SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

අප කුඩා කල මව්පියන් සමඟ බැංකුවට වාර ගණනක් ගොස් ඇත්තෙමු. එකල අද මෙන්

විදුලි වේගයෙන් මුදල් විසි කරන ATM යන්ත්‍ර හෝ සාක්කුවේ දමාගත හැකි ප්ලාස්ටික් කාඩ්පත් තිබුණේ නැත. බැංකුවට යාම යනුම එක්තරා ආකාරයක චාරිත්‍රයකි. රුපියල් පහක් වැනි සුළු මුදලක් ආපසු ගැනීමට වුවද, නිල් පැහැති තීන්තෙන් බැංකු රිසිට්පතක් පුරවා, ඊට අත්සන් තබා, ජාතික හැඳුනුම්පතත්, යන්තම් ඉරිළුණු බැංකු පොතත් සමඟ කවුන්ටරයට දිය යුතුය.

 

File:Bank of Ceylon Tower Colombo Sri Lanka.jpg - Wikipedia

 

 

එහි කවුන්ටරය පිටුපස සිටින නිලධාරියා හෝ නිලධාරිනිය අපව භාරගත්තේ, හුදෙක් රාජකාරියකට එහා ගිය ලෙන්ගතුකමකිනි. හරියටම කිවහොත්, අප එනතෙක් මඟ බලා සිටියාක් බඳුවය. අපගේ වාරය එනතෙක් ලී බංකුවක වාඩි වී අවට නිරීක්ෂණය කිරීමට එදා අපට ප්‍රමාණවත් කාලයක් තිබුණි. ඒ මොහොතේ බොහෝ දෙනෙකුගේ නෙත ගැටෙන, හැම බැංකු කවුන්ටරයකම වීදුරුවේ අලවා ප්‍රදර්ශනයට තබා තිබුණු එක්තරා කුඩා කොළ කැබැල්ලක් විය. ඒ, මහත්මා ගාන්ධිගේ නම යටින් සටහන් කර තිබූ මේ අග්‍රගණ්‍ය පාඨයයි.

 

 

"පාරිභෝගිකයා (සේවාදායකයා) යනු අපගේ පරිශ්‍රයට පැමිණෙන වැදගත්ම අමුත්තා වේ. ඔහු අප මත යැපෙන්නේ නැත. අප ඔහු මත යැපෙන්නෙමු. ඔහු අපගේ කාර්යයට බාධාවක් නොවේ. ඔහු එහි අවසාන අරමුණයි. ඔහු අපගේ ව්‍යාපාරයට බාහිර පුද්ගලයෙකු නොවේ. ඔහු එහිම කොටසකි. අප ඔහුට සේවය කිරීමෙන් ඔහුට උපකාරයක් කරන්නේ නැත. ඔහු අපට ඒ සඳහා අවස්ථාවක් ලබා දීමෙන් අපට උපකාරයක් කරයි."

 

(This Is The Famous Quotation About Customer By Gandhiji:) • A Customer is the most important visitor on our premises. • He is not dependent on us. We are dependent on him. • He is not an interruption on our work. He is the purpose of it. • He is not an outsider on our business. He is a part of it. • We are not doing him a favour by serving him. • He is doing us a favor by giving us an opportunity to do so.

 

 

එදා මේ වදන් පෙළ හුදෙක් බිත්තියක එල්ලූ සැරසිල්ලක් නොවීය. එය සමස්ත බැංකු ක්‍රියාවලියේම ආත්මය විය. ගනුදෙනුකරුවා යනු ලාභ උපදවන 'ගිණුම් අංකයක්' පමණක් නොව, හැඟීම් සහ අවශ්‍යතා සහිත ජීවමාන මිනිසෙකු බව එදා බැංකු කළමනාකාරීත්වය මෙන්ම සේවකයාද හෘදයාංගමව පිළිගත්තේය.

