රාජ්‍ය නිලධාරීන් දුසිමක් පමණ දැන් සිටින්නේ හිරේය. ආණ්ඩුව කියන විදියට
තවත් දුසිම් ගණනක් හිරේ යන්නට පෝලිමේ සිටිති.
රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කෙරෙන මේ විමර්ශන ගැන කීර්තිමත් පරිපාලන නිලධාරියකු වන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙර මෙම නිලධාරීන්ට ආයතන මට්ටමින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය. මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් කුදලාගෙන ගොස් හිරේ විලංගුවේ දැමීම ප්‍රචාරණ වාසියක් බවත්, ඉන් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් වන බවත් ඔහු පෙන්වා දෙයි.
රාජ්‍ය සේවකයන් රාජකාරි කරන්නේ රටේ පවතින නීතියටත්, රාජ්‍ය සේවය සඳහා වූ අණ පනත්වලටත් අනුවය. ඊට අමතරව ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි පිළිබඳ හොඳ දැනීමක් ඇතිව කටයුතු කළ යුතුව තිබේ. රාජ්‍ය සේවකයා හැසිරිය යුතු ආකාරය, විනය නීති පිළිබඳ නොයෙක් චක්‍රලේඛ තිබේ. ඒවා අනුව කටයුතු කිරීම රාජ්‍ය සේවකයාගෙන් බලාපොරොත්තු වෙයි.
මාණ්ඩලික මට්ටමේ නිලධාරින් කළමනාකරණ මට්ටමේ නිලධාරීන් ලෙස සැලකේ. පවතින නීති හා රෙගුලාසි, චක්‍රලේඛ, පොදු නීති අනුව කටයුතු කරන විට ක්‍රමවේද එනම් සිස්ටම් ගොඩනගාගැනීම ගැන මෑත කාලයේදී සාකච්ඡාවට ලක්විය. ඒවා රාජ්‍ය සේවකයන්ගේ හැකියා හා කුසලතා මත තීරණය වේ. රජයේ නිලධාරියා යනු රජයට බුද්ධිමය දේපළකි. එම නිලධාරියා නිර්මාණය කිරීමට රජය පුහුණුවීම් හා නොයෙක් දේ මගින් නිලධාරියාගේ දැනුම වැඩි කිරීමට කටයුතු කරනු ලබයි. රජයේ නිලධාරියා හා සිස්ටම් අතර ඇත්තේ කළමනාකරණමය බැඳීමකි. නීතියට අනුව, චක්‍රලේඛ අනුව මූල්‍ය ඵලදායිතාව වැඩි වන පරිදි, මහජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම හොඳ රාජ්‍ය සේවයකින් බලාපොරොත්තු වේ.
අපේ රටේ රාජ්‍ය සේවකයින් සඳහා විශාල චක්‍රලේඛ සංඛ්‍යාවක් පවතී. එහෙත් නිර්මාණය කරන ලද සිස්ටම් එතරම් දකින්නට නැත. රජයේ සේවකයන් සිස්ටම් භාවිත කිරීමත් අඩුවෙන් දකින්නට ලැබෙන්නකි.
මූල්‍ය රෙගුලාසි හා ආයතන සංග්‍රහය අනුව රාජ්‍ය සේවකයන්ට රාජකාරි කිරීම කළ නොහැකි දෙයක් යැයි සමහරු පවසති. එහෙත් එය එසේ නොවේ. පොතේ හැටියට නිලධාරියාට වැඩ කිරීමේ බැරිකමක් නැත. උදාහරණයක් ලෙස ප්‍රසම්පාදන කටයුතු කිරීමේදී ඒවා පැහැදිලිව දක්වා තිබේ.
