල නොමැකෙන සලකුනු නොහොත් "ලිම්බික් ඉම්ප්‍රින්ට්ස්" තබයි. භීතිය සහ අනතුරකින් පලායාම නමැති හැඟීම කුඩා දරුවෙකුට පරිණාමීය සහජාසයෙන් උරුමවී තිබෙන දෙයක් වන අතර,ආදරය,ආරක්ෂාව සහ විශ්වාසය යන හැඟීම් ඔහුට උරුම වන්නේ ඔහුගේ බිලිඳු අවදියේ සමාජ අත්දැකීම් තුලින් ඔහුගේ ලිම්බික් පද්ධතිය තුල තබන්නාවූ ජෛව රසායනික සලකුණු හරහායි.
මෙම ආදරය,ආරක්ෂාව සහ විශ්වාසය දනවන්නාවූ ජෛව රසායනිකය ඔක්සිටොසින් නමින් හඳුන්වනු ලබන අතර,එය ඊට අමතරව තවත් බොහෝ මානව චර්යා රටාවන් සමග බද්ධ වී තිබෙනු දැකිය හැකිවෙයි."රිලැක්සේෂන්" නමින් අප හඳුන්වන මානසික තත්වය මෙන්ම,යමෙකු වැලඳගැනීමේ ආශාව,මානව ලිංගික චර්යාවන්,සුරාන්තය සහ දරුවන් වැදීමේ සිට මව්කිරිදීමේ ක්‍රියාවලිය දක්වා වන පුළුල් පරාසයක මෙම ඔක්සිටොසින්වල ක්‍රියාකාරිත්වය පැතිර තිබේ.
මානව චර්යාවන් තුල යුගල බන්ධන ක්‍රියාවලිය පවා ඇතිවන්නේ මෙකී "ප්‍රාථමික ආරක්ෂකයා" ප්‍රතිස්ථාපනය කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස වන අතර,මානව වර්ගයා අතර සිදුවන බොහෝ සමාජයීය බැඳීම් වලට මෙම "ප්‍රාථමික ආරක්ෂකයගේ" රික්තකය බලපාන බව පෙනී යයි.
මානව දරුවා ජීවිතයේ එක්තරා දිනයකදී තම ප්‍රාථමික ආරක්ෂකයාගෙන් මිදී ස්වාධීන වෙයි,නො එසේව,"අනාරක්ෂිත" වෙයි...එසේ වුවද,ආරක්ෂාව,ආදරය සහ විශ්වාසය වෙනුවෙන් ඔහුගේ ලිම්බික් පද්ධතියේ දැනටමත් නොමැකෙන ලෙස සලකුණුවී තිබෙන ජෛව රසායනික වැඩසටහන, ඔහුගේ මුලු ජීවිත කාලය පුරාවටම ඔහුගේ හැඟීම් මත බලපැවැත්විය හැකි පරිදි රික්තකයක් ඇතිකර තිබේ!
කුඩා දරුවන් තනිව නිදා ගනිද්දී ටෙඩී බෙයාර් හෝ යම් යම් ආදේශක සෙල්ලම් බඩු උපයොගී කරගන්නා බව අප දනිමු...එය අප සමාජය විසින් සුරතලයෙන් භාරගන්නා කාරණයක් වන අතර, සමහර වැඩිහිටියන් පවා තනිව නිදා ගැනීමේදී කොට්ටයක් බදාගෙන නිදාගැනීමට පුරුදුව සිටිති...සබැවින්ම මෙය ටෙඩීගේ දිගුවක් ලෙස හැඳින්විය හැකි අතර,තවත් සමහරු තම සහකරු / සහකාරිය සිටියදී පවා කොට්ටයක් වැනි යමක් බදා ගෙන නිදා ගැනීමට පුරුදුව සිටිති...බැලූ බැල්මට යම් අයෙක් හට මෙය අස්වාභාවික ලෙස පෙනී යා හැකි නමුත්,මේ ඔවුන් අවිඥ්ඥාණිකව ඔවුන්ගේ ලිම්බික් පද්ධතිය තුල සටහන් වී ඇති තම ප්‍රාථමික ආරක්ෂකයා ප්‍රථිස්ථාපනය කර ගන්නා අන්දම බව මේ තත්වයන් විශ්ලේශණය කර බැලූ විට පෙනී යයි...මෙයින් තවත් දුර ගොස්,යම් යම් අජීවී භාන්ඩ වෙත ආරක්ෂකයාගේ කාර්යය භාරය පැටවීම මෙහි තවත් එක් "රෙෆ්ලෙක්ෂන්" එකක් වෙයි !
