SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය තුළ කාන්තාවකට යා හැකි ඉහළම තැනට ගිය කාන්තාවගෙන් අපි Lady Leader යූ ටියුබ් නාලිකාව ආරම්භ කළා ඔබට මතක ඇති. ඇය ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග. එදා මෙදාතුර තමන් ආ ගමන්මගේ පෙර නොවූ විරූ අත්දැකීම් හා අදහස් රැසක් ඇය විසින් ප්‍රකාශ කළා. මේ ඒ සම්මුඛ සාකච්ඡාවේ පළමු දිගහැරුමයි. 

 

1. බොහෝ අය නිවෙස්වලට කොටුවෙලා ඉන්නේ එතකොට ඔබ තුමිය දැන් මේ කාලයේ කොයි විදිහටද ජීවිතේ ගත කරන්නේ?

බොහෝම සතුටින්. හුඟ කාලෙකට පස්සේ මගේ වැඩිහිටි ජීවිතේ පළවෙනි වතාවට මම හිතන්නේ මම විශ්ව විද්‍යාලයෙන් සමාජයට පිවිසුනාට පස්සේ

 පළවෙනි වතාවට ඇත්ත වශයෙන්ම මට දින ගණන් සති ගණන් වෙන අය වෙනුවෙන් වැඩ කරන්නේ නැතුව ලොකු තදබලයක් නැතුව, මේ වෙලාවේ මේකට යන්න ඕන අනිත් වෙලාවේ අරකට යන්න ඕන අද මෙයාව මුණගැහෙන්න අර වෙලාවේ අරයව මුණගැහෙන්නේ ඕන කියන්නේ නැතුව සම්පූර්ණයෙන් දවසෙම පැය විසිහතරෙම මට නිදහස තිබුණා.

ඉතින් ඒ වෙලාවේ මගේ හොරගොල්ලේ නිවසට වෙලා ඉඳගෙන හුඟක් දේවල් කෙරුවා. මට මෙතෙක් කල් කරලා නොතිබුණ, කරන්න බැරිවුණ, කරන්න පුන පුනා හිතපු දේවල්. කියවීම ආයිත් පටන් ගත්තා. මගේ පොත් ගොඩවල්  ගොඩවල් තියෙනවා මම පොත් කියවන්න හරි පෙරේතයි. පිටරට යනකොට අරගෙන මම ගෙනල්ලා තියාගෙන ඉන්නවා කියවන්න වෙලාවක් නැහැ. ඒ වගේම ලියන්න පටන් ගත්තා. යාලුවෝ වැඩියෙන් හම්බවෙන්න පටන් ගත්තා. එක්කෙනා දෙන්න හම්බවෙන්න පුළුවන්නේ ඉතින්. දරුවන්ට වැඩි වැඩියෙන් කතා කරා. ඒ වගේම මගේ Estate එක, මගේ ඉඩම් හොඳටම නොසලකා හැරලා තිබුණේ, ඒවා කාබාසිනියා වෙලා. ඒවා මාස හයෙන් හතෙන් ඉතාමත්ම හොඳ තත්වයකට Develop කළා. 

මම Gardening වලට බොහොම කැමතියි. මල් වවන්න පටන් ගත්තා. ඒවා කරන්න පටන් ගත්තා.මෙතනත් මේවා වැව්වේ මම එදා ඉඳන්ම. මීට වැඩිය මම හොරගොල්ලේ ලස්සනට මල් වැව්වා. ඉතින් ඕවා කරමින් හොඳට හිටියා. ඒ අතරතුරේ මීට වසර එකහමාරකට පෙර, ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වුණාට පස්සේ  නිකන් ඉන්ඩත් බෑනේ. මම ආරම්භ කෙරුවා සමාජසේවා කටයුතු වගයක්. විශේෂයෙන් මගේ ගම අත්තනගල්ල වෙනුවෙන්. ඉතින් ඒවා ටික මම මේ කාලෙත් ටික ටික කෙරුවා. සෑහෙන කටයුතු ගණනාවක් කළා. මගේ ෆේස්බුක් එකේ තියනවා ඒවා.  

2. ඔබතුමිය ලංකාවේ පළමුවෙනි විධායක ජනාධිපතිවරිය. එතකොට දේශපාලනයට එන්න කලින් මම වගේම තරුණ ගැහැණු ළමයෙක් විදිහට ඔබතුමියටත් ජීවිතයක් තියෙන්නට ඇති. හැබැයි ධූරයෙන් විශ්‍රාම ගියාට පස්සේ ආපහු හැරිලා බලද්දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන ඒ තරුණිය ගැන ඔබතුමියට මොකද හිතෙන්නේ?

ඉතා සතුටින් මම ඒ ජීවිතය ගත කළා. ඉතා සාර්ථකව රසවත් විදිහට හුඟාක් දේවල් මම කෙරුවා. පාසැලේදීත් ඉන් පිටතත් මම Extra Curriculer Activities  හුඟක් කළා. ඒවායේ හුඟක් නායකත්වය ගත්තේ මම. පාසැලේ දඟකාර වැඩවලත් නායකත්වය  මම තමයි. ඉතින් ඒ වාගේ යාලුවොත් මට ගොඩක් හිටියා. ඉතින් බොහොම සතුටු ජීවිතයක් ගත කළා.

 

CBK Young age

3. ඔබතුමිය ජනාධිපතිවෙලා ඉන්න කාලේ අපි දැක්කා අදටත් අපි හැමකෙනෙක්ම තරුණ ප්‍රජාව පවා ඔබතුමියගේ ෆේස්බුක් පිටුව, ෆේස්බුක් ගෘප් එක ගැන කතා කළත් ඒ ඔස්සේත් පින්තූරවලින් පවා වර්ණනා කරනවා කාන්තාවක් විදිහට ඔබට තිබුණ පෞර්ෂය. ඒ පෞර්ෂය ඇතුලේ ඔබතුමිය ජනාධිපතිවෙලා ඉන්න කාලේ ඔසරිය ඇඳලා කොණ්ඩේ බැඳලා අර ශ්‍රී ලාංකික කාන්තාව කියන ස්වරූපයට ජීවත් වුණා. හැබැයි ධූරයෙන් සමුගත්තට පස්සේ ඔබතුමිය දැන් මේ ඇඳගෙන ඉන්න ඇඳුම ඒ වගේම සාරිය, ඒ වගේම කොණ්ඩේ කපලා ඒ චන්ද්‍රිකා බවට පත්වුණා. එතකොට මට අහන්න තියෙන දේ තමයි නායකත්වයට එන්න ඉන්න ගැහැණු ළමයි මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලනවා. එතකොට නායකත්වයට එන්න මේ සාම්ප්‍රදායික රෙද්ද බැනියම ඔසරිය අත්‍යාවශ්‍යයි කියලා ඔබතුමිය හිතනවද?

