SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ග්‍රාමීය ප්‍රජාවට නව ආර්ථික අවස්ථා උදා කර දෙමින්, දකුණේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය

ප්‍රවර්ධනය කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට ඌරුබොක්ක සංවර්ධනය කිරීමේ හැකියාව පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. ඌරුබොක්ක ප්‍රදේශයේ ඉදි කළ නව 'හෙළ බොජුන්' අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

 

ඌරුබොක්ක ප්‍රදේශයට පොහොසත් කෘෂිකාර්මික හා ආහාර උරුමයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය රැකගැනීම හරහා මෙම ප්‍රදේශය වැදගත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කළ හැකි බව කියා සිටියේය. ඌරුබොක්කේ පැරණි වාණිජ වැදගත්කම සිහිපත් කළ හඳුන්නෙත්ති ඇමතිවරයා, මෙම නගරය එක් කලෙක ගම්මිරිස්, පලතුරු, එළවළු සහ විශේෂයෙන්ම කෙසෙල් මිලදී ගැනීම සඳහා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයන් පැමිණි ප්‍රධාන කෘෂි වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ බව පැවසීය. එවකට ඌරුබොක්ක දිවයින පුරා ප්‍රකටව තිබුණේ ප්‍රධාන කෙසෙල් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස බව ද ඔහු සඳහන් කළේය.

 

 

අද දඹුල්ල ක්‍රියාත්මක වන ආකාරයටම ඌරුබොක්ක ද එදා ඉතා සජීවී සහ කාර්යබහුල වෙළෙඳපොළක් ලෙස පැවති බව අමාත්‍යවරයා සිහිපත් කළේය. සවස් කාලයේ කොළඹින් සහ අම්බලන්ගොඩින් පැමිණෙන ලොරි රථ පසුදා අලුයම වන තෙක් එහි රැඳී සිටි අතර, ගින්නලිය සහ කොලොන්න දෙසින් පිහිටි අවට ගම්මානවල ගොවීහු සිය අස්වනු නගරයට රැගෙන ආහ. එහෙත් පසුකාලීන පරම්පරා කෘෂිකර්මාන්තයෙන් ඈත් වී නගර කරා සංක්‍රමණය වීමත්, විදේශගත වීමත් හේතුවෙන් මෙම වාණිජ ක්‍රියාකාරකම් ක්‍රමයෙන් පිරිහීමට ලක් වූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

 

 

මෙම සමාජ පරිවර්තනය සාම්ප්‍රදායික ගැමි ජීවන රටාවට සහ ආහාර සංස්කෘතියට ද බලපෑම් එල්ල කර ඇති බැවින්, මෙරට ප්‍රාදේශීය ආහාර උරුමය යළි පණ ගැන්වීම සහ සුරැකීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතියට අනන්‍ය ලක්ෂණ ඇති බවත්, විශේෂයෙන් මාතර ඇතුළු දකුණේ ආහාර රටාවට සුවිශේෂී අනන්‍යතාවක් පවතින බවත් ඔහු පැවසීය. සාම්ප්‍රදායික හැලප සැකසීම ඊට නිදසුනක් ලෙස දැක්වූ අමාත්‍යවරයා, රටේ වෙනත් ප්‍රදේශයකින් රස බලන හැලපයකට වඩා ඌරුබොක්කේ සාදන හැලපයේ රසය මෙන්ම පිළියෙල කරන ආකාරය පවා වෙනස් බව කියා සිටියේය.

 

දේශීය ආහාර වට්ටෝරු සහ ඒවා සැකසීමේ ක්‍රමවේදවල සැබෑ ගුණාත්මකභාවය හා අනන්‍යතාව ආරක්ෂා කරගන්නේ නම්, දකුණේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛ කේන්ද්‍රස්ථානයක් බවට ඌරුබොක්කට නිසැකවම පත් විය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

2026 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ඌරුබොක්ක ග්‍රාම නිලධාරී වසමේ ස්ථාපිත කෙරුණු මෙම නව හෙළ බොජුන්හල මඟින්, පෝෂ්‍යදායී දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීමත්, ශ්‍රී ලංකාවේ ආහාර උරුමය රැකගැනීමත් අරමුණු කෙරේ. එමෙන්ම සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදනය සහ අලෙවිය තුළින් කාන්තාවන්ට සහ ග්‍රාමීය ව්‍යවසායකයන්ට නව ආදායම් මාර්ග උදා කර දෙමින් ග්‍රාමීය ජීවනෝපායන් ශක්තිමත් කිරීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අපේක්ෂාවකි.

 

නවතම ලිපි