බල්ලන්,බළලුන් වැනි සතුන් මිනිසා සමග මෙතරම් දීර්ඝ කාලයක් දීග කන්නේ කෙසේද? ඔවුන් මිනිසාගේ ප්‍රියතම සුරතලුන් බවට පත් වන්නේ කෙසේද?ඔවුන් සහ මිනිසා අතර මෙතරම් ලෙන්ගතු කමක් හට ගන්නේ කෙසේද්?මේ සතුන් යම් දෙයකට බියවූ විට තම ස්වාමියාගෙ දෙපා මුලට දිව එන්නේ ඇයි?
බල්ලන් සහ බළලුන් යනු,මිහිපිට සිටින ඉතාමත්ම හැඟීම් බර සතුන් වෙති...ඔවුනට වඩාලාත් දියුණු ලිම්බික් පද්ධතියක් ඇති අතර,මෙය හැඟීම් සහ දීර්ඝකාලීන මතකයන් සම්බන්ධ මොලය යැයි අපි මින් පෙර කථා කලෙමු...ඔවුන් බොහෝ මානව හැඟීම් වලට ප්‍රතිචාර දැක්වීමට සමත් සතුන් වෙති...එසේම,ඔවුන් මිනිසාගේ හැඟීම් බෙදා හදා ගැනීම්ට පවා සමහරවිටෙක සමත් වෙති...තමා කුඩා කල සිට හදා වඩා ගත් ස්වාමියා තම ප්‍රාථමික ආරක්ෂකයා ලෙස සැලකීමට මෙම සතුන් පුරුදු වී සිටිති...තම ස්වාමියා,මෙම සතුන්ගේ ජීවිත කාලය පුරාවටම ඔවුන්ගේ ප්‍රාතමික ආරක්ෂකයා බවට පත් වෙයි...අනෙක් අතට,මිනිසාට තරම් තර්ක බුද්ධියක් රහිත වීම නිසාම,මිනිසුන් මිනිසුන් අතර මෙන් මතවාදීමය ගැටුම් හරහා මෙම මිත්‍රත්වය බිඳී යාමේ අවදානමක්ද නොමැත්තේය…
මව්පියන්ගෙන් මිදෙන යෞවනයින් යුගල බන්ධන සාදා ගනී...ආදරය කිරීම යනුවෙන් පොදුවේ හැඳින්වෙන මෙම ක්‍රියාවලිය තුල,මානවයා තම කුඩා කාලයේ අත් විඳිනලද තම ප්‍රාථමික ආරක්ෂකයා වෙතින් ලද්දාවූ ආරක්ෂාව පිලිබඳව වූ ජෛවරසායනික ක්‍රියාවලිය අවිඥ්ඥානිකව නැවත සොයයි...දුක් කම්කටොලු,වින්දනීය අවස්ථාවන් බෙදා හදා ගනී...වැලඳගෙන සිටී...සතුන් මෙන් නොව,නිර්මාණශීලී ලෙස ලිංගික කාර්යයේ නියලෙයි...අවාසනාවකට,බොහෝ විට යුගල බන්ධනයන් 100% සාර්ථක වනවා වෙනුවට,එ'වා එකිනෙකාව ඉවසා සිටින තත්වයක් පෙන්නුම් කරයි...මෙම කිසිදු යුගල බන්ධනයක් මානවයා තම කුඩා කල අත් වින්දාවූ "කොන්දේසි විරහිත" ආරක්ෂාව සහතික නොකරයි...නොසේනම්,එබඳු කොන්දේසි විරහිත ආරක්ෂාවක් නැවත දැනෙන්නාවූ ජෛවරසායනික උත්තේජනයන් නිකුත් නොකරයි...