නැහැ. එක්තරා කාලයක ඒක අවශ්‍ය වෙන්න ඇති කාන්තාව පිරිමින් එක්ක සටන් කරන වෙලාවේ තමාගේ සම අයිතිවාසිකම් ලබා ගැනීමට. අද ලංකාවේ කාන්තාවන් සම අයිතිවාසිකම් ලබාගෙන තියෙන්නෙ. කාන්තාව ඒක හරියට ක්‍රියාත්මක කරන්නේ නැති එක වෙන ප්‍රශ්නයක්. කවුරුත් එපා කියන්නේ නැහැ. කවුරුත් ඒවට බාධක පනවන්නෙත්  නැහැ. එතකොට මේ වගේ යුගයක අපි අර පිරිමි හිතන විදිහට සාරිය ඇඳගෙන කොණ්ඩය දිගට දාගෙන පිරිමින්ව සතුටු කරන්න කොණ්ඩය බැඳගෙන, කණකර දාගෙන ඉන්න කිසිම අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.

කොහොමටත් මගේ ජීවිත දර්ශනය අනුව කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ කවුරු හෝ වේවා අඳින ඇඳුම නෙවෙයි ප්‍රධාන වෙන්නේ, හැසිරෙන විදිහ, තමාගේ දර්ශනය, තමා විශ්වාස කරන දේ, තමා කරන දේ. හොඳ ලස්සනට ඔසරිය ඇඳගෙන, කොණ්ඩය බැඳගෙන ඇවිල්ලා අපේ කාන්තාවෝ පාර්ලිමේන්තුවට ඇවිත් හොරකම් පුළුවන් තරම් පිරිමි වාගෙමයි. පුළුවන් තරම් මිනී මරන දේවල්වලට සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට සාරිය ඇන්දයි ඔසරිය ඇන්දයි මොක ඇන්දයි කියලා ඒකේ වෙනසක් නෑනේ. අර කිව්වත් වගේ තරුණ තරුණියන් ඉන්නවා නම් නායකත්ව මට්ටමට ඇවිල්ලා රට හදන්න, නායකත්ව මට්ටමට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා දැන් ඉන්න පාර්ලිමේන්තුවේ සියයට අනූවක් විතර හිතන සහ කරන විදිහට, පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශීය සභාව මුදල් උපයන බිස්නස් එකක් කියලා හිතන්නේ නැතුව, හරියාකාරව ඇත්ටම  ජනතාවට සේවය කරන්න රටට සේවය කරන්න රට හදන්න ලෝකයක් හදන්න මෙතෙනට එන්නෙ කියලා හිතාගෙන ආවා නම් මොකක් ඇන්ඳත් මට නම් කමක් නැහැ. වැදි ඇඳුමක් ඇඳගෙන ආවත් කමක් නැහැ. එතකොට අහන්න පුළුවන් ඒ කාලේ එහෙනම් ඇයි මම ඔසරිය ඇන්දේ කියලා.

158016408 791186118271078 9069645090538321742 n

 

ඒ වෙලාවේ මට  සටන් කරන්න තිබුණා හුඟක් දේවල්වලට එරෙහිව, වැරදි අදහස්වලට එරෙහිව, වැරදි ආකල්පවලට එරෙහිව. ප්‍රධාන වශයෙන්ම අනිකුත් ජාතීන්, අනෙකුත් ආගම් වලට අයිති අය පිළිබඳව තිබුණ වැරදි චින්තනය, වැරදි අදහස්, ඒවා වෙනස් කරන්න තිබුණා.

යුද්ධය  පිළිබඳ තිබුණ අදහස් දූෂණය නවත්වන්න තිබුණා. අඩුවෙන්ම දූෂණය සිදුවුණ ආණ්ඩුව මගේ ආණ්ඩුව 77 න් පසු. එතකොට ඊට පෙර ආණ්ඩු ඊට වැඩිය හොඳට තිබුණා.  නමුත් 77 න් පස්සේ ලොකු වෙනසක් සිදුවුණා. දැන් මම ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඉතින් ඒවා කරන්න සිද්ධ වුණා. කඩා වැටිලා තිබුණ ආර්ථිකය මම හැදුවා.

ඉතින් එතකොට කාන්තාවන්ට ඔසරිය ඇඳගෙන එන්න එපා කලිසම් ගහගෙන එන්න කියලා මම ඒ සටනත් පටන් ගත්තනම් මට වෙන වැඩක් කරන්න වෙලාවක් හම්බවෙන්නේ නැහැ. ඒක නිසා ඒවා පස්සට දැම්මා.

එවැනි කාන්තාවොත් එක්කත් වැඩ කරන්න ඕන නිසා අනේ මැඩම් ඇයි ඔසරිය ඇඳන් යන්නේ නැත්තේ අහනකොට මම ඔසරිය ඇඳන් ගියා මට ඒවා තේරුම් කර කර දීදී ඉන්න වෙලාවක් නැති නිසා.

සමහර වෙලාවට කියනවා මැඩම් දැන් මාස කීපයකට ඉස්සෙල්ලත් මේ සාරිය ඇන්ඳනේ කියලා. මම කියනවා ඉතින්, කොළඹ හතේ නෝනලා සාරිය වෙනස් කරනවනේ. පරණ සාරිය කඩේකට දීල ඒ කඩෙන් වෙන පරණ සාරියක් අරගෙන ඇවිත් අඳිනවා. එක සාරිය දෙසැරයක් අඳින්නේ නැති වෙන්න. මට ඒ වගේ ප්‍රත්පත්ති නැහැ. ලස්සන නම් මම අඳිනවා කීප වතාවක්. ඊට පස්සෙ කවුරුහරි දුප්පත් කෙනෙකුට දෙනවා.

4. ආදරය ප්‍රේමය කියන එක කොහොමද ඔබට දැනෙන්නේ?

