පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 6ක් ගතවන විට,
මාලිමා ආණ්ඩුව යටතේ ඒ පිළිබඳ විමර්ශන නව දිශානතියකට ගමන් කරමින් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
ඒ, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය 'පිල්ලෙයාන්' හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනීමත් සමග ය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගැණිනි.
එහෙත්, ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.
ඒ අනුව පිල්ලෙයාන් දින 90ක් කාලයක් සඳහා රඳවා තබා ප්‍රශ්න කරමින් සිටියි.
'නව විමර්ශන ගැන සෑහීමකට පත්විය හැකියි'
මීට පෙර පැවති රජයන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ විමර්ශන ගැන කතෝලික සභාව එතරම් සෑහීමකට පත් නොවීය.
ඔවුන් දිගින් දිගට ම අනාවරණය කළේ, මෙම ප්‍රහාරයේ මහමොළකරු කවුදැයි අනාවරණය කරන ලෙස ය.
මෙම විමර්ශනවල අඩුලුහුඬුකම් සහ විමර්ශකයින් අවධානය යොමු කළ යුතු කරනු ගැන කතෝලික සභාව මෙන්ම සිවිල් සංවිධාන ද වසර කිහිපයක් තිස්සේ විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින් දිගින් දිගට ම ප්‍රශ්න කර තිබිණි.
අගරදගරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය කරන පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්වන බව ය.
"මෙය ටිකක් ඉක්මන් වුණොත් හොඳයි කියන එක තමා මගේ හැඟීම."
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසීයට කිව්වේ මොනවා ද?
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසී සිංහල වෙත පැවසුවේ, විමර්ශන අලුත් දිශානතියකට පැමිණ ඇති බව ය.
අමාත්‍යවරයා කියා සිටියේ, "පිල්ලෙයාන් මේකට සම්බන්ධයක් තියෙන බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේවා අධිකරණයට කරුණු වාර්තා කරන්න ඕනේ. ඒක සාක්ෂියක් බවට පරිවර්ථනය කර ගන්න ඕනේ. එළියෙන් ආපු සාක්ෂිකරුවන්ගේ ජීවිත රකින්න ඕනේ. ඔවුන් ඇවිල්ලා දෙන තොරතුරු එළියට ගියා ම ජීවිතය ගැන අවිනිශ්චිතතාවකින් ඉන්න වෙනවා."
අමාත්‍යවරයා පැවසුවේ, ලැබෙන තොරතුර අවස්ථා තුනකදීවත් තහවුරු විය යුතු බව ය.
"කවුරු හරි ඇවිල්ලා පිල්ලෙයාන්ට එරෙහිව තොරතුරු දුන්නා කියලා, ඒක අපි අල්ලාගෙන ඒක තමා අවසාන නිගමනය කියලා ගන්නත් හොඳ නැහැ නේ.අපි බලන්න ඕනේ අපිව නොමග යවන තොරතුරු එවන්නත් පුළුවන්නේ."
"ප්‍රවේශමෙන් හැන්ඩ්ල් කරන්න ඕන කාරණයක්. හැම පැත්ත ම අපි බලාගෙන ඉන්නවා. කතෝලික පල්ලිය වගේ ම ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නවා.
"අපි සාධාරණය ඉෂ්ට කරන්නනේ ආවේ, එතකොට අත්අඩංගුවට ගන්න අයටත් සාධාරණය ඉෂ්ඨ කරන්න ඕනේ," යැයි අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
"අපි මේවා දේශපාලනීකරණය කර ගන්න ගියොත් අවුල් වෙනවා."
"විමර්ශනය අවුරුදු 6ක් අවසාන වෙන කොට ඇත්ත ඝාතකයෝ හොයා ගෙන විමර්ශන නව දිශානතියකට ගිහිල්ලා තියෙනවා. ඒක අවසානය දක්වා අපි අරන් යනවා. ඒක ක්‍රමිකව, නීතිය සාධාරණව ක්‍රියාවේ යොදවන වැඩේ තමා කරමින් ඉන්නේ," ඔහු තවදුරටත් පැවසීය.
ඔහු කියා සිටියේ, විමර්ශන පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම මගින් විමර්ශනවල සාක්ෂිකරුවන්ගේ ජීවිතවලට තර්ජනයක් වන බව ය.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විකාශය කළ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය නොවැම්බර් 20 වැනි දා අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී පිල්ලෙයාන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ, පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධ නොමැති බව ය.
අගරදගරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය කරන පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්වන බව ය
'දේශපාලන බලය ලබා ගැනීම සඳහා කළ කුමන්ත්‍රණයක්'
පාස්කු ඉරුදින ප්‍රහාරය ISIS සංවිධානයේ ක්‍රියාවක් ද? එසේ නැතහොත් මෙරට දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් ද? යන්න පිළිබඳව ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඇතැම් විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතර මේ වනවිට මතුව ඇත්තේ සංවාදාත්මක තත්ත්වයකි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ජනහමුවක් අමතමින් පැවසුවේ, මෙය දේශපාලන බලය ලබා ගැනීම සඳහා කළ කුමන්ත්‍රණයක් බවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පැමිණීමේදී කතෝලික ප්‍රජාවට ලබා දුන් පැහැදිලි පොරොන්දුවක් වූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නව විමර්ශනයක් ආරම්භ කර වින්දිතයින්ට යුක්තිය ඉටුකරන බව ය.
