අදින් හරියටම වසර 30කට පෙර සිදුවූ සෝවියට් දේශය බිඳ වැටීමේ කතාව
හරියටම මීට අවුරුදු තිහකට කළින් අද වැනි දවසක හිමිදිරි පාන්දර මොස්කව් නුවර තිබුණේ වැහිබර කාළගුණයක්. සරත් සෘතුව නිසා ඒ තරම් දැඩි සීතලක් නොතිබුණත් උණුසුමක්නම් තිබුණේම නැහැ. ඒත් මොස්කව් නුවර උණුසුම් කරමින් යම් අමුතු දෙයක් සිදුවෙමින් තිබුණා. සෝවියට් රතු හමුදාවේ යුද ටැංකි රතු චතුරස්‍රයට නුදුරින් එක පෙළට කොහේට හෝ ගමන් කරමින් තිබුණා. දුම් දමන කෝපි පානය කරමින් නගරයේ අවන්හලක සිටි පිරිසක් රේඩියෝවට සවන් දී ගෙන සිටියේ කුමක් හෝ උණුසුම් පුවතක් අපේක්ෂාවෙනුයි.
හරියටම උදෑසන 6.06 ට සෝවියට් ටාස් පුවත් සේවය කිසිවෙකු බලාපොරොත්තු නොවූ නිවේදනයක් නිකුත් කළා. සෝවියට් සංගමයේ ජනාධිපති මිහායෙල් ගොර්බචොව් සහෝදරයාව සෞඛ්‍ය හේතු මත තනතුරෙන් ඉවත් කළ බවත් සෝවියට් සංගමයේ පාලන බලය හදිසි අවස්ථා කමිටුවට පවරා ඇති බවත් එයින් කියැවුණා. වැඩබලන ජනාධිපති තනතුර උප ජනාධිපති ග්‍රෙනඩි යනායෙව් සහෝදරයා වෙත පවරා ඇති බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් කියැවුණා.
1991 අගෝස්තු 19 තමයි ලෝකයෙන් භාගයකට වඩා ව්‍යාප්තව තිබූ රතු අධිරාජ්‍යයේ කේන්ද්‍රය වූ සෝවියට් දේශය නම් රාජ්‍යය කඩා වැටීමේ තීරණාත්මක දිනය. 1917 දී ව්ලැදිමීර් උල්යානච් ලෙනින්ගේ නායකත්වයෙන් බිහිවූ මේ මහා දේශය ඉන් පසුව ලොව පුරා රැල්ලක් මෙන් පැතිරී ගිය සමාජවාදී දේශපාලන මාදිලියට ජීවය සැපයූවා. වසර 74 ක කාලයක් පුරා ගෝලීය දේශපාලනයේ එක් බල කේන්ද්‍රයක් නියෝජනය කළ සෝවියට් දේශය 1991 දී විසිරුවා හැරියේ සීතල යුද්ධයේ ජයග්‍රහණය ඇමෙරිකා එක්සත් ජනපදයට ලබා දෙමිනුයි.
න්‍යායාත්මක මාක්ස්වාදය මහපොළොවේ යතාර්ථයක් බවට පත්කළ සෝවියට් දේශයේ බිඳ වැටීමට හේතු කවරේදැයි විවිධ පාර්ශව විවිධ අයුරින් අර්ථකතනය කරනවා. ඒ පිළිබඳව විවාදය තවමත් නිමා වී නැහැ. බොහෝ සම්ප්‍රදායික මාක්ස්වාදීන් සියළු චෝදනා ගොර්බචොව් මහතාගේ ගිණුමට බැර කරන්නේ සෝවියට් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු විසින් ගන්නා ලද උත්සාහය සෝවියට් ශෝකාන්තයට හේතු වූ බව පවසමින්. බැලූ බැල්මට එසේ පෙනුනත් සෝවියට් දේශය නම් යකඩ තිරය ඇතුළතින් ඉරිතලා යමින් තිබුණේ ඊට දශකයකට පමණ පෙර සිට බව පෙනෙන්නට තිබෙනවා.
