SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මෙම ලිපි මාලාව ලේඛිකාව වන සුභාෂිණි විෆ්ලර් විසින් මේ දිනවල අනුරාධපුර පුජා භුමිය හා

සංවර්ධන ව්‍යාපෘති ගැන කෙරෙන පර්යේෂණයකට පදනම් වේ. එම පර්යේෂණය අනුරාධපුරයේ ඓතිහාසික හා නීතිමය පසුබිම,1940 Antiquities Ordinance සහ 1942 Conservation Ordinance, 1946 Town and Country Planning Ordinance සහ 86 වගන්තිය, 1981 ගැසට් නිවේදනය සහ 1984 සංරක්ෂණ සැලැස්ම, 1982 UNESCO World Heritage inscription සහ ජාත්‍යන්තර නීති, 2026 ගැසට් අංක 2477/44 පිළිබඳ නීතිමය විශ්ලේෂණය හා පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම්, නැවත පදිංචි කිරීම හා පාරිසරික බලපෑම් මෙන්ම UNESCO වෙත ඉදිරිපත් කළ යුතු නිර්දේශ සහ නීතිමය ඉල්ලීම් යන කරුණු අනුව පෙළ ගැස්වේ.

 

 

 

අනුරාධපුර පූජනීය නගරය සහ යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය (1972)

 

  1. නීතිමය පදනම: ශ්‍රී ලංකාව අත්සන් කර පිළිගෙන ඇති ජාත්‍යන්තර සම්මුතිය කුමක්ද?

ලෝක සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ යුනෙස්කෝ සම්මුතිය (UNESCO World Heritage Convention). 1972 නොවැම්බර් 16 වන දින ප්‍රංශයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ සංවිධානයේ 17 වන මහා සම්මේලනයේදී මෙම සම්මුතිය සම්මත කරන ලදී. එම මහා සම්මේලනය 1972 ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 21 දක්වා පැවැත්විණි. මෙම සම්මුතිය 1975 දෙසැම්බර් 17 වන දින සිට බලාත්මක විය.

 

ශ්‍රී ලංකාව 1980 ජූනි 6 වන දින මෙම සම්මුතිය පිළිගත් රාජ්‍යයක් (State Party) බවට පත්විය. දැනට රටවල් 196 ක් මෙහි පාර්ශ්වකරුවන් වෙති.

 

එම රටවල් 196ම සාමාන්‍ය අර්ථයෙන් මෙම සම්මුතියට අත්සන් කළ රටවල් නොවේ. නීතිමය වශයෙන් ඒවා හඳුන්වන්නේ මෙම සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයන් (States Parties) ලෙසය. සමහර රාජ්‍යයන් සම්මුතිය අනුමත කිරීම (Ratification) මගින්ද, තවත් රාජ්‍යයන් පිළිගැනීම (Acceptance) මගින්ද එහි පාර්ශ්වකරුවන් බවට පත්වී ඇත. වෙනත් රාජ්‍යයන් එක්වීම (Accession) හෝ රාජ්‍ය අනුප්‍රාප්තිය හෝ අළුතින් බිහිවූ රාජ්‍ය ලෙස (Succession) මගින් මෙම සම්මුතියේ පාර්ශ්වකරුවන් බවට පත්වී ඇත. අවශ්‍ය අනුමත කිරීමේ, පිළිගැනීමේ හෝ එක්වීමේ ලේඛන 20ක් තැන්පත් කිරීමෙන් පසුව, 1975 දෙසැම්බර් 17 වන දින මෙම සම්මුතිය බලාත්මක විය.

