දේශපාලන ස්ථාවරය යනු අප විශ්වාස කරන දේ පමණක් නොව,
අපද ඇතුළු යථාර්ථයට අප ප්‍රවේශ වන ආකාරයයි.
අපගේ දේශපාලන ස්ථාවරය තීරණය වන්නේ ඔබ වත්මන් ක්‍රමය "සැබෑ" සහ වෙනස් කළ නොහැකි ලෙස පිළිගන්නේද, නැතහොත් එහි ප්‍රතිවිරෝධතා හඳුනාගෙන පද්ධතියට මුහුණ දී වෙනස් කිරීමට පියවර ගන්නේද, එසේ නොමැති නම් කල යුතුව ඇත්තේ ඒ දෙකම නොවන අත්මිදීමේ උත්සාහයක් කරා ගමන් කිරීමද යන්න මතය. ඒ අනුව ඉහත දේශපාලන ප්‍රවේශ තුන සඳහා යථාර්තය පිළිබඳව අපගේ ස්ථාවරය දේශපාලන ස්ථාවරය හැඩගැස්වීමේ ප්‍රවේශයයි.
අද දවසේ වාමාංශික සහ දක්ෂිණාංශික යන පාර්ශවයන් දෙකම පිළිගෙන ඇති ස්ථාවරය වන්නේ අපෙන් ස්වායත්ත වාස්තවික යථාර්තය පවතී යන ස්ථාවරයයි. ඒ අනුව දක්ෂිනන්ශිකයින් නෛසර්ගිකවම ද වාමන්ශිකයින් ඊට එරෙහි සුවිශේෂී දෘෂ්ටිවාදයක් ලෙස වැළඳගත් දයලෙක්තික සහ ඓතිහාසික භෞතිකවාදය ද තුල ධාවනය වේ. ජවිපෙට කිසිඳු පැකිලීමකින් තොරව ධනවාදය ඉතා හොඳින් ක්‍රියාත්මක කල හැකිව ඇත්තේ අපෙන් ස්වායත්ත සහ සංජානනය කල හැකි වාස්තවික යථාර්තය පවතී යන ඔවුනගේ න්‍යායික ස්ථාවරය දරා සිටින බැවිනි.
වංගීස සුමනසේකර සහ තමළු පියදිගම අතර විවාදයක් පසුගිය දිනක පැවැත්වුණි. මේ ලිපියේ අරමුණ එහි සංවාද ගතවුණු කරුණු අනුකූලව අපගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම නොවන නමුත් එම සංවාදයට පාදක වූ ස්ථාවරයන් සහ අපගේ ස්ථාවරය ගෙනහැර දැක්වීමයි.
වංගීස පැහැදිලිවම පවසන පරිදි ඔහු දැන් කියා සිටින්නේ කාටිසියානු ආත්මය නැවතත් වැළඳ ගත යුතු බවය (ඔහුගේ දාර්ශනික වට වන්දනා අපට අදාළ නැත). තමලුගේ ස්ථාවරය වන්නේ නලින් ද සිල්වා අනුදත් ස්ථාවරයයි. එනම්, ඔවුන් මොනවා කිව්වද එහි පදනම පෝල් ෆෙයිරාබෙන්ඩ්, තෝමස් කූන්, සොශියර් සහ පියස් වැනි අයගේ ඉදිරිපත් කිරීම්ය. ඔවුන් ඒවා එසේ නැතැයි කීවද අපට ප්‍රශ්නයක් නොමැත්තේ අප ඔවුන්ගේ ස්ථාවරය කුමක්ද යන්න මෙහි පහතින් විස්තර කරන බැවිනි.
විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ ඩෙකාට්ස්ට අදාලව ලිවීමේදී "subject" යන්න සඳහා "විෂය" යන සිංහල යෙදුමද ලකාන්ට අදාලව ලිවීමේදී "subject" යන්න සඳහා "ආත්මය" යන යෙදුමද භාවිතා කරන බවය.
