ඩොක්ටර් මට තව කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් ද?
කීමොතෙරපි එක ගන්න ආපු බවලතී ඒක අහන්නෙ කළුවර මූණකින්.
ඇත්ත.කොයිතරම් පිළිවෙතින් බෙහෙත් කරලත් සමහර වෙලාවක මේ යුද්ධෙ දිනුම් කණුව පේන තෙක් මානෙක නැති වෙන වෙලාවල් තියෙනවා.
ආයෙ ආයෙම බෙහෙත් විදින්න වෙද්දි ඇත්තටම තව කොච්චර කාලයක් මේ යුද්ධෙ කරන්න වෙයිද කියලා හිත හිතා හති අල්ලන මිනිස්සුන්ට අපෙන් ඔය ප්‍රශ්නෙ අහන්න හිතෙනවා.
"අම්මට මං කොහොමද ඒකට උත්තරයක් දෙන්නෙ?
දැන් මේ අම්මත් එක්ක කතා කර කර ඉන්න මං තව කොච්චර කාලයක් ඉඳියිද කියලා අම්මට කියන්න පුළුවන් ද?
සමහරවිට අද ඉස්පිරිතාලෙ ගේට්ටුවෙන් එළියට යද්දි මොනවාහරි වෙලා මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්.අම්මගෙ ජීවිතේ මගෙ ජීවිතේ අපි හැමෝගෙම ජීවිතවල එහෙම කල් පනින දවසක් හරියටම ටක්කෙට කියන්න ටිකක් අමාරුයි නෙ.
අපි මෙහෙම කරමු. අපි අද දවස සන්තෝසෙන් ඉමු. දවසෙන් දවස ජීවත් වෙමු. නේද?"
මං ඒ කිව්වෙ ඒ ප්‍රශ්නෙට හරි උත්තරේද කියලා මම දන්නෙ නෑ.ඒ ඇත්තිට මං කියාපු උත්තරේ නිසා සහනයක් ලැබුනද මං දන්නෙත් නෑ.
ඒත් පේන්න තියෙන නොපෙනෙන්න තියෙන ඇඟේ ලෙඩ වගේම හිතේ ලෙඩ හින්දත් විඳවන හුඟක් දෙනෙක් මේක කවදා ඉවර වෙයිද කියලා හිතනවා කියලා මං දන්නවා.
ඇත්තටම ඒකට උත්තරේ මං දන්නෙ නෑ..ඒත් මං දෙන්න දන්න,මං කරන්න උත්සාහ කරන දේ තමයි ඕක.
එදා දවසේ ඒ මොහොත ජීවත් වෙන එක.
හැමදේකටම ඇලෙන ඇලීම් ගැටීම් මැද්දෙ රිදෙන හිතක් එක්ක ඕක කරන්න කොහොමටත් ලේසි නෑ.
- අපේක්ෂා රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා
පසු සටහන :
ජීවිතයට ඉතිරි ආයුෂ කොච්චරක්ද කියල හිතන්න ඔබටවත් මටවත් බෑ. හැබැයි අපට පුලුවන් මේ මොහොත අතීත කුණුවලින් පුරවල ගඳ ගස්සන්නෙත් නැතුව, අනාගතය ගැන අවිනිශ්චිතතාවයෙන් පුරවන්නෙත් නැතුව සැනසීමෙන් පවතින්න. අමාරුවෙන් හරි ඒක කරන්න පුරුදු වුනොත් පිළිකා සටන විතරක් නෙවෙයි ඕනෙම කෙනෙක්ගෙ ජීවිතය ගොඩාක් සැහැල්ලු වේවි.