SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදුලිය සංවර්ධනයේ ලංකා විදුලි බල මණ්ඩලය යනු පෞද්ගලික ආයතනයක් නොවේ.

එය රජයට අයත් සංස්ථාපිත ආයතනයකි. ඒ නිසා එහි ක්‍රියාකාරකම් පිළිබඳව පූර්ණ වගකීම තිබෙන්නේ ශ්‍රී ලංකා රජයටය.

 

 

රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය, බෙදාහැරීම, නඩත්තුව ආදී සියලු කාර්යයන්වලදී මෙහෙයුම් භාරව සිටින නිලධාරීන් විශාල ආදායමක් හා ලාභයක් උපයමින් සිටින බව ප්‍රසිද්ධ කරුණකි.

 

keeran 1 1

 

මෙම ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටුවා ඇති කුකුළේ ගඟ ජලවිදුලි බලාගාරය සම්බන්ධයෙන් අප මෙම සටහන ඉදිරිපත් කරන්නේ මහත් කනගාටුවෙනි.

 

කළු ගඟේ ප්‍රධාන ශාඛාවක් වූ කුකුළේ ගඟේ ජල සම්පත උපයෝගී කරගනිමින් බහුකාර්ය ජලාශයක් තැනීම සඳහා ආයතන ගණනාවක් එක්වී සැලසුම් සකස් කරන ලද්දේ 1980 දශකයේ මැදදීය. 1990 දශකය මුලදී කඩිනම් මහවැලි සංවර්ධන සැලසුම යටතේ තැනූ වික්ටෝරියා ජලාශයට පමණක් දෙවැනි වූ මහා ජලාශයක් සබරගමුවේ කලවාන නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය අලලා තනන බවට ආන්දෝලනයක් ඇති වූයේ එම සැලසුම් සම්බන්ධයෙනි. එම ප්‍රදේශවාසී ජනතාවගේත්, සිංහරාජ සංරක්ෂණ හිතවාදීන්ගේත් විරෝධය පිළිගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නියමයෙන් එම ව්‍යාපෘතිය අත්හිටුවීමට සිදුවිය.

 

keeran 2jpg 1

 

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය සිය වෑයම අත්හැරියේ නැත. කුකුළේ ගමට පහළ මීපාගම ජලාශයක් තනා එම ජලය උමඟක් තුළින් මාකෙළියට ගෙනගොස් විදුලිය නිපදවීමේ අලුත් සැලැස්මක් සැකසිණි.

 

සංවර්ධන ව්‍යාපෘති සැලසුම්කරණයේදී සාධ්‍යතා අධ්‍යයනයක් සමග පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක්ද සකස් කොට, අනුමැතිය ලබාගැනීම අපේ රටට අලුත් දෙයක් නොවේ. 1970 දශකය මුලදී මෙම අනිවාර්ය වූ පාරිසරික බලපෑම් තක්සේරුව නොකිරීම නිසා මහවැලි සංවර්ධන සැලැස්මට ජාත්‍යන්තර ණය ලබා ගැනීමට ද නොහැකිව තිබී එම අවශ්‍යතාව ඉටු කළ පසු ණය ලබා දුන් සිද්ධිය අපේ බලධාරීන් නොදන්නවා විය නොහැක. අවුරුදු තිහක දීර්ඝකාලීන මහවැලි සැලැස්ම අවුරුදු පහකින් කඩිනම් කිරීමෙන් අපේ ගොවිබිම් සහ ගොවීන් ලබා ඇති අසීමිත දුර්දශාවන්ද එම පාරිසරික බලපෑම් කෙරෙහි නොසැලකීමේ විපාක බවද සංවර්ධන ව්‍යාපාරිකයන් වටහාගත යුතුය.

 

keeran 3jpg

 

අප රටේ ආවේණික ශාක හා සත්ත්ව සම්පතින් ආඩ්‍ය වූ සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ පරිවාර කලාපයක් තුළ මෙම විදුලි බලාගාරය පිහිටුවා තිබේ. රූන කන්ද, කොඩිප්පිලි කන්ද, උඩුගලකන්ද, යාලමැඩි කන්ද, මුනින් කන්ද, පැල්පොල කන්ද, කොස්හේන කන්ද, සැවැන්ගලහේන, කහඹිලියා කන්ද, කෙලින් කන්ද, අයගම කන්ද, පිට කන්ද, ගෙඳගල ආදී කඳු පන්තියක් සහිත නෙළුකැටිය මූකලාන නම් වූ මහා රක්ෂිත වනාන්තරය මෙම බලාගාරය තැනීම සඳහා යොදාගෙන ඇත්තේ එම ස්වභාව පරිසරය කෙරෙහි කිසිදු තැකීමකින් තොරවය.