 

 

B app Mobile Application | Bank of Ceylon

 

 

ඩිජිටල් විරසකය සහ ප්‍රාග්ධනයේ නිර්දය බව

එහෙත් අද වන විට දේශපාලන සහ ආර්ථික ව්‍යුහයන් වෙනස් වී ඇත. නව ලිබරල් ධනවාදයත් සමඟ බැංකුකරණය ඩිජිටල්කරණය (Digitalization) විය. කාර්යක්ෂමතාව සහ ලාභය සියල්ලටම වඩා ඉහළින් ඔසවා තැබුණු අතර, ගනුදෙනුකරුවා සහ බැංකුව අතර වූ මුහුණට මුහුණ ලා කෙරෙන සමීප ගනුදෙනුව, ඇල්ගොරිතම සහ යෙදුම් විසින් ආක්‍රමණය කරනු ලැබීය.

 

 

තාක්ෂණය යනු මානව වර්ගයාගේ විශිෂ්ටතම ජයග්‍රහණයක් බවට බොහෝ දෙනා පාරම් බාන්නේය. එහෙත් ඛේදවාචකය වන්නේ, තාක්ෂණික දියුණුවත් සමඟම ආයතන තුළින් "වගකීම බහා වගවීම" වේගයෙන් වාෂ්ප වී යාමයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය, විනිවිදභාවය, රහස්‍යභාවය සහ පැමිණිලි විසඳීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් කොතරම් කදිම මාර්ගෝපදේශ හඳුන්වා දී තිබුණද, ප්‍රායෝගික පොළොව මත ඒවා හුදු අකුරු ගොඩක් පමණක් බවට පත්ව ඇත.

 

 

 

ජාතියේ මහා දායාදයෙන් එල්ල වූ මරු පහර

 

Privatisation of Bank of Ceylon | Daily FT

 

මෙම ඛේදනීය යථාර්ථය මෑතකදී වඩාත්ම තදින් සමාජය හමුවේ නිරුවත් වූයේ, ජාතියේ මහා දායාදය ලෙස විරුදාවලි ලත්, ලංකා බැංකුව (BOC) සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීමකිනි. විශ්‍රාමික යුද හමුදා හෙද නිලධාරියෙකු තම නිවස ගොඩනඟා ගැනීමේ අවසන් සිහිනය වෙනුවෙන් තම විශ්‍රාම වැටුප ඇපයට තබා ලබාගත් ණය මුදලින්, රුපියල් ලක්ෂ 28කට අධික මුදලක් අගෝස්තු 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ, හරියටම විනාඩි 14ක් වැනි කෙටි කාලයක් තුළ ගිණුමෙන් අතුරුදන් විය.

 

 

එදා රුපියල් පහක් ගැනීමට විනාඩි පහළොවක් ගත වූ බැංකු ක්‍රමය තුළ, කිසිවෙකුගේ සතපහක් හෝ අස්ථානගත වූයේ නැත. එහෙත් අද රුපියල් ලක්ෂ විසි අටක් විනාඩි දහහතරකින් ලෝකයේ අනෙක් කෙළවරට විද්‍යුත් චුම්භක තරංග හරහා ඇදී යද්දී, එය නවතා ගැනීමට තරම් තාක්ෂණයක් හෝ මිනිස් මැදිහත්වීමක් බැංකුව තුළ ක්‍රියාත්මක වූයේ නැත.

 

 

එක්වරම රුපියල් ලක්ෂය බැගින් ගනුදෙනු 28ක් සිදුවෙද්දී දුරකථනයට එන කෙටි පණිවිඩ (SMS) දැක භීතියට පත් ගිණුම් හිමිකරු, ලංකා බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය (Hotline) අමතා ගිණුම අවහිර කරන්නැයි අයැද සිටියද, ඩිජිටල් යන්ත්‍රණය තුළ හිරවූ බැංකු නිලධාරීවාදයට එම විනාශය වළක්වාගත නොහැකි විය.

