SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පැබ්ලෝ නෙරූදා යනු නොබෙල් සාහිත්‍යය ත්‍යාග ලාභී සුප්‍රසිද්ධ චිලියානු කවියාය.

ඔහුගේ තරුණ වයසේදී, චිලී රට නියෝජනය කරමින් කවුන්සල් වරයෙකු ලෙස, ශ්‍රී ලංකාවෙහි වැඩභාර ගත්තේය. මේ එක්දහස් නවසිය විසි ගනන් වල අග භාගයය.

නෙරූදා විසින් පසුකලෙක රචිත චරිතාපදානයෙහි ලංකාවේදී සිදුවූ සිත සසල වන සිදුවීමක් මෙසේ විස්තර කරයි.

"මගේ හුදකලා බංගලාව තිබුණේ නගරයෙන් ඈතිනි. මම එය කුලියට ගත් පසු, එහි වැසිකිලිය තිබුණේ කොහේ දැයි සොයන්නට ගත්තෙමි. මට එය සොයාගත නොහැකි විය. ඇත්තෙන්ම එය තිබුනේ නාන කාමරයට බොහෝ ඈතින් නිවස පිටුපසය. මම කුතුහලයෙන් එය පරික්ෂා කෙරුවෙමි. කොමඩ් එක වෙනුවට තිබුණේ, මැද සිදුරක් සහිත ලී පෙට්ටියකි. එය චිලී රටේ ගම්බද පෙදෙස් වල හමුවන මෙවලමක් වැනිය. නමුත් අපේ රටේ වැසිකිලි තනා ඇත්තේ ගැඹුරට හෑරූ වළවල් මතය. නැතහොත් ඒවා ජලය ස්වාභාවිකව ගලා යන තැන් වලට ආසන්නයේ සාදා තිබිණි. නමුත් මෙහිවූ ලී පෙට්ටියට යටින් වූයේ සරලව තැනූ ලෝහ බාල්දියක් වැනි ග්‍රාහකයකි.

මේ ලෝහ ග්‍රාහකය සෑම උදයකම හිස්ය. එයට එකතු වූ මාගේ අපද්‍රව්‍ය අතුරුදහන් වී, සෑම උදයකම එය හිස් වන්නේ කෙසේ දැයි මට සිතා ගත නොහැකි විය. එක්තරා උදයක මම වෙනදාටත් වඩා කලින් අවදිවී සිදුවන්නේ කුමක්දැයි දැක පුදුමයට පත් වුණෙමි.

 

නෙරූදා 7

අඳුරු වර්ණයෙන් කළ ස්තූපයක් මෙන් නිවස පිටුපසින් ඇදී ආවේ, එතෙක් මා ලංකාවෙහි දුටු ලස්සනම තරුණියය. ඇය (Pariah caste) කුලයට අයත් කුලහීන දෙමළ යුවතියකි. රතු හා රත්තරන් පැහැති ඉතා නොවටිනා සාරියක් ඇය ඇඳ සිටියාය. ඇයගේ නග්න වළලූකර බරැති වළලු පළදලාය. ඇයගේ නාසය දෙපැත්තෙන් කුඩා කරාබු දෙකක් දිලිසෙන්නට විය. ඒවා සත්තකින්ම බාල වීදුරු වලින් තනා තිබෙන්නට ඇති වුවත්, ඒවා ඇයමත දිස්වූයේ පැළඳූ පුෂ්පරාග මැණික් මෙනි.

මා දෙස යන්තමින් වූ අඩ බැල්මක් හෙළා ඇය වැසිකිලිය දිශාවට සන්සුන් ලෙසින් ඇවිද ගියාය. මම එතන සිටි බව ඇය නොසලකා හැරියාය. ඉන්පසු ඇය පිළිකුල දනවන ලෝහ භාජනය හිස මත තබාගෙන ඉවත්ව ගියේ දෙවඟනක් ඇවිද යන්නාක් මෙන් පාද තබමිනි.