ඒක අමාරු ප්‍රශ්නයක්. ඒක කියන්න අමාරුයි. ආදරය ප්‍රේමය කියන එක හැඟීමක් කොහොමද ඒක හැඟීමක්. ඒක ඩිස්ක්‍රයිබ් කරන්න හරි අමාරුයි. ඒක වචනවලින් විස්තර කරන්න අමාරුයි.

5. දේශපාලනයට එන්න කලින් ඔබතුමිය ජනාධිපතිනිය විදිහට හැඟීම්වලට වැඩිය බුද්ධියට තැන දීල වැඩ කරන්න වෙන තනතුරක් තමයි ජනාධිපති ධූරය කියලා කියන්නේ. එතකොට එතනදි කටයුතු කරනකොට ඔබතුමියට පුද්ගලික ජීවිතයක් තිබුණා. ඔබතුමිය විවාහවෙලා හිටියා දරුවෝ හිටියා මේ හැම එක්කම මම අහන්න හදන ප්‍රශ්නය තමයි මම එන්නේ ඔබතුමියගේ පවුල ලඟට, ගෘහනියගේ භූමිකාව කරමින් දරුවෝ බලාගෙන මහත්තයත් එක්ක ඒ කියන්නේ මම ඔබතුමියගෙන් වැඩිමහල් වියට පත්වෙනකොට දැකපු භූමිකාවට වඩා එහා ගිය එකක්. එතකොට පොඩි දරුවෝ දෙන්නෙක් එක්ක සැමියගේ ඝාතනයෙන් පස්සේ දරුවෝ දෙන්නත් එක්ක ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔබතුමිය විදෙස්ගත වෙනවා. ගැහැණියෙක් විදිහට තනියම කොහොමද ඒකට මුහුණ දුන්නේ?  

ඒ ප්‍රශ්නය මම වෙනස් විදිහකට හදන්නද? මනුස්සයෙක් විදිහට කොහොමද ඒකට මුහුණ දෙන්නේ ඇයි ගැහැණියක් කියලා කියන්නේ?  අපේ ලෝකයේ සහශ්‍ර දෙකක තුනක විතර ඉඳලා කාන්තාව යටපත් කරගෙන පිරිමියා ඉහළට ආවා. ඊට පෙර තිබුණේ ''Matriarchal Society'' කියලා. කාන්තාවට තමයි වැඩියෙන් ගරුත්වය තිබුණේ.

හැබැයි කාන්තාව පිරිමියා යටකරගෙන හිටියේ නැහැ. එතන වැඩි සමානතාවයක් තිබුණා. ඉතින් විවිධ හේතුවලට ඒක වුණා. දැන් ඔය භාග්‍යා කතා කරන්නේ අද අපි ජීවත්වෙන (දැන් සෑහෙන්න හොඳ අතට වෙනස්වෙලා තියෙන්නේ) නමුත් තවමත් ඒ රෝග ලක්ෂණ තියෙන සමාජය ගැන, ඒ කියන්නේ කාන්තාව යටපත් කරගෙන පිරිමියා Dominate කරන සමාජය.

එතකොට තමයි කාන්තාව කොණ්ඩේ වවලා කොණ්ඩේ බැඳගෙන ඉන්න ඕන, එතකොට තමයි පිරිමින්ට කොණ්ඩෙන් ඇදගෙන ගිහිල්ලා කාන්තාවට ගහන්නත් පුළුවන්, කොණ්ඩෙ කොටට කැපුවොත් අමාරුයිනේ (සිනා).

එතකොට අපි කනේ කඩුක්කන් එල්ලගෙන ඉන්න ඕන පිරිමි දාන්නේ නැහැ. සමහර වර්ගයේ පිරිමි විතරයි ඒවා දාන්නේ. ඒ වගේ සම්ප්‍රදායක් සහ  සංස්කෘතියක් තියෙන සමාජයක ජීවත්වෙන නිසානේ ඔය ප්‍රශ්නය අහන්නෙ,.

එතකොට කාන්තාවක් වශයෙන් නෙවෙයි මනුස්සයෙක් වශයෙන් කොහොමද මම මුහුණ දුන්නේ  කියලා අහන්න. 

කාන්තාවක් හැටියට නෙවෙයි භාර්යාවක් හැටියට, භාර්යාවට ඇති වෙච්ච කම්පනයම ඇති වෙන්න පුළුවන් ස්වාමි පුරුෂයාටත් එයාගෙ භාර්යාව මරණවා දැක්කම, හැබැයි මගේ ස්වාමි පුරුෂයා මරණවා මම දැක්කා මගේ ළමයි දෙන්නා ඉදිරියේ.

ඒක මහා කම්පනයක් ඇති වුණා. හැබැයි ඊට ඉස්සෙල්ලත් මම කියන්න ඕනේ, අවුරුදු 27 දියි විශ්ව විද්‍යාලයෙන් සමාජයට පිවිසුණේ. ඒ කාලේ ඉඳන් මම දේශපාලනය කළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉතාමත් පුළුල් දේශපාලනයක් සහ ක්‍රියාකාරී දේශපාලනයක් කළා. ඊට පස්සේ විජෙයි මායි බැන්දා. විජෙයි මමයි එක වයසේ. අවුරුදු 32යි. 

144506455 865658170921542 8299623774189277470 n

 

එතන ඉඳන් ඉතාමත් ක්‍රියාකාරී දේශපාලනයක් කළා. විජය එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ, පක්ෂයෙන් අපිව පැන්නුවාට පස්සේ මහජන පක්ෂය හදාගෙන එකතු වුණේ. මම සතියේ දවස් හතෙන් දවස් පහක් පිට. මම තමයි පක්ෂයේ සංවිධානය කර කර ගම්වලට ගියේ. විජය රැස්වීම්වලට යනවා. මොකද එයාගේ ආකර්ශනයත් එක්ක. අපි වැඩ බෙදාගෙන හිටියා. මම විතරක් නෙවෙයි පක්ෂෙ අනිකුත් කට්ටිය. ශාඛා හදන්න යනවා. පක්ෂය හුඟක් වෙලාවෙට ගෙනියන්නේ ශාඛාවලින් ලැබුණ සාමාජික මුදල්වලින්. ළමයි දෙන්නව මම උදේ බලලා ඉවරවෙලා ආයිත් හැන්දෑවේ එන්නේ ළමයි දෙන්නව බලන්න.