එක දිගට සිදුවූ දේශපාලන කඩා වැටීම් යම් තරමකට සමනය කළ ගොර්බචොව් මහතා අගෝස්තු මාසයේ මුල් සතියේ දිනයක විවේක ගැනීම සඳහා ක්‍රිමියාව බලා පිටත්ව ගියා. කොහොමත් ඒ වන විටත් යුරෝපයේ කොමියුනිස්ට් යුද දේශපාලනික සංධානය බිඳ වැටී අවසන්ව තිබුණා. වෝර්සෝ සංවිධානයට අයත් චෙකොස්ලෝවැකියාව, පෝලන්තය, රුමේනියාව, බල්ගේරියාවේ ආදී කොමියුනිස්ට් ආණ්ඩු සියල්ල බිඳ වැටී තිබුණා. බර්ලින් තාප්පය බිඳ දමා නැගෙනහිර හා බටහිර ජර්මානු රාජ්‍යයන් දෙක එකතු වී තනි ජර්මානු රාජ්‍යයක් නිර්මාණය වී තිබුණා. ඉන් පසුව කොමියුනිස්ට් බල කේන්ද්‍රයේ ආධිපත්‍යය ගොනු වී තිබුණේ සමූහාණ්ඩු 15කින් සමන්විත සෝවියට් සංගමය වටා පමණයි.
1990 මැයි මාසයේ දී සෝවියට් දේශයේ ප්‍රධානතම හා විශාලතම සමූහාණ්ඩුව වූ රුසියානු ෆෙඩරේෂනයේ ජනාධිපති වශයෙන් බොරිස් යෙල්ට්සින් පත්වුණා. කළින් මොස්කව්හි නගරාධිපති ලෙස කටයුතු කළ ඔහු උග්‍ර කොමියුනිස්ට් විරෝධියෙක්. යෙල්ට්සින් බලයට පැමිණි වහාම රුසියානු සමූහාණ්ඩුව නිදහස් රාජ්‍යයක් බව ප්‍රකාශයට පත්කළා. ඒත් එක්කම අනිකුත් සමූහාණ්ඩු වල නායකයනුත් යෙල්ට්සින්ව අනුගමනය කරන්නට වුණා. රතු යකඩ තිරය වේගයෙන් ඉරිතලා යමින් තිබුණා. මුලින්ම බෝල්ටික් සමූහාණ්ඩුවක් වූ ලිතුවේනියාව ස්වාධීනත්වය ප්‍රකාශ කළා. ඉන් පසුව ලැට්වියාව, එස්තෝනියාව යන ඉතිරි බෝල්ටික් සමූහාණ්ඩුත් ස්වාධීන වුණා. නිදහසේ රැල්ල තවතවත් ව්‍යාප්ත වුණා. අසර්බයිජානය, මෝල්දාවියාව, යුක්රේනය, බෙලොරුසියාව, කසාක්ස්තානය ආදී අනෙකුත් සමූහාණ්ඩු ද එකා පසු පස එකා වශයෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කළා.
කෙසේ නමුත් සෝවියට් ආයතන පද්ධතිය තවදුරටත් තිබුණේ සෝවියට් සංගමය සතුව. විශේෂයෙන්ම බලවත් රතු හමුදාවට තවදුරටත් අණදුන්නේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂ නායකත්වය විසිනුයි. සෝවියට් සංගමය අර්බුදයකට පත්ව ඇති නිසා නව සමූහාණ්ඩු සංගමයක් ආරම්භ කිරීමට සමූහාණ්ඩු නවයක නායකයන් 1991 ජූනි මාසයේදී ගොර්බචොව් මහතා සමඟ එකඟ වී තිබුණා. ඒත් සම්ප්‍රදායික සෝවියට් බලධාරීන් ඊට කිසිසේත්ම එකඟ වුණේ නැහැ. එසේ දැඩි ප්‍රතිවිරෝධතා මධ්‍යයේ වුණත් අගෝස්තු 20දා නව සමූහාණ්ඩු සංගමයේ ගිවිසුම අස්සන් කිරීමට නියමිතව තිබුණා. ඒ සියළු කටයුතු සංවිධානය කිරීමෙන් පසුව තමයි ගොර්බචොව් මහතා ක්‍රිමියාව බලා පිටත්ව ගොස් තිබුණේ.