ප්‍රාග් එතිහාසික මානවයා විසින් ආරක්ෂාව ලෙස අපේක්ෂා කරන ලද තත්වයන් අද ජීවත් වන මානවයාගේ ආරක්ෂාව සම්බන්ඳ සංකල්පයන් හා නොසැසඳුනද,ප්‍රාග් එ'තිහාසික මානවයා තුල ළදරු අවධියේ ඇතිවුනු ආදරය,විශ්වාසය සහ ආරක්ෂාව සම්බන්ධ ලිම්බික් සලකුනුම,නූතන මානවයා හට කුඩා කාලයේදී ලැබේ...මන්ද,පරිණාමය විසින් වඩාත්ම දීර්ඝ ළමා වියක් මානවයාට දී ඇති නිසායි…
ගී්‍රක පුරාණොක්ති වලට අනුව,දෙවියන් විසින් මනුෂයා දෙපලු කර දමන ලද්දේ,ඔහුවිසින් දෙවියන් අභිබවා යාම වලකාලනු පිනිස බව සඳහන් වේ...එතැන් පටන් ඔහුට තමාගේ "නැතිවුනු අර්ධය" සොයමින් කාලය ගත කරන්නට යෙදුනු අතර,දෙවියන් හට විරුද්ධව කැරලි ගැසීමට ඔහුට කාලය ඉතිරි නොවූ බව එ'වායේ සඳහන් වේ…
මනුෂ්‍යයා යම්දිනෙක ඔහුගේ මව් පියන් අතහැර තම සහකරු/සහකාරිය වෙත යන බව ශුද්ධ බයිබලයේ සඳහන් වන අතර,එයට හේතු වශයෙන් එහි සඳහන් වෙන්නේ ස්ත්‍රිය මනුෂ්‍යයයාගේ ඉල ඇටයකින් මවන ලද නිසා බවයි…
තවත් බොහෝ පුරාණොක්තීන් මෙබඳු මානව බන්ධනයන් පිලිබඳව මේ හා සමාන දෑ පවසා සිටින බව ජනකථා සහ පුරාණොක්ති පිලිබඳව විමසිල්ලෙන් බලන විට පෙනී යනු ඇත.
එ' කෙසේ වතුදු,මෙම මානව යුගල බන්ධනයන් කිසිවක් මානවයා කුඩා කල අත්විඳින ලද්දාවූ තම "ප්‍රාථමික ආරක්ෂකයා" වෙතින් ලද්දාවූ ආරක්ෂාව සමග සැසඳිය නොහැක්කේය…
පොලොව මත ජීවිතය ඉතාමත්ම අනාරක්ෂිතය! ප්‍රාග් අයිතිහාසික යුග වල මෙම තත්වය ඉතාමත්ම බරපතල ලෙස දැනෙන්නට ඇති අතර,යමෙකුගේ ජීවිත කාලය ඉතාමත්ම කෙටි එකක් වන්නට ඇත...ප්‍රායෝගික ජීවිතය තුල අත්දුටු මෙම අනියත භාවය සහ අනෙක් අතින් ලිම්බික් පද්ධතිය තුල සලකුනුවී තිබෙන්නාවූ ආදරය්,කරුණාව,විශ්වාසය සහ ආරක්ෂාව වෙනුවෙන් හන ගසන ලද ජෛව රසායනික වැඩසටහන හේතුවෙන්ම පුරාතන මානවයා මෙම රික්තකය පුරවාගැනීමට ඉර හඳ, ගස් ගල් ආදී නොයෙක් ආකාර විශාල දේවල්,ස්වභාවධර්මයේ බලවේග ආදිය වන්දනාකරන්නටත්,එ' තුල තමන් සොයන ආරක්ෂකයා සිටිය හැකි බවටත් විශ්වාස කරන්නට පෙලඹෙන්නට ඇත.කුඩා දරුවාට තම ප්‍රාථමික ආරක්ෂකයා විශාල වන්නේ යම් සේද,වැඩුනු මානවයා සෑමවිටකම තමාට වඩා සුපිරි සහ ප්‍රමානයෙන් විශාල වස්තූන් වෙත ආකර්ශණය වන්නට පටන් ගත්තේය! අදටත්,බොහෝ ජනප්‍රිය ආගම්වලට අතිවිශාල සුරුවම්,ගොඩනැගිලි සහ තර්කාන්විත සුවිශාල සංකල්පයන් ඇත්තේ මේ නිසාවෙනි…