රෙනේ ඩෙස්කාට්ස්ට අනුව ඔහුගේ සැකයේ ක්‍රමයෙන් සහ මනස සහ බාහිර ලෝකය අතර සම්බන්ධතාවයෙන් වාස්තවික යතාර්ථය වෙතට සුවිශේෂී ප්‍රවේශයක් සපයයි. ඩෙස්කාට්ස්ගේ දර්ශනය තුළ, වාස්තවික යථාර්ථය පිළිබඳ සංකල්පය ඔහුගේ රැඩිකල් සංශයවාදයේ ක්‍රමය සමඟ ගැඹුරින් බැඳී ඇත.
ඩෙකාට්ස් ආරම්භ කරන්නේ "Cogito, ergo sum" - "I think, therefore I am" ("මම සිතමි, ඒ නිසා මම වෙමි") යන ඉදිරිපත් කිරීමෙනි. මෙම ප්‍රකාශය තුලින් පිළිබිඹු කරන්නේ සිතීමේ "විෂය" - "thinking subject" (මනස හෝ සවිඥානය) නිශ්චිතවම දැනගත හැකි එකම දෙය බවට ඔහුගේ මූලික විශ්වාසයයි. ඔහුගේ ක්‍රමයේ යතුර රැඩිකල් සැකය වන අතර එහිදී ඔහු සැක කළ හැකි සියල්ල, එනම්, අපගේ ඉන්ද්‍රිය අත්දැකීම්, ද්‍රව්‍යමය ලෝකයේ පැවැත්ම සහ කරුණාවන්ත දෙවියන්ගේ පැවැත්ම පවා, "සැක කළ නොහැකි දෙයක් සොයා ගන්නා" තෙක් සැක කළේය. එනම්, සැක කළ නොහැකි එකම දෙය නම් සිතීමේ ජීවියෙකු ලෙස ඔහුගේම පැවැත්මයි - "මම හිතනවා, ඒ නිසා මම වෙමි".
බාහිර ලෝකය හෝ 'වාස්තවික යථාර්ථය' (objective reality) පිළිබඳව අපට ඕනෑම දෙයක් දැනගත හැකි ආකාරය පිළිබඳව ඩෙකාර්ට්ස්ට කතා කිරීමට මෙය වේදිකාව සකසයි. ඩෙකාර්ට්ස්ට අනුව වාස්තවික යථාර්ථය පිළිබඳ නිශ්චිතභාවය ආරම්භ වන්නේ කොගිටෝවෙන්ය (cogito). එනම්, "චින්තන විෂයක්" (thinking subject) ලෙස තමන්ගේම පැවැත්ම හඳුනා ගැනීම තුලය ("මම හිතනවා, ඒ නිසා මම වෙමි").
ඩෙකාර්ට්ස්ට අනුව, වාස්තවික යථාර්ථය යනු බාහිර ලෝකයේ යථාර්ථය වන මුත් එය දැනගත හැක්කේ මෙම ලෝකය නියෝජනය කරන අදහස්වල මැදිහත්වීම හරහා පමණි. ඔහු මෙම අපෙන් ස්වායත්ත 'වාස්තවික යථාර්ථයේ' පැවැත්ම පිළිගන්නා අතරම, මෙම යථාර්ථය පිළිබඳ නිශ්චිතභාවය ලබා ගත හැක්කේ දෙවියන් වහන්සේගේ පැවැත්ම සහ අපගේ ඥානසම්බන්ධී ඉන්ද්‍රිය හැකියාවන්හි විශ්වසනීයත්වය පිළිබඳ සාක්ෂි හරහා පමණක් බව ඔහු අවධාරණය කරයි. ඔහුගේ 'වාස්තවික යථාර්ථය', මේ ආකාරයෙන්, විෂයයෙන් ස්වාධීන වන අතර එය නියෝජනය කරන අදහස්වල පැහැදිලි බව සහ සත්‍යය මත රඳා පවතී.