ඉකුත් මාර්තු 30 වැනි දා ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැලකිය යුතු පිරිසක් ගැන අප්‍රේල් 21 වැනි දාට පෙර හෙළිදරව් කිරීමට උත්සහ දරමින් සිටින බව ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක අප්‍රේල් 19 වැනි දා බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් රට ම බලා සිටින පොලිස් පරීක්ෂණයක විමර්ශන ගැන යැයි ඉඟි කරමින් පැවසුවේ, "විමර්ශනයේ ඉදිරි පියවර ඉතාමත් සූක්ෂමව සහ ප්‍රවේශම්සහගතව කළ යුතුව තිබෙනවා, ඒ නිසා සමහර ඒවා ඕගොල්ලන්ට දැන් ම දැනගන්න ලැබෙන් නැති වේවි. විමර්ශන අපි ඉතා හොඳින් කරමින් යනවා මං ඒ සහතිකය දෙන්නම්," යනුවෙනි.
"කට ඇරපු නැති අය කට අරන්න පටන් තියෙනවා. සාක්ෂි දෙන්න බයේ හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තිවෙනවා. සම්බන්ධ නැහැ කියපු අය සම්බන්ධතා හෙළිදරව් වෙමින් තිබෙනවා. විමර්ශන යහපත් අතට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා," යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේ ය.
පාස්කු ඉරුදින මෙරට දේවස්ථාන හා විදේශිකයින් බහුලව ගැවසෙන කොළඹ ප්‍රමුඛ හෝටල් ඉලක්කර එල්ල වූ අතර ඉන් දිවි අහිමිවූ පිරිස 260කට අධික ය. ඒ අතුරින් 45 දෙනෙක් විදේශිකයින් වූහ. ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස 500කට අධික වේ.
චැනල් 4 වීඩියෝවෙන් නගන ප්‍රශ්න මොනවා ද?
චැනල් 4 වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදාගෙන තිබුණේ ජීවිත ආරක්ෂාව පතා දැනට රටින් පලා ගොස් සිටින පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානා ය.
තොරතුරු සපයන්නන්ගේ සාක්ෂි ඇසුරින් චැනල් 4 නගන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකි. එනම්,
01. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයට පෙර හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රහාරය සිදුකළ ඉස්ලාමීය අන්තවාදීන් රහසිගතව හමුවුණා ද?
02. ත්‍රස්තවාදී කණ්ඩායම අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා හමුදා බුද්ධි අංශය පොලිසිය නොමග යැවුවා ද?
03. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කඩාකප්පල් කරනු ලැබුවා ද? යන්න ය.
මෙම වීඩියෝව නිකුත් වීමෙන් පසුව දීර්ඝ නිවේදනයක් නිකුත් කළ එවක ජනපති ගෝඨාභය රාජපක්ෂ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේ ය.
එමෙන් ම, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය ද එම චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේ ය.
"ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පරීක්ෂණවලින් පෙන්වා දෙන්නේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයින් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් ISIS හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයින්," යනුවෙන් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබිණි.
මෙම වීඩියෝව නිකුත් කළ සමයේ මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ මේජර් ජෙනරල් සුරේෂ් සලේ ද තමන්ට එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.
මේජර් ජෙනරල් සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ ද විද්‍යුත් තැපෑල ඔස්සේ ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර, එම ලිපියෙන් කියවෙන්නේ, ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව ය.
ඒ අනුව, සුරේෂ් සලේට එරෙහිව අසත්‍ය හා අපහාසාත්මක කරණු පළ කළහොත් සිවිල් ක්‍රියාමාර්ග ගන්නා බව ද එහි වැඩිදුරටත් සඳහන් විය.
එම වකවානුවේදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ, චැනල් 4 වීඩියෝවට අදාළව තමාගේ ලේකම්වරයෙකු පවසන කරුණු සම්බන්ධයෙනුත්, තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඒ පිළිබඳවත් පරීක්ෂණයක් පවත්වන ලෙස ය.
මේ අතර, 2023 සැප්තැම්බර් 21, 22 සහ 23 චැනල් 4 විඩියෝව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තෙදින විවාදයක් ද පවත්වන ලදී.
'විමර්ශන ලියකියවිලි ජනගත කරන්න'
මේ අතර, සමාජ හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ජනතා මුදලින් කරන ලද විමර්ශන සම්බන්ධ ලියකියවිලි ජනගත කරන ලෙසය.
ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාධනීය පිළිතුරක් ලැබී නොමැති බව ද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පියතුමන් අවධාරණය කළේ ය.
"අපි නැවතත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මතක් කරනවා ඔබ පොරොන්දු වූ පරිදි කරුණාකර මේ ලියවිලි ජනගත කරන්න.
"ඔබ වේදිකාවල කියන කතන්දර යථාර්තයක් කරන්න. එහෙම නැත්නම් මිනිස්සු ඔබ ගැන තියෙන විශ්වාසය පළුඳු කර ගන්නවා ඉතා ම ඉක්මනින් ම," යනුවෙන් පියතුමා පැවසීය.
@ BBC sinhala