ඉන්දියා ටුඩේ වාර්තාවකට අනුව, තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජේගේ සන්ධාන ආණ්ඩුවේ
ප්‍රබල හවුල්කරුවෙකු වන විදුතලෙයි චිරුතෙයිගල් කච්චි (VCK) පක්ෂයේ නායක තොල් තිරුමාවලවන්, හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ පාරම්පරික නිවස පැවති ස්ථානය නැරඹීමට යෑම තමිල්නාඩු දේශපාලනය තුළ දැවැන්ත කුණාටුවක් නිර්මාණය කර තිබේ. භාරතීය ජනතා පක්ෂය (BJP) මෙම සංචාරය හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ මතකයට කළ බරපතළ අපහාසයක් ලෙස හෙළා දකිද්දී, විජේගේ ආණ්ඩුවේම පාර්ශ්වකරුවෙකු වන කොංග්රස් පක්ෂය මේ දක්වා අනුගමනය කරන නිහඬතාව දකුණු ඉන්දීය දේශපාලන කරළියේ ප්‍රබල කතාබහකට තුඩු දී ඇත.
විවිධ මතවාදී ධාරාවන්ගෙන් සමන්විත 'දේදුනු සන්ධානයක්' පවත්වාගෙන යෑමේදී එහි හවුල්කරුවන් නොයා යුතු සංවේදී සීමාවන් පවතී. ප්රභාකරන්ගේ පැරණි නිවස යනු ඉන්දීය දේශපාලනයට අනුව එවැනි අතිශය සංවේදී කලාපයකි. ප්‍රවීණ දෙමළ දේශපාලනඥ එම්. කේ. සිවාජිලිංගම්ගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා නොවැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි තිරුමාවලවන්, චෙම්මනි සමූහ මිනීවළ ස්මාරකය වෙත ද ගොස් වින්දිතයන් වෙනුවෙන් සිය සහයෝගීතාව පළ කළේය. අනතුරුව නොවැම්බර් 17 වැනිදා යාපනයේ වැල්වෙට්ටිතුරෙයි හි පිහිටි ප්රභාකරන් ළමා කාලය ගත කළ භූමියේ ඇවිදින අයුරු දැක්වෙන වීඩියෝ පට ඔහු විසින්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේය.
2010 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එම නිවස සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කර ඇති බැවින් අද එහි ඉතිරිව ඇත්තේ හඳුනාගැනීමේ පුවරුවක් පමණක් සහිත හිස් බිම් කැබැල්ලකි. එහෙත් තමිල්නාඩු දේශපාලනය තුළ එම හිස් බිමට පවා අර්බුදයක් ඇවිළවීමට තරම් ප්‍රබල සංකේතාත්මක බලයක් පවතින බව මෙම සිදුවීමෙන් යළිත් තහවුරු වී තිබේ.
මෙම අවස්ථාව වහාම සිය දේශපාලන වාසියට හරවා ගත් තමිල්නාඩු BJP ප්‍රධාන ප්‍රකාශක නාරායනන් තිරුපති, X සටහනක් තබමින් තිරුමාවලවන්ගේ ක්‍රියාව "ලැජ්ජාසහගත සහ සමාව දිය නොහැකි" එකක් ලෙස හඳුන්වා දුන්නේය. ප්රභාකරන් යනු නිදහස් සටන්කාමියෙකු නොව තහනම් ත්‍රස්ත සංවිධානයක නායකයෙකු බවත්, 1991 මැයි 21 වැනිදා ශ්රීපෙරුම්බුදූර්හිදී රජිව් ගාන්ධි ඝාතනය කළ පුද්ගලයාගේ නිවසට යන කිසිදු ඉන්දීය නායකයෙකු දෙමළ ජනතාවට සහයෝගීතාව දක්වන්නෙකු නොව රජිව් ගාන්ධිට අපහාස කරන්නෙකු බවත් ඔහු චෝදනා කළේය. මෙහි වඩාත් තියුණු දේශපාලන උපක්‍රමය වන්නේ BJPයේ ප්‍රහාරය තිරුමාවලවන්ට වඩා කොංග්‍රසය ඉලක්ක කර එල්ල වීමයි. සිය හිටපු අගමැතිවරයා ඝාතනය කළ පුද්ගලයා උත්කර්ෂයට නංවන නායකයෙකු සමඟ බලය බෙදා ගන්නවාද, නැතහොත් VCK සන්ධානයෙන් ඉවත් වෙනවාද යන අභියෝගය තිරුපති කෙළින්ම කොංග්‍රසය ඉදිරියේ තබා තිබේ.
