සමකාලීන සංවාද වල දී ආධ්‍යාත්මිකත්වය සහ පුනර්ජන්මය පිළිබඳ විශ්වාසයට,
අද්භූත වාදයේ සහ ගුප්ත වාදයේ කෝණයෙන් විවිධ නිර්ණායක ඉදිරිපත් විය හැකි ය. එහෙත් හිමාලයානු බෞද්ධ සම්ප්‍රදාය තුළ භෞතික දේහයේ මරණින් මතු විඥානයේ පැවැත්ම සලකනු ලබන්නේ හුදෙක් අන්ධ විශ්වාසයන් මත ගොඩනඟා ගන්නා ලද ප්‍රපංචයන් ලෙස නොව දැඩි තාර්කික විශ්ලේෂණයකට යටත් කොට සනාථ කළ හැකි සත්‍යයක් ලෙස ය.
මුල්කාලීන ටිබෙට් පාණ්ඩිත්‍යය ඉන්දීය බෞද්ධ චින්තන සම්භාරය උරුම කරගත් පසු ඔවුහු අතීත සහ අනාගත භව පිළිබඳව ක්‍රමවත් යුක්ති සහගත සනාථ කිරීමකට ප්‍රමුඛත්වය ලබා දුන්හ.
චිත්ත සන්තාන නම් අඛණ්ඩ මනෝප්‍රවාහය පිළිබඳ සංකල්පයත්, එය ආරම්භයක් හෝ අවසානයක් හෝ නොමැති ස්වභාවයකින් යුක්ත බවත් තහවුරු කරන දාර්ශනික රාමු මූලධර්ම කොට ගෙන ඇත.
මනෝ ප්‍රවාහයේ ස්වභාවය (චිත්ත සන්තානය) අවබෝධ කර ගැනීම.
හිමාලයානු බෞද්ධ සම්ප්‍රදායයන් පුනර්ජන්මය හෝ පුනර්භවය පිළිබඳ විග්‍රහ කරන ආකාරය අවබෝධ කර ගැනීමට පෙර, ස්ථිර හා වෙනස් නොවන ආත්මයන් පිළිබඳ ඇති වැරැදි අදහස බිඳ හෙළිය යුතු ය.
බුදු දහම සිරුරෙන් සිරුරට සංක්‍රමණය වන වෙනස් නොවන ඒකාශ්මික මමත්වයක් (monalithic ego entity) ඇතැයි යන අදහස ප්‍රතික්ෂේප කරයි.
ඒ වෙනුවට එය චිත්ත සන්තාන, එනම් අඛණ්ඩ අනු පිළිවෙළින් ඇති ක්ෂණික මානසික අවස්ථා (a mindstream) බව පිළිගනියි.
උපදින සෑම සිතිවිල්ලක් ම ඊට පෙර හටගත් සිතිවිල්ල මත පදනම් ව, කර්මයේ කෙනෙකුගේ පුරුදු සහ ප්‍රවණතාවන්ගේ සහ ප්‍රඥාවේ සියුම් සලකුණු ඉදිරියට ගෙනයමින් හටගනියි.
ගඟක් එකම ස්ථිර වස්තුවක් ලෙස පෙනුන ද ඇත්ත වශයෙන් ම එය නිරන්තරයෙන් වෙනස් වන ජල බිඳු වල ප්‍රවාහයක් පමණි. එසේම මනෝ ප්‍රවාහය ද විඥානයේ ශක්තිමත් අඛණ්ඩතාවකි.
මරණය යනු මෙම ක්‍රියාවලියේ අවසානය නොව එය ඉතා ගැඹුරු සංක්‍රාන්ති අවස්ථාවකි.
මරණයේ දී ඉන්ද්‍රියයන්ගේ සංවේදීභාවයේ දළ ස්වභාවය වියැකී යන අතර, මනසෙහි පවතින සියුම් සහ දීප්තිමත් ම ස්ථරය භෞතික පැවැත්මක් කරා ඉදිරියට ගමන් කරයි.
ධර්මකීර්තිපාදයන්ගේ ඥානවිද්‍යාව තාර්කික සනාථ කිරීමකි.