 

 

 

වගකීමෙන් අත් පිසදා ගැනීම සහ බැංකුවලට යළි දෙන පණිවුඩය

මෙහි ඇති භයානකම දේශපාලනාර්ථික සාධකය වන්නේ මුදල් අහිමි වීම නොව, ඉන්පසුව බැංකුව හැසිරුණු ආකාරයයි. ගාන්ධිතුමා කීවේ "ගනුදෙනුකරුවා යනු අපට බාධාවක් නොව අපගේ පැවැත්මයි" කියාය. එහෙත් ලංකා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, තම පද්ධතියේ කිසිදු දෝෂයක් නොමැති බවත්, OTP (One Time Password) භාවිත කර ඇති බැවින් සම්පූර්ණ වරද ගනුදෙනුකරුවාගේ බවත්ය.

 

Trust Bank - Overview, History and Functions of Japan's Trust Banks

 

 

මෙය නූතන ධනවාදී මූල්‍ය ආයතනවල නරුමත්වයේ කූටප්‍රාප්තියයි. තමන්ගේ තාක්ෂණික පද්ධතියකට, මධ්‍යම රාත්‍රියේ සිදුවන මෙවැනි අසාමාන්‍ය ගනුදෙනු හඳුනාගැනීමේ කෘත්‍රිම බුද්ධියක් (AI) නොමැති වීම පිළිබඳව ඔවුන් ලජ්ජා වන්නේ නැත. තම දුරකථන මධ්‍යස්ථානවලට කඩිනමින් ක්‍රියාත්මක වීමේ බලයක් ලබා නොදීම ගැන ඔවුන් පසුතැවෙන්නේ නැත. ඒ වෙනුවට, සයිබර් අවකාශය ගැන අවබෝධයක් නැති අසරණ මිනිසෙකු වංචාකරුවන්ගේ ගොදුරක් බවට පත් වූ විට, වගකීමෙන් අත් පිසදා ගෙන නීතියේ සිදුරු පිටුපස සැඟවීමට ඔවුන්ට හැකි වී ඇත.

 

 

බැංකු පද්ධතියට අද යළිත් වරක් පැහැදිලි පණිවුඩයක් දිය යුතුව තිබේ. පාරිභෝගිකයා යනු කොන්දේසි පිරවූ පෝරමයක අත්සන් තබන හුදු පාර්ශ්වකරුවෙකු පමණක් නොවේ. ඔවුන් බැංකුවක් වෙත එන්නේ "විශ්වාසය" නැමැති මහා ප්‍රාග්ධනය රැගෙනය. ඩිජිටල් වේදිකාවක් තුළ පාරිභෝගිකයා අසරණ වූ විට, යන්ත්‍රයක් සේ ප්‍රතිචාර දැක්වීම බැංකුවක කාර්යභාරය නොවේ. තාක්ෂණය කොතරම් දියුණු වුවද, ගාන්ධිතුමා එදා කීවාක් මෙන්, "ගනුදෙනුකරුවා බැංකුවට බාහිර පුද්ගලයෙකු නොවේ, ඔහු එහිම කොටසකි."

 

 

එම මූලික මානුෂීය දර්ශනය යළිත් බැංකු කවුන්ටරවලින් ඔබ්බට, දත්ත මධ්‍යස්ථාන සහ කළමනාකරණ මණ්ඩල දක්වාම කාවැද්දිය යුතු කාලය එළඹ ඇත. එසේ නොවුණහොත්, මේ ඩිජිටල් මංකොල්ලය නිමාවනු ඇත්තේ තනි පුද්ගලයෙකුගේ විශ්‍රාම වැටුපෙන් නොව, සමස්ත බැංකු ක්‍රමය කෙරෙහිම ජනතාව තබා ඇති පරම විශ්වාසය බිඳී යාමෙනි.

 

 

# සමාරා පරණවිතාන

නවතම ලිපි