ඇය කරනා යටහත් රැකියාව කුමක් වුවද, ඇය කොතරම් පියකරු වීද යත්, එතැන් පටන් මාගේ සිතින් ඇයව ඉවත් කිරීමට මට නොහැකි විය. ඇයගේ පැවැත්මම වෙනත් ලෝකයකට අයිති අහිංසක කැලෑ සත්වයෙකුගේ මෙන් විය. විටෙක මම ඇයට ඇමතුවෙමි. ප්‍රයෝජනයක් වූයේ නැත. විටෙක මම ඇයගේ ගමන් මග, සිල්ක් රෙද්දක්, පළතූරක් වැනි තෑග්ගක් තැබුවේ ඇයගේ අවධානය ගැනීමටය. ඇය ඒවා නොසලකා හරිමින් මාව නොඇසුනා සේ ගමනේ යෙදුනාය. ඇයගේ යටහත් පහත් දිනපතා කටයුත්ත, කිසිත් ගනන් නොගන්නා රැජිනක් විසින් ඉටුකරනා දේව ක්‍රියාවක් බවට මාගේ මනස තුළ පෙරළුණේ ඇයගේ රූප සෝබාව නිසාය.

 

නෙරූදා 5

එක උදෑසනක මම ඇය වෙත කෙලින්ම යාමට තීරණය කෙළෙමි. මම ඇයගේ වළලු කරෙන් තදින් අල්ලා, ඇයගේ නෙත් දෙස බැලුවෙමි. ඇය සමඟ කථා කළ හැකි භාෂාවක් මා දන්නේ නැත. මා ඇයව කැටුව යන තැනට යෑමට ඇය ඉඩ දුන්නාය. ඉන්පසු ඇය මට අවනත වී, මා පසුපසින්ම පැමිණියාය. ඇයගේ මුවග සිනාවකින් තොර විය.

මද වේලාවකින් මාගේ යහන මත ඇය නිරුවත්ය. ඇයගේ සිහින් ඉඟ, පුලුල් උකුල, පිරිපුන් පියයුරු, අවුරුදු දාහක් පැරණි දකුණු ඉන්දියානු මූර්ති මට සිහියට ගැන්වීය. ඇය මට දිස්වූයේ ස්ථූපයක් හා මිනිස් රූපයක් සම්මිශ්‍රණය වූවාක් මෙනි. ලිංගික කාර්යය සිදුවන පුරාවටම, ඈගේ නෙත් ඇය පූර්ණ ලෙස විවෘත කර ගෙන සිටියාය. ඇයගේ අනුකූලතාවය මා දුටුවේ නැත. (ඇය සතුටු වූවා නම් ඇය දෙනෙත් පියා ගත යුතුය.)

ඇය මට අවමන් කිරීම සාධාරණය. මෙම සිදුවීම ඉන්පසු නැවත සිදු නොවුන බව පවසමි."

 

නෙරූදා මෙය ලියා වෙනත් මාතෘකා වෙත යහමින් පිවිසෙන්නේ, කිවීමට වැදගත් යමක් එහි ඉතිරිව නැතිවාක් මෙනි. මනබඳින සාහිත්‍යය වර්ණනාවක් තුළ, ස්ත්‍රී දූෂණයක කතන්දරයක් නෙරූදා සැඟවූවා දැයි අපට දැනෙන සැකය අසාධාරණ නැත. නෙරූදාගේ මෙම විස්තරයෙන් පසුව ඔහුට බොහෝ විවේචන එල්ල වූ බව කියනු ලැබේ.

නෙරූදා ඇයව කැඳවාගෙන ඒමට, ඇය ඉඩ දුන්නේ ඇයි? ඇයගේ ඇඳුම් ගලවා දමන්නට ඇය ඉඩ දුන්නේ ඇයි? මේ මහා අවනත වීම තුළ දක්නට ලැබෙන සමාජ කතාන්දරය කුමක්ද?

 

නෙරූදා 3

 

තමන්ගේ මළ අපද්‍රව්‍ය සමඟ එදිනෙදා ගැටෙන තරුණියගෙන් ගත් ප්‍රයෝජනය සැඟවීමට, ඇයව දේවත්වයට පත් කරන කතාන්දරයක් අපට කීම, නෙරූදාගෙන් පමණක් සිදුවූ සමාජ මුළා කිරීමක් නොවේය. 1930 දශකයේ ඉන්දියාවේ සිදුවූ, මහත්මා ගාන්ධිගේ සමාජ සංශෝධනයද සුවිශේෂීය. එය විස්තර කිරීමට පෙර ඉන්දියානු කුල ක්‍රමය ගැන දල අදහසක් දැන ගැනීම වටී.