ටිබෙට් සම්ප්‍රදාය තුළ පුනර්භවය පිළිබඳ පවතින නිශ්චිත දාර්ශනික පදනම දැඩි සේ රඳා පවතින්නේ 7 වැනි සියවසේ දී සම්පාදනය වු ධර්ම කීර්තිගේ කෘති මතය.
විශේෂයෙන් ම ඔහු විසින් සම්පාදනය කරන ලද 'ප්‍රමාණ වාර්තික' [Pramānavārttika] මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙනවා.
ධර්ම කීර්ති පාදයන්ගේ ප්‍රවේශය දැඩි ලෙස ඥාන විද්‍යාත්මක [Epistemological] වන අතර, විඥානය කිසිසේත් ම නිරර්ථක ශුන්‍යතාවකට අතුරුදන් වී යා නොහැකි බවත් එසේම එය සම්පූර්ණයෙන්ම අවිඥානමය මූලයකින් මතු විය නොහැකි බවත් විධිමත් තර්ක උපයෝගි කර ගනිමින් පෙන්වා දෙයි.
ධර්ම කීර්තිගේ ප්‍රධාන තර්කය හේතුඵලවාදය නැමැති විශ්වීය නියමය මත පදනම් වෙයි. එනම් ඵලය එහි ප්‍රධාන හේතුවේ ස්වභාවයට සමාන විය යුතු බවයි.
උදාහරණයක් ලෙස වී අංකුරයක් හටගත හැක්කේ වී ඇටයකින් පමණක් වීම සලකා බැලිය හැකි ය. වී අංකුරය වැලි ඇටයකින් හෝ කිරි බිංදුවකින් හටගත නොහැකිය.
ධර්ම කීර්ති පාදයන් කෙනෙකුගේ ඥානයට අදාළ ව මෙසේ විග්‍රහ කරයි.
ද්‍රව්‍යමය දෙයකින් සිත නූපදියි.
භෞතික වස්තුවකට; එනම් ද්‍රව්‍යමය වන ශරීරයට හෝ මොළයට හෝ කෙනකුගේ දැනුවත් භාවයේ ප්‍රධාන හේතුව බවට පත් විය නොහැක.
භෞතික ද්‍රව්‍ය අවිඥානමය වෙයි; ස්පර්ශ කළ හැකි වෙයි; අවකාශයක් ගනියි; එයට මුළුමනින් ම වෙනස් වන විඥානය සංජානනීය යි, ප්‍රභාෂ්වරයි; ඒ වගේම ද්‍රව්‍යමය නොවෙයි.
භෞතික මොළය කෙනෙකු ජිවිත කාලය තුළ දැනුවත් වන දේ පෙරහන් වී ප්‍රකාශ වන අයුරු හැඩගස්වන සහයෝගී සාධකයක් ලෙස ක්‍රියා කළ ද කෙනෙකුගේ අත්දැකීම ලබා ගැනීමේ මුලික හැකියාව එයට ජනනය කළ නොහැක.
විඥානය විඥානයෙන් ම ඉපදිය යුතුය.
විඥානය තුළ හටගන්නා කිසියම් සිතිවිල්ලකට ප්‍රධාන හේතුව විය යුත්තේ ඊට පෙර හටගන්නා ලද සිතිවිල්ලක්ම විය යුතු ය.
අලුත උපන් දරුවකු තුළ හටගන්නා පළමු සිතිවිල්ල ශූන්‍යතාවකින් ඉපදිය නොහැක. එමෙන්ම එය දෙමව්පියන්ගෙන් උරුම වූ ජෛවමය සාධක වලින් ද හටගත නොහැක.
එසේ නම් එය මරණයේදී ඇතිවන අවසාන සිතිවිල්ල හා සම්බන්ධ ව අතරමැදි අවස්ථාවක, එසේත් නැතිනම් අන්තරාභවයේ දී පැවැති සිතිවිල්ල (විඥානය, චිත්ත ) විය යුතු ය.
මෙම දැඩි හේතු - ඵල සම්බන්ධතා දාමය තුළින් හිමාලයානු බෞද්ධ විද්වත් චින්තනය පෙන්වා දෙන්නේ කාලයට සාපේක්ෂ ව මනෝ ප්‍රවාහයකට ආරම්භයක් නොමැති බවත්, භෞතිකමය විසංයෝජනයකින් එය විනාශ කළ නොහැකි බවත් ය.