කෙසේ වෙතත් මෙම සංකල්පය, වර්තමාන ව්‍යවහාරය තුල ආනුභවික නිරීක්ෂණ සහ විද්‍යාත්මක විමර්ශනය හරහා ලෝකයට සෘජු ප්‍රවේශයක් උපකල්පනය කිරීමට නැඹුරු වන 'වාස්තවික යථාර්ථය' පිළිබඳ නූතන අවබෝධයන්ගෙන් වෙනස් වේ. අනෙක් අතට, ඩෙකාර්ට්ස් වඩාත් ඥානවිද්‍යාත්මකව ප්‍රවේශම් සහගත දැක්මක් සපයයි. එනම්, එහිදී වාස්තවික යථාර්ථයට අපගේ ප්‍රවේශය මැදිහත් කරනා ඥානසම්බන්ධී ව්‍යුහයන්ගෙන් (අදහස්, සංජානනය සහ තර්කනය) එය වෙන් කළ නොහැකිය.
දැන් අපට ඇසීමට ඇත්තේ ඩෙකාට්ස් කරා ආපසු යා යුතු බව පවසන වංගීසගේ යථාර්තය පිළිබඳව ස්ථාවරය එය නොවේද යන්නයි.
ෆෙයිරාබෙන්ඩ්ට අනුව විද්‍යාවේ "වාස්තවික සත්‍යයට" මඟ පෙන්වන තනි, විශ්වීය විද්‍යාත්මක විධි ක්‍රමයක් නොමැත. ඔහුගේ "Against Method" කෘතියේ හි, ෆෙයිරාබෙන්ඩ් තර්ක කරන්නේ විද්‍යාව "වාස්තවික යථාර්ථයක්" අනාවරණය කර ගැනීම සඳහා වන දැඩි, විශ්වීය විධි ක්‍රමයක් අනුගමනය නොකරන බවයි. ඒ වෙනුවට, ඔහු යෝජනා කරන්නේ විද්‍යාව යනු කලාව, ආගම හෝ මිථ්‍යා කථා වැනි ලෝකය තේරුම් ගැනීමේ වෙනත් ක්‍රම සමඟ පරිණාමය වූ සංස්කෘතික වශයෙන් අවිනිශ්චිත භාවිතයක් බවයි. අනෙකුත් සංස්කෘතික භාවිතයන් මෙන් විද්‍යාව ද ඓතිහාසික, සමාජීය සහ දේශපාලනික සාධකවල බලපෑමට ලක්ව ඇති බව ඔහු තර්ක කළේය. ඔහුට අනුව විද්‍යාවේ "වාස්තවික" හෝ "සත්‍ය" ලෙස ගණන් ගන්නා දේ හැඩගැසෙන්නේ මෙම බාහිර බලවේග මගින් වන අතර හුදෙක් "වාස්තවික යථාර්ථයකට" මැදිහත් වීමකින් තොරව ප්‍රවේශ වීම විසින් නොවේ.
අනෙක් අතට, ෆෙයිරාබෙන්ඩ් සත්‍යය සෙවීමේදී විද්‍යාවේ ආධිපත්‍යය විවේචනය කරමින් දැනුම පිළිබඳ බහුත්වවාදී සහ අරාජිකවාදී දෘෂ්ටියක් වෙනුවෙන් පෙනී සිටී. විද්‍යාවට "වාස්තවික යථාර්ථය" අනාවරණය කර ගැනීමට අද්විතීය හැකියාවක් ඇති බවට ඇති අදහස ඔහු ප්‍රතික්ෂේප කරන අතර, ඒ වෙනුවට, ඓතිහාසික හා සංස්කෘතික සන්දර්භයන් මගින් හැඩගැසුණු ලෝකය තේරුම් ගැනීමේ බොහෝ ක්‍රමවලින් එකක් ලෙස විද්‍යාව දකී.
දැන් අපට තමළු වෙතින් ඇසීමට ඇත්තේ ඔබේ ස්ථාවරය එය නොවේද යන්න පමණි.