ක්‍රිස්තුපූර්ව 1500 දී, ඉන්දියාවට පැමිණි ආර්යයන් විසින් ඉන්දියානු කුල ක්‍රමයෙහි මූලයන් ආරම්භ කළේ යැයි කියනු ලැබේ. ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවස වන විට කුල ක්‍රමය ඉන්දියාවේ ප්‍රබල ලෙස තහවුරු විය.

එතැන් පටන් ප්‍රධාන කුල හතරක් ඉන්දියාවේ ක්‍රියාත්මක විය. ඒවා බ්‍රහ්ම දෙවියාගේ ශරීර අවයව නියෝජනය කරයි. මින් ඉහළම කුලය, බ්‍රහ්ම දෙවියාගේ නාභියෙන් ඇති වූ බව කියන ලද බ්‍රහ්මීය කුලය වේ. මොවුන් පූජකයන් හා ගුරුවරුන්ය. දෙවැනි ඉහළම කුලය ක්ෂත්‍රිය වෙයි. ඔවුන් සෑදුණේ බ්‍රහ්ම දෙවියාගේ අත් වලිනි. ඔවුන් පාලකයන්, රණ විරුවන් හා සොල්දාදුවන්ය. තෙවන කුලය වනාහි බ්‍රහ්ම දෙවියාගේ කලවයෙන් සැදුණා යයි කියන වෛශ්‍යයාස් වෙයි. මොවුන් ගොවියන් හා වෙළෙන්දන්ය. පහළම කුලය බ්‍රහ්ම දෙවියාගේ පාද වලින් ඇති වූවා යැයි කියන ශුද්‍රවේ. මොවුන් කම්කරුවන්ය.

 

නෙරූදා 6

රැකියාව පමණක් නොව,යම්කිසි කුලයකට අයත් වූවෙක් විවාහ වන්නේත් එම කුලයට අයිති කෙනෙක් සමග පමණි. උපතින් උරුම වන කුලය තම ජීවිත කාලය තුළම රඳවා ගත යුතුය. තමන් බුද්ධිමතෙකු කියා බ්‍රහ්මීය කුලයට එකතු වීමට අවකාශ නැත. "සිද්ධාර්ථ අයත් වූයේ ක්ෂත්‍රිය කුලයටය" එනම් ක්ෂත්‍රියන්ට බ්‍රහ්මීය කුලයෙහි දැනුම හා ගැටී එය අභිබවා යෑමට අවකාශ තිබුණි.

මේ කුල හතරෙන්ම ඉවතට විසි වූවන් ඉංග්‍රීසියෙන් හැඳින්වූයේ Dalit හෝ Untouchables යන නමිනි. ඔවුන්ගේ රැකියාවන් වූයේ, කසල ශෝධනය, පාරවල් සුද්ධ පවිත්‍ර කිරීම, මෘත දේහ ආදාහනය හා මිනිස් මළ ද්‍රව්‍ය කළමනාකරණය වැනි කුලීනයන් නොකරනා කාර්‍යයන්ය.

ඉහළ කුලවලට අයත් මිනිසුන්, Untouchables හෙවත් කුලහීනයන් සමඟ එකට ගැවසුනේ නැත. ඔවුන් අතින් ඇල්ලූදේ, ඇල්ලුවේ නැත. ඔවුන් වතුර බිව් ලිඳෙන් වතුර බීවේ නැත. ඔවුන් යන පාරේ ගමන් කළේ නැත. ඔවුන් යන පාසල් වලට ගියේ නැත. එනම් මෙම මිනිස්සු කොට්ඨාසය සමග පෑහීමට නොහැකි යැයිද, ඔවුන්ව "අතින් ඇල්ලීමට නොහැකි" යැයිද, ඉහළ කුල වල ඉන්දියානුවන් තීරණය කළ නිසා, ඔවුන් un-touchables නම් වේ.

(බුදුන් සමයේ සුනීත සෝපාක කථාවද මෙවැනි කුලයක චරිතයන් විස්තර කරන්නේද?)