1917 බෝල්ෂෙවික් විප්ලවයෙන් පසුව ගොඩනැඟුණු සෝවියට් දේශයේ අවසාන පාලකයා තමයි ගොර්බචොව්. විප්ලවයට නායකත්වය ලබා දුන් වී.අයි.ලෙනින් 1924 දී මියගියා. ඔහු සෝවියට් දෙශය පාලනය කළේ සිව් වසරක් පමණයි. ඉන් පසුව බලයට පත්වූ ජෝසෆ් ස්ටාලින්ගේ පාලනය යටතේ ළදරු සමාජවාදී රාජ්‍යය ඒකාධිපති, ආඥාදායක අධිරාජ්‍යයක් බවට පරිවර්තනය වුණා. දෙවන ලෝක යුද්ධයේදී ලැබූ ජයග්‍රහණයත් සමඟ සුපිරි බලවත් රාජ්‍යයක තත්ත්වයට පත් වූ සෝවියට් දේශය යුද ශක්තිය අතින් දක්ෂිණාංශික සුපිරි බලවතා වූ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කරට කර සටනකට අවතීර්ණ වුණා. ස්ටාලින්ගේ දශක තුනක පාලනය නිමා වූයේ 1953 වසරේදී සිදුවූ ඔහුගේ මරණයත් සමඟයි.
ඉකිබිති ස්ටාලින්ගේ අනුගාමිකයෙකු වූ ජෝර්ජි මෙලන්කෝව් සෝවියට් නායකයා බවට පත්වුවත් ඔහුගේ පාලනය මාස අටකටත් අඩු කාලයකින් නිමාවට පත්වුණා. කොමියුනිස්ට් පක්ෂයේ බලය අල්ලාගත් නිකිතා කෘෂෙෆ් සෝවියට් සංගමයේ පාලනය සියතට ගත්තා. ස්ටාලින් යුගයේ සිරගත කරන ලද දේශපාලන සිරකරුවන් නිදහස් කළ කෘෂෙෆ් වඩාත් මධ්‍යස්ථ හා විමධ්‍යගත කොමියුනිස්ට් පාලනයක් ගෙන ගියා. සෝවියට් දේශය අභ්‍යවකාශයට අවතීර්ණ වූයේ ද කෘෂෙෆ් යුගයේදී. එකොළොස් වසරක කෘෂෙෆ් පාලනය නිමාවට පත්වූයේ ලියොනොඩ් බ්‍රෙෂ්නෙව් ඔහුගේ අනුප්‍රාප්තිකයා බවට පත්කරමින්. ස්ටාලින්ට පසුව වැඩිම කලක් සෝවියට් සංගමය පාලනය කළේ බ්‍රෙෂ්නෙව්. ස්ටාලින් තරමටම නොවුනත් බලය තමා වටා ඒකරාශී කරගැනීමට බ්‍රෙෂ්නෙව් කටයුතු කළේ සෙසු පක්ෂ සාමාජිකයන්ගේ බලතල ද සීමා කරමින්.
බ්‍රෙෂ්නෙව්ගේ දීර්ඝ පාලන කාලය සෝවියට් සංගමය ආර්ථික, සමාජීය හා දේශපාලන අංශයන්ගෙන් එකතැන පල් වූ යුගයක් වූ බවයි මධ්‍යස්ථ විචාරකයන්ගේ මතය. අභිමානවත් ලෝක බලවතකු ලෙස නැඟී සිටියත් සෝවියට් ක්‍රමය ඉරිතලා යෑම ආරම්භ වූයේ මේ කාලයේ බව කිව හැකියි. ඒ වන විට ලෝක සිතියමෙන් භාගයකට වඩා වසාගත් සමූහාණ්ඩු 15 ක දැවැන්ත රාජ්‍යයක් ලෙස ගොඩ නැඟී තිබුණු සෝවියට් සංගමය ලෝකයේ වාමාංශික රාජ්‍ය පද්ධතියේ උත්තරීතර අණදෙන්නා බවට පත්ව සිටියා. දරාගත නොහැකි තරම් වපසරියක පාලනයක් මොස්කව් කේන්ද්‍රීයව සිදුකරගෙන යෑම අනෙකුත් සමූහාණ්ඩු වල නායකයන්ගේ නොමනාපයට හේතු වී තිබුණා.