 

The 1972 Convention Concerning the Protection of the World Cultural and Natural Heritage (the World Heritage Convention) - Blue Shield International

 

මෙම සම්මුතිය අභ්‍යන්තර ව්‍යවහාරයේ 17 සම්මුතිය ලෙස හඳුන්වන්නේ එම සම්මේලනය හා බලාත්මක වීම යන සියල්ල 17 නම් අංකය හා සම්බන්ධ බැවිනි. ඒ අනුව, අනුරාධපුරය 1982 වසරේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමටත් පෙර ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර සම්මුතියට බැඳී සිටියේය. එය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාව් ගත් වැදගත් පියවරක් වන අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සංචාරක වටිනාකම ඉහලට ගෙන ඒමට එම පියවර වැදගත් විය. සම්මුතිය අනුව රාජ්‍යයන්ට පොදුවේ බලපාන ප්‍රධාන නීතිමය වගන්ති පහත පරිදි වේ.

 

4 වන වගන්තිය

| සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම රාජ්‍යයට පැවරේ.

5 වන වගන්තිය

| උරුමයන් ආරක්ෂා කිරීම සඳහා නීතිමය, විද්‍යාත්මක, තාක්ෂණික, පරිපාලනමය හා

මූල්‍යමය ක්‍රියාමාර්ග ගත යුතුය

6 වන වගන්තිය

| ලෝක උරුමයන් ජාත්‍යන්තර සහයෝගීතාවයට අදාළ වන අතර රාජ්‍ය ස්වෛරීභාවය ද

පිළිගනී

11වන වගන්තිය

| ලෝක උරුම ලැයිස්තුවට සහ අවදානමට ලක්වූ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත්

කිරීම පිළිබඳ නීති

13 වන වගන්තිය

| ජාත්‍යන්තර සහයෝගීතාව සහ ආධාර ලබාදීම.

27 වන වගන්තිය

| ලෝක උරුමයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම.

29 වන වගන්තිය

| රාජ්‍යයන් විසින් යුනෙස්කෝව වෙත වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීම.

 

 

විශේෂයෙන්ම 4 වන සහ 5 වන වගන්ති ඉතා වැදගත් වේ. 4 වන වගන්තිය අනුව, තම භූමිය තුළ පිහිටි සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් හඳුනාගැනීම, ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, ඒවායේ වටිනාකම ජනතාවට ඉදිරිපත් කිරීම සහ අනාගත පරම්පරාවන් වෙත පවරා දීම රාජ්‍යයේ වගකීමකි. 5 වන වගන්තිය අනුව, පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක් හෝ ඓතිහාසික ගොඩනැගිලි කිහිපයක් පමණක් ආරක්ෂා කිරීම ප්‍රමාණවත් නොවේ. සමස්ත සංස්කෘතික උරුමය නගර සැලසුම්කරණය සහ සංවර්ධන ප්‍රතිපත්ති තුළට ඇතුළත් කළ යුතුය. එනම්, ආර්ථික, නාගරික සහ යටිතල පහසුකම් සංවර්ධන තීරණ ගැනීමේදී ලෝක උරුමයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව රජය සැලකිලිමත් විය යුතුය.

 

 Sacred City of Anuradhapura - Gallery - UNESCO World Heritage Centre

 

1982 වසරේදී අනුරාධපුරයේ කුමන ආකාරයේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේද?

යුනෙස්කෝ ලෝක උරුම ස්ථානය අංක 200 ලෙස අනුරාධපුර පුජනීය නගරය – Sacred City of Anuradhapura 1982 වසරේදී පහත සඳහන් යුනෙස්කෝ ලෝක උරුම නිර්ණායක තුන යටතේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරන ලදී.

නිර්ණායක (ii): මානව වටිනාකම් සහ සංස්කෘතික බලපෑම් අතර සිදුවූ වැදගත් හුවමාරුවක් නිරූපණය කිරීම.

නිර්ණායක (iii): කිසියම් සංස්කෘතික සම්ප්‍රදායක් හෝ ශිෂ්ටාචාරයක් පිළිබඳ සුවිශේෂී සාක්ෂියක් වීම.