එහෙත් රාජ්‍ය සේවකයාට නිර්මාණශීලීව ඒවා භාවිත කිරීමේ අවස්ථාව පවතී. වැදගත් වන්නේ විනිවිද භාවයකින් යුතුව රාජකාරි කිරීමය. වාහනයක මිල ගණන් කැඳවන විට එකම ධාරිතාව ඇති වාහන අඩු මිලට පැවතිය හැකිය. එතැන වාහනයක් මිලදී ගැනීමෙන් පසුව කළ යුතු නඩත්තු වියදම්, වාහනයේ කල් පැවැත්ම, නැවත විකිණීමේදී ලැබෙන ආදායම ආදිය ගැන අවධානය යොමු කළ යුතුව ඇත. ආයතන සංග්‍රහයේ සහ මුදල් රෙගුලාසිවලවලින්ම රාජ්‍ය නිලධාරියාට අවශ්‍ය තීරණ ගැනීම සඳහා ඉඩක් සකස් කරගත හැකිය. එහිදී කිසියම් නිලධාරියෙක් හිතුමනාපයට කටයුතු කළහොත් දූෂණය පිළිබඳ මතවාදයක් ගොඩනැගිය හැකිය.
පසුගිය දිනවලදී කන්ටේනර් නිදහස් කිරීම පිළිබද සාකච්ඡාවක් ඇතිවිය. ඒ ආකාරයෙන් කටයුතු කළ විට සමාජය තුළ සැකයක් ඇතිවේ. එම කන්ටේනර් නිදහස් කිරීමේදී කිසියම් නියදියක් හෝ පරීක්ෂාවට ලක් කළේ නම් එවැනි සැකයක් ඇති වන්නේ නැත.
රජයේ නිලධාරීන්ට යම් යම් බල සීමාවන් පවතී. අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයාට ඔහුට වෙන්වූ බල සීමාවක් පවතී. ඔහු ඉහළින් අනුමත කරගැනීම් නොකර හිතුමතේට කටයුතු කළහොත් ඒ අවස්ථාවේදී විනිවිදභාවයක් නොමැති බව පෙනී යයි. රාජ්‍ය සේවයේ යහපාලන මූලධර්ම අනුව කටයුතු කිරීමේදී විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.
යම් කිසි අවස්ථාවක නිලධාරියෙක්ට කටයුතු කිරීමේදී සාධාරණීකරණය කිරීම් කළ යුතු වෙයි. සමහර අවස්ථාවකදී අඩුම මිලට භාණ්ඩ මිලදී ගන්නවා වෙනුවට වැඩිම මිල භාණ්ඩය මිලදී ගැනීමට සිදු වනු ඇත. එහෙත් එය සාධාරණීකරණය කළ යුතුව ඇත.
වාහනයක් මිලදී ගැනීමේදී, ස්ථානයක් තෝරා ගැනීමේදී වැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අදාළ සාධාරණීකරණය කිරීමෙන් පසුව අවශ්‍ය පරිදි කටයුතු කළ හැකිය. මිල අඩුම භාණ්ඩය මිලදී ගත යුතු බවට වන නීතියක් නැත. වෙනත් පැතිවලින් තක්සේරු කර, සලකා බලා මිල යන කාරණය අමතක කළ හැකිය. ප්‍රසම්පාදන පටිපාටිය තුළ තීරණ ගැනීම් හා අනුමත කිරීමට වගබලා ගත යුතුය.
රජයේ සේවකයන් ඇමැතිවරයා කියන දේ කරන බවට චෝදනාවක් ඉදිරිපත් වේ. බොහෝ අවස්ථාවලදී මෙම ස්ථානයෙන් මේ දේ මිලදී ගන්නා ලෙසට ඇමැතිවරයා දැනුම් දේ. එවැනි අවස්ථාවකදී එය ඇමැතිවරයාට සාධාරණීකරණය කර පෙන්වීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු වේ. හැරිසන් ඇමැතිවරයා වරක්, මා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටියදී යම්කිසි දෙයක් මේ ස්ථානයෙන් මිලදී ගන්නා ලෙස දැනුම් දුන්නේය. එසේ මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බව පවසන විට වෙනත් ඇමැතිවරයෙක් තමන්ට බලපෑම් කර ඇති බව ඔහු දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදී අනියම් ආකාරයට ප්‍රසම්පාදන කර බලන විට අදාළ ආයතනයෙන් මිලදී ගැනීමේදී විශාල මුදලක් ගෙවීමට සිදුවන බව අනාවරණය කරගැනීමට හැකිවිය. ඒ අනුව අදාළ භාණ්ඩය සාමාන්‍ය වෙළෙඳපොළේ මීට වඩා අඩු මිලට ඇති බවත් ඇමැතිවරයාට පැහැදිලි කර දුන්නෙමි. ඇමැතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමි.
