SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වීදුරු වැලි හෙවත් සිලිකා වැලි යොදාගන්නේ වීදුරු නිෂ්පාදනයටය. මාදම්පේ, මාරවිල, නාත්තන්ඩිය සහ යාපනයේ වල්ලිපුරම්වල සිලිකා වැලි නිධි හමුවේ.

සුදු පැහැයෙන් යුත් මේ වැල්ලේ බැර ඛනිජ 1% කට වඩා ඇතුළත්ය. කලක පටන් මාදම්පේ සහ සුදුවැල්ල අවට ප්‍රදේශවල සිලිකා වැලි හාරා අලෙවි කිරීම සිදුවේ. නමුත් අවිධිමත් ලෙස සිදුකරන මේ වැලි හෑරීම නිසා ප්‍රදේශයේ පාරිසරික ගැටලු‍ රාශියක් පැන නැගී තිබෙන අතර ඒ ගැන ගම්වාසීහු විවිධ අවස්ථාවල විරෝධතා පළ කළහ.

 

 

පතල් හා කැණීම් කාර්යාංශයේ නිත්‍යනුකූල බලපත් හිමි පිරිස්වලට අමතරව බලපත්‍ර රහිත පිරිසක් ද සිලිකා වැලි කැණීම් කරන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය. අධිකරණය හමුවේ මෙයට එරෙහිව පසුගිය සමයේ නඩු කිහිපයක් ද ගොනුකර තිබුණි.

 

 

ඒ අතරින් එක් නඩුවක් ගොනුකර ඇත්තේ මාදම්පේ හිමිනමක් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි. පෙත්සම්කරුවන් කියා සිටින්නේ මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් නවයක අක්කර 200 ක පමණ සිලිකා වැලි කැණීම් කටයුතු සිදුවන බවයි. මේ හේතුවෙන් විශාල වළවල් හතළිහක් පමණ එම ප්‍රදේශයේ නිර්මාණය වී ඇති බවත් ඒවා පිරවීම සඳහා අපද්‍රව්‍ය යොදා ගැනීම සිදුවන බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළහ.

 

 

එම නඩුව ජූනි 18 දින කැඳවූ අවස්ථාවේදී සිලිකා වැලි කැණීමේදී පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA) අවශ්‍ය බවට තීන්දු කර සිටියේ විනිසුරු තුරෙයිරාජා, ජනක් ද සිල්වා සහ කුමුදුනී අමරසිංහ විනිසුරුවරියගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීය.

 

මෙම නඩුකරය, පරිසර යුක්ති කේන්ද්‍රය සහ අනෙකුත් පෙත්සම්කරුවන් විසින් ගොනු කර තිබුණේ 2014 වසරේ සිට එම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 09 ක් තුළ සිදුකරමින් පවතින නීති විරෝධී වැලි කැණීම් හේතුවෙන් එම භූමිය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයේ පවතින බවට කරුණු සඳහන් කරමිනි. මේ වැලි හෑරීම නිසා අද වනවිට ප්‍රදේශයේ පොල් වගාව සම්පූර්ණයෙන්ම අඩපණ වී, සෙසු වගා කටයුතු ද සම්පූර්ණයෙන්ම අඩපණ වී, ජල මූලාශ්‍ර ද භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවට යන චෝදනා සහ කරුණු ගණනාවක් පැමිණිලිකරුවෝ අධිකරණයට ඉදිරිපත් කළහ.

 

 

මෙම පරිසර විනාශය දිගින් දිගටම සිදුවූ අතර එම ප්‍රදේශයට අදාළ වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් සිදුකර තිබුණේ පරිසර බලපෑම් තක්සේරුවකින් තොරව දිගින් දිගටම පාරිසරික අනුකූලතා සහතික නිකුත් කරමින් මෙම කටයුතු පවත්වාගෙන යාමට ඉඩ සලසා දීමයි. මේ නිසා පරිසර හානිය තවත් ඉහළ ගොස් තිබුණි. මෙම කටයුතු නිවැරදි නොවන බවට 18 දින පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ සහ නීතිඥ සමන්ති පොන්නම්පෙරුම යන නීතිඥ කණ්ඩායම් පෙන්වා දුන්හ. ඒ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වීමක් ද සිදුකරන ලදී.

