සුභාෂිණි විෆ්ලර් විසිනි.
මෙම ලිපි මාලාව ලේඛිකාව වන සුභාෂිණි විෆ්ලර් විසින් මේ දිනවල අනුරාධපුර පුජා භුමිය හා
සංවර්ධන ව්‍යාපෘති ගැන කෙරෙන පර්යේෂණයකට පදනම් වේ. එම පර්යේෂණය අනුරාධපුරයේ ඓතිහාසික හා නීතිමය පසුබිම,1940 Antiquities Ordinance සහ 1942 Conservation Ordinance, 1946 Town and Country Planning Ordinance සහ 86 වගන්තිය, 1981 ගැසට් නිවේදනය සහ 1984 සංරක්ෂණ සැලැස්ම, 1982 UNESCO World Heritage inscription සහ ජාත්‍යන්තර නීති, 2026 ගැසට් අංක 2477/44 පිළිබඳ නීතිමය විශ්ලේෂණය හා පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම්, නැවත පදිංචි කිරීම හා පාරිසරික බලපෑම් මෙන්ම UNESCO වෙත ඉදිරිපත් කළ යුතු නිර්දේශ සහ නීතිමය ඉල්ලීම් යන කරුණු අනුව පෙළ ගැස්වේ.

අනුරාධපුරය UNESCO ලෝක උරුමයක් වීමට පෙර පැවති නීති: 1940, 1942 සහ 1946 නීතිවල සැබෑ අරමුණ කුමක්ද?
(ඓතිහාසික උරුමය, පුරාවිද්‍යාත්මක සංරක්ෂණය සහ නගර සැලසුම්කරණය පිළිබඳ ශ්‍රී ලංකාව නැවත කියවිය යුතු ඉතිහාසයක්).
අනුරාධපුරය යනු ශ්‍රී ලංකාවේ පුරාණ රාජධානියක නටබුන් පමණක් නොවේ. එය අපේ ඉතිහාසය, බෞද්ධ ශිෂ්ටාචාරය, වාස්තු විද්‍යාව, වාරි තාක්ෂණය සහ සමාජ සංස්කෘතිය ලෝකයට කියාපාන ජීවමාන උරුමයකි.
එහෙත් අද අනුරාධපුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන සංවර්ධන හා සංරක්ෂණ විවාදය තේරුම් ගැනීමට නම් අප වර්තමාන ගැසට් නිවේදන පමණක් නොව, මේ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා සියවසකට ආසන්න කාලයක් තුළ ගොඩනැඟුණු නීතිමය ඉතිහාසය ද අධ්‍යයනය කළ යුතුය.

මෙහිදී මුලින්ම අපට හමුවන්නේ 1940 Antiquities Ordinance ය.
1940 දී අනුරාධපුරය UNESCO ලෝක උරුමයක් නොවීය.
1940 ජූලි 15 දින හඳුන්වා දුන් Antiquities Ordinance No. 9 of 1940 හි ප්‍රකාශිත අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ පුරාවස්තු සහ ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන හා ගොඩනැගිලි වඩාත් හොඳින් සංරක්ෂණය කිරීමයි.
එම නීතිය මගින් පුරාවස්තු සම්බන්ධ රාජ්‍ය අයිතිය, පුරාවිද්‍යාත්මක කැණීම් සඳහා බලපත්‍ර ලබාදීම, හමුවන පුරාවස්තු වාර්තා කිරීම සහ පුරාවිද්‍යාත්මක රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම සඳහා නීතිමය පදනමක් සකස් කරන ලදී.
විශේෂයෙන්ම එහි 33 වගන්තිය යටතේ නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් රජයේ ඉඩම් පුරාවිද්‍යාත්මක රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට බලය ලබා දී තිබේ.
මෙම නීතිය සම්මත වූ අවස්ථාවේ අනුරාධපුරය UNESCO ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වී නොතිබුණි. ඇත්ත වශයෙන්ම UNESCO ලෝක උරුම ලැයිස්තුවට අනුරාධපුරය ඇතුළත් වූයේ 1982 දීය.
ඒ අනුව 1940 නීතියේ මූලික අරමුණ ජාත්‍යන්තර ලෝක උරුම තත්ත්වයක් ආරක්ෂා කිරීම නොව, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය දේශීය නීතියෙන් ආරක්ෂා කිරීම බව පැහැදිලිය.

