“ලංකාව වෙනස් තේ කෝප්පයකි” (Ceylon is a different cup of Tea).
මෙය 1947 දී යටත් විජිත පරිපාලකයකු ලංකාව සම්බන්ධයෙන් කළ ප්රකාශයකි.
ඔහුට එම ප්‍රකාශයෙන් අවශ්‍ය වූයේ ඉන්දියාවට නිදහස දෙන්නට තීරණය කළ ද ලංකාවට නිදහස දිය නොහැකි යයි පෙන්වා දීමටය. එයට ප්‍රධාන හේතුව වූයේ එදා ඒ තේ කෝප්පයේ බ්රිතාන්ය සතුව කටුනායක ගුවන් හමුදා කදවුර සහ ත්‍රීකුණාමලයේ නාවික කඳවුරු පැවතීමය. ඒවා අත්හරින්නේ නම් ත්‍රීමලය සිට මලයාව දක්වා ඉන්දියන් සාගර කලාපයේ විකල්ප මධ්‍යස්ථානයක් සොයා ගත යුතුව තිබූ අතර ඒ සඳහා කල් ගතයුතුව තිබුනි.
මෙහි ප්‍රතිපලය වූයේ මෙම කඳවුරු තමන්ට ටික කාලයකට තබා ගැනීමට ඉඩ ලබා දෙන ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ ගිවිසුම් දෙකක් ඩීඑස් අගමැති වශයෙන් පත්වීමෙන් පසුව ඇති කර ගැනීමය. 1947 නිදහස් ආඥාව නිකුත් කලේ එම ගිවිසුම්වලට පසුවය.
1947 දී එම ගිවිසුම් අත්සන් කරන්නට මෙරට නායකයන්ව පෙළඹවූයේ ඉන්දියාවේ නායකයන් ලංකාව ඈදා ගන්නට උත්සාහ කළ හැකිය යන සැකයක් ද එදා පැවති නිසාය. 1957 දී ඉන්දීය අගමැති නේරු මෙහි පැමිණ ලංකාව ඈදා ගැනීමට ඉන්දියාවට අවශ්‍ය නැති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් එවැනි අදහසක් ඉන්දියාවේ යමකුට තිබෙන්නේ නම් “ඔහු උන්මත්තකයකු” විය යුතු යයි ද සදහන් කරමින් මේ බිය නැති කරන්නට උත්සාහ කලේය.
පසු කාලයේ ලංකාව සහ ඉන්දියාව මෙම අවබෝධය ශක්තිමත් කර ගත් නිසා ආසන්න ඉන්දීය සම්භවයක් ඇති පුරවැසි නොවන ජනයා සහ කච්චතිව් දිවයින පිළිබද ප්‍රශ්ණ සුහද ලෙස විසදා ගැනීම 1960 දශකයේදී සිදුවිය. මේ කාලයේදී ශ්‍රී ලංකාවේ මිතුරකු වූ චීනය ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන කතා කරමින් ඉන්දියාවෙන් ප්‍රවේශම් වෙන්න යයි කියද්දී අප ඉන්දියාව සමග සුහදව ප්‍රශ්ණ විසඳා ගත්තේය.
නමුත් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජන ඇතිවන ආකාරයට ඉන්දියාවේ සතුරන් යයි සැලකූ බාහිර බලවතුන් මෙහි ගෙන්වා ජේආර් ජයවර්ධන 1980දී ඉන්දියාව සමග අර්බූදයක් හදා ගත්තේය. ඔහු දෙමළ ත්‍රස්තවාදීන් මැඩලීමට ක්‍රියාකළේ ඉන්දියාව සතුරකු ලෙස සැක කරමිනි. එම නිසා ඉන්දියාවේ සතුරන් යයි සැලකූ රටවල උපදේශකයන් ගෙන්වා ගෙන ඔවුන්ගේ යුද ආධාර ලබා ගනිමින් ඉන්දියාවේ සැකය අවුස්සා ගත්තේය. එහි ප්‍රතිපලය වූයේ ඉන්දියාව 1983-87 කාලයේදී දෙමළ බෙදුම්වාදීන් පිටුපස සිටිමින් ඔවුන්ට ආධාර කරමින් වක්‍ර ලෙස ලංකාව සහ ඇගේ මිතුරන් සමග යුද්ධ කිරීමය. එය අවසන්වූයේ 1987 ඉන්දූ ලංකා ගිවිසුම අත්සන් කර ඉන්දියාවට විරුද්ධ බලයන්ට අපේ බිම නොදෙන්නට ලිඛිත පොරොන්දුවක්ද ලබා දීමෙනි. මෙරට දේශපාලන පරිමමණ්ඩලයේ නායකත්වය ගත් සියල්ලන් 1987 සිටම නැවත එබදු තත්වයක් වළක්වා ගැනීමට මේ පොරොන්දුව ප්‍රවේශමින් ආරක්ෂා කලෝය.
