SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"කාන්තාවට අයිති කුස්සියයි, දරුවො බලාගන්න එකයි කියල එයාල කියන්න ගත්තා"

ආගමික සංස්ථාව තරම් ලිංගමය වෙනස්කම් පදනම් කරගෙන ක්‍රියාකරන මූලිකම ආයතනයක් තවත් නැති තරම් යැයි කිව්වොත් නිවැරදියි. එය සෑම ආගමකම සිදු කෙරෙන ක්‍රියාවක්. ලංකාවේ භික්ෂුනී සාසනය තුළ ඇතිවූ විවිධ කතාබස් අපි අහල, දැකල, අත්විඳල තියෙනවා. ආගමික සංස්ථාව තුළ තිබෙන මෙම වෙනස්කම් කිරීමේ බලය රටේ අනෙකුත් ආයතන පද්ධතීන් වලට ගලායෑම පුදුමයට කාරණයක් නොවේ. දියුණු යැයි සම්මත යුරෝපයේ තත්ත්වයත් මෙලෙසමයි. මේ බීබීසී සේවයේ සරෝජ් පතිරණගේ සටහනක්. 

 

ලිංගිකත්වය මත පදනම්ව, ආගමික සංස්ථා තුළ ක්‍රියාත්මක වන නොසලකා හැරීම්වලට එරෙහිව ලොව පුරා දහස් ගණන් කාන්තාවෝ සටන් වැදී සිටිති.

භික්ෂු නායකත්වයෙන් කෙරෙන නොසලකා හැරීම්වලට එරෙහිව ශ්‍රී ලංකාවේ බොහෝ භික්ෂුණීන් එසේ අරගලයක නිරතව සිටින්නේ, බෞද්ධ සංස්ථාව තුළ තමන් සැලකෙන්නේ "දෙවෙනි පෙළ" පුරවැසියන් ලෙසින් බව පවසමිනි.

මේ, කතෝලික සභාවේ පුරුෂාධිපත්‍යයට එරෙහිව සටන් කරන පූජකවරියක ගැන කතාවකි.

කතෝලික සභාවේ 'පුරුෂාධිපත්‍යය'

පැට්‍රීෂියා ෆ්‍රෙසන් (Patricia Fresen), දකුණු අප්‍රිකාවේ වෙසෙන 80 හැවිරිදි කතෝලික පූජකවරියකි. සමස්ත ලෝකයේම රදගුරු පදවිය ලැබූ තුන්වෙනි කාන්තාව තමන් බව ඇය පවසන්නීය.

ඇය පවසන පරිදි, දැනට මුළු ලෝකයේම සිටින්නේ කතෝලික රදගුරුවරියන් 15 දෙනෙකු පමණකි.

එහෙත් කාන්තාවන්ට පූජක හෝ රදගුරු පදවිය ලැබිය හැකි බව පිළිනොගන්නා කතෝලික සභාව, ඔවුන් 15 දෙනා රදගුරුවරියන් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.

පැට්‍රීෂියා ෆ්‍රෙසන් පවසන පරිදි, කතෝලික සභාවේ දැඩි පුරුෂාධිපත්‍යය එයට එකම හේතුවය.

කාන්තාවන් සහ පුරුෂයන් සමානව පිළිගන්නා නමුත්, ආගමික සංස්ථාව තුළ ඔවුන්ට වෙන, වෙනම කාර්යයන් පැවරී ඇති බව කතෝලික සභාවේ තර්කය වී තිබේ.

 

රහසිගත පූජක පදවි

එහෙත් එම ස්ථාවරයට එරෙහිව යමින් පූජක වරය ලබාගැනීමට මීට දශක කිහිපයකට ඉහතදී ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ කතෝලික කාන්තාවන් පිරිසක් තීරණය කළහ. කතෝලික සභාව තමන්ට සහය නොදෙන වග හොඳින් දන්නා හෙයින්, ඔවුහු රහසිගතව සිය ඊළඟ පියවර සැලසුම් කළහ.

 

කතෝලික 2

 

සභාවෙන් ඉවත්වූ ලතින් ඇමෙරිකානු රදගුරුවරයෙක් ඔවුන්ට හමුවිය; කාන්තාවන්ට පූජක පදවිය ලබාදීමට ආජන්ටිනාවේ රොමුලෝ බ්‍රාශි (Bishop Romulo Braschi) රදගුරුවරයා එකඟවිය.

 

කාන්තාවන් පිරිසක් පූජක වරය ලැබීමෙන් අනතුරුව, 2002 දී ඔවුහු "රෝමානු කතෝලික පූජකවරියෝ" (Roman Catholic Women Priests) සංවිධානය පිහිටුවා ගත්හ.

එවක් පටන් කාන්තාවන්ට පූජක වරය ලබාදීමේ උත්සව සංවිධානය කෙරුණේ එම කණ්ඩායම හරහාය. මුලින්ම තමන්ට පූජක වරය ලබාදුන්නේ කතෝලික පුරුෂ රදගුරුවරයෙකු විසින් බැවින් කාන්තාවන් පූජක පදවියට පත්කිරීම නිවැරදි බවට ඔවුහු තර්ක කරති.

