දැන් දැන් බස් එකේ යන එන කොට රේඩියෝ එකේ ඇහෙනවා, රෙදි හෝදන සබන් වර්ගයක දැන්වීමක්... ඒ කියන‘සබන් වර්ගයෙන්‘, නෝනගෙ ගවුමක් හෝදලා, මහත්තයා සතියකට කලින් හෝදපු ගවුම තාම සුවඳයි ලු... ආදරේ හින්ද ලු...
මේ නව දැන්වීමේ ප්‍රවේශය ‘ස්ත්‍රීවාදී ප්‍රවේශයක්‘ ලෙස අගය කළ යුත්තක් වුණත්, දශක දෙක තුනක් තිස්සේ ම, මේ සබන් වර්ගයත් විකිණුවේ, ‘නෝනලා විතරක් රෙදි හෝදන‘ ආකාරයේ ‘ස්ත්‍රී හිංසක‘ දැන්වීම් වලින්ය කියන එක අමතක කරන්න බැහැ.
ඒ වගේ ම තවමත්, ඉඳුුල් පිඟන් හෝදන තරඟ වලින් දිනන, කන්දක් - රෙදි හෝදන්න ලේසියි ලේසියි කියන, හොඳම වර්ගයේ සෝදන කාරක වලින් ගෙබිම මැද මහත්තයාගෙන් එක දාගන්න, චෙෆ් ලා තරම් හොඳට උයන්න හැකි වෙතැ‘යි පාරම්බාන, විෂබීජ බිංදුවක්වත් නැති වෙන්න කක්කුස්සි හෝදා ලකුණු දහයෙන් දහයම ගන්න, (හැඳිමිටේ) ණුවනින් කිරි තේ හදන, ස්ත්‍රී නිරූපිකාවන් ලවා ‘ස්ත්‍රීත්වය කුස්සියටම බැරි නම් කක්කුස්සියටම තල්ලු කරන්නට‘ යෝජනා කරන ‘මෝඩ දැන්වීම්‘ වලින් අපේ රූපවාහිනියට කිසිම අඩුවක් නැහැ.
ඒ වගේ ම, තේ කෝප්පයක සිට මෝටර් රථයක් දක්වා ම අළෙවි කරන්නේ, ස්ත්‍රිය සැරසිල්ලක් කරගෙන... එහෙමත් නැත්නම් අඩනිරුවත් කරගෙන... බොහෝ විට, දැන්වීම්කරණයේ ‘රාගික ප්‍රවේශයේ ජනප්‍රිය ඇම - ඇය.
දැන්වීම්කරණයේ දී එක්කෝ ඇගේ ස්ත්‍රී ශරීරය දුර්-භාවිතා කරනවා... එහෙමත් නැත්නම් පීතෘමූලික ක්‍රමය විසින් ස්ත්‍රිය කොටු කර තබන ‘ස්ථාපිත ආදර්ශ' පාවිච්චි කරමින්, එකී ‘සමාජ දුර්මත' නැවත නැවතත් ප්‍රවර්ධනය කරනවා. ස්ත්‍රීවාදීන් මේ දෙවර්ගයම දමන්නෙ, ‘ස්ත්‍රී හිංසක දැන්වීම්' කියන වර්ගයට.
අද චතුරස්‍රයේ ඉඩ වෙන් කරන්න හිතුවෙ, දැන්වීම්කරණය ‘ස්ත්‍රී හිංසක ප්‍රවේශ‘ වල සිට ‘ස්ත්‍රීවාදී ප්‍රවේශය‘ දක්වා උසස් විය යුත්තේ ඇයි ද කියන එක ගැන යම් ‘අදහසක්‘ බෙදාගන්න.
‘මේගන් මාකෙල්’ කියන්නෙ, ඇමරිකාවේ ‘ඉඳුල් හෝදන කාරකයකට‘ අදාළ දැන්වීමක් හරහා වන ‘ස්ත්‍රී හිංසනය‘ට එරෙහිව මතවාදී අරගලයක් කර, ඉන් ජයගත් අවුරුදු 11 ක ගැහැනු ළමයෙක්. මේ සිදුවීම වෙන්නෙ, 1993 දී... ඇය අරගලය පටන් ගන්නෙ, එවකට ඇමරිකාවේ පළමු කාන්තාව, හිලරි ක්ලින්ටන් ට, ඒ දැන්වීම සහ ඉන් වන ‘ස්ත්‍රී හිංසනය‘ ගැන ‘ලියුමක්‘ ලියමින්. අනතුරුව ඇය රූපවාහිනී වැඩසටහනකත් ඒ ගැන කියනවා. කොහොම හරි ඇය ඒ අරගලය දිනනවා.