යම්කිසි දෙවි කෙනෙකු,ශාස්තෲ වරයෙකු හෝ යම් සුවිශාල අධ්‍යාත්මික විද්‍යා පද්ධතියක්,එසේත් නොමැතිනම් යම් දේෂපාලන දර්ශනයක් විශ්වාස කිරීමට පටන් ගන්නා තැනත්තෙකුගේ මොලය තුල,ප්‍රාථමික ආරක්ෂකයාගේ චරිතයට අදාල ජෛවරසායනික වැඩසටහන ක්‍රියාත්මක වන්නට පටන් ගනී...එ' මගින් ඔක්සිටොසින් ස්‍රාවය වීම ආරම්භවී,ඔහු හෝ ඇය ළදරු අවදියේදී අත්විඳි ආරක්ෂාව සම්බන්ධ හැඟීම ජනිත වන්නට පටන් ගනී...ස්වයං විශ්වාසය භක්තිකයා තුල ඇතිවන්නට පටන් ගනී…
යාඥ්ඥාව,වන්දනය,ඇදහිල්ල ආදී මේ සියල්ල හරහා ඔහු උපයාගන්නේ ඔහුගේ/ඇයගේ කුඩා අවදියේදී තමාගේ ලිම්බික් පද්ධතිය තුල සනිටුහන් කල ජෛවරසායනික වැඩසටහනට අදාල රසායනික තත්වයනුයි...එදිනෙදා වැඩකටයුතු වල අසරණ වන මානවයා,තම ආගමික කටයුතු වල නියැලී තම "ආත්මීය" ආරක්ෂාව තහවුරු කර ගනී...තම ඔයිටොසින් මට්ටම ඉහල දමා ගැනීම හරහා,තම ස්වයං විශ්වාසය තහවුරු කර ගනී...තම මලගිය ඥාතීන්ගේ භූතාත්ම වෙත පිදවිලි තබා,තම දඩයම් පිලිබඳව විශ්වාසය තහවුරු කර ගන්නා ප්‍රාථමික සමාජයක ගෝත්‍රිකයා මෙන්ම,සුවිශාල පිලිම වන්දනා කරන වඩා දියුණු ආගමක භක්තිකයාත්,විශාල ගංගාවක තම පාපයන් සෝදාහරින භක්තිකයාත්,ගින්න ශුද්ධවූ වස්තුවකැයි සලකා ගින්න සමග යාඥ්ඥා කරන භක්තිකයාත්,දිනකට පස්වතාවක් තම දෙවියන ් නමදින භක්තිකයාත් විවිධ ආකාරවලින් තම "ආත්මීය අනාරක්ෂිත භාවය",එනම් තම කුඩා අවදියේ "ප්‍රාථමික ආරක්ශකයා" වෙතින් ලද්දාවූ ආරක්ෂාව,නො එසේනම් එ' හරහා ලද්දාවූ "ලිම්බික් ඉම්ප්‍රින්ටයක්" ලෙස සටහන්වූ ජෛවරසායනික වැඩසටහන නැවත "ක්ලේම්" කරනු ලබයි...නො එසේනම් තම “”ආත්මය සංතෘප්ත කරගනු ලබයි...ආත්මීය සුරක්ෂාව තහවුරු කර ගනු ලබයි…
මේ වනාහී අද පවතින ආගම් වල පදනමයි.