1942 අනුරාධපුර සංරක්ෂණය සඳහා වෙනම නීතිමය පදනමක්
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිල ඉතිහාසයට අනුව 1942 දී Anuradhapura Conservation Ordinance නමින් විශේෂ සංරක්ෂණ නීතිමය රාමුවක් ඇති කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි අනුරාධපුරය සඳහා සංරක්ෂණ සැලැස්මක් සකස් කිරීම එහි ප්‍රධාන කාර්යයක් විය.
එම සැලැස්ම ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත විය.
1. Sacred Area – පූජනීය ප්‍රදේශය.
2. New Town – නව නගරය.
මෙම සැලසුම්කරණය පිළිබඳව අප විමසිය යුතු වැදගත් ප්‍රශ්නයක් තිබේ.
එදා සැලසුම්කරුවන්ගේ අරමුණ වූයේ පුරාණ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම පමණක්ද? නැතහොත් පුරාණ නගරය වටා ජීවත් වූ ජනතාවගේ නිවාස, වෙළෙඳාම, ජීවනෝපාය, ප්‍රවාහනය සහ නව නගරයක අවශ්‍යතා අතර සමබරතාවයක් ඇති කිරීමද?
මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට 1942 මුල් නීති ලේඛනය සහ මුල් සංරක්ෂණ සැලැස්ම සම්පූර්ණයෙන් අධ්‍යයනය කළ යුතුය.

1946 නගර හා ග්‍රාමීය සැලසුම්කරණය සඳහා නව නීතියක්
1946 අංක 13 දරන Town and Country Planning Ordinance තවත් වැදගත් නීතියකි.
එහි මුල් අරමුණ වූයේ භූමි සංවර්ධනය පාලනය කිරීම, සෞඛ්‍ය හා සනීපාරක්ෂක තත්ත්වයන් සහතික කිරීම, ජනතාවගේ පහසුව හා පරිසර සුන්දරත්වය ආරක්ෂා කිරීම සහ ඓතිහාසික හා වාස්තු විද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන සංරක්ෂණය කිරීමයි.
මෙහි විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ 86 වගන්තිය වෙතය.
එම වගන්තිය අනුව 1940 Antiquities Ordinance යටතේ අර්ථ දක්වා ඇති පුරාණ ස්මාරක සහ එහි 33 වගන්තිය යටතේ නිසි පරිදි ප්‍රකාශිත පුරාවිද්‍යාත්මක රක්ෂිතවලට 1946 නීතියේ විධිවිධාන සහ සැලසුම් අදාළ නොවන බව සඳහන් වේ.
මෙය නීති දෙක අතර ඇති සම්බන්ධතාවය තේරුම් ගැනීමට අතිශය වැදගත් කරුණකි.
එහෙත් 86 වගන්තිය මුළු අනුරාධපුර පූජනීය නගරයටම අදාළ බව එයින් ස්වයංක්‍රීයව අදහස් නොවේ. ඒ සඳහා එක් එක් භූමිය පුරාණ ස්මාරකයක්ද, නීත්‍යනුකූලව ප්‍රකාශිත පුරාවිද්‍යාත්මක රක්ෂිතයක්ද යන්න වෙන වෙනම පරීක්ෂා කළ යුතුය.
1982, ජාත්‍යන්තර වගකීමක් බවට පත්වන අනුරාධපුරය
1982 දී Sacred City of Anuradhapura UNESCO World Heritage List එකට ඇතුළත් විය.
UNESCO නිල ලේඛනවල එය Criteria (ii), (iii) සහ (vi) යටතේ ලෝක උරුමයක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙතැන් සිට අනුරාධපුරය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ දේශීය වගකීමක් පමණක් නොව, 1972 World Heritage Convention යටතේ ඇති ජාත්‍යන්තර වගකීමක් ද බවට පත් විය.
එම සම්මුතියේ 4 සහ 5 වගන්ති අනුව ලෝක උරුමයන් හඳුනාගැනීම, ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ අනාගත පරපුරට පවරාදීම සඳහා රාජ්‍යයට විශේෂ වගකීම් පැවරේ.
ඒ අනුව 1982න් පසු අනුරාධපුරයේ සංවර්ධන තීරණ ගන්නා විට දේශීය නීති පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නොවේ. ලෝක උරුමයේ විශිෂ්ට විශ්වීය වටිනාකමද ආරක්ෂා කළ යුතුය.