123

ඒ කාලෙත් ඒ තත්වය තිබුණා. මම හුඟාක් දුක්වෙනවා ඒ සම්බන්ධයෙන්. දුවට අවුරුදු හතරක් විතර කාලේ පුතාට අවුරුදු දෙකක් විතර කාලේ මම ඒගොල්ලොත් එක්ක හිටියේ නැහැ. බොහොම අඩුවෙන් එයාල එක්ක හිටියේ. එයාලා තාමත් මට ඒක කියනවා චෝදනාවක් හැටියට. ඒ වුණාට මගේ තියෙන මොකක් හරි හැකියාවක් නිසා ඒ ඉන්න ටික මම ඒගොල්ලොත් එක්ක ඉතාමත් සාර්ථකව Rich විදිහට හිටියා. ඒගොල්ලන්ට මම කියවනවා අදහස් දෙනවා, තුරුල් කර ගන්නවා ආදරේ ගොඩක් දෙනවා ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට හුඟක් ඒක දැනුණේ නැහැ.  ඒ දේශපාලනය නිසා එදා ඒ තත්වය තිබුණා. පස්සේ මට පිටරට යන්න වුණා ඇත්තටම මගේ අම්මයි අක්කයි තමයි මට බලකරලා ටිකට් අරන් බලෙන් වගේ මාව ගිහින් ප්ලේන් එකට තල්ලු කරේ. ළමයින්ගේ ඇඳුණුත් ගෙනැල්ලා පෙට්ටියකට දාලා දීල මොකද ඒ වෙලාවේ ජේවිපී එක විජේවත් මරලා මාවත් මරන්න ඉන්නවා කියන ආරංචිත් තිබුණා, මට තර්ජනාත්මක ලියුණුත් එවුවා. මොකද මම තාම දේශපාලනයේ හිටපු නිසා.

 147014123 2308827755928681 5522659300475064154 n

 

ඒ එක්කම අපි හදපු මහජන පක්ෂයේ හිටපු අය කිසිම අනුකම්පාවක් තිබුණේ නැහැ මාව මරාගෙන කන්න හැදුවේ මාව පාවිච්චි කරන්න. "යන්න යන්න ගිහින් සල්ලි එකතු කරන්න අපිට ඡන්දය කරන්න දෙන්න, ඡන්දයට සල්ලි එකතු කරලා දෙන්න" කිය කිය මගේ ගෙදරට ඇවිල්ලා මම ලව්වා සියලු දේවල් වියදම් කරගෙන මගේ ටෙලිෆෝන් පාවිච්චි කරගෙන, ඒ වෙලාවේ මට අතේ සතේ තිබුණේ නැහැ.

අපිට වත්කම් තිබුණට මුදල් තිබුණේ නැහැ. අපි බිස්නස් කෙරුවේ නැහැනේ. හොරකම් කෙරුවෙත් නැහැ.

ඉතින් පස්සේ වත්කම් විකුණපු එකෙන් තමයි මම අදත් ජිිවත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේව ඔක්කොම මට එපා වෙලා තිබුණේ, ඒ නිසා මම ගියා. ගිහිල්ලා බොහොම කණගාටුවෙන් තමයි පළවෙනි අවුරුදු 3ක් හිටිය. 

මේ කම්පනයෙන් මිදෙන්නම මට අවුරුද්දක් විතර ගියා. මම පාර දිගේ ළමයි එක්ක යනකොට පිටිපස්ස බලනවා මාව මරන්න කවුරුහරි එනවද කියලා ළමයින්ට පේන්න නැති වෙන්න. මට ඇත්තටම මානසික වෛද්‍යවරයෙක් ළඟට යන්න තිබුණේ. හැබැයි එහෙම ගියෙත් නැහැ මට හිතුණේ  මගේ ආත්ම ශක්තියෙන් මේක කරන්න පුළුවන් කියලා. ඒකෙන් මිදෙන්න පුළුවන් කියලා. මිදුණා හැබැයි තාම ඒකේ කැලලි ඇති මගේ හදවතේ. මගේ සයිකොලජි එකේ.

ඉතින් එහෙම කරගෙන ළමයි දෙන්නවත් බලාගෙන, ඒගොල්ලො අළුත් රටකට ගියේ, දෙන්නම සිංහලෙන් කතා කරල තිබුණේ විජේ සිංහලෙන් කතා කරන නිසා. හැබැයි මම  ගෙදරදි ඒගොල්ලන්ට ඉංග්‍රීසි උගන්වල තිබුණේ.

හැබැයි ඒගොල්ලන්ට මාස හයක් විතර ගියා සම්පූර්ණයෙන් ඉංග්‍රීසි භාවිතා කරන්න.  ඒ පාසැල්වලට එහෙම ගිහිල්ලා. ඉතින් ඒ Strength එකත් දීල මම ඒගොල්ලො එක්කමයි හිටියේ.   අවුරුද්දක් ගියාට පස්සේ මම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ  Senior Reseacher කෙනෙක් හැටියට වැඩ කෙරුවා කීයක් හරි හම්බ කරන්න.

ඒකත් මං ගෙදර ඉඳන් හුඟක් කළේ ළමයි එක්ක ඉන්න ඕන නිසා. University එකට යනවා සුමානෙට දවස් කෙකක් විතර. ඒ ගොල්ලො ඉස්කෝලෙ  ඉන්න වෙලාවට එහෙම කරලත් මම ඒගොල්ලන්ට හුඟක් පාඩම් විතරක් නෙවෙයි කලාත්මක පැත්ත හුරු කළා.

sddefault

යශෝදරාට අවුරුදු 6යි, විමුක්තිට අවුරුදු 5යි අපි යනකොට. නාට්‍ය බලන්න එක්කන් යනවා, ෆිල්ම්ස් බලන්න එක්කන් යනවා ළමයින්ට හොඳ. ඒගොල්ලන් එක්ක ගිහිල්ලා පොත් තෝරනවා මං හිතනවා ඒ නිසා තමයි ඒගොල්ලො හුඟක් පුළුල් චින්තනයක් ඒ ළමයින්ට තියෙනවා.

ඒගොල්ලො Studies වලිනුත් ඉතාමත් හොඳට කෙරුවා. ඒ නිසා වෙන්න පුළුවන්. මොකද  පොත පත විතරක් නෙවෙයි හුඟක් දේවල් දුන්නා. පත්තරේ කියවන වෙලාවට පත්තරේ  තියෙන දේවල්  Environment එක ගැන.