එහෙත් 2009න් පසුව මේ සම්බන්ධතාවය යලිත් අර්බූදයට යවන පියවරයන් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ආරම්භවී තිබේ. අද ඒ තේ කෝප්පයේ විදේශ හමුදා කඳවුරු නැත. එහෙත් අද එහි ඉන්දියාවේ සංවේදයන් අවුස්සන අණතුරුදායක දෙයක් සිදුවෙමින් තිබේ. එය නම් චීනයේ පාලනයට නතුව කොළඹ ගොඩ නැගෙමින් තිබෙන පෝර්ට් සිටියයි. කොළඹ පෝර්ට් සිටිය චීන ප්‍රාග්ධනය ලොව පුරා ගෙන යන්නට ඉදිරිපත් කර ඇති “සේද මාවත ව්යාපෘතියේ” road and belt project වැදගත් ස්ථානයකි. චීනය ඩොලර් බිලියන 1.2 ක් එයට වෙන් කර ඇත. පෝට් සිටිය පැමිණි දා සිට ඉන්දියාවේ මූණ හොඳ නැත. ඉන්දියාව එය දකින්නේ තමන්ගේ ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයට ද තර්ජනයක් ලෙසය.
පෝර්ට් සිටිය මහා ප්‍රශ්ණයක් ලෙස පෙන්වා එය හැදීම නතර කරන්නට පොරොන්දු දී 2015 දී බලය ගත් මෛත්රී-රනිල් ඩබල එය කලේ නැත. ඔවුන් එය අවුරුදු 99කට චීනයට බදු දී ජාම බේරා ගත්තේය. ප්‍රජාතන්ත්‍රවාදය සදහාවූ ජනතා අපේක්ෂා අමතක කර සුපුරුදු බල දේශපාලනයේ නිරත විය. ඔවුහු වැඩි කල් නොගොස් ජනාධිපති සහ අගමැතිගේ බල පොරයක් නිර්මාණය කරගෙන රටේ ආරක්ෂාව අණතුරට යැව්වෝය. පාස්කු ප්රහාරය සිදුවූයේ එහි වාසිය ලබා ගෙනය (මෙයට මහමොලකාරයෙක් සිටී යයි කීවත් එය පිටුපස සිටියේ කව්දැයි අද ද සොයා ගෙන නැත). එයින් සිදුවූයේ ජාතික ආරක්ෂාවේ නාමයෙන් අපේ ප්රජාතන්ත්රවාදී දේශපාලනයට කණ කොකා හැඩලීමය. 2015 ප්‍රජාතන්ත්රවාදී බලවේග ලැබූ බලය 2019 දී බිඳ වැටුනි.
සිංහල බෞද්ධයන්ට ආතල් දෙමින් හොරකම වංචාව ඉදිරියට ගෙන ගිය පවුල් පාලනය නැවත ඉදිරියට ආවේය. පාස්කු ප්රහාරය මගින් ඇති කළ සිංහළ බෞද්ධ අනාරක්ෂිතතාව අවසානයේ හැට නව ලක්ෂයකගේ සහාය ලැබූ “2019 ජනවරම” නැමති ප්රෝඩාව නිර්මාණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් හිතුවක්කාර පාලනයක් බිහිවිය.
එදා බලය ගත් පොහොට්ටු නායකයා තුනෙන් දෙකක බලය යොදාගෙන හමුදා බළ ඇණියක් ලෙස රට හසුරුවමින් වැලි, පස්, ගස් කපන ප්රාදේශීය හොරුන්ට සහ බදු වංචාකරුවන්ට පාරාදීසයක් නිර්මාණය කළෝය. ඔහු හිතුවක්කාර ලෙස නැටූ නාඩගම අවසානයේ අපේ ගොවි බිම් පාලු කරමින් අපේ ආර්ථිකය බිමට සමතලා කලේය. අවසානයේ මේ රට ලෝකය ඉදිරියේ දණින් වැටී හිගන, ජාතියක් බවට පත් කරන ලදි.
පෝට් සිටිය හදන්න අපේ මුහුද දීල චීනාගෙන් අල්ලස් සහ කොමිසන් ගනිමින් හම්බ කර ගත්ත “පවුල” අද සැඟවී සිටිති. එදා ඔවුන් උගන්ඩා යමින් ඉන්දියාවේ තිරුපති වදිමින් නැලවෙමින් හිටියෝය. ජනයා මෝඩයන්ට අන්දමින් එසේ නැලවෙන්නට හැකිවූයේ එම පවුල වට කර ගෙන සිටි පොඩි හොරුන්ගේ සහ කපටි කථිකයන් ගේ පිහිටෙනි.
රටට ඩොලර් එන මාර්ග හිරවී ජාත්යන්තර ණය කරුවන් අපව හිරකරනවිට ඔවුන්ගේ නැලවීම අවසන් විය. එහි ප්රතිඵල ලෙස පවුල් ගහ හෙලවුනේය. බලයෙන් පිටමංව වසන්වී සිටින්නට දැන් ඔවුන්ට සිදුවී ඇත.