අප සමාජයක් ලෙස විමසිය යුතු ප්‍රශ්න
මෙම ඓතිහාසික හා නීතිමය පසුබිම අනුව අද අප විමසිය යුතු කරුණු කිහිපයක් තිබේ.
1. 1940 සහ 1942 නීතිවල මුල් අරමුණු වර්තමාන සංවර්ධන සැලසුම්වලදී නිසි ලෙස සැලකිල්ලට ගෙන තිබේද?
2. 1946 නීතියේ 86 වගන්තිය අනුරාධපුරයේ කුමන ඉඩම්වලට අදාළ වේද?
3. 1982 දී UNESCO ලෝක උරුම තත්ත්වය ලැබීමෙන් පසු ඇති වූ ජාත්‍යන්තර වගකීම් දේශීය සැලසුම්කරණයට ඇතුළත් කර තිබේද?
4. පුරාවිද්‍යාත්මක සංරක්ෂණය සහ ජනතාවගේ දේපළ හා ජීවනෝපාය අයිතිවාසිකම් අතර සමබරතාවය පවත්වාගෙන යන්නේ කෙසේද?
අනුරාධපුරය ආරක්ෂා කිරීම යනු එහි පුරාණ ගොඩනැගිලි සහ ස්මාරක පමණක් ආරක්ෂා කිරීම නොවේ. එහි ඓතිහාසික භූදර්ශනය, ජල පද්ධති, පරිසරය, සංස්කෘතික සම්ප්‍රදායන් සහ ජනතාවගේ ජීවන සබඳතා ද සැලකිල්ලට ගත යුතුය.
අපේ අරමුණ පුරාවිද්‍යාත්මක සංරක්ෂණයට විරුද්ධ වීම නොවේ. එසේම අනුරාධපුරයේ පූජනීයත්වය ප්‍රශ්න කිරීමද නොවේ.
අපේ අරමුණ වන්නේ නීතිය, ඉතිහාසය සහ ජාත්‍යන්තර වගකීම් පිළිබඳ නිවැරදි අවබෝධයක් මත පදනම්ව සාධාරණ සංවාදයක් ගොඩනැඟීමයි.
අනුරාධපුරය අපේ අතීතයයි. එය ආරක්ෂා කිරීම අපේ වගකීමයි. එහි අනාගතය තීරණය කිරීමේදී නීතිය, විද්‍යාව, ජනතා අදහස් සහ මානව ගෞරවය එකට ගමන් කළ යුතුය.
(02 කොටසින් හමුවෙමු)
මූලාශ්‍ර:
Antiquities Ordinance No. 9 of 1940
Town and Country Planning Ordinance No. 13 of 1946, විශේෂයෙන් 2 සහ 86 වගන්ති
National Physical Planning Department නිල ඉතිහාසය
UNESCO World Heritage Centre – Sacred City of Anuradhapura, World Heritage Property No. 200.
# Subhashini Wipfler