වර්ෂ 1982 දී බ්‍රෙෂ්නෙව් මරණයට පත් වුණා. ඉන්පසුව සෝවියට් සංගමයේ නායකත්වයට පත්වූ යුරී අන්ද්‍රපෝව් ද වසර දෙකකින් මරණයට පත් වුණා. 1984 දී අන්ද්‍රපෝව්ගේ අනුප්‍රාප්තිකයා බවට පත් වූ කොන්ස්තන්තීන් චෙර්නෙන්කෝට වසරක්වත් බලයේ සිටීමට වාසනාව ලැබුණේ නැහැ. ඔහුත් මියගියා. වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ සෝවියට් නායකයන් තුන් දෙනෙකුම මියයෑම නිසා කොමියුනිස්ට් පක්ෂය සිය ක්‍රමෝපාය වෙනස් කළා. වයොවෘද්ධ නායකයන් වෙනුවට වඩාත් තරුණ නායකයෙකු පත්කර ගැනීමට පොලිට් බියුරෝවට අවශ්‍ය වුණේ ඒ නිසයි. ඒ අනුව 1985 දී මිහායෙල් ගොර්බචොව් සෝවියට් දේශයේ උත්තරීතර නායකයා බවට පත්වුණා.
1985 දී ගොර්බචොව් මහතා බලයට පත්වන විට සෝවියට් දේශය නිලධාරිවාදය, එක තැන පල්වන ආර්ථිකය හා අකාර්යක්ෂමක නිපැයුම් නිසා අර්බුදයට පත්ව තිබුණා. මේ සඳහා ගොර්බචොව්ගේ විසඳුම් වූයේ, වඩාත් නිදහස් ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දීමයි. පසුකාලීනව දේශපාලන ශබ්දකෝෂයට එකතු වූ පෙරෙස්ත්‍රොයිකා හා ග්ලාස්නොස්ට් යනු මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාන්විතයන්ට ලබා දී තිබූ නාමයන්.
පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් වැඩපිළිවෙළ පිළිබඳව ගොර්බචොව් මහතා විසින් මුලින්ම හෙළි කළේ 1985 ලෙනින්ග්‍රෑඩ් නගරයේදී සිදුකළ ප්‍රකාශයකින්. මේ හදිසි ප්‍රකාශයත් සමඟ එවකට ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් පවා කළබල වුණා. එදිනම ධවල මන්දිරයේ හදිසි සාකච්ඡාවක් කැඳවූ ජනාධිපතිවරයා මේ පිළිබඳව තමාට වාර්තා කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නා. ක්‍රෙම්ලිනයේ තම ප්‍රබල පසමිතුරා අල්ලන්නට හදන අඩව්ව ගැන නිවැරදි අදහසක් නොතිබුණු ධවල මන්දිර නිලධාරීන්ට පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් යන වචන වල තේරුම සොයා ගැනීමට රුසියානු ශබ්දකෝෂ සොයා දිව යෑමට පවා සිදුව තිබුණා.
ඔහු පෙරෙස්ත්‍රොයිකාව ලෙනින්ගේ නව ආර්ථික වැඩපිළිවෙළට නව පණ දීමක් ලෙස තමයි හඳුන්වූවේ. එහෙත් මෙම ක‍්‍රියාමාර්ගවලින් විශේෂයෙන් ග්ලාස්ට්නොට්ස් හේතුවෙන් සෝවියට් රාජ්‍ය බලය දුර්වල වුණා. සමාජවාදය ගොඩනගමින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අංගයක් වූ නිර්ධන පංති රාජ්‍ය බලය දුර්වලවීම බාහිර මෙන්ම අභ්‍යන්තර සතුරන්ට වාසිදායක වුණා. සමාජවාදය බිඳ වැටෙද්දී සෝවියට් රතු හමුදාව අකී‍්‍රයව සිටීමද මීට සාක්ෂි සපයනවා. ප‍්‍රමාණාත්මකව පිරිහෙමින් තිබුණු සෝවියට් දේශය, ගුණාත්මක බිඳවැටීමක් බවට පත් කිරීමට ගොර්බචෝෆ්ගේ ප‍්‍රතිසංස්කරණ හේතු වූ බව පැහැදිලියි.
දැන් නැවතත් අගෝස්තු 19 දා කළින් කී මොස්කව් අවන්හලට ගොඩවැදෙමු. මිනිස්සු තුෂ්ණිම්භූතව රූපවාහිනිය අසළ රොක් වී සිටියා. ඒ වන විට ලොව හිටපු බලවත්ම මිනිසුන් දෙදෙනාගෙන් එක් අයෙක් තමයි මිහායෙල් ගොර්බචොව් කියන්නේ. අනිත් පුද්ගලයා ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්.