වසුබන්දු හිමිගේ අභිධර්මය විශ්ලේෂණාත්මක පදනමයි
ධර්ම කීර්ති පාදයන්ගේ තාර්කික නිගමනවලට අනුපූරකය වන්නේ 4 වැනි සියවසේ වසුබන්දු හිමියන් විසින් රචිත අභිධර්ම කෝෂ [Abhidharmakosha] නම් ග්‍රන්ථය මඟින් සපයන මනෝ විද්‍යාත්මක සහ ලෝක විද්‍යාත්මක රාමුවයි.
මෙහිදී භව දෙකක් අතර සංක්‍රාන්තියේ දී මෙම අඛණ්ඩතාව ප්‍රකාශ වන අයුරු පිළිබඳ විශ්ලේෂණාත්මක විස්තරයක් වසුබන්දු හිමි ඉදිරිපත් කරයි.
විශේෂයෙන් ම මෙහිදී ඔහුගේ අවධානය යොමු වී ඇත්තේ අතරමැදි අවස්ථාව නැතහොත් අන්තර්භවය (බාර්ඩෝ) පිළිබඳව යි.
අභිධර්මයට අනුව මනෝ ප්‍රවාහය ඉදිරියට ගෙන යනු ලබන්නේ කර්මය (චේතනා සහිත ක්‍රියා) සහ ක්ලේෂයන් (මානසිකව හටගන්නා කෙලෙස්: උදා - අවිද්‍යාව, තෘෂ්ණාව) යන ද්විත්ව බලවේග තුළිනි.
භෞතික ශරීරය ක්‍රියා විරහිත වූ විට සියුම් මනෝ විඥානය අන්තරාභවයට පිවිසෙයි.
වාසුබන්ධු මෙම තත්වය විස්තර කරන්නේ නිෂ්ක්‍රීය රික්තයක් ලෙස නොව ගැඹුරු කර්ම ප්‍රවණතා විසින් මෙහෙයවනු ලබන සිත ඉතා සජීවි හා ද්‍රවශීලි ආකාරයෙන් තීව්‍ර ප්‍රක්ෂේපණ අත්විඳින අවධියක් ලෙස ය.
සියුම් මනසට ඇති සංජානනීය ධාරිතාව රඳවා තබා ගැනීමට ඇති හැකියාව නිසා එහි අඛණ්ඩතාව රැකගත හැකිය.
යම් නිශ්චිත කර්ම බන්ධුතා හේතු කොට ගෙන අනාගත මව්පියන් වෙත ආකර්ෂණය වන විඥානය තුළ හටගන්නා තණ්හාවේ සිතුවිල්ලක් මවගේ ගර්භයට ඇතුල්වීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.
මෙම විශ්ලේෂණාත්මක ආකෘතිය පෙන්වා දෙන්නේ පුනර්භවය යනු අහඹු හෝ අද්භූත මැදිහත් වීමක් නොවන බවත්, මානසික සිතුවිල්ලක් ඇති වි නැති වි යන මෙහොතක් තුළ මෙහෙයවනු ලබන, නියමයන්ට යටත් ව සිදුවන පුරෝකථනය කළ හැකි ස්වභාවික ක්‍රියාවලියක් බවත්ය.
ප්‍රභාස්වර සිත
ටිබේට් ආරාම ආශ්‍රිතව විකසිත වි ප්‍රවර්ධනය වු ගුප්ත තන්ත්‍ර සම්ප්‍රදාය තුළ පැවතුණ මෙම සිත පිළිබඳ අධ්‍යයනයෙහි අඛණ්ඩත්වයට මුලික වූයේ 'ප්‍රභාස්වර සිත' නම් වු ප්‍රාථමික මූල ස්වභාවය ගත් සංකල්පය යි.
සාමාන්‍ය සිතිවිලි, ඉන්ද්‍රියයන් මඟින් ලැබෙන දැනීම් තාවකාලික වන අතර, ඒවා අප ශරීරයෙහි ස්නායු පද්ධතිය මත රඳා පවතින අතර, ප්‍රභාස්වර සිත යනු, කෙනෙකු තුළ ඇති දැනුවත් භාවයේ මුලික හා විනාශ නොවන ස්වභාවය යි.