මේ අතර ඉන්දියාවේ ආර්ථිකයට අපව ගැට ගසා බිලියන ගණනක ඉන්දියන් ණය සහ තෙල් සැපයීම මත යැපෙන තත්වයට රට පත් කරමින් පවුල බේරා ගැනීමට පවුලේ මොලකාරයා පියවර ගත්තේය. ජනතාවගේ ඡන්දයක් නොලැබූ ජාතික ලැයිස්තු කාරයන්ට ගේට්ටුව මුර කිරීම භාර දී ඔහු හෙමින් අත පිහ දා ගෙන පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගියේය.
රාජපක්ෂලා කයිවාරු ගැසූ අන්දමට පෝර්ට් සිටිය “හැරවුමි ලක්ෂයක්” බවට පත්වී තිබෙන ආකාරය පෙනෙන්නේ දැන්ය. දැන් අලුත් හැරවුම් ලක්ෂයක් ඇතිවී ඇත.
එහි ස්ටීරියන් වීල් එක අද පදවමින් සිටින්නේ ඉන්දියාවයි. අපේ වෙනස් තේ කෝප්පයෙන් තේ බොන්නට දැන් ඉන්දියාවට සහ ඉන්දියාවේ මිතුරන්ට ද ආරාධනා ලැබී ඇත. මේ දිනවල තේ පැන් සංග්‍රහය භුක්ති විදීමට ආරාධනයෙන් සහ අනාරාධනයෙන් මේ අමුත්තන් මෙහි පැමිණෙමින් සිටිති.
මේ අතර පෝර්ට් සිටියට බලපෑම් කළ හැකි ලංකාවේ බලශක්තිවල පාලනය තමන්ගේ අතට ගන්නට ඉන්දියාව සහ ඇගේ මිතුරන් සැලසුම් කරමින් සිටින බවක් පෙනෙයි. මෙම දිවයිනේ තිබෙන මූලෝපායික සම්පත්වල පාලනය සියතට ගැනීමට ඔවුන් සමත් වුවහොත් ඉන්දු-චීන ගැටුමේ සටන් බිමක් බවට ලංකාව පත්වෙනු ඇත.
මෙහි ප්රතිඵල විය හැක්කේ එක්කෝ එම ගැටුම අපේ දේශපාලනයට ඇතුල්වී අපේ දේශපාලන පක්ෂ ඒ කදවුරු දෙක සමග පෙල ගැසී අපද එහි කොටස්කරුවන් බවට පත්වීමය.
එසේත් නැතිනම් පෝර්ට් සිටියට ඉදිරියට යන්නට බාධා ඇති කිරීම මගින් ඇතිවන ප්‍රතිවිපාකවලට මුහුණ දෙමින් තවත් “ලෙබනනයක්” බවට මේ රට පත්වීමය.
තවත් විය හැකි දෙයක් වන්නේ බාහිර බලවතුන් අපේ සම්පත්වල පාලනය තමන් අතර බෙදා ගැනීමේ සම්මුතියක් ඇති කර ගෙන අපට එම සම්මුතියේ අනුග්රහය යටතේ ජීවත්වන්නට සැලස්වීමය.
ලෝක ප්‍රාග්ධනයේ ගමන ලංකාව හරහා දැන් සිදුවෙමින් පවතින්නේ ඒ අන්දමටය. අපේ ලොකු අසල්වැසියාගේ the big neighbor ජාතික ආරක්ෂාව පිළිබද ප්රශ්ණයත් ආර්ථික බලය සදහා චීනය සහ බටහිර කදවුර අතර සිදුවන තරගයත් විසින් ඇති කර තිබෙන දිය සුලියකට අපේ තේ කෝප්පය දැන් හසුවී තිබේ. අප අද මුහුණ දෙන සැබෑ අර්බූදය තිබෙන්නේ එතැනය.
වංචනික පාලක පවුලක් කේන්ද්ර කරගෙන මේ රටේ සම්පත් සූරාකෑමට ගොඩ නැගී තිබෙන ගජමිතුරන් ගේ ගසා කෑමේ ක්‍රියාවලිය විසින් දුර්වල කර තිබෙන මේ රටට මේ දිය සුලියෙන් ගොඩ ඒමට හැකි වන්නේ කෙසේද යන්න ගැඹුරින් විමසිය යුතු කරුණකි. එය මීළගට ආන්ඩු බලය ලබා ගන්නා දේශපාලන නායකයන්ට පැවරෙන අත්යවශ්ය වගකීමක් බව සදහන් කළ යුතුය.
(පහතින් තිබෙන්නේ අපේ ලොකු අසල්වැසියාගේ චර්යාව ගැන විග්රහයක් ඇතුලත් මගේ දර්ශණ සූරී උපාධි නිබන්ධනය 1995 දී මුදුණයෙන් පලකල කෘතියේ පිට කවරයේ කොටසකි).
@ නවරත්න බණ්ඩාර