නිර්ණායක(vi): වැදගත් ඓතිහාසික සිදුවීම්, ආගමික විශ්වාසයන් සහ සංස්කෘතික සම්ප්‍රදායන් සමඟ සෘජුව සම්බන්ධ වීම.

 

International Expert Conference: An Integrated and Sustainable

 

අනුරාධපුරයේ විශේෂත්වය වන්නේ එය හුදෙක් පැරණි ගොඩනැගිලි කිහිපයක එකතුවක් නොවීමයි. මේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ සම්පුර්ණ ඉතිහාසය හා සංස්කෘතිය පදනම් වන්නේ අනුරාධපුරය තුල හා මත බව බව ලෝකය පිළිගෙන ඇති අතර එය ලේඛනගත කර තිබේ. මේ තත්ත්වය අහිමි වුවොත් සිදුවන්නේ ශ්‍රී ලංකාව ඉතිහාසයක් නොමැති රාජ්‍යයක් බවට නිරායාසයෙන් පත්වීමයි. එහි ලෝක උරුම වටිනාකම පහත සඳහන් සියලු අංගයන්ගේ එකතුව තුළ පවතී. බෞද්ධ විහාරස්ථාන සහ ආගමික මධ්‍යස්ථාන. ස්තූප, බුද්ධ ප්‍රතිමා සහ පුරාවිද්‍යාත්මක ස්ථාන. ඓතිහාසික වැව් සහ පැරණි වාරිමාර්ග පද්ධතිය. පුරාණ නගර සැලසුම සහ එහි ඓතිහාසික ක්‍රියාකාරීත්වය. ආගමික, සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කම.

 

 

මෙහි ඇති වැදගත් නීතිමය තත්ත්වය කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් තනි ඓතිහාසික ගොඩනැගිල්ලකට සෘජු හානියක් නොකළ ද, එම ව්‍යාපෘතිය හේතුවෙන් ඓතිහාසික නගර ව්‍යුහය, පුරාවිද්‍යාත්මක සාධක, ජල පද්ධතිය හෝ ලෝක උරුමයේ අත්‍යවශ්‍ය අංග අතර පවතින සම්බන්ධතාවය විනාශ වන්නේ නම්, එය ද ලෝක උරුමයේ වටිනාකමට හානිකර විය හැකිය. එය එසේ වන්නේ නම් සැබවින්ම ප්‍රතිපත්තිමය සැලසුම් වලදී අපි ඉතා ප්‍රවේශම් සහගත විය යුතුය.

 

anurapura_4_pdf.jpeg

නව ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයට පැවරෙන වගකීම් මොනවාද?

මෙහිදී යුනෙස්කෝවේ ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශ Operational Guidelines ඉතා වැදගත් වේ. මෙම මාර්ගෝපදේශ මගින් ලෝක උරුම සම්මුතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය, සංරක්ෂණය, කළමනාකරණය, වාර්තාකරණය සහ අධීක්ෂණය පිළිබඳ විස්තරාත්මක නීතිමය හා පරිපාලනමය මඟපෙන්වීම් ලබා දෙයි. විශේෂයෙන්ම එම උපදේශන වල පහත සඳහන් ඡේද තුන වැදගත් වේ.

 

A. ඡේදය 96 –

සුවිශේෂී විශ්වීය වටිනාකම් ( Outstanding Universal Value) ආරක්ෂා කිරීම Outstanding Universal Value (OUV) යනු යම් ස්ථානයක් ලෝක උරුමයක් ලෙස පිළිගැනීමට හේතු වූ සුවිශේෂී විශ්වීය වටිනාකමයි. එම වටිනාකම, සත්‍යතාව (Authenticity) සහ අඛණ්ඩතාව (Integrity) ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීමකි. එනම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබා ගන්නා ඕනෑම ආණ්ඩුවක් අනුරාධපුර පුජාභූමිය සම්බන්ධයෙන් එහි වටිනාකම, සත්‍යතාව හා අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට වගකීමට බැඳීමයි.