හමුදා භටයින් හාරදහසක්, යුද ටැංකි 350 ක් සහ සන්නද්ධ රථ 300 ක් අගනුවරට පැමිණ තිබුණා. පීස්කෝව් හි කර්මාන්තශාලාවකින් මාංචු යුගල 250,000 ක් ඇණවුම් කර තිබුණු බවත් පසුව වාර්තා වුණා. ඕනෑම මොහොතක නව ආණ්ඩුවට විරුද්ධ වන ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වන සේ හිස් ආකෘති පත්‍ර දහස් ගණනක් මුද්‍රණය කර තිබුණා. අලුතින් පාලන බලය ලබාගත් හදිසි අවස්ථා කමිටුව මහජන රැස්වීම්, පෙළපාළි හා වැඩ වර්ජන ආදිය මාස හතරකට තහනම් කරමින් නිවේදනයක් ද නිකුත් කළා.
සෝවියට් සංගමයේ බලය ඇල්ලූ කුමන්ත්‍රණ කණ්ඩායම අට දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන් සියළු දෙනා ගොර්බචොව් විසින් පත් කළ හදිසි අවස්ථා කමිටුවේ සාමාජිකයන්. අගමැති වැලන්ටීන් පවුලෝව්, අභ්‍යන්තර කටයුතු ඇමති බොරිස් පූගෝ, ආරක්ෂක ඇමති හා සෝවියට් සංගමයේ මාෂල් දිමිත්‍රි යාදොව්, කේජීබී සංවිධානයේ සභාපති ව්ලැදිමීර් කෘච්කෝව් ආදී සෝවියට් පාලනයේ ප්‍රබලයින් මෙම අටදෙනාගේ කල්ලියට ඇතුළත්ව සිටියා. නව පාලනයේ නායකයා ලෙස බාහිරට පේන්න සිටියේ ග්‍රෙනඩි යනායෙව් වුණත් ඇත්තටම තිරය පිටුපස සිට මෙය මෙහෙයවන ලද්දේ කේජීබී නායකයා බවයි පැවසෙන්නේ.
අටදෙනාගේ කල්ලිය සූදානම්ව සිටියේ තමන් සතුව දැවැන්ත බලයක් ඇති බව පෙන්නුම් කිරීමටයි. ඔවුන්ට උවමනා වුණේ ඉක්මන් ජයග්‍රහණයක්. නමුත් ඒ වන විට ගොර්බචොව් මහතාගේ ප්‍රතිසංස්කරණ වල ආදීනව සෝවියට් සමාජය විසින් ඩැහැගෙන තිබුණා. පැරණි නිලධාරිවාදී, ඒකාධිපති ස්වරූපයේ රාජ්‍යයක් තවදුරටත් රට තුළ දක්නට ලැබුණේ නැහැ.
“හමුදා නීතියෙන් කොමියුනිස්ට් ක්‍රමය රකින්න බැහැ” කියමින් තරුණයන් බෙරිහන් දුන්නා. සොල්දාදුවන් නගර වල ස්ථානගත වීමත් සමඟ නිදහස් මතධාරීන් රටහැර යන්නට සූදානම් වුණා. ඉදිරිය ගැන අවිනිශ්චිත වූ නිසා මිනිස්සු බඩුමුට්ටු එකතු කරන්නට වුණා. බේකරි වල පාන් පෝලම් හැදුණා.
අට දෙනාගේ කල්ලිය තමන්ගේ ජයග්‍රහණය ගැන සිටියේ අධිතක්සේරුවක. ඒ නිසාම අවධානය යොමුකළ යුතුම බාධක ඔවුන්ගෙන් ගිලිහීගොස් තිබුණා. ඒ වන විට මොස්කව් බලයේ තීරණාත්මක සාධකය ගොර්බචොව් නොවන බව ඔවුන් තේරුම් ගෙන සිටියේ නැහැ. ඒ නිසාම ඔවුන්ට බොරිස් යෙල්ට්සින්ව අමතක වුණා. ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුවුණේ නැහැ. ඇත්තටම ඒ වන විට මොස්කව්හි කොමියුනිස්ට් බලයේ ප්‍රධානතම සතුරා බවට පත්ව සිටියේ යෙල්ට්සින්. නව ප්‍රතිසංස්කරණ තුළින් පන්නරය ලබාගනිමින් සිටි ජනතාවක් අතර යෙල්ට්සින්ට කළ හැකි භූමිකාව ගැන සම්ප්‍රදායික කොමියුනිස්ට් නායකයන් අවතක්සේරුවකින් සිටි බවයි පෙනෙන්නේ. ඔවුන් ලිබරල්වාදී බේබද්දෙකුට වැඩි යමෙක් යෙල්ට්සින්ගෙන් දැක්කේ නැහැ.