ඉහත ස්ථාවරයන් දෙකෙන්ම වෙනස්ව සහ ෆොයරබන්ඩ්ගේ ආස්තානයට යම් සමාන කමකින් යුතුව ලකානියානු ස්ථාවරය වන්නේ විද්‍යාව ඇතුළු සියලු දැනුම් පද්ධතීන් ගොඩනැගෙනුයේ ආත්මීය මැදිහත්වීම තුලින්ය යන්නයි. ඔහුට අනුව විද්‍යාත්මක දැනුම භාෂාවේ සහ අවිඥානයේ ව්‍යුහයන් මගින් සීමා වී ඇති අතර, එම නිසා විද්‍යාව විසින් පවසන, ඊට අදාළ "වාස්තවික යථාර්ථයකට" සෘජු ප්‍රවේශයක් ලබා දිය නොහැකි බවයි. ලැකාන්ට අනුව, විද්‍යාව සැමවිටම සංකේතීය රටාව (symbolic order) තුළ රාමු කර ඇත.
ලැකාන් යෝජනා කරන්නේ යථාර්ථය ඇත්ත වශයෙන්ම මූලික රෙජිස්ටර (registers) තුනක් හරහා ගොඩනැගෙන බවයි. එනම්, පරිකල්පනීය, සංකේතීය සහ යථ (the Imaginary, the Symbolic, and the Real). මේවා වෙනස්, වෙන වෙනම ක්ෂේත්‍ර නොව, අප ලෝකය තේරුම් ගන්නා සහ අන්තර් ක්‍රියා කරන ආකාරය හැඩගස්වන මිනිස් අත්දැකීම් සහ සංජානනයේ අන්තර් සම්බන්ධිත අංග වේ. ලැකාන්ට අනුව, යථාර්ථය අපෙන් ස්වාධීනව පවතින බාහිර හෝ වාස්තවික දෙයක් නොවේ; ඒ වෙනුවට, එය ආත්මීයත්වය, භාෂාව සහ අවිඥානික ක්‍රියාවලීන් සමඟ ගැඹුරින් සම්බන්ධ වී ඇති මෙම රෙජිස්ටර තුන හරහා මැදිහත් වේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යුත්තේ යථ යනු යථාර්ථයේ නිරූපණය කළ නොහැකි අංගය බවයි. එය භාෂාවේ ළඟා විය නොහැකි දෙයක් වන අතර එය පරිකල්පනීය හෝ සංකේතීය රෙජිස්ටර මගින් සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීමට හෝ සංකේතවත් කිරීමට නොහැකිය. සැමවිටම යථ ඉස්මතුවනුයේ ක්ෂිතිමය සහ රෝග ලක්ෂණයක් ලෙසින් පමණි.
ෆෙයිරාබෙන්ඩ් සහ ලකාන් යන දෙදෙනාම වාස්තවික යථාර්ථය යනු මිනිස් සංජානනය තුල ස්ථාවර හා මිනිස් සංජානනයෙන් ස්වාධීන දෙයක්ය යන අදහසට අභියෝග කරයි. නමුත් ඔවුන් එසේ කරන්නේ විවිධ රාමු තුලිනි. ඒ ලැකාන් මනෝ විශ්ලේෂණාත්මක සහ ආත්මීයවාදී දෘෂ්ටි කෝණයකින් සහ ෆෙයෙරාබෙන්ඩ් විද්‍යාත්මක භාවිතය පිළිබඳ දාර්ශනික හා ඥානවිද්‍යාත්මක විවේචනයකිනි.
ඩෙකාර්ට්ස්ගේ ස්ථාවරය වෛශිකත්වය (subjectivity) සහ ස්වයං-නිශ්චිතභාවය පිළිබඳ මූලික ප්‍රකාශයක් නියෝජනය කරන අතර, එය යමෙකු සිතන නිසා කෙනෙකු පවතින බවට වන නිශ්චිතභාවයයි. ලැකාන්ගේ විවේචනය පැමිණෙන්නේ අවිඥානය, භාෂාව සහ ආත්මයේ (subject) බෙදීම් ස්වභාවය අවධාරණය කරන මනෝ විශ්ලේෂණාත්මක සහ ව්‍යුහවාදී දෘෂ්ටිකෝණයකිනි.
