SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොවිඩ් 19 මහ වසංගතය පෙර වසංගතයක අවසාන අත්දැකීම් හමුවෙන්නෙ අවුරුදු 90 ට පෙර.

එනම් 1930 දශකයේ ආරම්භයේ පැතිරිගිය මැලේරියාවයි. මේ උණ රෝගයෙන් මියගිය ලාංකිකයන් ප්‍රමාණය ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන නැතත් 1931 -34 තුල ලක්ෂ 3 -4 අතරේ ජනකායක් මිය ගිය බව විශ්වාස කෙරෙනව. මැලෙරියාව තුල ලංකාවේ දේශපාලනය ක්‍රියාත්මක වූ ආකාරය අප ලියන්න හිතුවේ වර්තමානය හා සසඳා ගන්නයි.

19 හා 20 සියවස්වල ලංකාව හැඳින් වුනේ ‘සිලෝනය’ නමින්. මේ සිලෝනය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. මේ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය, ඇතැම් යටත් විජිත සවයං පාලනයන්ට තල්ලු කරමින් හිටියේ. ඒ ක්‍රමය මුලින්ම හඳුන්වල දුන්නේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව හා දකුණු අප්‍රිකාව වගේ රටවලටයි. මෙය වඩාත් පුළුල් වීමක් හැටියටයි ලංකාවට 1931 දි සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ. ඒ අවුරුද්දේ ජුනි මාසයේ මැතිවරණය පැවැත් වුනා. මේ ඡන්ද ක්‍රමයට පත්වෙන පලමු රාජ්‍ය මංත්‍රණ සභාවට මංත්‍රිවරුන් 50 තේරී පත් වුණා. තව 8 දෙනෙක් නම් කෙරුණා. යටත් විජිත නිලධාරීන් 3 නිල බලයෙන් පත් වුනා. එහි ඇමති මණ්ඩලයට සිංහල, යුරෝපීය, මුස්ලිම් හා ඇමතිවරු 10 දෙනෙක් සිටියා. සෞඛ්‍ය ඇමති පදවිය දැරුවේ, ටී.බී. පානබොක්කේ.

 

මැලේරියා 1

 

අපිට මේ අපුරු ඡන්ද බලය හා බලය බෙදා ගැනීම හඳුන්වාදිමත් සමඟම මැලේරියාවත් පැතිරෙන්න ගන්නව. වැඩියෙන්ම මැරෙන්නේ දිළිඳු ගැමියෝ හා වතු කම්කරුවො. ඒ නිසා රටේ පාලකයන් වූ ඉංග්‍රිසි- ලාංකික හවුල වසංගතය ගානකට ගත්තෙ නෑ. රාජ්‍ය මංත්‍රණ සභාවේ මේ විනාශය ගැන හැමදාම රණන්ඩු කළේ මොරවක මංත්‍රි ඇස්. ඒ. වික්‍රමසිංහ. තරුණ දොස්තරයෙකු වූ වික්‍රමසිංහට මහජන ප්‍රශ්ණ කතා කරල යටත් විජිත ආන්ඩුව “අපහසුතාවයට” පත් කරන නිසාම ‘මොරවක ඇට මැස්සා’ යන නමත් පට බැඳුනා.

හැබැයි දැන් ඉන්න කතා සාප්පූකාරයෝ වගේ නෙවෙයි වික්‍රමසිංහ ප්‍රමුඛ කන්ඩායම විවේචනයෙන් නතර නොවී රෝගීන්ට උපකාර කරන්න රෝගය පවතින ප්‍රදේශවලට ගියා. නිකම්ම නෙවෙයි බෙහෙත් හා ආහාර අරගෙන. මේ කණ්ඩායමට අගනුවර කැරළිකාර ප්‍රභූ දරුවොත් ගියා. ජේම්ස් රත්නම්, එන්. එම්. පෙරේරා, සෙලිනා පෙරේරා. පිලිප් ගුනවර්ධන පවුලේ සමාජිකයෝ, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා සහ විලියම් සිල්වා වගේ පිරිස්. ඔවුන්ට රෝගීන්ට උවටැන් කරන අතරේ යටත් විජිත ආණ්ඩුව සහ ඔවුන්ගේ ලාංකික ඇම්බැට්ටයන් ගැන දරුණුවට විවේචනය කළා.

 

මැලේරියා 3

 

1934 අවසාන වෙද්දී මැලෙරියාව යම් පමණකට පාලනය කරගන්න පුළුවන් වුණා. නමුත් මැලේරියා දේශපාලනය ලංකාවේ දේශපාලන සිතියම සියවස් භාගයකට වෙනස් කළා. මැලෙරියාව පරාජය කිරීමට දිළිඳු ජනයා සමඟ එකතු වූ උගත් තරුණ රැඩිකල් නායකයෝ 1935 දෙසැම්බරයේ දී සමසමාජ පක්ෂ පිහිට වුවා. එහි නායකයන් වූයේ මැලේරියා සටනේ සිටි රැඩිකල් තරුණ පිරිසයි. 1936 දෙවන රාජ්‍ය මංත්‍රණ සභාවට ඔවුන් වැඩිදෙනෙක් තේරී පත් වුණා.

 

මැලේරියා 2

 

දැන් කටින් බතල කොල සිටුවමින්, සමාජ මාධ්‍ය පුරා දේශපාලන වෛරය මුදා හරිමින් සිටින ‘පරාජිත දේශපාලන පරඬැල්’ දකින විට අපට මේ පැරණි සටන්කාමී හා මානවවාදී නායකයන් සිහිපත් වීම වලක්වන්න අමාරුයි. එයට හේතුව මේ අතීත අරගලකරුවන් දේශපාලන නායකත්වය පැමිණියේ තමුන්ගේ රටේ ජනයා දුකට පත් මොහොතක උපකාරයට මිසක් විකල්ප දේශපාලන නායකයන් වීමේ එකායන අරමූණකින් නොවෙයි. මෙය පුත්ගලික ප්‍රශ්නයකට වඩා පංති ප්‍රශ්ණයක් හැටියටයි අපට පෙනෙන්නේ. මේ වාචාල වීරයන් වැඩි දෙනෙක් පහළ මැද පංතියෙන් පැමිණි, දේශපාලන මතවාද අහුලාගත් ක්ෂණික වීරයන් පිරිසක් පමණයි. වසංගතය තුල විකල්ප දේශපාලන නායකත්වය ගැන හිතන මිනිසුන්ට හිතන්නයි මේ අතීතය හා වර්තමානය යා කළේ.

 

@ නන්දන වීරරත්න

නවතම ලිපි