B. ඡේදය 118bis

(118bis යනු 118 වන ඡේදයට පසුව අලුතින් එක් කරන ලද අතිරේක ඡේදයක්ය. එය මුල් ඡේද අංක වෙනස් නොකර පසුව එකතු කරන ලද නීතිමය විධිවිධානයකි) – පාරිසරික සහ සංස්කෘතික උරුම බලපෑම් තක්සේරු කිරීම අනුරාධපුරය සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් නීතිමය කරුණක් ලෙස මෙම වගන්තිය අනුව හඳුනාගත හැකිය. ලෝක උරුම ස්ථානයක් තුළ හෝ එයට ආසන්න ප්‍රදේශයක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී, එම ව්‍යාපෘති මගින් ලෝක උරුමයේ සුවිශේෂී විශ්වීය වටිනාකමට ඇතිවිය හැකි බලපෑම් කල්තියා අධ්‍යයනය කළ යුතුය. එහිදී පහත සඳහන් තක්සේරු කිරීම් වැදගත් වේ.

 

  1. පාරිසරික බලපෑම් තක්සේරුව Environmental Impact Assessment (EIA)

  2. සංස්කෘතික හා ඓතිහාසික උරුමයන්ට ඇති බලපෑම් තක්සේරුව Heritage Impact Assessment (HIA)

  3. උපායමාර්ගික පාරිසරික තක්සේරුව. Strategic Environmental Assessment (SEA) මෙම තක්සේරු කිරීම් මගින් සිදුවිය හැකි ධනාත්මක හා ඍණාත්මක බලපෑම්, විකල්ප විසඳුම් සහ හානි අවම කිරීමේ ක්‍රියාමාර්ග පෙන්වා දිය යුතුය. එහිදී මේ භුමිය ආරක්ෂා කිරීම ප්‍රධාන අරමුණ ලෙස ගෙන ක්‍රියා කිරීම එයින් අදහස් වේ. උදාහරණයක් ලෙස

  • නව මාර්ග ඉදිකිරීම.

  • නව ගොඩනැගිලි සහ සංචාරක හෝටල් ඉදිකිරීම.

  • විශාල පරිමාණයේ සංචාරක ව්‍යාපෘති.

  • ඓතිහාසික වැව් සහ වාරිමාර්ග පද්ධති වෙනස් කිරීම.

  • ඓතිහාසික නගර සැලසුම සහ භූදර්ශනය වෙනස් කිරීම. මෙවැනි ව්‍යාපෘති හුදෙක් ආර්ථික හෝ දේශපාලන අවශ්‍යතා මත පමණක් තීරණය කළ නොහැකිය. මේ නිසා ව්‍යාපෘති සැලසුම් හොඳින් සැලසුම් කල යුතු අතර විනිවිදභාවයෙන් යුතුව යුනෙස්කෝ ආයතනය සමග කටයුතු කිරීම රාජ්‍යයක වගකීමක් වේ.

 