 

මාකෙළියේ ජල විදුලි බලාගාරය තැනීම සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා දෙකක් අවස්ථා දෙකකදී ඉදිරිපත් කර තිබෙන අතර එම වාර්තා දෙකම ප්‍රතික්ෂේප වී අනතුරුව තුන්වැනි වරට සැකසූ වාර්තාවක් අනුමත කරගෙන ඇත. එම ව්‍යාජ වාර්තාවට අනුමැතිය දුන්නේ කවුරුන්ද, කෙසේද? යන ප්‍රශ්නයට බලධාරීන් පිළිතුරු සැපයිය යුතුය.

 

තෙත් කලාපීය වනාන්තරවලින් පිරුණු දළ බෑවුම් සහිත සංවේදී ප්‍රදේශයක් තුළ ජලාශයක්, බලාගාරයක්, මහා ගොඩනැඟිලි විශාල සංඛ්‍යාවක්, මාර්ග පද්ධති ගණනාවක් තැනීම සඳහා යොදා ගැනීමේදී ඇතිවන පාරිසරික හායනයන් පිළිබඳව ආරම්භයේ සිට අද දක්වාමත් කිසිදු අවධානයක් යොමු කර නැති වග එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වේ.

 

මෙම විදුලි බලාගාරයට සමගාමීව ප්‍රදේශය පාලනයකින් තොරව එළිපෙහෙළිකර තේ වගා කිරීමත්, නිවාස, හෝටල්, ආගමික ස්ථාන, හමුදා කඳවුරක් හා පොලිසියක් තැනීමත් නිසා භූමි හායනය හා නාය යෑම්වලට ලක්වීමත් නොකඩවා සිදුවන්නකි.

 

බලාගාරය තැනීමේදී ඇතිවූ භෞතික විපර්යාසයන්ට අමතරව වර්ෂාව අධික වූ විට මීපාගම ජලාශය දොරටු හැර නිකුත් කරන රොන්මඩ සහිත මහා ජලස්කන්ධය කුකුළේ ගඟේ පහළ නිම්නයට එල්ල කරන්නේ මහා ව්‍යසනයකි. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 18ක් සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 16ක් සෘජුවම හදිසි ගං වතුර තත්ත්වයන්ට ගොදුරු වීම තුළින් මෙම ව්‍යයසනය ප්‍රකට වෙයි.

 

වී ගොවිතැන ඇතුළු පාරම්පරික කෘෂිකර්මය, සත්ත්ව පාලනය, තේ – රබර් – කුරුඳු – ගම්මිරිස් ඇතුළු අපනයන භෝග වගාවන් සියල්ල විනාශයට පත්ව ගම්වැසි පවුල් දහස් ගණනක ජනතාව ජීවන රටාව බිඳවැටී අනාථයින් බවට පත්වෙති. ආහාර පාන, සෞඛ්‍ය, නිවාස, අධ්‍යාපන, ප්‍රවාහන, පරිසර ආදී සෑම අංශයකින්ම ජනතාව පීඩිත වෙති. එම විනාශය සහ පීඩාවන් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය කිසිදු වගවීමක් නැත. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අහිමි කිරීම සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් සියල්ලෝම අඳ ගොළු බිහිරන්ව සිටිති. ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් දෙන තාවකාලික සුළු සහනාධාර පමණක් ලබන මෙම කුකුළේගඟේ පහළ නිම්නයේ ජනතාව අද යාචකයන්ගේ තත්ත්වයට පත්ව සිටින්නේ පරිසර විරෝධී ක්‍රියාකාරකම්වල ප්‍රතිවිපාක වශයෙනි.

 

ස්වාභාවික ගංවතුර සහ බලාගාරයෙන් නිකුත් කරන කෘත්‍රිම ගංවතුර ප්‍රමාණයන් පිළිබඳව වාරිමාර්ග හා කාලගුණ විද්‍යාත්මක ආයතන විසින් අධ්‍යයනය කර පහළ නිම්නයේ පරිසරය හා ජන ජීවිතය රැකගැනීමට දිගුකාලීන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම මෙම දුර්දශාවන් විසඳීමේ ඒකායන ක්‍රියාමාර්ගය වන්නේය.

 

@කීරන්තිඩියේ අශෝක හරිශ්චන්ද්‍ර
GLOBAL 500 UNEP සම්මානලාභී

නවතම ලිපි