 

නෙරූදා 4

Untouchables හෙවත් කුල පද්ධතියෙන් ඉවතට විසිවූවන් සමාජයට අන්තර්ගත කළ පළවෙනි හින්දු දේශපාලඥයා ගාන්ධිය. පෞරාණික හින්දු කුල ක්‍රමය නියමාකාරයෙන්ම ‍ක්‍රරියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් ලෙස, කුල රහිත කුලහීනයන් ඇති වූ බව ගාන්ධි විශ්වාස කළේය. ගාන්ධිට අවශ්‍ය වූයේ, සියලු කුල වල කාර්යයන්, දෙවියන්ගේ කාර්යයන් බවට නැවත ස්ථාපිත කර, කසල ශෝධනයත්, එවැනිම වටිනා කර්තව්‍යයක් බව කීමටය. Untouchables යන කුලහීනයන්, දෙවියන්ගේ දරුවන් හෙවත් "හරිජන්" ලෙස ගාන්ධි හැඳින්වීය.

ඉන්දියාවේ තිබූ අගතිගාමී කුල ක්‍රමය වෙනස් කිරීමට ගාන්ධි ක්‍රියා නොකළේය. ඒ වෙනුවට අපද්‍රව්‍ය මෙන් සැලකූ මෙම මිනිසුන් වෙත දේවත්වයක ව්‍යාජ දෘෂ්ටිවාදයක් හෙලා, කටයුතු පෙර පරිදිම වෙනසකින් තොරව කරගැනීමට ගාන්ධිගේ දෘෂ්ඨිවාදී මෙහෙයුම සහායට පැමිණියේය.

neruda 2

දැන් අපට මතක් වන්නේ, නෙරූදා තම මළ ද්‍රව්‍ය රැගෙන ගිය තරුණියගෙන් ප්‍රයෝජන ගෙන, එය වසන් කිරීමට, ඇයව දේවත්වයකට පමුණුවා කියවන්නාට හඳුන්වා දීමත්, ගාන්ධි විසින් කුලහීනයන් ගෙන් ගත් ප්‍රයෝජන එලෙසම ගැනීමට ඉඩ තබා, ඔවුන්ව දේවත්වයට පත්කර සමාජයට හඳුන්වාදීමත්, එකම සමානත්වයක් ගන්නා කතා දෙකක් වැනිය යන්නය.

1930 දශකයදී, ලන්ඩනයේ රවුම් මේසයක් මත, ගාන්ධි හා ඓන්ද්‍රිය බුද්ධිමතෙක්වූ අම්බෙඞ්කාර් අතර මතවාදී ගැටුමක් ඇති විය. දෙදෙනාම කියා සිටියේ තමන් කුලහීනයන්ගේ සත්‍යය නියෝජිතයා බවය. අම්බෙඞ්කාර් කුලහීනයන්ට වෙනම ඡන්ද බල කොට්ඨාසයක් ඉල්ලීය. මුස්ලිම්වරු හා සීක් වරුන්ට, වෙනම ඡන්ද බල කොට්ඨාසයක් දීමට ගාන්ධි එකඟ වූ නමුත්, කුලහීනයන්ට එය ලබා දීම ගාන්ධි ප්‍රතික්ෂේප කළේය.

කුලවත් හින්දූන්ට අවශ්‍යවූයේ, කුලහීනයන්ට තමන්ගේ ගෙදර, දොර වසා ඔවුන් එළියට දැමීමට ඇති අයිතිය තහවුරු කර ගැනීමයි. යම් හෙයකින් කුලහීනයන් වෙනම ප්‍රදේශයක ජීවත්වූයේ නම්, යම් කිසි දිනක කුලහීනයන්, කුලයෙන් වැඩි හින්දූන්ටද තමන්ගේ ගෙදර දොර වසනු ඇත. එනම්, කුලවත් හින්දුන්ගේ දේශපාලන සමාජීය බලය අහෝසිවී යෑම ඉන් තහවුරු වෙයි.

neruda 1

මෙය සත්‍ය වශයෙන්ම ස්වාමියා හා දාසයා අතර බල අරගලයේ ප්‍රශ්නයකි. "හින්දු ආගම මියයෑම මම පිළිගන්නම්, නමුත් කුලහීනයන් ජීවත්වීම මම පිළිගන්නේ නැතැයි," අම්බෙඞ්කාර් කීවේ සමාජීය ආර්ථික ප්‍රශ්නයේ මූලයන් ඔහුගේ තීක්ෂණ නුවණට අසුවූ නිසා යැයි අපට පෙනී යයි.