C. ඡේදය 172 –

ලෝක උරුම කමිටුව දැනුවත් කිරීමේ වගකීම අනුරාධපුරය සම්බන්ධයෙන් අපගේ විමර්ශනයේදී විශේෂයෙන් වැදගත් වන කරුණක් මෙයයි. 1982 ට පෙර රාජ්‍යයක් ලෙස අපිට මේ භූමිය ගැන පෞද්ගලික වගකීමක් හා වගවීමක් තිබුණද 1982 න් පසු ශ්‍රී ලංකා රාජ්‍යය යුනෙස්කෝවේ ලෝක උරුම කොමිටිය සමග සන්නිවේදනය කල යුතුය. ලෝක උරුමයේ සුවිශේෂී විශ්වීය වටිනාකමට බලපෑම් ඇති කළ හැකි විශාල ප්‍රතිසංස්කරණ හෝ නව ඉදිකිරීම් සම්බන්ධයෙන් රාජ්‍යය විසින් ලෝක උරුම කමිටුව (World Heritage Committee) දැනුවත් කළ යුතු බව මෙම ඡේදය සඳහන් කරන අතර එය ශ්‍රී ලංකාවෙන් 1982 න් පසු නිරන්තරයෙන් සිදුවූවාද යන්න අවධානයට ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කරුණකි. එම දැනුම්දීම හැකි තරම් ඉක්මනින් සිදු කළ යුතුය. ව්‍යාපෘතියේ මූලික ලේඛන සකස් කිරීමට පෙර සිදු කිරීම වඩාත් සුදුසුය. පසුව ආපසු හැරවීමට අපහසු තීරණ ගැනීමට පෙර සිදු කළ යුතුය. මෙහි අරමුණ වන්නේ සුදුසු විසඳුම් සෙවීම සඳහා ලෝක උරුම කමිටුවට උපදෙස් හා සහාය ලබාදීමට අවස්ථාව සැලසීමයි. මේ ක්‍රමවේදය වර්තමානයේ සිදුවන ඉදිකිරීම් හා ව්‍යාපෘතියේ දී අනුගමනය කලාද යන්න සලකා බැලිය යුතුය. මෙහිදී වැදගත් නීතිමය පැහැදිලි කිරීමක් ලෙස සටහන් කරන්නේ ,172 වන ඡේදය සෑම ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහාම යුනෙස්කෝවේ පූර්ව අනුමැතිය ලබාගත යුතු බවක් අදහස් නොකරයි. එය විශාල ව්‍යාපෘති සම්බන්ධයෙන් කල්තියා දැනුම්දීමේ සහ ජාත්‍යන්තර සහයෝගීතාව ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කරයි. එහෙත් 118bis ඡේදය යටතේ අදාළ බලපෑම් තක්සේරු කිරීමේ අවශ්‍යතාව අත්‍යවශ්‍ය හා අනිවාර්‍ය එකකි.

 

 

ශ්‍රී ලංකා රජය අනුරාධපුර ලෝක උරුමය සම්බන්ධව යුනෙස්කෝව වෙත දැනුම් දිය යුතු කරුණු මොනවාද?

 

සෑම දෛනික පරිපාලන තීරණයක්ම යුනෙස්කෝව වෙත වාර්තා කළ යුතු නොවේ. නමුත් ලෝක උරුමයේ සුවිශේෂී වටිනාකමට බලපෑම් ඇති කළ හැකි වැදගත් තීරණ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් සහ වාර්තාකරණය සිදු කළ යුතුය. මෙම වගකීම් අනුරාධපුර පුජා භුමිය සම්බන්ධයෙන් නිරන්තරයෙන් සිදු වී ඇත්ද යන්න අපි ඊලඟ ලිපියෙන් කතා බහ කරමු.

 

 

අනුරාධපුරයේ ජීවත් වන ජනතාවට ඇති අයිතිවාසිකම් සහ ඔවුන්ගේ ජීවනෝපාය සම්බන්ධයෙන් ඇති වගකීම් මොනවාද?

වාරි ලෝක උරුමයක් තුල වාරි කෘෂිකර්මය එහි භූ දර්ශනය වන විට ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන ජාතික සංකල්පය එම භූ දර්ශනය විසින් පවත්වාගත යුතුය. මෙය අපගේ අධ්‍යයනයෙන් කිසිසේත්ම බැහැර නොකළ යුතු වැදගත් කරුණකි.