පසුගිය කාලයේදී මහා ආන්දෝලනයක් ඇතිවූයේ නිලධාරීන් හා ඇමැතිවරුන් එක්ව දූෂිත ක්‍රියා කරන බවය. ඇත්ත නම් නිලධාරීන් නිවැරදිව කටයුතු කරන්නේ නම් ඇමැතිවරුන්ට දූෂණ ක්‍රියාවල යෙදීමට නොහැකිවීමයි. දූෂණයේ යෙදීමට නොහැකි ආකාරයට ඇමැතිවරු නංවා ගැනීමේ වගකීමත් නිලධාරීන්ට ඇත. එසේ නිලධාරීන් යමක් පෙන්වා දුන් විට ඇමැතිවරු එය පිළිනොගෙන සිටින්නේද නැත.
ඇතැම් අවස්ථාවලදී පසුගිය කාලවලදී තමන්ට කොපමණ කොමිස් මුදලක් ලැබෙන්නේද යන්න පිළිබඳ අවධානය යොමු කළේය. නිලධාරීන්ටත් එයින් යමක් ලැබුණේය. නිලධාරීන්ගේ වෘත්තීමයභාවයක් අවශ්‍ය වන්නේ මේ නිසාය. යමක් කළ නොහැකි බව ප්‍රකාශ කිරීම හා එය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය නිලධාරියාගේ වෘත්තීයභාවය ප්‍රදර්ශනය කරන්නකි. එක් නිලධාරියෙක් යමක් කිරීමට නොහැකි බව පැවසූ විට එම නිලධාරියා ඉවත් කර වෙනත් නිලධාරියෙක් එම ස්ථානයට පත් කර ඔහු මගින් අදාළ දේවල් කරගැනීමට හැකිය. එහෙත් නිලධාරී යන්ත්‍රණය සකස් විය යුත්තේ යමක් කිරීමට නොහැකිනම් එය සෘජුව ප්‍රකාශ කළ හැකි ආකාරයටය. ස්වාධීන රාජ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ මේ නිසාය.
ස්වාධීන රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය සේවා කොමිසම, ව්‍යවස්ථා සභාව වැනි ආයතන පැවතියත් නිලධාරීන් දේශපාලනඥයන්ගේ වරප්‍රසාදවලට යටවන ආකාරය පසුගිය කාලයේදී නිරීක්ෂණය විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම් ගැන අවධානය යොමු කරන විට නිලධාරීන් ඇටිකෙහෙල් කා ඇති බව පෙනෙන්නට තිබේ. ස්වාධීන රාජ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ මේ නිසාය. ඒ සඳහා සිස්ටම් ඇති කළ යුතුව තිබේ.
ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහළට යන්නේ ජ්‍යෙෂ්ඨත්වය අනුවය. එහෙත් සිංගප්පූරුව වැනි රටවල රාජ්‍ය නිලධාරීන් ඉහළට යන්නේ ඔවුන්ගේ කුසලතාව අනුවය. නිලධාරීන් තෝරා ගැනීම, උසස්වීම් දීම, මාරුවීම් වැනි ක්‍රමවේදයේ සිට සියලුම ක්‍රම්වේදයන් ඇත්තේ ඉතා පහළ මට්ටමේය.
මේ දිනවල රාජ්‍ය නිලධාරීන් කාර්යාලයේ සිටිනවාට වඩා සිටින්නේ අධිකරණවලය. නිලධාරියෙක් යම්කිසි දෙයක් කළ බව කියන්නේ නම් ඒ සඳහා කිසියම් ස්වාධීන පූර්ව පරීක්ෂණයක් කළ යුතුය. රාජ්‍ය නිලධාරීන් විගණනයට ලක් කිරීම මූලික පරීක්ෂණයක් වැනි දෙයකි. මූලික පරීක්ෂණයකින් නිලධාරියාට ඉදිරියට යාමට අවස්ථාව දිය යුතුය.