ලැකාන්ට අනුව, ආත්මය බෙදී ඇති අතර භාෂාව සහ අවිඥානය මගින් මැදිහත් වේ. එම නිසා, ඩෙකාර්ට්ස් කොගිටෝවෙ හි ප්‍රකාශ කරන ස්වයං නිශ්චිතභාවය යනු ලැකානියානු ස්ථාවරයට අනුව මායාවකි.
ඩෙකාර්ට්ස්ට අනුව, සිතීමේ ක්‍රියාව ස්වයං පැවැත්ම ("මම") පිළිබඳ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි සපයයි: "මම සිතමි, එබැවින් මම වෙමි." ඩෙකාර්ට්ස් සියලු දැනුමේ පදනම ලෙස චින්තන විෂය (thinking subject as the foundation of all knowledge) ස්ථාපිත කරයි. කෙසේ වෙතත්, කොගිටෝවෙ හි "මම" යන්න ඒකාබද්ධ, ස්ථාවර අස්තිත්වයක් නොවන බව ලැකාන් තර්ක කරයි. ඩෙකාර්ට්ස්ගේ ප්‍රකාශයේ "මම" යනුවෙන් සිතීමට, සැක කිරීමට සහ දැන ගැනීමට හැකි සහසම්බන්ධ, සම්පූර්ණ විෂයයක් පූර්වකල්පනය (පූර්ව නිගමනය) කරයි. නමුත් ඩෙකාර්ට්ස් සිතන ආකාරයට විෂය (ලකානියානු අර්ථයෙන් ආත්මය) ඒකාබද්ධ නොවන බව ලැකාන් ප්‍රකාශ කරයි.
ලැකාන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශය වන්නේ, "ඊගොව යනු තමන්ගේම නිවසේ ස්වාමියා නොවේ" යන්නයි. ඊගොව (ඩෙකාර්ට්ස් සිතන "මම" ලෙස සලකනු ඇත) ඇත්ත වශයෙන්ම පරිකල්පනීය රෙජිස්ටරයේ නිෂ්පාදනයක් වන අතර එය ලකානියානු අර්ථයෙන් ආත්මයේ ඛණ්ඩනය වූ සහ බෙදී ගිය ස්වභාවය සඟවන ව්‍යාජ එකමුතුවකි. ලැකාන්ට අනුව, ආත්මය බෙදී ඇති අතර එහි සිතුවිලි සම්පූර්ණයෙන්ම පාලනය නොකරන අතර කොගිටෝවෙ හි "මම" යනු හුදෙක් ගොඩනැංවීමක්, අවිඥානික ආශාවන්, බාහිර බලපෑම් සහ භාෂාව මගින් හැඩගැසුණු ස්වයං ප්‍රතිරූපයකි (විද්‍යාත්මක "සොයා ගැනීම්" සඳහා බලපෑම් සහගත වන්නේ මෙම "මම" නොහොත් ඊගොවයි).
ලැකාන්, කොගිටෝව විවේචනය සඳහා අවිඥානය ද ගෙන එයි. ලැකාන්ට අනුව, ආත්මය එහි සියලු සිතුවිලි පිළිබඳව සම්පූර්ණයෙන් සවිඥානික නොවේ. ඇත්ත වශයෙන්ම, සිතීමේ ආත්මය හැඩගස්වන බොහෝ දේ අවිඥානයයි. එනම්, ඕනෑම සවිඥානික ක්‍රියාවක් පිටුපස ඇත්තේ අවිඥානයයි. නමුත් ඕනෑම ක්‍රියාවක් පිටුපස අවිඥානය නොමැත. එහි තේරුම නම් සවිඥානික නොවන ක්‍රියාවන්ද ඇති බවය. ඒවා පුරුද්ද තුල ඇති සත්තාවත් ක්‍රියාවන්ය. එසේම අපගේ සංකේතීය හෝ පරිකල්පනීය ග්‍රහණයට ලබාගැනීමට ඇති දේ ඉක්මවා යථ ක්‍රියාත්මක වේ. එබැවින්, අවිඥානික ක්‍රියාවලීන් අපගේ අවබෝධය සහ ක්‍රියාවන් හැඩගස්වන අතර, සමහර ක්‍රියා සහ සිදුවීම්, විශේෂයෙන් යථ සම්බන්ධ ක්‍රියාවන්ට අවිඥානික හේතුවක් හෝ නිරූපණයක් නොතිබිය හැකිය (මේ සඳහා උදාහරණ සපයනු නොලබන්නේ ලිපිය දිගුවන බැවිනි).