ඕනෑම කුලවාදී වර්ගීකරණයක් සමාජයේ සිදු කළ විට, ඉන් කිසිම කුලයකට වත් අයිති නොවන ජන කොටසක් ඉතුරු වන බව අම්බෙඞ්කාර් කීවේය. දැන් මෙය තේරුම් ගැනීමට ඉතා අපහසු නැත. හින්දු ආගම හා ස්ථාපිතවූ නීති රීතීන් මත කුල වර්ගීකරණය කර රැකියාවන් බෙදූ පසු, ඒ එකකටවත්, කසල සෝදනය, මෘතදේහ ආදාහනය වැනි වෘත්තීන් වැටෙන්නේ නැත. එම නිසා, ගාන්ධි කියූ ලෙස, තමා කරනා දේව ක්‍රියාවලට කැමැත්ත ඇති කරගන්නා ලෙස කුලහීනයන්ට පැවසීමෙනුත්, පාරිශුද්ධ හින්දු කුල පද්ධතියක් ස්ථාපිත කිරීමට තැත් කිරීම මගිනුත් ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව අම්බෙඞ්කාර් පෙන්වා දෙන ලදී.

කුල පද්ධතිය තිබෙනතාක් කල්, කුලහීනයන් බිහිවීම වැළැක්විය නොහැකි බව ඔහු කීවේය. අම්බෙඞ්කාර් රැඩිකල් විසඳුම යෝජනා කළේය. එනම් සියලුම කුල පද්ධතිය අහෝසි කළ යුතු බව ඔහු කීවේය. කුල පද්ධතිය ආවේණිකවූ හින්දු ආගම වෙනුවට, කුල නොසලකා හරින ලද බුද්ධාගම වැළඳගන්නා ලෙස කුලහීනයන්ට ඔහු පසු කලෙක යෝජනා කළේය.

"All that is solid melts into air. All that is holy is profaned" යැයි මාක්ස් පැවසු බව අපට මතකය. එනම් "සියලු ඝන ද්‍රව්‍ය වාතයට දියවී යයි. සියලු ශුද්ධවූ දේ අශුද්ධ බවට හැරෙයි."

ඔහුගේ ප්‍රකාශයෙහි එක් තේරුමක් නම්, ධනවාදයේ ව්‍යාප්තිය සමග සියලු සමාජ සංස්ථා පුපුරා ගොස් ආර්ථික ලාභය මත පදනම් වූ නව සම්බන්ධතා නැවත ගොඩනැඟෙන බවය. පැරණිවූ ශුද්ධ සංස්කෘතික දේ, එම නව සබඳතා නොසලකා හරින බවය. එනම් කුල පද්ධති, සංස්කෘතික ආගමික බැඳීම්, පැරණි රාජ ධූරාවලි, නොසලකා ආර්ථික ලාභය සඳහා නව මානුෂික සබඳතා ඇතිවෙන බවය. (මෙයද ඇත්තෙන්ම තේරුම් ගැනීමට අපහසු නැත. අද දින විවාහයක් සිදුවන විට, මනමාලයා හෝ මනමාලිය, හොද මුදල් උපයන රැකියාවක් කරනවාදැයි සොයන්නේ නැද්ද? පෙර කාලයේ මෙන් ආදරය නිසාම, කුලය නිසාම විවාහ විය හැකිද?)

නමුත් මාක්ස් කළ ප්‍රකාශයෙහි විලෝමය සිදුවීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ක්‍රියා කළේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සියලුම පැරණි කුල සම්බන්ධතා එලෙසින්ම පවත්වා ගනිමින් සම්පත් සූරාකෑම සිදු කළ හැකි ආකාරය ලොවට පෙන්වීය. ඉන්දියාවේ කුල ක්‍රමය තම ආර්ථික ප්‍රයෝජනයට බ්‍රිතාන්‍යයන් හරවා ගත්තේය. ඔවුන්, බ්‍රරහ්මීය ඉහළ කුලයේ ජනයාට රජයේ කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දුන්හ. ඉහළ කුලයන් විසින් පහළ කුලයන් මත, තම ආධිපත්‍යය පතුරන බව ඔවුන් හොඳින්ම දැන සිටියහ.

 

neruda 3

 බ්‍රිතාන්‍යයන්ට ඉන්දියානු මහා ජනතාව පාලනය කිරීමට අවශ්‍යතාවයක් වූයේ නැත. ඉන්දියානු ජනතාව කුල ක්‍රමය විසින් එකිනෙකාව අවනත කරගන්නවා ඇත. ඔවුනට කළ යුතු ව තිබුණේ, කුල ක්‍රමය වඩ වඩාත් තහවුරු කරමින් සම්පත් හා ධනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පොම්ප කිරීමයි.