කුමන්ත්‍රණයේ නායකයන් ඒ වන විට රැඳී සිටියේ මොස්කව් හි ධවල මන්දිරය තුළ. ධවල මන්දිරය යනු සෝවියට් රජයේ මූලස්ථානයයි. යෙල්ට්සින් මොස්කව්හි ධවල මන්දිරය ඉදිරිපිටට පැමිණීමත් සමඟ දහස් ගණන් ජනතාව ඒ වෙතට රොක්වන්නට වුණා. ඔහු යුද ටැංකියක් මතට නැඟ කුමන්ත්‍රණය හෙළා දකිමින් වේගවත් කථාවක් පැවැත්වූවා. සැබැවින්ම එය ලෝක ඉතිහාසය වෙනස් කළ මොහොතක්. තමන් කිසිලෙසකින් පසුබැසීමට සූදානම් නැති බව ඔහු ධෛර්යමත්ව පෙන්නුම් කළා. උද්යෝගිමත් වූ ප්‍රතිසංස්කරණවාදීන් වීදි වලට බැස්සා. ඔවුන් හමුදා සෙබළුන්ගෙන් ඉල්ලා සිටියේ කුමන්ත්‍රණයට දායක නොවන ලෙසයි. බොහෝ හමුදා සෙබළුන්ට තමන් කාගේ අණ පිළිපදින්නේදැයි සැකයක් තිබූ බව පෙනී ගියා. කුමන්ත්‍රණය ආපසු හැරවෙන බවක් තමයි පෙනෙන්නට තිබුණේ.
කුමන්ත්‍රණයේ පළමු දිනය ගෙවී යත්ම, වීදි විරෝධතා තවතවත් වර්ධනය වුණා. රෑ බෝ වන විට සිවිල් වැසියන් 15000 ක් පමණ වූ ජනකායක් විසින් ධවල මන්දිරය වට කර තිබුණා. තවත් පැය විසිහතරකට පසු එය 100,000 ක් පමණ දක්වා වැඩි වුණා. සන්නද්ධ හමුදා විසින් ගොඩනැගිල්ල ආරක්ෂා කළා. කැරළි මර්ධන බලකාය කැඳවා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් රැස් වී සිටි මහා ජනකාය විසිරුවා හැරීමට තමයි කුමන්ත්‍රණයේ නායකයන්ගේ අදහස වී තිබුණේ. ඉන් පසුව කළ යුතු දේ පිළිබඳව ඇල්ෆා ඒකකය නම් සන්නද්ධ බලකායට නියෝග දී තිබුණා. ඇල්ෆා යනු කේජීබී සංවිධානයට අයත් ප්‍රභූ සන්නද්ධ ඒකකයයි. මෙම මෙහෙයුමට නායකත්වය සැපයුවේ ඇලෙක්සැන්ඩර් ඩෙබෙට් නම් රතු හමුදාවේ ජනරාල් වරයෙක්. නව සෝවියට් නායකත්වයට අවනත නොවුණ හොත් විශාල ලේ වැගිරීමක් සිදුවනු ඇති බවට ඔහු මාධ්‍ය හමුවේ අනතුරු අඟවා සිටියා. ජනතාව පළවා හැර යෙල්ට්සින් ඇතුළු රුසියානු සමූහාණ්ඩුවේ නායකයන් සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට සැළසුම් සකස් වුණා.
මේ අතර, යෙල්ට්සින්ගේ රුසියානු ආණ්ඩුවේ නායකයනුත් නිකම් හිටියේ නැහැ. ඔවුන් සෝවියට් හමුදා නිලධාරීන්ගේ දුරකථනවලට කතා කරමින් තමන් හා එක්වන ලෙස ඉල්ලා සිටියා. යෙල්ට්සින්ගේ ආධාරකරුවන් මොස්කව් වීදිවල ස්ථාපිතකර තිබූ හමුදා මුරපොළවල් වලට ගොස් කරුණු පහදා දුන්නා. පැති මාරු කිරීමට සෙබළුන් පොළඹවා ගැනීමට උත්සාහ කළා. යෙල්ට්සින්ගේ ආධාර කරුවන් වුණේ කොමියුනිස්ට් ප්‍රතිසංස්කරණවාදීන්. ඒ අතර දැඩි මතධාරී සම්ප්‍රදායික කොමියුනිස්ට්වරුන් අටදෙනාගේ කල්ලියට සහාය දැක්වූවා.