මෙම ප්‍රභාස්වර සිත ගැඹුරු නිද්‍රාවකදීත්, සිහි මුර්ජාවකදීත් විශේෂයෙන් ම මරණයේ ගැඹුරු විසිර යෑමේ ක්‍රියාවලිය තුළත් අඛණ්ඩ ව පවතියි.
සමකාලීන පාඨකයන් සඳහා මෙම ඉපැරැණි දාර්ශනික රාමුව භෞතිකවාදී ඌණවාදයට බලවත් විකල්පයක් ඉදිරිපත් කරයි.
විඤ්ඤාණය හුදෙක් ජෛව රසායනික ප්‍රතික්‍රියාවල අහඹු අතුරු ප්‍රතිඵලයක් ලෙස බැලීම වෙනුවට හිමාලයානු බෞද්ධ මුලාශ්‍ර අපට ආරාධනා කරන්නේ එය යථාර්ථයේ ප්‍රධාන, තවද ඌණනය කළ නොහැකි මුලික වියමනක් ලෙස දැකීමටයි.
පුනර්භවයේ යථාර්ථය හේතු - ඵල න්‍යායේ අචල නීති මත පදනම් කරමින් පැරැණි ටිබේට් මුලාශ්‍ර ගැඹුරු සදාචාරාත්මක මාර්ගෝපදේශයක් සපයයි.
සිතෙහි ප්‍රවාහය අඛණ්ඩ නම්, එවිට අපගේ වර්තමාන මානසික සංවර්ධනය, චේතනා පූර්වක ක්‍රියා සහ සතිපට්ඨානය වැඩි දියුණු කිරීම කිසිවිටෙකත් අපතේ නොයයි.
ඒවා මනෝසන්තතිය තුළ සෘජුව ම සටහන් වී අපගේ අනාගත කාර්ය සිද්ධින් හැඩ ගස්වන ප්‍රභාස්වර බීජ ලෙස ක්‍රියා කරයි.
මානසික ප්‍රවාහයේ තාර්කික අඛණ්ඩතාව අවබෝධ කර ගැනීම අවසානයේ දී හුදෙක් බුද්ධිමය තෘප්තියට වඩා උසස් අරමුණක් වෙනුවෙන් උපකාරී වෙයි.
එය අප අද ජීවත් විය යුත්තේ කෙසේද යන්න සඳහා ගැඹුරු මඟ පෙන්වන ආලෝකයක් ලෙස ක්‍රියා කරයි.
සෑම චේතනාවක් ම, සිතිවිල්ලක් ම සහ ක්‍රියාවක් ම මෙම ගලායන අඛණ්ඩ ප්‍රවාහය මත නොමැකෙන සලකුණක් තබන බැවින් අපගේ වර්තමාන ජිවිතය, අනාගතය ජීවිතාන්තය සෘජුවම හැඩගස්වන නිෂ්පාදනාගාරය වේ.
පුරාණ ආධ්‍යාත්මික ගුරුවරුන් සඳහන් කර ඇත්තේ වර්තමාන මොහොත පාලනය කර ගතහොත් ජීවිතාන්තයට බිය විය යුතු නැති බවයි.
දෛනික ව සතිපට්ඨානය වැඩීමෙන් ලෝභය, ද්වේශය යන අකුසල් මුලින්ම උඳුරා දමා සීමා රහිත කරුණාවකින් පිරුණු හදවතක් පෝෂණය කිරීමෙන් අපගේ විඥානය පිරිසිදු කරගත හැකි ය.
ඔබගේ උපරිම ශක්තිය පිළිබඳ දැනුවත්ව ජීවත්වන්න.
සෑම කරුණාවන්ත ක්‍රියාවක් ම, මානසික පිරිසිදු බව ඇති කරන සෑම සිතිවිල්ලක් ම ඔබගේ අඛණ්ඩ චිත්ත ප්‍රවාහය තුළ වපුරන ප්‍රභාස්වර බීජ වන්නේ ය.
ඒවා මරණය අභියස දී සාමකාමී සංක්‍රාන්තියකට හා දීප්තිමත් මෙන් ම ආධ්‍යාත්මික ව ඉහළ තලයක් උසුලන මතු ජිවිතයක් ඔබට උරුම කර දෙනු ඇත.
(sattipatthana.net වෙබ් අඩවියේ පළවු ආචාර්ය දමෙන්ද පෝරගේ විසින් රචිත ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනය)