රාජ්‍ය සේවයේ විගණන වාර්තා ඉදිරිපත් වේ. වැරදි කරන නිලධාරීන් සිටී නම් විගණනය ඔවුන් සම්බන්ධයෙන් කරනු ලබන මූලික පරීක්ෂණයකි. ඉන් පසුව අවශ්‍ය නම් ඉදිරි මූලික පරීක්ෂණ පැවැත්විය හැකිය. එසේ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනත්තුවට හෝ වෙනත් ආයතනයකට එය ඉදිරිපත් කළ හැකිය.
එහෙත් දැන් දේශපාලනඥයන් අහවල් පුද්ගලයා හිරේ යවනවා යැයි පූර්වකථනය කරයි. අහවලාට වැඩ වරදී යැයි ප්‍රකාශ කරයි. එසේ කිරීම වැරදි සහගත දෙයකි. යම්කිසි කෙනෙක් පිළිබඳ සැකයක් ඇතිවූ විට ඊළඟට හිරේ යන්නේ අහවලාය, අහවලාගේ පවුලේ අයම හිරේ දානවා යැයි කීම වැරදි දෙයකි. ඒ වගේ දේවල් හරහා නිලධාරීන් මන්දෝත්සාහී වෙයි.
ලංකාවේ විගණන කටයුතු කරන්නේ මූල්‍ය විගණනයක් ලෙස පමණි. එහෙත් ලෝකයේ දියුණු රටවල ඇත්තේ සංවර්ධන විගණනයකි. ආයතන රෙගුලාසිවලට අමතරව සංවර්ධනමය අදහස් මත තීරණ ගැනීමේ හැකියාව රාජ්‍ය නිලධාරීන්ට ඇත. අනාගතයේ ඇතිවන ප්‍රතිඵල පිළිබඳ අවධානය යොමු කරමින් තීරණ ගැනීම මෙහිදී අවධානයට යොමු කෙරේ.
පසුගිය කාලයේදී විගණකාධිපතිවරයා ශක්තිමත් කිරීමට යෝජනා කළ අවස්ථාවේදී බොහෝ දෙනෙක් එයට විරුද්ධ වූයේ රාජ්‍ය සේවයේ තීරණ ගැනීමට විගණකාධිපතිවරයා ලොකු බාධාවක් වීමය. සංවර්ධන විගණනයක් කිරීමේදී ඇතැම් වැරදි යැයි පෙනෙන දේවල් සංවර්ධනාත්මකය. කිසියම් දෙයක් වැඩි මිලට ගන්නා විට එයින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ ඉහළ නම් එය සංවර්ධනාත්මක විගණනයකි.
අඩු මිලට යමක් මිලදී ගැනීමේදී මූල්‍ය විගණනයේදී නිවැරදි විය හැකිය. නමුත් සංවර්ධනාත්මක විගණනයකදී එය එහි අනෙක් පැත්ත විය හැකිය. යුද්ධ කාලයේදී යම් යම් ආයුධ මිලදී ගැනීමේදී රහසිගතව කිරීමට සිදුවිය. එය විවෘතව කළේ නම් අදාළ තොරතුරු අනෙක් පාර්ශ්වයට ගොස් අවාසිදායක තත්ත්ව නිර්මාණය විය හැකිය. කිසියම් දෙයක වරදක් වුවත් අනෙක් පැත්තෙන් ඇතිවන වාසි ගැන සොයා බැලීමේ ක්‍රමවේදයක් ලංකාවේ නැත.
බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ කාලයේදී ලිත් මුද්‍රණය කිරීම නිසා නිලධාරීන් බන්ධනාගාර ගතවිය. එහෙත් මූලික පරීක්ෂණයේදී සෑම වසරකදීම ලිත් මුද්‍රණය කර ඇති බව අනාවරණය කරගැනීමට හැකිවිය. ඒවා මුද්‍රණය කරන්නේ සමෘද්ධි අරමුදල මගිනි. ඇතැම් විට ඒවා රජයේ අරමුදල්ද නොවේ. මේ ආකාරයට රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් ආයතනයක් කටයුතු කිරීමට පෙර රාජ්‍ය සේවයේ මූලික පරීක්ෂණ පවත්වා ඉන් අනතුරුව අදාළ ආයතනවලට යොමු කිරීම නිවැරදි ක්‍රමවේදය වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් ආයතනයකට සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වූ විට අත්අඩංගුවට ගැනීම් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කරයි. මේ රිමාන්ඩ් කිරීම දැන් පූර්ව දඬුවම් දීමේ ක්‍රමවේදයක් බවට පත්වී තිබේ. සැකයේ වාසිය විත්තිකරුට වුවත් මෙතැනදී එය කඩ කර තිබේ.
ඇමැතිවරයාද එක්තරා ආකාරයක රාජ්‍ය සේවකයෙකි. රාජ්‍ය නිලධාරියා කටයුතු කරන්නේ කැබිනට් මණ්ඩලය, ඇමැතිවරයාගේ නිර්දේශ අනුවය. ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය සේවකයන් දේශපාලනඥයන්ට හිතවත් අයුරින් කටයුතු කර තිබෙනවා විය හැකිය. එහෙත් දේශපාලනඥයා වැරදිය යන පූර්ව නිගමනය තිබෙන විට නිලධාරියාත් හොරෙක්ය යන පූර්ව නිගමනය නිසා නිලධාරීන් හොරු යැයි සමාජ මතයක් ගොඩනැගී තිබේ. ඒ ආකාරයට එක්වරම තීරණ ගත යුතු නොවේ.
නිලධාරියෙක් පොලිසියට ගෙන යාමට පෙර හොඳ මූලික විමර්ශනයක් කළ යුතුව ඇත. කිසියම් චෝදනාවක් පැමිණි විට දවසකින් දෙකකින් විමර්ශන කටයුතු කර අධිකරණයට ඉදිරිපත් කරයි. එවිට අදාළ පුද්ගලයා රිමාන්ඩ් කරයි. මේ ආකාරයට මාස ගණනක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින නිලධාරීන් පසුව නිදහස් වී පැමිණේ. මෙය පූර්ව දඬුවම් දීමකි.
නිලධාරියෙක් කිසියම් විමර්ශනයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගිය විට මාධ්‍ය ඔස්සේ ඒ සඳහා අනවශ්‍ය ප්‍රචාරයක් දෙයි. එවිට ඔහු හොරෙක් යන ලේබලය අලවනු ලබයි.
දූෂණ විරෝධී කල්ලි යැයි සංවිධාන අටවාගත් ඇතැම් අය අමාත්‍යාංශ ඉදිරිපිටට ගොස් විරෝධතා දක්වයි. ඔවුන් කටයුතු කරන්නේ මත්වූවන් කටයුතු කරන ආකාරයටය. ඉන් පසුව ඔවුන්ම ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ගොනු කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරයි. දූෂණ විරෝධය දැන් උන්මාදයක් බවට පත් කරගෙන තිබේ. එක් පුද්ගලයෙක් එහාට දුවමින්, මෙහාට දුවමින් අරයා හොරා, මෙයා හොරා යැයි කියමින් ප්‍රචාරක වාසි ගනිමින් සිටී. මේ ආකරයට කටයුතු කරමින් පූර්ව නිගමන අනුව කටයුතු කිරීම සුදුසු නොවේ.
මේ ආකාරයට පූර්ව නිගමනවල සිටිමින් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම රාජ්‍ය සේවයේ ඵලදායිතාවයට අහිතකර ලෙස බලපාන්නේය. රාජ්‍ය සේවකයාට සමාජයට මුහුණ දීමට බැරි තත්ත්වයක් ඇති කරන්නේය.
@ සංජය නල්ලපෙරුම