කෙසේ නමුත් ධවල මන්දිරය ඉදිරිපිට ජන ගංගාව තවතවත් විශාල වෙමින් තිබුණා. සෝවියට් සංගමය ඇල්ලීම කෙසේ වෙතත් තමන්ගේ ආරක්ෂාව බලාගැනීම උචිත බව කුමන්ත්‍රණ කරුවන්ට ඒත්තු යමින් තිබුණා. ඒ නිසා කිසිවකුට මන්දිරය තුළට ඇතුළු වීමට නොහැකි ලෙසට බලමුළු තරකරන්නට ඔවුන්ට සිදුවුණා.
ධවල මන්දිරය තවත් පැය භාගයකට වඩා අල්ලාගෙන සිටිය නොහැකි බව ඇල්ෆා ඒකකයට පවා වැටහී තිබුණා. තවත් මොහොතකින් 1989 දී චීනයේ ටියානන්මෙන් චතුරශ්‍රයේදී මෙන් දහස් ගණනක් මිය යෑමට ඉඩ තිබෙන බව කුමන්ත්‍රණයට සහාය දැක්වූ හමුදා නායකයන්ට පමණක් නොව යනායෙව් ඇතුළු අට දෙනාගේ කල්ලියටත් ඒත්තු ගොස් තිබුණා. තමන්ට සහාය දැක්වූ තම සහායකයින් යෙල්ට්සින්ගේ පැත්තට හේත්තු වී ඇති බවත් අටදෙනාගේ කල්ලිය තේරුම් ගත්තා. ධවල මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නායකයන් තමන්ට ජනතාව මරා දැමීමට නොහැකි බව හමුදාපති වරුන්ට වාර්තා කර සිටියා. සෝවියට් ඉතිහාසයේ පළමු වරට හමුදා බ්‍රිගේඩයක් විසින් ඉහළ නියෝග ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබුණා. හමුදා කණ්ඩායම් අතර නිසි සම්බන්ධීකරණයක් තිබුණේත් නැහැ. හැමෝම අනිකා කරන්නේ කුමක්දැයි බලාගෙන සිටියා මිසක් හමුදා ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වුණේ නැහැ. අවසානයේ කේජීබී ඇල්ෆා බලකායත් ඉහළ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළා.
අටදෙනාගේ කල්ලියට වුවමනාව තිබුණේ විශාල ලේ වැගිරීමකින් තොරව නැවතත් සෝවියට් සංගමයේ බලය ස්ථාපිත කිරීමයි. මුල් අවස්ථාවේ සිටම දැඩි ආත්ම විස්වාසයකින් කටයුතු කිරීමට ඔවුන්ට නොහැකිව තිබුණා. ගොර්බචොව් මහතා බලයෙන් පහකළ බව පැවසීමට සංවිධානය කළ මාධ්‍ය හමුවේදී වුවත් යනායෙව් මහතා වෙව්ලමින් සිටි බව පෙනීගියා. තමන්ගේ අරමුණු පිළිබඳ අවිනිශ්චිතභාවයකින් හා දැඩි බියකින් ඔහු පසු වූ බවයි පැවසෙන්නේ. වගකීම් භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. කුමන්ත්‍රණයේ ඇත්ත නායකයා වූ කේජීබී ප්‍රධානියා ඉදිරියට පැමිණියේත් නැහැ.
අවසානයේ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි හමුදා ජනරාල් වරයා කුමන්ත්‍රණයේ කොටස් කරුවකු වූ ආරක්ෂක ඇමති දිමිත්‍රි යාදොව් ඇමතුවා. තමන්ගේ සෙබළුන් තාවකාලික සෝවියට් පාලනයේ අණ ප්‍රතික්ෂේප කරන බව ඔහු වාර්තාකළා. ආරක්ෂක ඇමතිවරයා එය කේජීබී ප්‍රධානියාට දන්වා සිටියා.
“එහෙනම් මේක අල්ලලා දාමු.” බලාපොරෝත්තු සුන් වූ කුමන්ත්‍රණයේ නායකයා අවසානයේ තම සගයන්ට පවසා සිටියා.
