චණ්ඩ මාරුත 'දිට්වා' හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහන සැපයීම සඳහා
පකිස්ථානය යවන ලද ආධාර ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව හරහා පියාසර කිරීමට ඉන්දියාව කඩිනම් අවසරයක් ලබා දී ඇත.
විදෙස් මාධ්‍ය සහ ඉන්දීය නිලධාරීන් උපුටා දක්වන පරිදි, මෙය පිරිසිදු මානුෂීය අභිප්‍රායකින් ඉන්දියාව සිදු කළ ක්‍රියාවක් බව අවධාරණය කෙරේ.
පකිස්ථානය විසින් සඳුදා දින දහවල් 1.00ට පමණ ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කළ අතර, මානුෂීය අරමුණ සැලකිල්ලට ගනිමින්, ඉල්ලීම ලැබී පැය හතරක් වැනි කෙටි කාලයක් තුළදී, එනම් පස්වරු 5.30 වන විට, නිල අවසරය ලබා දීමට ඉන්දියාව කටයුතු කර තිබිණි.
චණ්ඩ මාරුතය හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා පුද්ගලයන් 350කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, කොළඹ අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක ගංවතුර තත්ත්වය තවමත් ඉහළ යමින් පවතී.
මේ අතර, ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉන්දියාව ද සිය "සාගර් බන්ධු මෙහෙයුම" යටතේ දැවැන්ත ආධාර තොගයක් එවා ඇත.
මේ යටතේ ඉන්දියාව විසින් මේ වන විට මුළු ටොන් 53ක සහන ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. මෙම ආධාර අතර, ඉන්දීය නාවික හමුදා නැව් මගින් කොළඹට ටොන් 9.5ක හදිසි සලාක සහ ත්‍රිකුණාමලයට ටොන් 12ක සැපයුම් ද, ඉන්දීය ගුවන් හමුදා ගුවන් යානා මගින් තවත් ටොන් 31.5ක සහන ද්‍රව්‍ය ද ඇතුළත් වේ.
එම ටොන් 31.5 ප්‍රමාණයට කූඩාරම්, බ්ලැන්කට්, සනීපාරක්ෂක කට්ටල, ඖෂධ සහ ශල්‍ය උපකරණ වැනි දෑ අයත් වේ. ඊට අමතරව, ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) විශේෂ සෙවීම් සහ ගලවා ගැනීමේ (USAR) කණ්ඩායම්වල සාමාජිකයන් 80 දෙනෙක් සහ වෛද්‍ය කණ්ඩායම් පහක් සමඟ වෛද්‍ය උපකරණ කට්ටල (BHISHM cubes) ද මෙහිදී යොදවා ඇත.