 

 

නමුත් වයඹ පළාත් පරිසර අධිකාරිය පවසා සිටියේ මෙම ප්‍රදේශවල සිලිකා වැලි කැණීම සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදුකිරීම අවශ්‍ය නොවන බවයි. පරිසරය ගැන පළාත් බලධාරීන්ට ඇති හැඟීම ඉන් හෙළිදරව් විය. ඔවුන්ට අවශ්‍ය බලපත්‍ර නිකුත් කර මුදල් ලබාගැනීම පමණක් බව ඉන් පෙනේ.

 

කෙසේ වෙතත් පෙත්සම්කරුවන් සහ වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලදකරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයාගේ විරෝධය පසෙකලමින් ශ්‍රේෂ්ඨාධිකරණයවිසින් තීන්දු කරන ලද්දේ එම ප්‍රදේශවල නැවත බලපත් ලබා දීමේදී පරිසර බලපෑම් තක්සේරුවක් එසේත් නැත්නම් EIA වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවයි. ඒ අනුව මාදම්පෙ ප්‍රදේශයේ 2014 වසරේ සිට වසර 10 කටත් වඩා වැඩි කාලයක් පැවැති විශාල පාරිසරික හානියතවදුරටත් අවම කිරීම සඳහාත්, නතර කිරීම සඳහාත් විශාල පිටුවහලක් මෙම තීන්දුව හරහා සිදුවන බව නිසැකය. එය පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද ලැබූ ජයග්‍රහණයක් බව සැලකිය හැකිය.

 

එසේම මෙම නඩුවේ ඉදිරි ප්‍රගතිය සම්බන්ධව 2025 සැප්තැම්බර් මස 18 වැනි දින නැවත කැඳවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

 

 

සිලිකා වැලි පොළොවෙන් ගොඩගෙන කර්මාන්ත සඳහා භාවිත කළ යුතු බවට විවාදයක් නැත. නමුත් ඒවා කැණීම් කිරීමේදී පරිසරයට අවම හානියක් වන පරිදි තිරසර ලෙස කටයුතු කළ යුතුය. නැතහොත් වන්නේ වැලි හාරා ගැනීමෙන් පසුව වළවල් බහුල වගාවක් පවා කරගත නොහැකි අපායක් බවට එම භූමිය පත්වීමයි.

 

 

සිලිකා වැලි වීදුරු සෑදීමට අමතරව වාත්තු අච්චු, පිඟන් මැටි සහ ඉදිකිරීම් ද්‍රව්‍ය ඇතුළු පුළුල් පරාසයක යෙදීම් සඳහා භාවිත කරන කාර්මික අමුද්‍රව්‍යයකි. එය තෙල් හා ගෑස් කර්මාන්තයේ හයිඩ්‍රොලික් සඳහා ද භාවිත වේ. සිලිකා වැලි සිලිකන් සහ ඔක්සිජන් පරමාණු (සිලිකන් ඩයොක්සයිඩ්) වලින් සමන්විත ස්වභාවික ඛනිජයකි. එය පෘථිවි කබොලෙහි බහුලම ඛනිජවලින් එකක් වේ. එය ක්වාර්ට්ස්, ක්‍රිස්ටෝබලයිට්, ට්‍රයිඩයිමයිට් සහ ට්‍රිපොලි වැනි විවිධ ආකාරවලින් දක්නට ලැබේ.

 

සිලිකා වැලි භාවිතය ඊජිප්තුවරුන්, ග්‍රීකයන් සහ රෝමවරුන් වැනි පුරාණ ශිෂ්ටාචාර දක්වා දිව යයි. ඔවුන් වීදුරු, පිඟන් භාණ්ඩ සහ වෙනත් අලංකාර භාණ්ඩ සෑදීමට සිලිකා වැලි භාවිත කර ඇති බව හෙළිව තිබේ.

 

18 වැනි සහ 19 වැනි සියවස්වල කාර්මික විප්ලවයෙන් පසු සිලිකා වැලි භාවිතය ඉහළ ගියේය.


20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේදී, මැදපෙරදිග තැන්පතුවලින් සිලිකා වැලි නිස්සාරණය කිරීම සඳහා එක්සත් ජනපදය විසින් මහා පරිමාණ කැණීම් මෙහෙයුම් ආරම්භ කෙරිණි.

 

@ කුසුම්සිරි විජයවර්ධන

නවතම ලිපි