එබැවින්, "මම සිතමි, එබැවින් මම වෙමි" යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සවිඥානක සහ සාවධාන ආත්මයක් පූර්වකල්පනය කරන මුත් ලැකාන් පෙන්වා දෙන්නේ සැබෑ ආත්මය ගැඹුරින් අවිඥානික බවයි. එනම්, අප සවිඥානකව සිතන දේ සහ අවිඥානයේ මතුපිටට යටින් ක්‍රියාත්මක වන දේ අතර බෙදීමකි.
අවිඥානය භාෂාවක් මෙන් ව්‍යුහගත වී ඇති අතර, එය අප හරහා කතා කරයි. ඒ බොහෝ විට අපගේ සවිඥානික සිතුවිලි වලට පටහැනි ආකාරවලිනි (split between the subject of statement and the subject of enunciation). ලැකාන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් වන්නේ "අවිඥානය භාෂාවක් මෙන් ව්‍යුහගත වී ඇත" යන්නයි. මෙයින් ඇඟවෙන්නේ අපගේ සිතුවිලි, අපගේ වඩාත්ම තාර්කික ඒවා පවා, අප සම්පූර්ණයෙන්ම පාලනය නොකරන ව්‍යුහයන් මගින් හැඩගැසී ඇති බවයි. මේ අර්ථයෙන් ගත් කල, ඩෙකාර්ට්ස් යදිමින් සිටින "මම" තමා ගැන සම්පූර්ණයෙන්ම සාවධාන නොවන්නේ, එය එහි පාලනයෙන් ඔබ්බට ගිය බලවේග (අවිඥානය සහ භාෂාව) මගින් බලපෑමට ලක්ව ඇති බැවිනි. වංගීස සුමනසේකරට මේ බවක් නොවැටහේ.
කොගිටෝව පිළිබඳ අදහස ලැකාන් විවේචනය කරන තවත් ආකාරයක් වන්නේ ඔහුගේ කැටපත් අවධිය පිළිබඳ සංකල්පයයයි. කැටපත් අවධියේදී, ළදරුවෙකු කැඩපතක පරාවර්තනය සමඟ හඳුනා ගන්නා අතර, එය විසින් සුසංයෝගී, සමචාරී සහ ඒකාබද්ධ ජීවියෙකු ලෙස තමා පිළිබඳ ප්‍රතිරූපයක් සාදයි. කෙසේ වෙතත්, මෙම හඳුනාගැනීම මායාවක් වන්නේ ළදරුවාගේ සැබෑ අත්දැකීම ඛණ්ඩනය වූ, අසම්පූර්ණ සහ අසංගත වීම හේතුවෙනි. ඒ හා සමානව, ලැකාන්ට අනුව, කොගිටෝවෙහි "මම" යනු එකමුතුකමේ මායාවක් සහ ආත්මයේ සැබෑ ඛණ්ඩනය වූ ස්වභාවය සඟවන ස්වයං ප්‍රතිරූපයකි.