කතෝලික සභාවේ ස්ථාවරය

එහෙත් එය බැහැර කරන කතෝලික සභාව, ඔවුන් සියලු දෙනා සභාවෙන් නෙරපා දැමීය.

කතෝලික සභාවේ ස්ථාවරය ප්‍රකාර, ඒ සමඟම ඔවුන්ට දේව මෙහෙය පැවැත්වීමේ අවස්ථාව අහිමිවනු පමණක් නොව, තවදුරටත් ඔවුන් කතෝලික භක්තිකයන් ද නොවේ.

වතිකානය පවසන්නේ, කාන්තාවන්ට පූජක වරය දීම "නීති විරෝධී පමණක් නොව වලංගු නොවන" කරුණක් බවය.

පැට්‍රීෂියා ෆ්‍රෙසන් රදගුරුවරිය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ ඇය මතුකරන චෝදනා පිළිබඳව ප්‍රතිචාරය විමසමින් බීබීසී සිංහල සේවය ලන්ඩන් නුවර "රදගුරු මන්දිරයෙන්" ලිඛිත විමසීමක් කරන ලද නමුත් එම විමසීමට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැත.

මේ අතර ඇය මතුකරන තර්ක පිළිබඳව බීබීසී ය මීට ඉහතදී වතිකානයේ සන්නිවේදන කටයුතු භාර ප්‍රධානී අගරදගුරු ජෝන් පෝල් ෆොලී (John Paul Foley) වෙත යොමු කළ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිචාරය වූයේ, "පුරුෂයෙක් බැවින් මට දරුවෙක් පිළිසිඳ ගන්න බෑ ... ඉතින් ඒක අසාධාරණ ද?" යනුවෙනි.

"දෙවියන්ගේ තීරණය අනුව ... මේ වෙනස තියෙනවා."

අගරදගුරු ජෝන් පෝල් ෆොලී වැඩිදුරටත් සඳහන් කළේ ජීව විද්‍යාව අනුව පුරුෂයෙකුට දරු ගැබක් ඇතිවිය නොහැකි ආකාරයටම, දේව විද්‍යාව (theologically) අනුව කාන්තාවක පූජක වරය ලැබීම ද සිදුවිය නොහැක්කක් බවය.

1994 දී ආඥාවක් නිකුත් කළ දෙවෙනි ජුවාම් පාවුළු පාප් වහන්සේ සඳහන් කර තිබුණේ: "කාන්තාවන්ට පූජක වරය ලබාදීමට කතෝලික සභාවට කිසිම ආකාරයක අධිකාරී බලයක් නොමැති බව නිවේදනය කරමු," යනුවෙනි.

 

 

කතෝලික 3

 

රදගුරු පදවියට

 

ජොහැන්නස්බර්ග් නුවර කතෝලික සරසවියේ කතිකාචාර්යවරියක සහ කන්‍යා සොහොයුරියක වූ පැට්‍රීෂියා ෆ්‍රෙසන්, සිය සහයෝගය පළකරමින් 2002 දී "රෝමානු කතෝලික පූජකවරියෝ" සංවිධානය වෙත ලිපියක් තැපැල් කළාය.

එහි ප්‍රතිඵලය වූයේ, 2003 දී බාසෙලෝනා නුවර පැවති රහසිගත උත්සවයකදී ඇයද පූජකවරියක බවට පත්වීමය.

ඒ සමඟම ඇය ද කතෝලික සභාවෙන් ඉවත් කෙරිණ.

ඉන් වසර කිහිපයකට පසුව නම හෙළි කළ නොහැකි රදගුරුවරයෙකු සහ රදගුරුවරියන් දෙදෙනෙකු විසින් තමන් "රදගුරුවරියක" ලෙසින් පත්කරනු ලැබූ බව ඇය පවසන්නීය.

"වතිකානය ඒක පිළිගත්තේ නැහැ," ඇය පැහැදිලි කළාය.

"කාන්තාවන්ට පූජක පදවිය ලබන්න කිසිම අනුමැතියක් නැහැ, ඒ නිසා අපි හැම දෙනාම සභාවෙන් එලවනවා කියල වතිකානය කීවා."

එහෙත් ඇය පවසන්නේ, සිය අනුගාමිකයන්ගේ මතය එය නොවන බවය.

"කාන්තාවන්ට පූජක වරය දීම තහනම් කිරීම වැරදියි කියන ගොඩක් අනුගාමිකයෝ විතරක් නෙවෙයි, බිෂොප්ල පවා ඉන්නවා. ඒත් පූජකවරුයි, ඒ බිෂොප්වරුයි ප්‍රසිද්ධියේ කතාකරන්න බයයි."

"ඉහළ ඉඳල පහළටම සභාවේ තියෙන්නේ අතිශය දරුණු පුරුෂාධිපත්‍යයක්."