 

ලෝක උරුම සම්මුතියේ අරමුණ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පැරණි ගොඩනැගිලි පමණක් ආරක්ෂා කිරීම නොවේ. සම්මුතියේ 5(a) වගන්තිය අනුව සංස්කෘතික උරුමයන් ජන ජීවිතයට ඒකාබද්ධ කළ යුතුය. එසේම Operational Guidelines හි 119 වන ඡේදය අනුව, ලෝක උරුම ස්ථානවල තිරසාර භාවිතය සහ ප්‍රදේශවාසීන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම වැදගත් වේ. එබැවින් පහත සඳහන් ප්‍රශ්න විමර්ශනය කළ යුතුය.

 

  1. පරම්පරා ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සිදුවන්නේ කුමක්ද?

  2. සංරක්ෂණ සහ සංවර්ධන ව්‍යාපෘති ඔවුන්ගේ නිවාස සහ ඉඩම් අයිතිවාසිකම්වලට බලපාන්නේ කෙසේද?

  3. කෘෂිකර්මාන්තය, සාම්ප්‍රදායික රැකියා සහ ආර්ථික ජීවනෝපාය සඳහා ඇතිවන බලපෑම් මොනවාද?

  4. තීරණ ගැනීමට පෙර ප්‍රදේශවාසීන් දැනුවත් කර ඔවුන්ගේ අදහස් ලබාගන්නේද?

  5. ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරීම වෙනුවට වෙනත් විකල්ප සලකා බලන්නේද?

  6. සමාජීය සහ ආර්ථික බලපෑම් පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කරන්නේද?

 

මෙම කරුණු 2016 දී ක්‍රියාත්මක වූ ප්‍රංශ ව්‍යාපෘතිය මගින්ද සලකා බලා තහවුරු කල කරුණු වන අතර ඒ සඳහා අධ්‍යයනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිලධාරීන් තුන් දෙනෙකු ප්‍රංශයට යැවූ අතර එම අධ්‍යයනය මත එම ව්‍යාපෘතිය යටතේ පුරවැසි අයිතීන් ක්‍රියාත්මක කල යුතු බවට තීරණය කර තිබේ. මේ ලිපි මාලාවේ එම ව්‍යපෘති ගැන පසුව සටහන් කරනු ලබයි.

 

 

වැදගත් නීතිමය වෙනසක් ලෙස පසුකාලීනව යුනෙස්කෝ සම්මුතිය මගින් ප්‍රදේශවාසීන්ට සෑම සංවර්ධන ව්‍යාපෘතියකටම විරුද්ධ වීමේ ස්වයංක්‍රීය නීතිමය බලයක් ලබාදී නොමැත. එසේම කිසිදු අවස්ථාවක ජනතාව වෙනත් ස්ථානයකට පදිංචි කළ නොහැකි බවට පොදු තහනමක් ද එහි නොමැත. නමුත් ලෝක උරුම ආරක්ෂා කිරීමේ නාමයෙන් ජනතාවගේ නිවාස, ඉඩම්, ජීවනෝපාය සහ සමාජීය අයිතිවාසිකම්වලට බලපෑම් ඇති කරන තීරණ ගන්නා විට, ඒවායේ ප්‍රතිවිපාක නිසි ලෙස අධ්‍යයනය කිරීම සහ විකල්ප සලකා බැලීම අත්‍යවශ්‍ය වේ. අනුරාධපුර පුජාභූමි යේ ජිවත්වන පාරම්පරික පවුල් වල බැඳීම හා අත්‍යවශ්‍යතාව මෙහිදී වැදගත් කරුණකි. එසේම අප සලකා බැලිය යුත්තේ ශ්‍රී ලංකාව අනුරාධපුර පුජා භුමිය සම්බන්ධයෙන් ලෝක උරුමයක් ආරක්ෂා කරන නිසි ක්‍රමවේද මත ක්‍රියාකර ඇත්ද යන්නය.

 

(මතු සම්බන්ධයි).

#සුභාශිනී විෆ්ලර්

 

 

පෙර ලිපි සබැඳි

https://slleader.lk/social/14590-unesco-01

https://slleader.lk/social/14598-02-5 

නවතම ලිපි