මේ අනුව, ලැකානියානු ආත්මය සැමවිටම බෙදී ඇති අතර ඩෙකාර්ට්ස්ගේ කොගිටෝව උපකල්පනය කරන ආකාරයට කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම සම්පූර්ණ හෝ ඒකාබද්ධ නොවේ. "මම සිතමි, එබැවින් මම වෙමි" යනුවෙන් විශ්වාසයෙන් පැවසිය හැකි තනි, ඒකාබද්ධ ආත්මයක් පිළිබඳ අදහස ලැකාන්ට ගැටළු සහගත වන්නේ එය ආත්මයේ බිඳුණු, බෙදී ගිය ස්වභාවය නොසලකා හරින බැවිනි. එබැවින් ලකාන් මෙසේ පැවසූයේය: “I think where I am not, therefore I am where I do not think. I am not whenever I am the plaything of my thought; I think of what I am where I do not think to think.”
ලැකාන්ගේ න්‍යාය මගින් ආත්මයේ සංස්ථාපනය තුළ භාෂාවේ වැදගත්කම අවධාරණය කරයි. ඔහුට අනුව, ආත්මය සැමවිටම මැදිහත් වන්නේ සංකේත රටාවෙහි කොටසක් වන භාෂාව මගිනි. ලකාන්ට අනුව ඩෙකාට්ස්ගේ කොගිටෝව උපකල්පනය කරන්නේ සම්පූර්ණයෙන්ම ස්වයං සාවධාන සහ ස්වාධීනව සිතීමට හැකියාව ඇති විෂයයක් බවටය. නමුත් ලැකාන් තර්ක කරන්නේ අපගේ සිතුවිලි සැමවිටම අප උපතින්ම ලබා ඇති භාෂාව සහ සංස්කෘතික සම්මතයන් මගින් හැඩගස්වා ඇති බවයි. ඒ අනුව අපගේ සිතුවිලි හෝ අපගේ අනන්‍යතාවය අපට කිසි විටෙකත් සම්පූර්ණයෙන් පාලනය කල නොහැකි වේ. එනම්, එය අපගේ සම්පූර්ණ පාලනයෙන් යුක්ත නොවේ (මින් පෙර විස්තර කල පරිදි). මන්ද ඒවා අපට පෙර සිටම පවතින සහ අපගේ අත්දැකීම් ව්‍යුහගත කරන සංකේත රටාවක් මගින් හැඩගස්වා ඇති බැවිනි. වෙනත් වචන වලින් කිවහොත්, භාෂාව සහ සමාජ ව්‍යුහයන් අප සිතන දේට සහ අප අපවම අත්විඳින ආකාරයට පවා බලපෑම් කරන ආත්මයේ භාෂාමය මැදිහත්වීම කොගිටෝව විසින් නොසලකා හරියි.
ලැකාන්, සංකේතවත් කළ නොහැකි සහ භාෂාව මගින් නියෝජනය කල නොහැකි අත්දැකීම් අංශයක් වන යථ පිළිබඳ අදහස ද හඳුන්වා දෙයි. කොගිටෝව ක්‍රියාත්මක වන්නේ සිතීමේ විෂයට තමාව සම්පූර්ණයෙන්ම දැන ගැනීමට සහ තේරුම් ගැනීමට හැකි බවට වන අභ්‍යුපගමනය මතය. නමුත් ලැකාන් අවධාරනය කරන්නේ ආත්මයට ග්‍රහණය කර ගත හැකි දේට වඩා යමක් සැමවිටම පවතින බවයි - නිරූපණය ඉක්මවා යන දෙයක්. යථ ආත්මයේ සංකේතාත්මක අවබෝධයෙන් පිටත පවතින අතර එය කොගිටෝවට සම්පූර්ණයෙන්ම පැහැදිලි කළ නොහැකි සහ වගකිව නොහැකි සීමාවකි.
ෆෙයිරාබෙන්ඩ්ට, තෝමස් කූන්ට මෙන්ම නලින් ද සිල්වාට ද අදාළ නොමැති, මගහැරුණ කාරණය වන්නේ එයයි. එනම්, මෙම යථ සම්බන්ධ කාරණයයි. තමලුට අනුව යථාර්තය යනු හුදු ගොඩනැංවීමක් පමණි.