  මම ඒගොල්ලන්ට කතා කරනවා. ඉතින් ඒ වාගේ සතුන් ගැන, ඒ නිසා තමයි  මගේ පුතා සත්ව වෛද්‍යවරයෙක් වෙලා ඉන්නේ. ඒ නිසා නෙවෙයි නමුත් ඒ තුළින්  මොකක්හරි ආසාවක් පවුලෙත් ඒ ජාන තියෙනවා. සත්තුන්ට තියෙන ආදරේ තාත්තගේ පැත්තෙන්.

ඉතින් ඒ වාගේ ඉඳලා ඉවර වුණාට පස්සේ ආවා. හැබැයි ඉතින් ඉන්ඩම දුන්නේම නැහැ. අවුරුද්දක් යනකොට මේ මහජන පක්ෂය දෙකට බෙදිලා තිබුණේ. කොටසක් පැවතුණා ආණ්ඩුවත් එක්ක වැඩ කරනවා. ආණ්ඩුවේ  මිනී මරනවා නොයෙකුත් දේවල් කරනවා කොටසක් ඒකට විරුද්ධව මා එක්ක හිටියා.

ඉතින් මම කිව්වා  දේශපාලනයෙන් මම අයින් වෙලා කියලා ඒ කාලෙ. මට අයින් වෙන්නමයි වුවමනා වෙලා තිබුණේ. සමහර අය ටෙලිෆෝන් කරනවා. මම තමයි වැඩි හරියක් ඒ ගොල්ලන්ට ජිිවත් වෙන්නත් සල්ලි දුන්නේ ඒ වෙලාවේ.  ඒ මිනිස්සු පස්සේ පන්නනවා ජේ.වී.පී. එක මරන්න.

vijaya k1

 

plote.uam vijeya

 

අර ආණ්ඩුවත් එක්ක හිටපු නැති අය, ප්‍රේමදාස ජනාධිපති එක්ක හිටපු නැති අයව මැරුවා හුඟක්. එතන තිබුණා ලොකු ඩීල් එකක්. ඉතින් ඒ ගොල්ලන්ටම කතා කර කර අනිත්මට ඒගොල්ලෝ සල්ලි එකතු කරගෙන ආපහු එනවා ලන්ඩන්වලට ටිකට් එකක් අරගෙන මාව ගන්න, ආයිත් මාව අරගෙන යන්න මම කොහොමටවත් එන්නෙ නැහැ.

ආයිත් එනවා ඔහොම ඔහොම ගිහින් මාව ඇදගෙන ආවා. ඇවිල්ලා ඉතින් කරපු දේවල් ඔයගොල්ලො දන්නවානේ.

5. ඔබතුමිය දරුවෝ ගැන කතා කරපු නිසා මම මේ වගේ ප්‍රවේශයක් ගන්නම්. දැන් ඔබතුමිය මේ රටේ නායිකාවක් විදිහට හිටියා. ඔබතුමියගේ දෙමව්පියෝ දේශපාලන ක්ෂේත්‍රයේ හිටපු අය. ඒ වගේම බණ්ඩාරනායක පරම්පරාවෙන් පස්සේ විජය කුමාරණතුංග පරම්පරාවත් ඒ දේශපාලනයත් එක්ක සම්බන්ධවෙනවා. එතකොට දැන් ඔබතුමිය තමයි මම හිතන්නේ බණ්ඩාරනායක කුමාරතුංග දේශපාලන ධාරාවේ අවසානය කියලා. මොකද ඉදිරියට ඔබතුමිය දරුවෙක් හෝ මේ දේශපාලනයට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවාද? ඇත්තටම මේ රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන විදිහ බැලුවාම යම් යම් විදිහට තම තමන්ගේ පාරම්පරාවන් ඒ දේශපාලනයට ලංවෙනවා මොකද මහජනතාව ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. එතකොට විමුක්ති ට අවස්ථාවක් දෙන්න ඔබතුමිය සුුදානම් නැද්ද?

මොකක්ද මේ කියන කතාව දේශපාලන පරම්පරාව කියන්නේ මොකක්ද? මට තේරෙන්නේ නැහැ. දේශපාලන පරම්පරාවල් මේ ලෝකේ නැහැ. රාජාණ්ඩු ක්‍රම තියෙන රටවල්වල තමයි පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. ඒක අපේ  ලංකාවේ ඉවර වෙලා හුඟක් කල් දැන්.

අපේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා ක්‍රමයක් අපේ රටේ තියෙන්නේ පාලනයක්.  මොකක්ද මේ දේශපාලන පරම්පරාව කියන්නේ මට ඒක තේරෙන්නෙත් නැහැ. දේශපාලන පරම්පරාව කියන එකට මම  කැමතිත් නැහැ මම දන්නේත් නැහැ. අපේ රටේ අර පරණ සිරිතට රදළ ක්‍රමයට එහෙම දේශපාලන පරම්පරාවල් දෙකක් තිබුණා සේනානායක පරම්පරාවයි, බණ්ඩාරනායක පරම්පරාවයි එච්චරයි.

 හැබැයි බණ්ඩාරණායක පරම්පරාව දිගින් දිගටම යන්න ඕන කියලා මං කොහෙත්ම හිතන්නේ නැහැ ඒකට මම විරුද්ධයි. පරම්පරාවල් නෙවෙයි අපි හැම කෙනාටම තැන දෙන්න ඕන.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  දේශපාලනය මම කෙරුවේ පක්ෂය මගේ  තාත්තා හදපු, මගේ  අම්මා ආරක්ෂා කරපු පක්ෂය විතරක් නිසා නෙවෙයි .එහි මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි මේ රටට ගැළපෙන්නේ. දැන් නෙවෙයි දැන් ඒක සම්පුුර්ණයෙන් ඉවරයි. විකෘති කරලා මඩේ දාලා පාගලා විනාස කරලා තියෙන්නේ.