 

මධ්‍යතන යුගය

ඇය පවසන්නේ, මෙය මෑත කාලීන ප්‍රවනතාවක් බවය.

"රෝමයේ සමහර දේවස්ථානවල, විශේෂයෙන්ම ශාන්ත ප්‍රශේජියස් (St Praxedes) දේවස්ථානයේ, තියන තුන්වෙනි සහ හතරවෙනි ශතවර්ෂයට අයිති බිතු සිතුවම්වල බිෂොප්වරියක් දකින්න පුළුවන්; ඒවායේ පූජකවරියොත් ඉන්නවා, " ඇය පවසන්නීය.

"අට වෙනි සහ නමවෙනි ශතවර්ෂය විතර දක්වා එහෙම තත්ත්වයක් තමයි තිබුණේ. ඊට පස්සේ ක්‍රමයෙන් ඒක අඩුවෙමින් ගියා. තවත් ශතවර්ෂ ගාණකට පස්සේ, කාන්තාවන්ට පූජක වරය දෙන එක සම්පූර්ණයෙන්ම නැවතුණා. එයාල කාන්තාවෝ නූගත් කියල සලකන්න පටන් ගත්තා."

මධ්‍යතන යුගයේ කාන්තාවන් පමණක් නොව බොහෝ පුරුෂයන් ද නූගතුන් වූ බව රදගුරුවරිය සිහිපත් කරයි.

"කාන්තාවට අයිති කුස්සියයි, දරුවෝ බලාගන්න එකයි කියල එයාල කියන්න පටන් ගත්තා; එයාල කියන්නේ ඒ නිසා කාන්තාවට පූජක වරම් දෙන එක වැරදියි කියලා. ඒ විදියට මධ්‍යතන යුගයේදී පටන්ගත්ත අතිශය දැඩි පුරුෂාධිපත්‍යය අද වෙනකල්ම සභාවේ තියනවා."

කතෝලික 4

2017 දී කැලිෆෝනියාවේ පැවති රදගුරුවරියන් දෙදෙනෙකු පත්කිරීමේ උත්සවය

 

කෙසේ වුවත් වතිකානය පවසන්නේ, කාන්තාවන්ට පූජක වරය දීම "භයානක අපරාධයක්" බවය.

යේසුස් වහන්සේ සිය ප්‍රේරිතයන් (apostles) ලෙසින් තෝරාගනු ලැබුවේ පුරුෂයන් පමණක් බැවින් කාන්තාවන්ට පූජක වරය ලැබිය නොහැකිය යන්න වතිකානයේ ස්ථාවරය වී තිබේ.

 

නෙල්සන් මැන්ඩෙලා

පැට්‍රීෂියා ෆ්‍රෙසන් ඇතුළු පූජකවරියෝ එම ස්ථාවරය බැහැර කරති.

අසාධාරණ නීතියක් වෙනස්කිරීම පිණිස තිබෙන එකම ක්‍රමය එය උල්ලංඝනය කිරීම යයි නෙල්සන් මැන්ඩෙලා විසින් පෙන්වා දී තිබෙන බව පවසන රදගුරු පැට්‍රීෂියා අවධාරණය කරන්නේ, "අසාධාරණ පුරුෂාධිපතිවාදී" නීතිවලට එරෙහිව පූජකවරියන්ට ද එම ක්‍රමවේදය අනුගමනය කිරීමට සිදු වී තිබෙන බවය.

 

"ඒ නිසා තමයි අපි කතෝලික සභාව දාලා එංගලන්ත සභාවට නොයන්නේ. මොකද එහෙම ගියොත් කතෝලික සභාව වෙනස් වෙන්නේ නෑ," ඇය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

"අපිට පූජකවරියක් ඕනේ කියල ඇමෙරිකාවේ කොයිතරම් පිරිසක් ඉල්ලනවද, පිරිමි පවා ... ඇත්තටම ඒක හරිම අපූරුයි."

වසර ගණනාවක ආගමික මෙහෙවරකින් අනතුරුව, අරගලය මීළඟ පරපුරට පවරමින් සමුගැනීමට ඇය දැන් සූදානම්ය.

රදගුරු පැට්‍රීෂියා පවසන්නේ, පැවිදි දිවියට සමුදීමට ප්‍රථම තමන් අභිමුව තවත් ප්‍රබල වගකීමක් ඉතිරිව නැති බවය.

"ඉතිරිවෙලා තියෙන්නේ මම වෙනුවට දකුණු අප්‍රිකාවට බිෂොප්වරියක් පත්කරගැනීම විතරයි," ඇය පවසන්නීය.

"ඒත් ඉතින් දැන් කොවිඩ් නිසා ඒක කරන්න වෙන්නෙත් සූම් (Zoom) තාක්ෂණයෙන්," ඇය පැවසුවේ, හසරැල්ලක් මුවඟ නංවාගනිමිනි.

 

@ සරෝජ් පතිරණ

BBC සිංහල සේවය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි