මේ වෙළඳ කලාපේ වැටුප් ක්‍රමවේදය සකස් කරල තියෙන්නේ ඊළග දවසේ සේවකයා වැඩට එන්නම ඕනේ විදියට.
මූලික පඩිය හරිම අඩුයි. පැමිණීමේ දීමනාව ගන්න නම් හැමදාම වැඩට යන්න ඕනේ. ටාගට් කවර් කළේ නැත්තං ඉලක්ක සම්පූර්ණ කිරීමේ දීමනාව හම්බවෙන්නේ නැහැ.
ඒවගේමයි අතිකාල දීමනාව. මහමෙරක් වාගේ බර ඇදලා තමයි මාසේ අන්තිමට සොච්චමක් අතට ගන්නේ. ඒකත් යන්තං පිරිමහගන්න මිසක් රහට කාලා ඇඳලා ඉන්න පුළුවන් පඩියක් නෙවෙයි.මලත් වැඩට එන්න ඕනේ කියන පදනම යටතේ තමයි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. කලාපේ වැඩකරන ළමයින්ට සමාජය සමග ගනුදෙනුවක් ඇත්තේම නෑ. මරණෙකට,මගුලකටවත් යන්න නිවාඩුවක් ගන්න බැහැ. ගත්තොත් දීමනා හම්බවෙන්නේ නැහැ. ආයතනයක් දෙකක් ඇරුනම බහුතරයක් තැන්වල පාලකයින්ට ඇති පහසුකම්වලින් සියයට එකක්වත් සේවකයින්ට නැහැ.
මේක ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කථාවක්.
කකලාපේ වැඩට ඇවිත් ඉන්න බහුතරය පිටපලාත්වල අය. මේ ප්‍රදේශය වෙළඳ කලාපයක් කරන්නට ඉස්සර තිබිලා තියෙන්නේ ඌරු කොටු. ඒ ඌරුකොටු තමා පසු කාලෙක පිට පලාත් වලින් කලාපේ වැඩට එන ළමයින්ට නවාතැන් සපයන බෝඩිංවලට පරිවර්ථනය වෙන්නේ. මේ ළමයි නතර වෙලා ඉන්නේ මූලික පහසුකම්වත් සරි නොකළ බෝඩිං කාමරවල. ඒවාට නිසි ලෙස වාතාශ්‍රය එන්න දොර ජනේල නැහැ. විදුලි පංකා නැහැ. එකකට දෙකකට වඩා විදුලි බුබුළු දල්වන්න තහනම්. වැසිකිලි කැසිකිලි පහසුකම් අල්පයි. නාන්න, රෙදි සෝදන්න වතුර ටික දෙන්නේ සලාක ක්‍රමයට. ඉතා සරලව කියනවානම් කලාපේ බෝඩින් අදටත් ඌරු කොටු වාගෙම තමයි. ඒවා අමු අපායවල් වාගේ.
මේ කෝවිඬ් වසංගත කාලේ කලාපේ ළමයි විඳි දුක් අනන්තයි. කෝවිඩ් එකත් එක්ක මාර්තු මාසේ තමයි වැඩ නතර වෙන්නේ. හැබැයි මේ අය කවුරුවත්ම අප්‍රේල් බෝනස් එක දුන්නෑ. බෝනස් කියන්නේ මුළු අවුරුද්දම වැඩ කරලා සේවයින් උපයා ගන්න අමතර වාසියක්. හුගක් රටවල අය ඕඩර්ස් කැන්සල් කළා. මේක ගෝලීය තත්ත්වයක්. ඒක අපි තේරුම් ගන්නවා. ඒ වුනාට ෆැක්ට්‍රියෙ අයිතිකාරයෝ අවුරුද්ද පුරාම මුදල් ඉපයුව. හැබැයි එක මාසයක් දෙකක් සේවකයින්ව බලාගන්න බැරිවුනා. සමහර දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවා තියෙද්දිත් ළමයින්ට වැඩට එන්න කියලා දැනුම් දුන්නා. ඒත් ඒ අහිංසකළමයි කොහොමද පොලීසි වලින් අවසර ගන්නේ. නාපු ළමයින්ව ගහෙන් ගෙඩි එන්නා වාගේ අස්කළා.
සමහර ළමයි වාහන හයර් කරගෙන කොහොම හරි ආවා. තවත් ළමයි ගම්වල ඉඳලා කොහෝම හරි වැඩට ආවම රස්සාවෙන් අස්කළා කියලා දැනුම් දුන්නා. ආව ළමයින්ගෙන් මරවලවාගේ වැඩ ගත්තා. සමහර ආයතන වැසිකිලි පිරිසිඳු කිරීමේ කටයුත්තත් මේ ළමයි ලවාම කරගත්තා. දැන් ඇඳිරි නීතිය ඉවත් කරලා. රස්සා නැති වෙච්ච සේවකයින් මහපාරට වැටිලා. මේ රැකියා අහිමිවීමේ සහ අහිමි කිරීමේ ප්‍රවනතාව ඇතුලේ දැන් ළමයි මෑන්පවර් ඒජන්සි හරහා රුපියල් හාරසීයක දවසේ කුලියට වැඩ කරන්න පටන් අරගෙන ඉන්නවා. ටිකක් වයස්ගත වෙච්ච මිනිස්සුන්ට නං කොහොමටවත් වැඩ නැහැ.
අපිට ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන්න තියෙන එකම ක්‍රමය තමයි කාර්ය සාධක බලකාය. එතන වෘත්තීය සමිති තුනක් විතර නියෝජනය වෙනවා. පාලක පක්ෂය කියන දේට ඉහලින් ඇමතිතුමා තීරණයක් ගන්නේ නැහැ. ආණ්ඩුව පාලක පක්ෂයට අඩලා කියන්නේ මහ ඡන්දේ ඉවර වෙනකල් කිසිම තීරණයක් ගන්න එපා කියලා.
කෝවිඩ් කාලේ කලාපේ ළමයි දරුණු ලෙස හිංසනයට ලක්වුනා. මේ සමහර ළමයින්ට යන්න කියලා ගෙයක්දොරක් නැහැ. ගෙවල් දොරවල් වල ඉඩකඩ මදකම නිසා, පවුල්වල ප්‍රශ්න නිසා මෙහේ ඇවිත් නතර වෙලා රැකියා කරන ළමයි දාස් ගානක් ඉන්නවා. ඒ ළමයි පුදුමාකාර අපහසුවකට පත්වුනා. සමහරු ඉන්නවා තම තමන්ගේ පවුල් අතඇරලා දාලා මෙහේ ඇවිත් අලුතින් ජෝඩු වෙලා පවුල් කන අය. විශේෂයෙන්ම එවැනි කාන්තාවන් ශාරීරිකව හා මානසිකව ඉතා දරුණු වද හිංසාවන්ට ලක්වුනා.
මේ පිටපලාත් වලින් පැමිණි සමහර ගැහැණු ළමයින්ට කෑම බීම ටික සරිකරන්න ක්‍රමයක් නැතිව පිරිමින්ට ලිංගික අල්ලස් දුන්නා. කඩේ මුදලාලිගේ ණය පියවා ගන්න බැරි වුනාම, බෝඩිං ගාස්තු ගෙවාගන්න බැරිවුනාම, මුදලාලිත් එක්ක, බෝඩිමේ අයිතිකාරයත් එක්ක යහන්ගතවුනා. ඒක බලහත්කාරයෙන් සිදු වූ දෙයක් නොවුනත් ඒ වෙලාවේ මේ ළමයින්ට වෙන විකල්පයක් තිබුනේ නැහැ.
අපි දන්න එක කාන්තාවක් බෝඩිමේ හිටියේ තමන්ගේ දරු දෙන්නත් එක්ක. ඒ අම්මට දරුවන්ට කන්න බොන්න දෙන්න විදියක් නැතිවුනා. දවසක් බලා ඉඳලා බැරිම තැන දරුවන්ට උයලා දෙන්න මාළුග්‍රෑම් පන්සීයක් ගන්න මාළු මුදලාලිට ලිංගික අල්ලසක් දුන්නා. සමහර ළමයින්ට බෝඩිං කාමර කුලිය ගෙවාගන්න බැරිවුනාම බෝඩිං හිමියා ඇවිත් මහරෑ එළියට දාපු අවස්ථා තිබුනා. ළමයි තමන්ගේ ඇඳුම් මල්ලත් පොදි ගහගෙන ඉන්ඩ තැනක් හොයාගන්න ගෙන් ගෙට ගියා. අපේ ආයතනයේ මේ පුංචි ඉඩේ ළමයි ගනනාවක් තාවකාලිකව නතර වෙලා හිටියා.
මේ ප්‍රදේශයේ ගබ්සා කරන තැන් වැහි වැහැලා තියෙනවා. ඒවාගෙමයි ෆාමසි. ගෑනු ළමයෙක් ගැබ් ගත්තම ඉස්සරවෙලාම ගියේ ෆාමසියට. ෆාමසියේ මුදලාලි දන්නවා මාසෙට, මාසදෙකට,මාස තුනට දෙන්න ඕනේ වඳ බෙහෙත් මොනවද කියලා. මේ කෝවිඩ් කාලේ අනවශ්‍ය ගැබ් ගැනීම් රාශියක් සිදුවුනා. ලොක් ඩවුන් එක අස්සේ ළමයින්ට එළියට පහලියට යන්න බැරිවුනා. ගැබ් ගත්තු ළමයින්ට දැන් දෙලෝ රත්වෙලා. සමාජෙට,ජීවිතේට මුහුණ දෙන්නේ විදියක් නැතිව අතරමං වෙලා.
මේ වෙළඳ කලාපේ මිනිස්සු කවුරුවත්ම අපි බඩගින්නේ ඉන්නවා, අපි දුක් විඳිනවා කියලා රටට පෙන්නන්න කැමැති නෑ.මොනවා වුනත් ලැබෙන සොච්චමෙන් ලස්සනට ඇන්දා. ස්මාට් ෆොන් එකක් පාවිච්චි කළා. ඒ තරුණ ප්‍රජාව වහල් සේවයේ නිරත වුනත් පුංචි අභිමානයක් එක්ක ජීවත් වුනා. නමුත් මේ වෙලාවේ ඒ ළමයි බිංදුවට වැටුනා. සමහර ළමයි අපි ළගට ඇවිත්බැ ගෑපත් වුනා අපිට කන්ඩ බොන්ඩ විදියක් නෑ උදව් කරන්න කියලා. පිරිමි ළමයි අඩනවා දැක්කම නං පපුව හෝස් ගාලා පත්තු වුනා.
රටේ මිනිස්සුන්ට ආණ්ඩුවෙන් රුපියල් පන්දාහක් දුන්නා. නමුත් කලාපේ හිරවෙච්ච ළමයින්ටස්ථිර ලිපිනයක් නෑ කියලා ඒ පන්දාහ හම්බ වුනේ නැහැ. සමහර ග්‍රාමසේවකලා පන්දාහ දෙන්න කියලා ළමයින්ගෙන් ලියුම් පහ හය ලියවා ගෙන ගිහිං තියනවා. ඒත් සල්ලි හම්බ වුනේ නැහැ. මේ ළමයි පිටින් ආපු අය. මේ අයට සැලකුවා කියලා චන්දයක් වැටෙන්නේ නැති නිසා කිසිම දේශපාලඥයෙක් මේ පිරිසටඋදව් කරන්න පෙරට ආවේ නැහැ. පාලකයෝ තමන්ගේ සේවකයෝ උන්නද මලාද කියලා බැලුවේ නැහැ. අපි අන්තිමේ මේ අසාධාරණයන්ට විරුද්ධව විශාල උද්ඝෝෂණයක් කළා.
අපි උද්ඝොෂණය කළාට පස්සේ දවසේ ආණ්ඩුවෙන් බස් දාලා ළමයින්ව ගමේ යැව්වා.දැන් පන්දාහේ ප්‍රශ්නේ විසඳුනා. ඒක මානුෂික මෙහෙයුමක් කියලා රූපවාහිනී නාලිකා හරහා ලොකු ප්‍රචාරයක් දුන්නා. ඒ වුනත් විසාල පිරිසක් මෙහේ තනිවුනා. ඒ ළමයින්ට යන්න ගෙවල් දොරවල් තිබුනේ නැහැ. වේලක් ඇර වේලක් කාලා හරි අභිමානයෙන් ජීවත් වෙච්ච තරුණ ප්‍රජාවක් බිමටම වැටුනා. බස් වලින් එක්ක ගිය සමහර ළමයින්ව මග බස්සලා ගිහිංතිබුනා. ඒ ළමයි පැය ගනන් පයින් ඇවිදලා තමයි ගෙවල් වලට සේන්දු වුනේ.
මේක හරිම බරපතල තත්ත්වයක්. මේ රටට විදේශ විනිමය ගෙන එන්නට විසාල සම්මාදමක් කරන තරුණ ප්‍රජාවට මෙහෙම සලකන එක අනුමත කරන්න බැහැ. අපට මේ ළමයිවිඳි දුක් කන්දරාව ගැන මාගලක් ලියන්නට කරුණු කාරණා තියෙනවා. ඒ වුනත් ඒවා කිව්වා ලිව්වා කියලා සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා විස්වාසයක් අපට නැහැ. අපි කොහෙද යන්නේ,අපේ හෙට දවස හැඩ වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. මේක අයාලේ යන ගමනක්. මේක ජනතාව රූකඩ වෙච්ච රටක්.
විෂ්ණු වාසු
අශිලා දන්දෙනිය
සමඟ කළ සංවාදයක් ඇසුරෙන්