නැන්දම්මා ලේලි ගැටුම කියන්නෙ සමාජය කොයිතරම් ඉදිරියට ගියත් තාක්ෂණය දියුණු උනත් ගෝලීය ක්‍රමයට එකතු උනත් ලංකාවේ
කුල ගැටුම වගේම අභාවයට යන්නෙ නැති මාතෘකාවක්. මේක අපි සරලව කිවුවට සමහර ජීවිතවලට මේක භයානක හිංසනයන් ක්‍රියාත්මක වන, නිරෝගී මිනිසුන් රෝගීන් බවට පත්කරන පවුල් විනාශ වන, මිනිසුන් ජීවිතවලින් වගකියන්නට වන ඛේදවාචකයක්. මේවා වෙනුවෙන් විවිධ උපදේශක ආයතන, මනෝ චිකිත්සකවරු, චැනලින් සෙන්ටර්ස් හැම තැනම බිහිවෙලා. ඒත් පරණ සමාජයේ තිබුණාටත් වඩා සංකීර්ණව නැන්ද ලේලි ප්‍රශ්න ඔඩු දුවල. මේ බීබීසී සිංහල සේවයේ දැහැමි රණවීර ඒ වෙනුවෙන් කළ ලිපියක්.
"මම විවාහ වුණ දවසේ ඉඳන් සතුටෙන් හිටපු දවසක් මතක නැහැ."
නැන්දම්මා - ලේලි සම්බන්ධතාව ඉතා පැරණි මාතෘකාවක් මෙන්ම ඒ වටා ගෙතුණු ජන කතා, නාට්‍ය, කවි, හාස්‍ය උත්පාදක වැකි බොහොමයක් අප සමාජය තුළ දැකගත හැකිය. නමුත් ඉන් ඔබ්බට ගිය ගැටලුවක් මෙම සම්බන්ධතාව තුළ ඇති බව බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම් බෙදා ගත් කාන්තාවෝ පැවසූහ.
නමුත් විශේෂඥයන්ට අනුව බොහෝ දෙනෙක් සිය විවාහ දිවිය සමබර ලෙස සතුටින් ගත කරන අතර, එක්තරා කොටසකට සිය ජීවිතයේ ඇති වූ නව සම්බන්ධතා දැඩි ලෙස නීරස වී තිබේ.
කෙසේ නමුත් නැන්දම්මා - ලේලි සම්බන්ධ ගැටුම් බොහොමයක් සමථ මණ්ඩල වෙත යොමුවෙන අතර, ඒවා සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කිරීම ද ඉතා අපහසු කාර්යයක් වී ඇතැයි බියගම සමථ මූල මණ්ඩලයේ සාමාජිකාවක පැවසීය.
"බොහෝ දෙනෙක් මේ පවුලේ කාන්තා සම්බන්ධතා ඉතා හොඳින් පවත්වාගෙන සතුටු ජීවිතයක් ගත කරනවා. හැබැයි එහෙම අය ඉදිරියට ඇවිත් මේ දේවල් කියන්නේ නැහැ. නමුත් සමාජයේ කුඩා කොටසක් අතිශය පීඩාකාරී විවාහ ජීවිතයක් ගත කරනවා මේ නැන්දම්මා ලේලි ප්‍රශ්නය නිසා,"
ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය.
පවුල යනු කුමක් ද?
සමාජයේ තිබෙන වැදගත්ම සහ කුඩාම ඒකකය පවුලයි.
නමුත් ලෝකයේ තිබෙන සියලුම ආකාරයේ පවුල් කුඩා ගෘහස්ථ ඒකකයක් ලෙස හැඳින්විය නොහැකිය. එයට හේතු වී ඇත්තේ,
• පවුල ඉතාම පුළුල් පරාසයක විසිරී තිබීම සහ,
• කාලය අනුව පවුලේ සිදුවී ඇති වෙනස්කම් නිසා එහි විෂය සීමාව පුළුල් වීමය.
මේ හේතුවෙන් පවුල යන්න නිර්වචනය කිරීම ඉතාම දුෂ්කර කාර්යයක් වී තිබේ.
"පවුල යනු ලිංගික කෘත්‍යය, ප්‍රජනනය, සමාජානුයෝජනය සහ ආර්ථික සහයෝගීතාව කාර්ය කොටගත්, අවම වශයෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම සඳහා සමාජ අනුමැතියලත් ලිංග දෙකකට අයත් දෙදෙනෙක් ඔවුන්ගේ දරුවන් හෝ දරුකමට හදාගත් දරුවන්ගෙන් යුක්ත සමූහයකි,"
යැයි හරලම්බෝස් සහ හීල්ඩ් 1997 දී ලියා පළ කළ SOCIOLOGY: THEMES & PERSPECTIVES ග්‍රන්ථයේ සඳහන් වේ.
මේ අතර, න්‍යෂ්ටික පවුල් සංකල්පය ගැන 1949 දී සිය තර්කයන් ඉදිරිපත් කළ ඇමරිකානු මානව විද්‍යාඥ ජෝර්ජ් මර්ඩොක් පවසන්නේ,"මානව සමාජයේ විධිමත් ආකාරයකට වර්ධනය වන එකම සමාජ සංස්ථාව පවුල් සංස්ථාව" යන්නයි.
"එය සමාජයෙන් සමාජයට වෙනස් විය හැකියි. නමුත් දරුවන් බිහිකිරීම, පවුලේ සාමාජිකයන් භෞතික වශයෙන් නඩත්තු කිරීම,දරුවන්ට සමාජ අනන්‍යතාවය පැවරීම, සමාජානුයෝජනය හා සමාජ පාලනය එහි කාර්යය වශයෙන් ඕනෑම සමාජයක පවතී. පැරණි සමාජයේ තිබුණු පවුල විස්තෘත පවුලක්. නූතන සමාජයේ පවුල වෛවාහික පවුලක්. නමුත් කාර්යභාරය සෑම පවුලකම සමාන වෙනවා," යැයි ජෝර්ජ් මර්ඩොක් පැවසීය.
ඡායාරූප මූලාශ්‍රය,DR. MADHUBHASHINEE DAYABANDARA
ඥාතීන් බොහෝ දෙනෙක් එකම නිවසක දිවි ගෙවන විස්තෘත පවුල් ශ්‍රී ලංකාව තුළ තවමත් බහුලව දැකිය හැකිය. කෙසේනමුත්, නැන්දම්මා - ලේලි ගැටුම ගැන අත්දැකීම් හෙළි කළ සියල්ලන්ම විස්තෘත පවුල්වලට අයත් නොවේ. විවාහ වී වෙන්ව දිවි ගෙව්ව ද නොයෙක් ආකාරයේ ගැටුම් ඇති වී තිබේ.
• ශ්‍රී ලංකාවේ දික්කසාද වැඩිවීමක්
• 'බ්ලූ ෆිල්ම්' නිසා අවුල්වන පවුල් ජීවිත
නැන්දම්මා - ලේලි ගැටුම
"මට කසාද ජීවිතය එපා වෙලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව මගේ නැන්දම්මා. මගේ මහත්තයාත් අම්මාගේ පැත්ත අරගෙන ඉන්නේ. නැන්දම්මා මහත්තයා ලවා මට ගස්සවනවා. මම ගෙදර හැම වැඩක්ම කරන්න ඕනේ, නමුත් මාව අමතන්නේ කුණුහරුපෙන්. දවසක් පිරිමි යට ඇඳුම් වගයක් අපේ කාමරයට දාලා තිබුණා. ඊට පස්සේ මහත්තයාට කිව්වා මගේ වෙන සම්බන්ධයක් තියෙනවා කියලා. මම ජීවිතය නැති කරගන්න තැනට මානසිකව වැටිලා ඉන්නේ,"
සිය නම හෙළි කිරීමට අකමැති වූ කාන්තාවක පැවසීය.
නැන්දම්මා සහ ඇයගේ වැඩිහිටි දරුවා අතර ඇති දැඩි බැඳීම සමග ඉදිරියට යෑම විවාහ දිවියේ මුල් කාලයේ වඩාත් අභියෝගාත්මක දේවලින් එකක් වන බව කාන්තාවෝ පවසති.
මෙම සම්බන්ධතා නිසා ස්වභාවිකව කාන්තාවන් අතර තරඟයක් ඇති වේ. එම තරගය නිසා, නැන්දම්මා හෝ ලේලිය ඔවුන් සිදු කරන්නේ කුමක්ද යන්න සම්පූර්ණයෙන් හඳුනා නොගෙන විවේචන හා ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරගනු දැකිය හැකිය.
"නැන්දම්මා ලේලි ගැටුම ගෘහස්ථ හිංසනයක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මේකට ප්‍රධානතම හේතුවක් වෙලා තිබෙන්නේ 'අත්හැරීමට' නොහැකි කම. දරුවන් විවාහ වෙලා ගියාට පස්සේ ඔවුන්ට නිදහස් තීරණ ගන්න තියෙන්නේ ඕනේ, පෞද්ගලිකත්වයක් තියෙන්නේ ඕනේ. දරුවෝ විවාපත් වුණාම එතන තියෙන්නේ වෙනම පවුල් සංස්ථාවක්. මේ තත්ත්වය වැඩිහිටි කාන්තාව තේරුම් ගන්න ඕනේ. ආගම්වලින් පවා කියනවා ජීවිතයේ එක එක වයස් සීමාවල දී කළ යුතු සහ අත්හැරිය යුතු දේවල්."
"හැබැයි ලේලිය වගේම අනෙක් පැත්තෙන් වයසක දෙමාපියනුත් හිංසනයට ලක් වෙනවා.
සමහර කාන්තාවන් තමන්ගේ සැමියාගේ වයසක දෙමාපියන්ට සලකන්න ඉඩ දෙන්නේ නැහැ. වර්තමානයේ දී හිංසනයට ලක් වෙන වැඩිහිටියන්ගේ වැඩි වීමක් අපි දකිනවා. ඔවුන් බොහෝ කාලයක් රෝහල්වල රැඳිලා ඉඳලා පසුව රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තු හරහා වැඩිහිටි රැකවරණ නිවාසවලට යවනවා. "
"වැඩිහිටියන්ට වගේම වැඩිහිටි පුද්ගලයන් තමන්ට වඩා බාල අයටත් එකිනෙකා ගෞරව කිරීම මේ තත්ත්වය මඟ හරවා ගැනීමට අත්‍යවශය කාරණයක්. ඒ වගේම යම් ගැටුම් තිබෙනවානම් වෙන් වී ජීවත් වීමත් මෙයට එක විසඳුමක්," වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පැවසුවාය.
"අපිට උදව් අවශ්‍යයි"
සැමියාගේ මව නිතරම තම පුතු කෙරෙහි ඕනෑවට වැඩි බැඳීමකින් පසුවන බව සමහර කාන්තාවෝ විශ්වාස කරති. ඒ අතර, නැන්දම්මාවරුන් කීපදෙනෙකු පැවසුවේ තමන් තනිවී සහ පවුලෙන් ඉවත් කර ඇතැයි වැනි හැගීමක් දැනෙන බවය.
"මගේ නැන්දම්මා පුදුම වදයක් දෙන්නේ. එයා අපිට තනියම ඉන්න දෙන්නෙම නැහැ. අපි ගමනක් යන්න හදනකොට එයත් නොකියම ඇඳගෙන අපිත් එක්ක එනවා. එයාගේ එකම පුතා මම බැන්දේ. එයා පුතාට අසාමාන්‍ය විදිහට බැඳිලා ඉන්නවා. මම බැරිම තැන රණ්ඩු වෙනවා. මම දැඩි මානසික පීඩනයක ඉන්නේ,"
27 හැවිදිරි කාන්තාවක පැවසුවාය.
මේ අතර නැන්දම්මා කෙනෙකු පැවසුවේ තම ලේලිය ඉතා සැර පරුෂ ආකාරයෙන් තමන්ට සලකන බවය.
"මම වයසක කෙනෙක්. මට දරුවන්ගෙන් සහය ගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි මගේ ලේලිය මගේ පුතාට මට උදව් කරන්න දෙන්නේ නැහැ. මට නිතරම බනිනවා. එක දවසක් රණ්ඩුවක දී මාව තල්ලු කරලා දැම්මා. පුතාට මේවා කිව්වට එයාගේ දරුවෝ ඉන්න නිසා ලේලිට මුකුත් කියන්නේ නැහැ,"
සිය නම හෙළි කිරීමට අකමැති කාන්තාවක පැවසීය.
යම් කිසි කෙනෙකු මානසික පීඩනයකින් පෙළෙන්නේ නම් ජාතික මානසික සෞඛ්‍ය උපදේශන සේවයේ සහාය ලබා ගත හැකිය. 1926 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරා භාෂා තුනෙන්ම අවශ්‍ය උපදේශන සේවා ලබා දෙන අතර, කාන්තා පිහිට, සුමිත්‍රයෝ, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන කීපයකින් ද අවශ්‍ය සහය ලබා ගත හැකිය.
ගෘහස්ථ හිංසනයක් සිදුවන්නේ නම්, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන අංකය ඇමතිය හැකිය (උපකාරක සේවා දුරකථන අංක සියල්ල ලිපියේ පහත සඳහන් වේ)
"පසුගිය කොරෝනා සමයේ මෙවැනි ගෘහස්ථ ගැටලු අපිට වාර්තා වීම වැඩි වුණා. නිවසේ හැමෝම එක දිගට රැදී සිටීම මේකට එක හේතුවක් වුණා. පළවෙනි ලොක්ඩවුන් එකේ දී විතරක් ඇමතුම් 12,000ක් ආවා. පසුගිය අවුරුද්දේ විතරක් මානසික සෞඛ්‍ය උපදේශන පතලා ඇමතුම් 30,000ක් ලැබුණා. ඒවා බහුතරයක් මේ පවුල් සම්බන්ධතා සම්බන්ධ ප්‍රශ්න. ඒ වගේම සිය දිවි නසා ගන්න මට්ටමේ සිටිය 225 දෙනෙකු පමණ අපිට එයින් මුදවාගන්න පුළුවන් වුණා. මේ අපිට වාර්තා වුණ ප්‍රමාණය විතරයි,"
ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.
"නැන්දම්මා ලේලි ප්‍රශ්නයේ දී, සමහර විට අම්මාට ඉන්නේ එක පුතෙක් වෙන්න පුළුවන්. එතකොට එයාගෙන් බලාපොරොත්තු වන ප්‍රමාණය වැඩියි. ඒ වගේම වර්තමානයේ දී ලේලිය රැකියාවට යනවා, නමුත් සමහර විට නැන්දම්මා ගෘහණියක් විදිහට නිවසේ සියල්ල සිදු කළ කෙනෙක් වෙන්න පුළුවන්, එයා ඒක ලේලිගෙන් බලාපොරොත්තු වෙනවා. නැත්නම් නැන්දම්මා එයාගේ විවාහ ජීවිතයේ දී විවිධ හිංසාවලට මුහුණ දීපු නිසා, ඒ මානසික පීඩනය පිට කරනවා වෙන්නත් පුළුවන්."
මෙවැනි 'කෙනෙහිලිකම්' බොහෝ විට සිදුවන්නේ රැකියාවක් නොකර නිතර නිවසේ රැදී සිටිමින් වෙනත් සමාජ සම්බන්ධතා නොමැති අය අතර බව ද වෛද්‍යවරිය පැවසීය.
"සතුටින් ජීවත් වෙන අය අතර කවදාවත් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මවක් සහ දරුවෙකු අතර ඇති දැඩි බැඳීම ගැන ලේලියක් තේරුම් ගන්න ඕනේ. කෙනෙක් තමන්ගේ අම්මාට වඩා තමන්ට ආදරය කරන්න කියලා ඉල්ලා සිටිනවානම් ඒක අඥානකමක්. අම්මා සහ පුතා වෙන් කරන්න උත්සහ කරන තැන මේ ප්‍රශ්න උග්‍ර වෙනවා."
කිසි දිනක 100%ක් ගැලපෙන සහකරුවෙක් හෝ නැන්දම්මා කෙනෙකු අප කිසිවෙකුට නොලැබෙන අතර, ඒ මත පැන නැඟෙන ගැටලු ඉතා බුද්ධිමත්ව විසඳා ගත යුතු බව වෛද්‍යවරිය පැවසීය.
එමෙන්ම, විවාහය නැත්නම් පවුලක් තුළ දිවි ගෙවීම යනු නොගැළපීම් සඳහා පමණක් නොව, ගැළපීම් සඳහා අවධානය යොමු කර ධනාත්මකව එය වර්ධනය කර ගැනීම බව ඇය තවදුරටත් පැවසුවාය.
"අයියෝ ඇයි මම බැන්දේ' වගේ දේවල් හැම වෙලාවෙම හිතන්නේ නැතුව බුද්ධිය මෙහෙයවා ගැටලු විසඳගන්න. හැබැයි මානසික, නීතිමය උපදෙස්, උදව් අවශ්‍ය වෙලාවට නොපමාව අදාළ සේවාවන් අමතන්න."
උපකාර කළ හැකි ආයතන
• ජාතික මානසික සෞඛ්‍ය උපදේශන සේවය - 1926
• කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට ලක් වූවන්ට සහන සැපයීමට 1938 නම් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
• 'කාන්තා පිහිට (WIN)' නම් රාජ්‍ය නොවන සංවිධානය කාන්තා අයිතීන් පිළිබඳ දැනුවත් කරන අතර, නොමිලේ නීති උපදෙස් සහ සේවා ලබා දීමට ද කටයුතු කරයි. මෙම සංවිධානය 011 4718585 නම් ක්ෂණික දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ කර ගත හැකිය.
• ශ්‍රී ලංකාවේ රෝහල් 72 ක් තුළ 'මිතුරු පියස' මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, මෙමගින් ලිංගිකත්වය මත පදනම් වූ හිංසනය වළක්වාලීම පිළිබඳ මාර්ගෝපදේශන සහ 'සතුටු පවුල' සංකල්පය හඳුන්වාදීම සිදු කෙරෙන බව ස්ත්‍රී/පුරුෂ සමාජභාවය පිළිබඳ ජාතික වැඩසටහන් කළමණාකාරිණි විශේෂඥ වෛද්‍ය නේතාංජලී මාපිටිගම පැවසීය.
හිංසනයන්ට ගොදුරු වූ මානසික ව්‍යාකුල තත්ත්වයන්ට ලක් වූ ඕනෑ ම කෙනකුට මිතුරු පියස මධ්‍යස්ථාන මගින් සේවා සපයන අතර, මේ සඳහා විශේෂ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් පුහුණු කර ඇති අතර ඊට විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම හෙද නිලධාරිනියකගේ ද සේවය සපයනු ලබන බව ඇය තවදුරටත් පැවසුවාය.
• ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයද කොරෝනාවෛරසය පැතිරී යාමත් සමග විවිධ මානසික හිංසනයන්ට සහ ව්‍යාකූලත්වයට ගොදුරු වූවන්ට සහන සැලසීමට විශේෂ දුරකතන අංක කීපයක් හඳුන්වා දී තිබේ. +94 11 2 682535 යන දුරකථන අංකයෙන් ඔවුන් සම්බන්ධ කර ගත හැකිය.
• වයස අවුරුදු දහ අටට අඩු දරුවන්ට නිවස තුළ සිදුවන හිංසන, අයුතු සැලකීම් සම්බන්ධයෙන් 1929 දුරකථන අංකය ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් උපකාර ලබා ගැනීමේ අවස්ථාව ඇත.
• නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට මුල්‍යමය හැකියාව නොමැති පුද්ගලයන් සඳහා නීති ආධාර කොමිසම මගින් නොමිලේ නීති උපදෙස් ලබාගැනීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ දුරකථන අංකය:011 2433618.
• ශ්‍රී ලංකා පොලිසිය ක්ෂණික දුරකතන අංකය 119