ඇය ඇගේ අරගලය අවසන් කරන්නෙ, දැන්වීමේ තිබුණු ‘ඇමරිකානු ස්ත්‍රීන් ඉඳුල් හෝදන්නට වද වනවාය ‘කියන පාඨය, ‘ඇමරිකානුවන් ඉඳුල් හෝදන්නට වද වනවාය’ කියන පාඨය දක්වා වෙනස් කරමින්.
ඇත්තෙන් ම මේ ‘වෙනස‘, ‘ඉඳුල් හෝදන්න්නට හොඳ සෝදනකාරකයක් නැති වීමේ ප්‍රශ්නය’ ස්ත්‍රියට පමණක් අදාළ නොවන, සැමට ම ‘පොදු ප්‍රශ්නයක් බවට’ සාමාන්‍යකරණය කිරීම යි...
කෙසේ වෙතත්, ඒ ගැහැනු ළමයාගේ අරගලය විශිෂ්ඨයි... එහි සමාජ බලපෑම අති විශිෂ්ඨයි.
ඇත්තෙන් ම මෑතක දී ඇහුණු ‘අර සබන් දැන්වීම‘ කලාත්මක අතින් දුප්පත් වුණත්, ‘මතවාදී අතින්‘ ඉදිරිගාමී සහ ‘ස්ත්‍රීවාදී‘යි. ඒ මොකද කියනව නම්, ඒ දැන්වීම ‘රෙදි හේදීම ස්ත්‍රීන්ට පමණක් අයත් කාර්යයක්’ බවට පත් කර තිබෙන, අපේ සමාජයේ සංස්කෘතියේ ‘අධිපති මතවාදය’ ට අභියෝග කරන හින්දා.
‘ගෑනුන්ගෙ ඇඳුම් හෝදන පිරිමියෙක්. වගේ ‘අදහසක්‘ දරාගන්නට අපේ පොදු සමාජ විඤ්ඥාණය තවමත් ධෛර්යය සම්පන්න නැහැ.
ඇත්තෙන් ම අපේ ‘පුතාලාට‘ රෙදි හෝදන්න හුරු කරන්නෙ නැත්තෙ, අම්මලා සහ ආච්චි අම්මලා... අපේ ‘මහත්තුරුන්ට‘ රෙදි හෝදන්න දෙන්නෙ නැත්තේ නෝන ලා... අයියලාට නංගිලා... ඒ වගේ... ඉතිං ඒ අර්ථයෙන් ‘සංස්කෘතික විප්ලවයක්’ ඉල්ලා සිටින මේ සමාජ තත්වයන්, එකම එක දැන්වීමකින් වෙනස් වෙන්නෙ නෑ... නමුත් ඒ වගේ ‘පුංචි පුංචි වෙනස්කම්‘ බලපෑම්සහගත නොවේ යැයි කියන්නටත් බැහැ...
ඒ ‘සබන් දැන්වීම‘ වගේ, කලින් සඳහන් කළ අනෙක් ස්ත්‍රී හිංසක දැන්වීම් ගොන්නත්, එකින් එක වෙනස් වන්නට පටන් ගත්තොත්, ඒ බලපෑම - බලවත් වෙන්න පුළුවන්...
‘ස්ත්‍රී හිංසක’ සමාජ ආකල්ප වෙනස් කරන්න දැන්වීම් වලට විතරක් බැරි වෙයි. එහිදී අධ්‍යාපන - ආගම් - පවුල් සහ දේශපාලන සංස්ථා වලට පැවරෙන වගකීම අති විශාලයි.
නමුත් අපි හැම පුංචි දෙයකින් ම 'වෙනස්' විය යුතු යි...
සුරේඛා සමරසේන