මේ අතර ජනාධිපති ගොර්බචොව් මහතාව ඉවත් කිරීමට හදිසි අවස්ථා කමිටුව විසින් ගත් තීරණය නීති විරෝධී බවත්, කමිටුවේ සියළු නියෝග අවලංගු කරන බවත් උත්තරීතර සෝවියට් සභාව විසින් අගෝස්තු 21 දා ප්‍රකාශයට පත්කළා. වැඩබලන ජනාධිපති යනායෙව් විසින්ම එම කමිටුව විසිරුවා හැරියා.
අගෝස්තු 22 දා විශේෂිත ගුවන් යානයකින් ගොර්බචොව් මහතා මොස්කව් වෙත පැමිණුනා. නමුත් ඒ වන විට ඔහු සෝවියට් දේශයේ පාලකයා වුණේ සංකේතාත්මකව පමණයි. සියල්ල කළ පිට ගැසී තිබුණා. ගොර්බචොව්ට තවදුරටත් කරන්නට යමක් ඉතිරි වී තිබුණේ නැහැ. ඔහුගේ නියෝග පිළිපදින්නට කෙනෙකු සිටියේ නැහැ. ඔහුට ඉතිරිව තිබුණේ යෙල්ට්සින්ගේ පදයට නැටීම පමණයි. යෙල්ට්සින් ජනතාව අතර වීරයෙකු වී සිටියා. තව දුරටත් සෝවියට් දේශයක් පැවතීම නිශ්ඵල බව සෑම පැත්තකින්ම පෙනීගියා. සෝවියට් සංගමයේ සම්පූර්ණ බලය බොරිස් යෙල්ටිසින් විසින් ඩැහැගෙන තිබුණා.
යනායෙව් ඇතුළු අටදෙනාගේ කල්ලිය අත්අඩංගුවට පත්වුණා. අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර අභ්‍යන්තර කටයුතු ඇමති බොරිස් පූගෝ වෙඩිතබා ගෙන දිවි නසාගත්තා.
සෝවියට් සංගමයේ ඇමතිවරු කිහිපදෙනෙක් නීති විරෝධී හදිසි අවස්ථා කමිටුවේ කටයුතු කර ඇති නිසා සෝවියට් රජය විසුරුවා හැරිය යුතු බව රුසියානු සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුව මේ අතර යෝජනා කළා. අගෝස්තු 24 දා සෝවියට් දේශයේ සියළුම බලතල තමා වෙත පවරාගන්නා බව රුසියානු පාර්ලිමේන්තුව නිවේදනය කළා.
එදිනම ගොර්බචොව් මහතා සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ධූරයෙන් එනම් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. එසේම සෝවියට් කොමියුනිස්ට් පක්ෂය විසිරුවා හැරෙන බවත් ප්‍රකාශයට පත්කළා. ඒ වන විටත් සෝවියට් ආරක්ෂක හමුදා සහාය හිමිව තිබුණේ රුසියානු පාර්ලිමේන්තුවට.
කොහොම නමුත් දෙසැම්බර් දක්වා සෝවියට් සංගමයේ නාමික ජනාධිපති වරයා ලෙස ගොර්බචොව් මහතා කටයුතු කළා. දෙසැම්බර් 25 දින සවස ඔහු ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වුණා.
1991 දෙසැම්බර් 26 දා උදෑසන කළින් කී මොස්කව් අවන්හලට ගොඩ වී කෝපි බොමින් සිටි සෝවියට් රුසියානුවන්ට ගුවන් විදුලියෙන් මෙම නිවේදනය අසන්නට ලැබුණා.
“සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ පැවැත්ම අද දින සිට අවසාන කරන බව උත්තරීතර සෝවියට් සභාව විසින් සෝවියට් දේශයේ මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.”
විසිවන සියවසේ ලෝකයේ පැවති දැවැන්තම රාජ්‍යය වූ සෝවියට් දේශය නොහොත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ අවසානය පිළිබඳව එහි අවසාන පාලකයා වූ මිහායිල් ගොර්බචොව් මහතා පසුකාලීනව පැවසුවේ මෙහෙමයි.
"සිගරට් එකක් පත්තු කරගන්න ගිහින් උන් මුළු ගෙදරටම ගිනි තිබ්බා. බලය අල්ලගන්න උවමනා වුණාට උන්ට ඒක ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් ඔවුන් අපරාධයකට යොමු වුනා. ඒක කුමන්ත්‍රණයක්."
@ ශානක මධුශාන් ලියනගම
ලෝකය එකම යායක්