ලැකාන්ට අනුව, විද්‍යාව, එහි සීමාවන් සහ දෘෂ්ටිවාදාත්මක පක්ෂග්‍රාහීත්වයන් සමඟ වුවද, සංකේත රටාව (භාෂාවේ සහ සමාජයේ ව්‍යුහයන්) සමඟ සම්බන්ධ වන ආකාරය අනුව අද්විතීය ස්ථානයක් ගනී (විද්‍යාව ක්‍රියාත්මක වන ආරෝහණ ක්‍රියා පටිපාටිගත ඇකඩමික අනුක්‍රමිකතාවයක් තුල හදාළ යුතු සහ ඊට අදාලවම වර්ධනය වන සුවිශේෂී සංකේත රටාවක් තුල වන අතර, සිදුවන්නේ ආයතනගතව එයම ඉදිරියට වර්ධනය වීමකි. එසේම එය සමාජය මත ධූරාවලි අනුක්‍රමිකතාව තුලින් ආධිපත්‍යධාරී ලෙස බලපෑම් සහගතය). විද්‍යාත්මක දැනුම යන්න භාෂාව, සංකේතවාදය සහ අවිඥානික ආශාවන් සමඟ බැඳී ඇති ආකාරය නොසලකා හරින බැවින්, ෆෙයිරාබෙන්ඩ්ගේ සාපේක්ෂතාවාදය විද්‍යාව යථ සමග සිදුකරන ගනුදෙනුව සහ කාර්යභාරය නොසලකා හරී.
නලින් ද සිල්වා මෙසේ ප්‍රකාශ කරයි: //මා බටහිර විිද්‍යා විරෝධියකු වී නැහැ. මා බටහිර විද්‍යා දැනුම ප්‍රතික්‍ෂෙප කරන්නේත් නැහැ. මගේ විරෝධය බටහිර විද්‍යාව දරණ ආධිපත්‍යයට හා එය එක ම දැනුම් පද්ධතිය ලෙස පෙන්වීමට දරණ උත්සාහයටයි.//
තම "අවශෝෂණය" පිළිබඳව න්‍යාය තුල විද්‍යාව අපේ සංස්කෘතියට අවශෝෂණය කරගත යුතු බව නලින් ද සිල්වා විසින් පවසනුයේ ෆෙයිරාබෙන්ඩ්ගේ ඉහත ස්ථාවරයේ සිටය.
ඒ අනුව පැවසිය හැක්කේ, වංගීසට අනුව යථාර්ථය අපෙන් ස්වාධීනව පවතින බාහිර හා වාස්තවික දෙයකිය යන්නයි. එනම් ඔහුට අනුව අපෙන් ස්වායත්ත වාස්තවික යථාර්තයක් පවතී.
තමලුට අනුව අපෙන් ස්වායත්ත වාස්තවික යථාර්තයක් නොමැත. සියල්ල ගොඩනැංවීමකි.
අපට අදාලව අපෙන් ස්වායත්ත වාස්තවික යථාර්තයක් නොමැති අතර ගොඩනැංවීම සමගම ඇති ඊට ග්‍රහණය නොවන යථ පවතී. ඒ අනුව සියල්ල ගොඩනැංවීම් නොවේ. එබැවින් සියල්ල වෙනස් කල නොහැකි සහ වෙනස් කිරීම සඳහා අවශ්‍ය දැනුම ද කිසි විටක සපුරාලිය නොහැකි බැවින් සිදු කල යුත්තේ වෙනස් කිරීම සඳහා මැදිහත් වීම නොවන අතර පරාරෝපනයෙන් මිදීමයි.
තමලුගේ ස්ථාවරය සමාන්තර වන්නේ ලක්ලාව්ගේ පශ්චාත් මාක්ස්වාදී ස්තාවරයටය.
පසු සටහන:
මැයි පළමු වෙනි දින සිට නූතන විද්‍යාව පිළිබඳව අපගේ ස්ථාවරය ප්‍රකාශ කරන ලිපි පෙළක් ආරම්භ කරනු ලැබේ. තමළු පියදිගම එය මගනොහරිනු ඇතැයි වලපොරොත්තු වන්නෙමු.
@ස්පාර්ටකස් ලිපි