BJPයේ මෙම පහරදීමත් සමඟ කොංග්රස් පක්ෂය දැඩි දේශපාලන උභතෝකෝටිකයක සිරවී සිටී. රජිව් ගාන්ධි ඝාතනය කොංග්රස් ඉතිහාසයේ වඩාත්ම වේදනාකාරී සිදුවීම වුවද, 2018 දී මැලේසියාවේදී සහ 2021 දී නැවතත් අදහස් දක්වමින් රාහුල් ගාන්ධි ප්‍රකාශ කර තිබුණේ තමා සහ ප්‍රියංකා ගාන්ධි සිය පියාගේ ඝාතකයන්ට සම්පූර්ණයෙන්ම සමාව දී ඇති බවයි. එහෙත් ගාන්ධි පවුලේ එම පුද්ගලික සමාව දීම මැතිවරණ දේශපාලනයේ කටුක යථාර්ථය හමුවේ කොංග්‍රසයට ආරක්ෂාවක් සපයන්නේ නැත. තිරුමාවලවන් ප්‍රසිද්ධියේ විවේචනය කළහොත් එය තමිල්නාඩු පාලක සන්ධානය තුළ බරපතළ ඉරිතැළීමකට මඟ පාදනු ඇත. අනෙක් අතට නිහඬව සිටීමෙන් සිදුවන්නේ එල්.ටී.ටී.ඊ.ය සහ ප්රභාකරන් සම්බන්ධයෙන් කොංග්‍රසයේ දේශපාලන ප්‍රතිපත්තිය ප්‍රශ්න කිරීමට BJPයට තවදුරටත් ඉඩකඩ විවර වීමයි.
මෙම අර්බුදයේ සැබෑ බරපතළකම මතු වන්නේ මහ ඇමති විජේගේ ආණ්ඩුව රඳා පවතින ආසන ගණිතය දෙස බැලීමේදීය. 2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී ආසන 234 න් ආසන 108 ක් දිනාගත් විජේගේ තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂය තනි විශාලතම පක්ෂය බවට පත් වුවද, බහුතර බලය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ආසන 118 සීමාවට ඔවුන්ට ආසන 10 ක් අඩු විය. විජේට ආණ්ඩුව පිහිටුවීමට හැකි වූයේ කොංග්‍රසය, වාමාංශික පක්ෂ, ඉන්දියානු යුනියන් මුස්ලිම් ලීගය (IUML) සහ VCK පක්ෂයේ සහාය ඇතිවය.
VCK පක්ෂයට ඇත්තේ මන්ත්‍රී ධුර දෙකක් පමණක් වුවද, තිරුමාවලවන්ගේ දේශපාලන බර එම මන්ත්‍රී සංඛ්‍යාවට ලඝු කළ නොහැකිය. තමිල්නාඩුවේ දලිත් අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ දෙමළ අනන්‍යතාව නියෝජනය කරන ප්රබලතම හඬක් ලෙස ඔහු පාලක සන්ධානයට වැදගත් ශක්තියක් එක් කරයි. විජේ මෙම මතභේදයට ඍජුවම සම්බන්ධ නොවූවත්, සිය ආණ්ඩුවේ පැවැත්මට තීරණාත්මක වන හවුල්කරුවන් අතර ඇති දෘෂ්ටිවාදාත්මක පරස්පරතා දැන් විපක්ෂයේ ප්‍රධාන ආයුධය බවට පත්ව හමාරය.
ප්රභාකරන්ගේ නිවස පැවති ස්ථානය නැරඹූ පමණින් තිරුමාවලවන් එල්.ටී.ටී.ඊ.යේ සන්නද්ධ අරගලය හෝ රජිව් ගාන්ධි ඝාතනය අනුමත කරන බවක් ඉන් ගම්‍ය නොවේ. ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ අවතැන්වීම්, දේශපාලන අයිතිවාසිකම්, මානව හිමිකම් සහ යුද අපරාධ වගවීම වෙනුවෙන් ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටි අතර, සිවාජිලිංගම්ගේ අවමංගල්‍යයට සහ චෙම්මනි ස්මාරකයට ඔහු ගිය ගමන කියවා ගත යුත්තේ ඒ පුළුල් රාමුව තුළය.
එසේ වුවද, දේශපාලනයේදී සංකේතාත්මක ක්‍රියා ඓතිහාසික මතකයන්ගෙන් වෙන් කර තැබිය නොහැකිය. ශ්‍රී ලංකාවේ දෙමළ ප්රශ්නය අතිශය සංකීර්ණ දේශපාලන ඉතිහාසයක් දරන තමිල්නාඩු භූමිය තුළ, තිරුමාවලවන්ගේ මෙම සංචාරය තරමටම ඊට කොංග්‍රසය සහ මහ ඇමති විජේගේ ආණ්ඩුව ඉදිරියේදී දක්වන ප්‍රතිචාරය ද මෙම නව සන්ධානයේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකයක් වනු ඇත.
(ඉන්දියා ටුඩේ පළවුනු පුවතක් ඇසුරිනි)