නමුත් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය මේ රටේ සියලු දෙනාටම සරිලන දර්ශනයක්. සෑම ජාතියකම සෑම ආගමකම දුප්පත් පොහොසත් හැමකෙනාටම. කරලා තියෙන වැඩවලිනුත් ඒ ගැන ඔප්පු වෙනවා. එතකොට ඒ දර්ශනය අනුව මේ එක පවුලක් විතරක් මේ දේශපාලනය බලය අරගෙන  කිහිලි ගහගෙන ඉන්න එක සම්පුුර්ණයෙන් වැරදියි මගේ ජිිවිත දර්ශනය අනුව.

wimukthi kumara

 

අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනයෙ තියෙන්නෙ පල්ලෙහා මට්ටමේ මිනිස්සු ගෙනැල්ලා නායකයෝ කෙරුවා. මගේ තාත්තා කෙරුවෙත් ඒකයි. තැපැල් පියුම් එම්.එස්. තේමිස් ඇමති කෙනෙක් කෙරුවා. ටී.බී. ඉලංගරත්න පොඩි ලිපිකරුවෙක්. ඉතාමත් ඉහළ මට්ටමේ ඇමති කෙනෙක් කෙරුවා. 

ඒ වාගෙම ටී.බී. තෙන්නකෝන් කවි කොල විකුණ විකුණ හිටපු පුද්ගලයෙක්. ඉතින් ඒ දර්ශනය අනුව ඇයි මේ අපි විතරක් මේක කරන්නේ?

මේ රටේ තව ඕන තරම් ඉන්නවා දක්ෂ දරුණ තරුණියෝ. දේශපාලනඥයන්ගේ දරුවෝ නම් නෙවෙයි. ඒගොල්ලෝ   තමන්ගේ අම්මලා තාත්තලා වගේ හොරකම් කරන්න ඉගෙනගෙන ඉවරයි.

හැබැයි තවම ඉන්නවා එම පවුල්වල හොරකම් නොකරන මිනිස්සු, හොඳ ළමයි ඉන්නවා ඇයි ඒගොල්ලන්ට දෙන්න බැරි? බණ්ඩාරනායක නම තියෙන පළියට, මගේ පුතාට බණ්ඩාරනායක නම තියෙන්නේ අරික්කාලක් විතරයි. නම තියෙන පළියට එයාව ගේන්නේ මොකටද? මම නම් සම්පූර්ණයෙන් ඔය ආකල්පයට විරුද්ධයි.  

මට ඉන්න දෙන්නේ නැහැ හැමෝම පාරෙ යනකොටත් පුතාව ගේන්නේ කවදද එන්නේ නැද්ද රට බේරගන්න. පුතා මොකද? ඇයි වෙන මිනිස්සු ඉන්නේ රට බේරගන්න. ඇයි අපි විතරක්.

එතකොට මගේ පැත්තෙනුත් මම කියන්නේ මගේ දර්ශනය එකක්. අනිත් එක අපි විඳවලා තියෙනවා අනන්ත අප්‍රමාණ  දේශපාලනය නිසා, රට සහ ජනතාවට වැඩ කරන්න ගිහිල්ලා. අපි කිසිම දෙයක් හදාගෙන නැහැ දේශපාලනයෙන් අපි සියලු දේ නැතිකරගෙන තියෙන්නේ. එතකොට තවදුරත් මගේ දරුවන්ටත් ඒ දුක මම දෙන්න කැමති නැහැ.

අපේ රටේ පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. පුද්ගලයන් තමයි අන්තිමට ලෝකය වෙනස් කරන්නේ. නමුත් දැන් එක එක පුද්ගලයන්ට මම දොස් පවරන්නේ නැහැ. අද අපේ රටේ පවතින දේශපාලන ක්‍රමය, සමාජමය, සංස්කෘතික ක්‍රමය සම්පූර්ණයෙන් කුණු වෙලා.

ඒක ආපහු හදලා ඉවරවෙල් සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරලා කෙලින් හිටෙව්වේ නැත්නම් අපි මේ කිසිම දෙයක් ගැන කතා කරලා වැඩක් නැහැ. මේක වෙනස් කරන්න නම් අර WE Want Change කියලා ඇමෙරිකාවේ ඔබාමා කිව්වා වගේ Change කරන්න අවශ්‍යයි. 

Change කරනවා නම් පළමුවෙන්ම තරුණ තරුණියෝ, අපේ වයසේ මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න බොහොම අමාරුයි. තරුණ තරුණියන්ගේ ඔයගොල්ලෝ වගේ අයගේ ආකල්ප වෙනස් කරන්න ඕන හිත් වෙනස් කරන්න ඕනේ ඒකයි මම ටිකක් තදින් කිව්වේ අර ඔයා අහපු ප්‍රශ්නයටත්.

වෙනස් කරලා අලුත් දර්ශනයක් මම නෙවෙයි රට හදන්න දේශපාලනයට එන මිනිස්සු ඉන්න ඕනේ. දැන් එන්නේ මම හැදෙන අය විතරයි. රට හදන්න නෙවයි එන්නේ. මම සහ මගේ එකාව හදාගන්න.

එතකොට එතන තමයි පරම්පරා කතන්දරේ  එන්නේ. මොකක්ද මේ පරම්පරා කතාව. මම මගේ දරුවන් හොඳට හදලා තියෙනවා.

හොඳ අගයන් දීල තියෙනවා ,හොඳ අධ්‍යාපනයක් දීල තියෙනවා. ඒගොල්ලන්ට ලෝකය දෙස වෙනත් ආකාරයෙන් බලන්න, ලෝකයට අපේ රටට ආයිත් ආවොත්  දායක වෙන්න පුළුවන්.

 

මගේ දුව වෛද්‍යවරයෙක් .එයා එයාගේ වෛද්‍ය වෘත්තිය ගැන විතරක් නෙවෙයි හුඟක් ලෝකය ගැන දන්නවා. හැම එකටම කෑ කෝ ගහනවා. අපේ රටේ වෙන දේවල් ගැන මට කතා කරලා ඇයි එහෙම කරන්න දෙන්නේ මෙහෙම කරන්නේ නැත්තේ කියලා මට අදහස් දෙනවා.

මගේ පුතා ඉතාමත් කොන්ෂස් ලෝකය ගැන රටේ වෙන දේවල් ගැන. ඉතින් ඒ වගේ ඒගොල්ලො ලෝකය සහ රට වෙනස් කරන්න ඒවගේ දායක වෙනවා නම් මම හිතන්නේ මම ඉතාමත් සාර්ථක දරුවන් බිහි කරලා තියෙනවා මේ ලෝකෙට.