1950දී බ්‍රිතාන්‍යයන් රටින් පිට වූ පසු, නීති සම්පාදනය කර කුල ක්‍රමය අහෝසි කිරීමට ඉන්දියානු ආණ්ඩුව තීරණය කළහ. කුලහීනයන්ගේ නියෝජනය වැඩි කිරීමට පාර්ලිමේන්තු ආසන ගනන හැත්තෑ ගණන් වල සිට එකසිය හතළිස් ගණන් දක්වා වැඩි කිරීමට ඉන්දියානු ආණ්ඩුව තීරණය කළහ.

නමුත් අපට පෙනී යන්නේ නීති වලින් පමණක් සමාජ සම්බන්ධතා තීරණය කළ නොහැකි බවයි. අද වන විටත්, ඉන්දියාවේ කුලහීනයන් හා ඉහළ කුල වල මිනිසුන් එකට පෑහෙන්නේ නැත. ගම්බද ඉන්දියාවේ මෙය හොඳින්ම ප්‍රකටය. ඉන්දියාවේ ජනගහනයෙන් හයෙන් එකක් මෙම කුලහීනයන්ය. නීති වලින් කුල ක්‍රමය අහෝසි කරත් මෙම සංස්කෘතික බැම්ම කැඩී නැත. මේ අධම තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීමට මනුෂ්‍යයාගේ අධික මානය හේතුවී ඇතිදැයි සිතේ.

මිනිස්සුන්ට තමා කෙරේ ආඩම්බර විය හැකි දෙයක් නැති වන සෑම විටම ඔවුන් ආඩම්බර වන්නේ, මම අසවල් කුලයේය, මම අසවල් ජාතියේය, මම අසවල් ආගමේය, වැනි දෑ ඉදිරිපත් කරමිනි. ඉන්දියාවේ තරම් කුල වාදය ප්‍රකට නොවුනත් ලංකාවේද එම තත්ත්වය තවමත් නිරීක්ෂණය කළ හැක.

සෙසු දෙමළ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, සිංහල බලධාරීන් විසින් නොසලකා හරින ලද, වර්ෂ ගණනාවකට පෙර තමිල්නාඩුවෙන් සංක්‍රමණය කුලහීනයන්වූ තේ කම්කරුවන්, ශ්‍රී ලාංකික උස්බිම්වල වතුකරයේ අදටත් සූරාකෑමට ලක් වෙයි. සෙසු ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වුවද, සිංහලයන් සමග විවාහයක් ගිවිස ගත්තද, මෙම ජනතාව සමග විවාහ ගිවිස ගැනීමට පවා කැමැත්තක් නැතැයි කියවෙයි. සිංහල ජනතාව පවා විටෙක තමන්ගේ වහල් සේවයට ගැනීමට සිතන්නේ මෙම කුලහීනයන්ය. ඒ ඔවුනට ශ්‍රමයට සරිලන වැටුපක් දිය යුතු යැයි නොසිතන නිසාද? ඔවුන් සත්‍ය වශයෙන්ම පහත් යයි සිතෙන නිසාද? ඔවුන් අපගේ බැල මෙහෙවරකම් කිරිමට සැදී පැහැදී ඇතැයි කියන නිසාද? ඔවුන්ව අපයෝජනය කිරීමට යම් මිනිසුන් කොටසකට අයිතියක් ඇතැයි ඔවුන් සිතන නිසා දැයි, දන්නේ නැත.

සියලු මිනිසුන්ට සමානව සලකන සමාජයක් ඉදිරියේදී කෙදිනක හෝ ඇතිවේ යැයි බලාපොරොත්තුවක් තබා ගැනීම පමණක් සෑහෙන්නේ නැති අතර, එම සමානාත්මතාවය තහවුරු කිරීම සදහා ක්‍රියාත්මක වීමට, මනුෂ්‍යයා පියවර ගත යුත්තේ වෙයි. මේ මිනිසුන්ගේ සටන ඉදිරියට ගෙන යෑමට තමන්ගේ දේශපාලන වාසියට පමණක් කටයුතු කරන චරිත නොව, අම්බෙඞ්කාර් වැනි චරිතයන් අවශ්‍යව ඇත.

 

@ Marlon Roshan

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි