ගහකොළ- සතා- සීපාවා, ගංගා- ඇළ- දොළ ඇතුලත් පරිසරය වගේම, කඩේ- සාප්පුවේ- කම්හලේ-ගොවිපොළේ ඇතුලත්
ලාභය ඉපැයීම පමණක් අරමුණු කොටගත් වෙළඳ ලෝකයේද, මිනිසා ගන්නා හුස්ම ටිකත්, ආහාර ටිකත් අමානුෂික විදියට විකුණාගෙන කද්දි, දේශප්‍රේමය, ජාතිකවාදය ඉහ මුදුනින්ම පිළිගත් මුදලාලිලා- කොම්පැනිකාරයයා- ජාවාරම්කාරයා හා එක්ව නටන නාඩගම දිහා වගේ වගක් නැති ජනතාව, දේවානිලාට භාග්‍යලාට විතරක් නෙවෙයි අවුරුදු තිහක් තමන් වැඩකරපු ආයතනයේ ඇත්ත කයිවාරුව පෙන්නල දුන් සිද්ධිකාල දිහාත් පොලු මුගුරු අරන් යද්දි “චී නොදකින්” කියල මේ ලියවිල්ල පටන් ගන්නම්.
ඔබට මතකද? 2015 දී බලයට පත්වුනු යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අදාළව ආරම්භ කළා වස විස නැති රටක් ජාතික වැඩපිළිවෙලක්. වසර තුනක ඉලක්කයක් එක්ක ලබාදීපු වස විස නැති රටක් වරම අතේ තියාගෙන අතුරලියේ රතන හාමුදුරුවෝ ජනතා මිතුරෝ සංවිධානයේ මූලාරම්භ ක්‍රියාධරයෙක් වූ අශෝක අබේගුණවර්ධනයන් එක්ක මේ ව්‍යාපෘතිය අරඹනකොට මහාචාර්ය චන්න ජයසුමනත් මේ වැඩසටහනට සක්‍රීයව සහභාගී වූ අයෙක්.
ඒ යුගයේ කෘෂි රසායන විශේෂයෙන්ම ග්ලයිෆොසෙට් මගින් වියලි කලාපයේ උග්‍ර සෞඛ්‍ය ගැටළුවක්ව පාවති අදටත් ඛේදවාචකයක්ව පවතින (එහෙත් අද වෙද්දි චන්න ජයසුමනට අමතක) ජල මූලාශ්‍රවලට එක්වන විස නිසාවෙන් වකුගඩු ආසාධිතයින් ඇතිවුනු බව පොළොවෙ හැපෙමින් කියා සිටි අයෙක් තමයි චන්න ජයසුමනයන් කියන්නේ. ඉතිං ඒ ආණ්ඩුව ග්ලයිෆොසෙට් තහනම් කළා විතරක් නෙවෙයි කාබනික වගාව කියල ඒ වෙද්දි ඉතා කුඩා කණ්ඩායමක් පවත්වාගෙන ගිය කාබනික ගොවිතැන මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කරන්න අය වැයෙන් ප්‍රතිපාදන පවා නිකුත් කළා. එහෙම රාජ්‍ය අනුග්‍රහය තිබුනු මෙහොතක පවා පාරිභොගික සේවා අධිකාරියටවත්, ප්‍රමිති ආයතනයටවත්, කෘෂිකර්ම අමාත්‍යාංශයටවත් මේක ලේසි පාසු උනේ නෑ. අන්තිමට ජාවාරම්කාර කොම්පැනිවලට ඕන හැටියට ආයෙමත් ග්ලයිෆොසෙට් තහනම ඉවත්කළා පමණක් නෙවෙයි තිබුණාටත් වඩා මහා පරිමාණ විෂකාරක රසායනික දියර රට ඇතුලට ගලා ආවා.
ඒ කාලෙත් මේ ප්‍රමිති ආයතනය තිබුනා. ඇත්තටම මේව නිකංම නිකං ආයතනය විතරයි. තනතුරු ටිකක් තියෙනවා. රජයේ සේවයේ පිළිවෙළට කාලය ගත වෙද්දි උසස්වීම් ලැබෙනවා! ඉන්නවා! පැන්ෂන් යනවා! මැරිල යනවා! අඩුම තරමේ ඇපල් ගෙඩියට, අඹ ගෙඩියට, පලතුරු ගෙඩියට ගහන කාබනික ද්‍රව්‍යවත් ඉවත් කරන්න මේ අයට බෑ. මේව ගැන හොයල බලන්න ආයතන නෑ. ආයතන තිබුනොත් නිළධාරීන් හිගයි කියනව. එක්කො මේක අපේ ආයතනයෙ වගකීම නෙවෙයි කියනවා. අපි කරන්නේ නිර්දේශ දෙන එක විතරයි කියනවා. නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයයි තවත් ටිකක් තියෙනවා.