මෙහේ ඇවිල්ලා මේ කුණුගොඩේ එල්ලිලා ඉවරවෙලා ඇඟේ මඩයි කුණුයි ගාගන්න එකේ තේරුමක් නෑනේ. කවදහරි විශාල තරුණ පිරිසක් හරියාකාරව හැදිලා ආපු දවසකට මගේ පුතත් ඇවිත් ඒකට දායක වුණොත් මමත් කැමති වෙනවා.

හැබැයි තනියම ඇවිල්ලා මේ කොහෙද යන හොරු ගොඩක් ආපහු ගේන්න, ගෙනැල්ල මම ඉගෙන ගත්තනේ හොඳ පාඩමක් 2015. අපි හිතුවේ ටික දෙනෙක්ට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. ක්‍රමය වෙනස් කරන්න, ඒක කරන්න බැහැ. මේක උඩුදුවලා මුල් බැහැලා මේක වෙනස් කරන්න බැහැ හතර පස් දෙනෙකුට.

6. ඒ එක්කම මම සම්බන්ධ කරන්නම් ඇත්තටම මේ රටේ ත්‍රස්ථවාදී බෝම්බ ප්‍රහාරයකට ලක් වෙච්ච රාජ්‍ය නායිකාවක් ඔබතුමිය. ඒ වගේම වර්ථමාන ජනාධිපතිවරයාත් බෝම්බ ප්‍රහාරයකට ලක් වෙනවා. ඔබ තුමිය බොම්බ ප්‍රහාරයකට ලක් වෙලා  ගොඩක් තුවාල ලබලා ඔබතුමිය තෝරගන්නේ ජාතික සංහිඳියාව කියන එක. නමුත් වර්ථමාන ජනාධිපතිවරයා ඇතුළු ඒ කණ්ඩායම තෝරගත්තේ යුද්ධයෙන් මේක අවසන් කරනවා කියලා. මම දකිනවා ඒක Female විදිහට දැකලා, දුර දැකලා යම්කිසි විදිහකට ඔබතුමිය මේ ජාතික සංහිඳියාව පැත්තට නැඹුරු වුණාද? එහෙම නැත්නම් මේ දෙක අතරේ එකම සංසිද්ධියකට මුහුණ දීපු දෙදෙනෙක්. මම දන්නේ නැහැ ඒකේ අඩු වැඩිතාවයන් ඇති නමුත් එකම සංසිද්ධියකට මුහුණ දිලා තෝරගන්න මාර්ග දෙකක්. මේ දෙක අතරේ ඔබතුමිය කොහොමද දකින්නේ මේ තත්වය

ඉතා ගැඹුරු ප්‍රශ්නයක්. පළමුවෙන්ම අපි වෙනස් පුද්ගලයෝ දෙන්නෙක්. දර්ශන දෙකක් අතර වෙනසක් තියෙනවා. ජීවිත දර්ශන දෙකක් සම්පූර්ණයෙන් වෙනස්, ඒ වාගේම මොළේ පාවිච්චි කරලා නායකයෝ කටයුතු කරන්නත් ඕනේ.

මට ගැහුවා. ඒ නිසා මම උන් ටික ඔක්කොම මරලා දානවා කිව්වොත් රට හැදෙන්නේ නැහැ. ඉතින් මට එහෙම හිතන්න බැහැ. මගේ තාත්තගෙන් අම්මගෙන් මට ලැබුණ ජාන අනුව මට මොළේ ටිකක් තියෙනවා ඇති. මම ඉගෙනගෙන තියෙනවා මම හුඟාක් Study කරලා තියෙනවා.

විශ්වවිද්‍යාලයේ ඉන්නකොටත් ප්‍රායෝගිකවත්, දාර්ශනිකවත් Political Violence සම්බන්ධව. දේශපාලන ප්‍රචන්ඩත්වය සහ ඒ තුළින් ලෝකයේ ඇති වෙන හානිය, වෙනස් වන අන්දම.

එතකොට මම පැහැදිළිව අවබෝධ කරගෙන තියෙනවා ,මගෙ අම්ම වැරදියි කියලා මම කියන්නේ නැහැ. ප්‍රචන්ඩත්වය ගැන කතා කරනකොට ප්‍රචන්ඩත්වය, තවත් ප්‍රචන්ඩත්වයකින් කවදාවත් සංසිඳවන්න, නවත්වන්න බැහැ. බුදුරජාණන් වහන්සේත් වැදෑරුවේ ඒකයි. ''You cannot defeat hate with hate''  කියන එක. වෛරයෙන් වෛරය නොසන්සිඳේ.

Town Hall Bomb CBK

එහෙනම් කොහොමද මේක සන්සිඳවන්නේ. ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ ඒ ප්‍රචණ්ඩත්වය ඇති වුණේ කොහොමද කියලා. මිනිසා ඉපදිලා තියෙන්නෙ ප්‍රචණ්ඩ සතෙක් හැටියට නෙවෙයි.  සිවුපාවුන් ඉපදෙන්නේ ප්‍රචණ්ඩ සත්තු හැටියට. 

ඒ නිසා කවුරුහරි මිනිසෙක් ප්‍රචන්ඩ වෙනවා නම් ඇයි?  අපි හොයලා බලන්න ඕනෙ ඒකට මූලය" The Deep Rooted Causes '', ඒ මූලය මොකක්ද කියලා බලාගෙන ගිහිල්ලා ඒ මූලයට පිළිතුර දෙන්න ඕන.

ඉතින් මට තේරෙන විදිහට නම් දැන් ඔබතුමිය කතා කරේ මේ බෝම්බ ගැහිල්ල ගැන. කවුද බෝම්බ ගැහුවේ එල්ටීටීඊ එක. මේවා හන්ගන්න ඕන නැහැනේ. එල්ටීටීඊ එකේ මොකක්ද ඒ තියෙන වෛරය.

විශාල ප්‍රමාණයක් මේ රටේ වටිනාම නායකයන් මරා දමලා තියෙනවා. අද ඒගොල්ලන් හිටියනම් මේ රට මේ තත්වයට පත්වෙන්නේ නැහැ.

විජේ විතරක් නෙවෙයි. එතකොට එල්ටීටීඊ එක ඒගොල්ලන්ගේ දෙමළ මිනිස්සු, නායකයින් මරා දමලා තියෙනවා ආණ්ඩුවෙන් මැරුවට වැඩිය යුද්ධය වෙලාවේ. එතකොට ඇයි මේ වෛරය කියලා ටිකක් හිතලා බලන්න ඕනේ.