තම පෞද්ගලික "ආත්මය" සංතෘප්ත කර ගැනීමට අමතරව වඩා දියුණු ආගම් විසින් වඩාලාත් සංවිධිත පැකේජයන් තම සමාජයනට ඉදිරිපත් කොට තිබේ...එ අනුව,යම් සංවිධිත ආගමක් මූලික කොටස් තුනකින් යුක්ත වේ...එනම්,වඩාත් නොදියුණු මනසක් සහිත භක්තිකයා වෙනුවෙන් අභිචාරයනුත්,පොදු සමාජයීය සත්වයන් වෙනුවෙන් සදාචාර ධර්ම පද්ධතියකුත් එනම් හොඳ සහ නරක පිලිබඳ නිර්ණයකුත්,තම ආගම මරණින් මතු ජීවිතය විග්‍රහ කරන්නේ කෙසේද යන්නට අධ්‍යාත්මික විද්‍යාවකුත් යනාදී වශයෙනි...මෙයින් වඩාලාත් ඔබ්බට ගොස් තිබෙන ඉස්ලාමය,මේ තුනට අමතරව නීතිය,ආර්ථිකය සහ දෙශපාලනයද තම පැකේජයට එක්කොට තිබෙන අයුරු අපූරුය...
මරණින් මතු ජීවිතයක් විශ්වාස කරන්නාවූ ලෝකයේ ඕනෑම ආගමකට අයත් භක්තිකයෙකුගෙන් ඔහුට/ඇයට ආගමක අවශ්‍යතාවය දැනෙන්නේ කෙසේදැයි අසුවහොත්,තමා තුලින්,තම ආත්මය තුලින් එය ඉල්ලාසිටින්නේයැයි පවසා සිටිනු ඇත.නො එසේනම්,අප දෙවියන් වහන්සෙගේ මැවීමක් වන නිසාම,අප ආත්මය විසින් දෙවියන් වහන්සේව පෙරලා ඉල්ලා සිටිනබවක් ප්‍රකාශ කර සිටිනු ඇත.තවත් වඩාත් තාර්කික බැතිමතෙක් විසින් මෙසේ පවසා සිටිනු ඇත.
"අප විසින් අපට වඩා විශාල යමක් විශ්වාස කිරීම,අපට මෙලොව ජීවත් වීම පහසු කරවනු ලැබ ඇත්තේය"
යම් කිසි දෙයක් විශ්වාස කිරීමට මානවයා නිතැතින්ම පොළඹවන,මානව මොළයේ ලිම්බික් පද්ධතිය තුළ කාවැදී ඇත්තාවූ මෙම ප්‍රාථමික ආරක්ෂකයා සඳහාවූ ජෛව රසායනික වැඩසටහන හෙවත් "ආරක්ෂාව සඳහා වූ රික්තකය" බිලියන 7.00 ක් වන ලෝක වාසීන්ගෙන් බිලියන 6.00 ක්ම විසින් ආත්මය ලෙස නම්කරනු ලබති...මේ "ආත්මීය අනාරක්ෂිතභාවය" සුරක්ෂා කරගැනීමට ඔවුන් විසින් ආගම් භාවිත කරනු ලබන අතර,මෙම ආගම් විසින් ඔවුනට මෙලොව ආරක්ෂාකාරී ජීවිතයකුත්,මරණින් මතු ජීවිතයක් / විමුක්තියක් පරිත්‍යාගකොට ඇත්තේය...එ' අතරම, නීතියට සීමාසහිතව පමණක් හික්මවිය හැකි, පැවැත්ම සඳහා පරිණාමය විසින් මානවයාගේ ආදී කල්පික මොළය තුල සටහන් තැබී ඇත්තාවූ කුරිරුකම් යටපත් කිරීම සඳහා "සෝෂල් කොන්ට්‍රෝලයක්" ලෙස ආගම විසින් කර ඇත්තාවූ සම්මාදම සුලුකොට තැකිය නොහැක්කේමය...අනෙක් අතට ඉතිහාසය පුරා මෙම ආගම් විසින්ම, තම තමන්ගේ ආගමික ආයතනවල සහ තමතමන්ගේ පෞද්ගලික විමුක්තිය පතාම එකී සහජාසමය මානව කුරිරුකම් උපගීයෝගී කොටගෙන,අවශේෂ ආගම්වල භක්තිකයන් වෙත නිදහස් කර හරින ලද්දාවූ කුරිරුකම්ද අමතක කළ නොහැක්කේමය!
@ සුමුදු ගුරුගේ
(What is soul? Where does it exist? කෘතියේ අවසාන පරිච්ඡේදයේ සිංහල පරිවර්ථනය)
againstgreatdissorder.blogspot.com