ඉතිං ඔය කියන වස විස නැති රටක් ජාතික වැඩසටහන කාලයේ රටේ ලොකු පිබිදීමක් ආවා ගෙවත්තෙන් කාබනික ආහාර හදාගන්න, රසායනික ද්‍රව්‍ය භාවිතා නොකරන්න, කොටින්ම මිනිස්සු කඩේට ගියාම අජිනමොටෝ මේ ආහාරවල තියෙනවද බලන්න, එළවළු ගෙඩිය පනුවො විදල නැත්නම් ඒක වස දාපු එකක් විදිහට ප්‍රතික්ෂේප කරල පනුවො විදපු එළවළු හොයන්න, ගුල්ලො නැති හාල් නම් විසි තිස් පාර හෝදන්න, හාල් වර්ග කරල බත් පිහින්න, කාබනික පොහොර ගෙදරදිම හදාගන්න එකී මෙකී නොකී දහසකුත් එකක් කාරණා ගැන සැලකිලිමත් වුනු වැදගත් ජනතාවක් බිහිවෙන්න ගත්ත.
වස විස නැති ආහාර කියල බෝඩි එල්ලෙන්න ගත්තා. ඒව එල්ලගෙන පරණ විදිහටම ආහාරත් විකුණුව. සීනි පරිභෝජනය සීග්‍රයෙන් අවම වෙන්න ගත්ත. රජයට සිද්ධ උනා සීනි පරිභෝජනයට අදාළව පැණි බීම වල ලේබල් ගහන්න ගත්ත, සීනි ප්‍රමාණයන් අවම කරන්න කටයුතු කළා.
ඒත් එවන්වූ වැදගත් ජනතාවක් බිහි උනාට පාලකයොවත්, මුදලාලිලාවත්, කොම්පැනි සමාගම්කාරයො වත්, රටේ ආයතන පද්ධතියවත් වැදගතුන් පිරිසක් බවට පත් උනේ නෑ. ඒ නිසා මොකද උනේ? දැන් මිනිස්සු දන්නව මේ කන්නෙ වහ කියල. මේවයෙ පිළිකා කාරක තියෙනව කියල. මේවයෙන් බෝ නොවෙන රෝග හැදෙනවා, අඩු වයසින් මැරෙනවා කියල. ඒ උනත් බල යාන්ත්‍රනය ඒකට ජාතික වැඩසටහන්වත්, ප්‍රතිපත්තිවත් හදන්නෙ නෑ. මොකද ඒව හුදෙක් දේශපාලන බලය ගැනීම සඳහා පමණක් තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය අලංකාර කරන්න යොදාගන්න අයිසින් වචන ටිකක් විතරයි.
සීනි හොඳම නෑ කියල දැන දැනත් දියවැඩියා පා ගමන් වලට මීඩියාවලට මූණ පෙන්නපු දේශපාලකයොම, පාලකයොම සීනි ජාවාරමට අනුබල දෙන හැටි තාමත් නැවතිලා නෑ. ඒකෙම දිගුවක් නෙවෙයිද පොල් තෙල්? වස පොල් තෙල් තහනම් කරන්න ගැසට් ගහපු නායකයො ටිකක් දුරට හිතල බැලුවනම් වස සීනිත් (ප්‍රමාණය ඉක්මවා පරිභෝජනයට එක්කිරීම වස කෑමකි) තහනම් කරන්න ගැසට් ගහන්නෙ නැත්තෙ ඇයි?
දැන් ලස්සනම වැඩේ කියන්නෙ මේ ඔක්කොගෙම නරිවාදන් සිද්ධිකාගේ රෙද්ද අස්සෙන් බේරෙන්න කටයුතු කිරීමයි. ලංකාවේ මොන වෙළඳ භාණ්ඩයද ප්‍රමිති සහතික එක්ක වෙළඳාම ආරම්භ කරන්නෙ? පවත්වාගෙන යන්නෙ? මේව නොදන්න දේශපාලකයො ඉන්නවද? රාජ්‍ය නිළධාරීන් ඉන්නවද? පාලකයො ඉන්නවද? ඇයි ජනතාව? ජනතාවත් මේව දන්නෙම නැද්ද?
අපි බලමු මේ සිද්ධිකා මොනවද කියන්නෙ කියල.
සිද්ධිකා කියන්නෙ වස විස ඇති ආහාර නියාමනය කර ඒවා ගැන පාරිභෝගික අධිකාරිය විසින් තීරණයක් දෙන තුරු එය තහනම් කිරීමට තමන්ට අයිතියක් නැති බවයි. එමගින් දේශීය කර්මාන්ත බිඳ වැටෙන බවයි. එතෙක් ජනතාවට ඒ වස කෑමට සිදුවන බවත් එය කෙටි කාලයකට සිදු කරන්නට වන බවත් ඇය පවසනවා. ඇය මෙතනදි කියන කතාව හරි කියන දේ තුළ අවංකයි. කිව්ව දේ භයානක උනත් ඇත්තටම සිද්ධවෙන්නෙ ඔික. ඇය දේශපාලන චරිතයක් නොවන නිසා ඇයට තේරෙන්නෙ නෑ මේක ගොඩින් මඩින් බේරගෙන ලකුණු දාගෙන පොරක් වෙන්න.
ජාත්‍යන්තර අධිකරණයටත් ගිහින් ඇමෙරිකාවේ අධිකරණයෙත් නඩු පවරල ග්ලයිෆොසෙට් මිනිස් සිරුරට අහිතකරම කෘෂි රසායනයක් කියල ගලයිෆොසෙට් නිෂ්පාදන සමාගම නඩුවෙනුත් පැරදිල ඒ ගොවීන්ට වන්දිත් ගෙවල තියෙද්දි අපේ පාලකයො ඒ තහනම ඉවත් කරල නැවත එම වසකාරකය වෙළඳපොලට ගෙන්වීමට අනුමැතිය දීමයි සිද්ධිකා කියපු දෙයයි අතර බරපතලකමේ වෙනස කොහොමද සලකුණු කළ හැක්කේ?
සිද්ධිකා සමග රූපවාහිනී නාලිකාවක් පැවැත්වූ සාකච්ඡාවේ අන්තර්ගතය ‘ද ලීඩර් වෙබ් අඩවිය’ දක්වා තිබුණේ මෙහෙමයි. පපර පපා පොර ටෝක් බුදින හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස එය කියවා බලන්න.
“වස විස ඇති දේශීය ආහාර ද්‍රව්‍ය නියාමනය කරන තෙක් ඒවා ජනතාවට කෑමට සිදුවන බවත්, දේශීය ආහාර වර්ග නියාමණය කිරීමට තම කාර්යාංශයට බලයක් නොමැති බවත් පැවසු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න දඬුකඳේ ගැසීමට බොහෝදෙනෙකු උනන්දුවන බවක් පෙනේ.
මෙම රුපවාහිනී සාකච්ජාවේ අදාල දෙබස ආරම්භ වන්නේ ප්‍රශ්න විචාරකයා විසින් දේශීය පොල්තෙල් වලත් අෆ්ලාටොක්සින් විෂකාරකය තිබේද යන ප්‍රශ්නය මතුකිරීමත් සමඟය.
එහිදී ඇය මෙසේ පවසයි.
දේශීය සමාගම්වලට දඬුවම් කර ඔවුන්ගේ ව්‍යාපාර තහනම් කරනවා වෙනුවට ඔවුන්ට කාලයක් දී ඒවා නිවැරදි කර ගත යුතු බව ඇය එහිදී පැහැදිළිව පවසයි.
බොහෝ දෙනෙක් නොදන්නා කරුණ නම් මේ දේශීය නිෂ්පාදන කර්මාන්තශාලා තුළ කිසිදු රසායනාගාරයක් හෝ තත්ත්ව පරීක්ෂණ නිලධාරීන් නොමැති බවයි.
වසර 100 ක් ගත වුවත් තවම පොල් අඹරන්නේ සම්ප්‍රදානුකූල ආකාරයටය.
නිෂ්පාදනයට ගන්න කොප්පරා පරීක්ෂා කිරීමක් ද සිදු නොවේ.
1980 සිට පොල්තෙල් හෝ පාම් තෙල් ආනයනයෙන් රජය රැස්කර ගත් මුදලෙන් 1% ක් හෝ පොල්තෙල් කර්මාන්තයේ සුභසිද්ධියට යොදවා නොමැත.
මෙරට නිෂ්පාදනය කරන සහල්, තිරිඟු, තුනපහ, අමුමිරිස් ආදී කිසිඳු ආහාර ද්‍රව්‍යයක ප්‍රමිතිය පරික්ෂාවට ලක්නොවේ.
කන බොන සියලු ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු ද? නැද්ද? යන්න සොයා බැලීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙතයි. එහෙත් මෙහිදී සෞඛ්‍ය බලධාරීන් මෙහිදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි.
බොහෝ දෙනා මෙම සිද්දිකා සේනාරත්නගේ ප්‍රකාශය ආනයනය කරන ලද පොල්තෙල් කරුවන් ආරක්ෂා කරනවා යයි හැගෙන ආකාරයට සමාජ ගත කරන්න උත්සාහ කරමින් සිටියි.
අද වෙළඳ තරඟකාරීත්වය තුල පවා ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, ජර්මනිය, මැලේසියාව වැනි රටවල් තමන්ගේ රටවල දේශීය නිෂ්පාදිතයා ආරක්ෂා කිරීමට නොබියව ඉදිරිපත් වේ.
ඒ අනුව අපි බැලිය යුත්තේ ඇයගේ ප්‍රකාශයේ අන්තර්ගතයි.
එනම්, මෙරට සියළුම වැසියන් ජාති, ආගම්, කුල මල පක්ෂ පාට බේදයකින් තොරව වස විස කමින් සිටින බවයි. ඒවා පාලනය කිරීමට ශක්තිමත් යාන්ත්‍රණයක් මෙරට පාලනය කල කිසිඳු ආණ්ඩුවක් විසින් හඳුන්වා දී නොමැති බවයි.”
උපුටාගැනීම -theleader.lk
මෙතැනදි අපිට වටහාගැනීමට සිදුවන යථාර්ථය මෙයයි. පරිසරවේදියො ටොන් ගණනක් හිටියත් පහුගිය කාලෙ ඔවුන්ව සමාජෙ සිද්ධ වෙන ප්‍රශ්නවලදි ඇහැරවගන්න සිද්ධ උනේ දේවානිලාට. භාග්‍යලාට. ඉන් පස්සෙ ගැහැණු වීම නිසාම ඔවුන්ට මඩ ගහන්න, සැර දාන්න, තර්ජනය කරන්න දේශපාලකයො, මංත්‍රී ඇමති පිස්සෝ, ආණ්ඩුවට එරෙහිවෙනවා කියල හිතන ඕනම කිරි දරුවෙකුට උනත් පොල්ලක් අරන් මඩ ගහන්න මුදලට කොන්ත්‍රාත් අරගෙන ඉන්න ඉරුරාජ් වගේ පවුල් පරම්පරාවෙන් හීනමානය දායාද කරගත් අපතයින්ට අවස්ථාව උදා උනාම කඳුළු බිබී හරි තමන් කියූ ඇත්ත වෙනුවෙන් පෙනී උන්නෙ මේ ගෑණු. උන්ව එක එක ගොඩවල් වලට නාමකරණය කරල වර්ග කරල ලේබල් අලවල විසි කරන්න හැදුවත් උන් කියපු ඇත්ත ඇත්තක්ම තමයි. (පොඩි දෙයක් ජවිපෙටත් කියන්න ඕන.පාලකයො හැම එකාම තවමත් හිතනව හොඳ විවේචනයක් රට වෙනුවෙන් දෙයක් කවුරු හරි කිව්වොත් ඔහු හෝ ඇය ජේවීපී කියල. ඒ තැන ඇත්ත වශයෙන්ම ජේවීපීයෙ අද නැති උනත් මේ ගැනවත් හිතල රතු බතල කොටන් ටික අතීත ගරුත්වය රැකගත්තොත් හොඳයි) උන්ගෙ විදියට නොවුනත් සිද්ධිකාගෙ ගෑණුකම් අස්සෙ, අවුරුදු ගානක් සිද්ධවන බලධාරීන්ට කොන්දක් ඇතිව වැඩපිළිවෙලක් හදාගන්න බැරි වුනු වස ආහාර විකිණීමේ ව්‍යාපාරිකයො ගැන ඇත්තක් තමයි සිද්ධිකා කිව්වෙත්. ඒත් ගෑනියෙක්. (එයා තනියම කුඩයක් ඉහලගෙන යන ගෑණියෙක් වෙන්න ඇති කියලත් අනුමාන කරනවා.)
පරම විධායක බලය අත්පත් කරගත් රටේ නායකයටවත් මේ රටේ ජාවාරම්කාර මී හරක් ටික ආම්බාන් කරගෙන වැඩක් කරන්න හයියක් නැති කොට, ඉඩක් නොලැබෙන කොට, සිද්ධිකාගෙන් බලාපොරොත්තු වෙන්නෙ තවත් බොරු පූචානම් කයියක් විතරයි නේද මහත්වරුනි? ඒක එයාගෙන් ලැබුනෙ නැති නිසා නේද බුකිය පළාගෙන කෑ ගහන්නෙ. මේකටත් ලිංගිකත්වය බලපෑවෙ නෑ කියල මොන දෙයියන්ටද කියන්න පුළුවන් පිරිමි මහත්වරුනි!
අංජලී සූරියබණ්ඩාර