ඒක මම දැන් මෙතන විග්‍රහ කරන්න යන්නේ නැහැ. මම ලියලා තියෙනවා මේ ගැන ගොඩක්. කෙටියෙන් කිව්වොත් ඒගොල්ලන්ගේ ඒ ප්‍රචන්ඩත්වයට මුල්වුණ හේතුව මොකක්ද කියලා හරියාකාරව ස්ටඩි කරලා බලලා ඒකට විසඳුම් දෙන්න ඕන.

උන්ව මරාගෙන මරාගෙන ගියෝත් එක්කෝ මේ ලංකාවේ ඉන්න සියලුම දෙමළ මිනිස්සු මරලා දාන්න ඕනේ. ඒක කරන් බැහැනේ. කෙරුවා කියමු. ඇත්තවශයෙන්ම තව ටිකක් යුද්ධය කරපු මිනිස්සු තව ටිකක් කල් හිටිය නම් ඒකත් කරන්නත් බැරි නැහැ.

නමුත් එතකොට ඒගොල්ලන්ගෙන් සෑහෙන පිරිසක් පිටරටවල්වලට ගිහිල්ලා ඉවරයි. ලංකාවේ 83 කලු ජූලිය ඒ පැවති ආණ්ඩුව කරපු වෙලාවේ, ලංකාවේ හිටියා දෙමළ ජනතාව ලක්ෂ දොළහක්. ලක්ෂ දොළහෙන් ලක්ෂ හතක් පිටරට ගියා.  ඒගොල්ලෝ ගිහිල්ලා පුදුම වෛරයකින් ඉන්නේ.

130248029 3392857497493581 4521380941623134672 n

වෛරයකින් සහ, කණගාටුවකින්, ඒගොල්ලො හුඟක් අය දුක් විඳිනවා තමන්ගේ රටට ආපහු එන්න බැරි නිසා. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා ඩයස් පෝරාව කියලා හදාගෙන  ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් කැන්වස් කරනවා. අද අපි ඉන්නේ මේ ගෝලීයකරණය වෙච්ච ලෝකයක "අපේ ලංකාව අපට ඇති අපිට වෙන මුකුත් ඕන නැහැ.

අපිට විදේශ ආධාර ඕන නැහැ. අපිට විදේශ ආයෝජකයෝ ඕන නැහැ. අපිට කරගන්න පුළුවන්".කොහෙන්ද කරගන්නේ. අද කන්න ගේන්නවත් සල්ලි නැහැ ආණ්ඩුවට. මිනිස්සුන්ට ආහාර ගෙන්න මුදල් නැහැ. ඒ වගේම කෘෂිකර්මය දියුණු කරන්න ඒවට අවශ්‍ය දේවල් ගේන්න සල්ලි නැහැ.

එතකොට මේ ගෝලීය කරණය වුණු ලෝකයේ අපිට තනිවම ලංකාව වෙනස් කරන්න බැහැ. එක කාලයක් සමාජවාදී රටවල් රුසියව, චීනය, කියුබාවේ නායකත්වය මේ ක්‍රමය වෙනස් කරන්න හැදුවා ඒත්  ෆේල් වුණානේ. ඉතින් එතකොට අපි මේක කරන්න ගියොත් අන්ත ෆේල් එකක් වෙනවා.

ඉතින් ඒක නිසා ඇත්තවශයෙන්ම අපි හිතලා බලන්න ඕන ලෝකයා අපිට එරෙහි වෙනවා. අපිට ජාත්‍යන්තර ආධාර අවශ්‍යයි. ජාත්‍යන්තර ආයෝජනය අවශ්‍යයි. ජාත්‍යන්තර හොඳහිත අපිට අවශ්‍යයි. ඒගොල්ලන් හොයා ගන්න දේවල් අපිට අවශ්‍යයි.

අද අපිට කොවිඩ් සනීප කරන්න පුළුවන්ද ඒගොල්ලන් හොයාගත්ත දේවල් නැතුව. අපි කිව්වොත් එපිට කවුරුත් ඕන නැහැ අපි ගෝලීයකරණයට විරුද්ධයි කියලා. නැහැ ඒවා අපි Share  කරන්න ඕන අපේ තියෙන දැනුම ඒගොල්ලන්ට දීල ඒගොල්න්ගේ දැනුම අපි අරගෙන.

ඉතින් එතකොට ඒගොල්ලොත් නැතුව අපිට බැරිනම්  ඒගොල්ලන් ස්ථීරවම විරුද්ධ වෙනවා අපේ රටේ යම් ජනකොටසක් අපි මරනවා නම්. දෙමළ විතරක් නෙවෙයි.

දැන් මේ සමහරු කියන්නේ දෙමළ මිනිස්සු මරපු මන්දා ඒගොල්ලො ගිහිල්ලා කැන්වසි කරනවා, අපි පටන් ගත්තොත් ඉස්සර රජකාලේ වගේ යම්කිසි කුලයකට අයිති සිංහල බෞද්ධයෝ අපි කොන් කරන්න පටන් ගත්තනේ. යම්කිසි කුලයකට අයිති සිංහල බෞද්ධයෝ අපි කොන්කෙරුවා කියමුකෝ එතකොටත් ලෝකය කෑගහනවනේ.

ඉතින් ඒක නිසා මේගොල්ලො කෑගහන්නේ යම් කිසි මනුස්ස කොටසකට කැත විදිහට, වැරදි විදිහට සලකන නිසා... එහෙම නම් අපි මේක විසඳන්නේ කොහොමද?

 ඒ මිනිස්සුන්ට ගහල හරි මැරුවා හරි. ගහලා මරලා වැරදි විදිහටත් හරි එතන හිටපු අහිංසක දෙමළ මිනිස්සුත් මරලා. එල්ටීටීඊ එක මැරුවා කියන එක මට ප්‍රශ්නයක් නැහැ. දැන් ලෝකය අපට හුඟක් දොස් කියනවා. එහෙම නැතුව මම කරන්න හැදුවේ මොකක්ද? 

යුද්ධයෙන් තුන්කාලක් දිනලා රාජපක්ෂ ආණ්ඩුවට බාරදුන්නේ රට. තනිකරම මම ආදරය මනුස්සකම ගැන කතා කෙරුවා.

 

- මතු සම්බන්ධයි - 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි