SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවත් පෞද්ගලික බස්වල කෑලි ගැලෙව්වා. ඒ බස් අතර

නොයෙකුත් නම් වලින් හැඳින්වූ බස් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදීත් මේ ආකාරයේ මෙහෙයුම් කළා. එදා සමහරක් අය විරුද්ධ වුණා. ආණ්ඩුව අවඥාවට ලක්කළා. වික්‍රම ජනාධිපතිවරයාට කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද කියා ඇසුවා, මේ බස්වල කෑලි ගලවන එක ලංකාවේ තියෙන දැවෙන ප්‍රශ්නයක් ද කියල ඇසුවා.

 

 

දැන් එවැනිම මෙහෙයුමක් ක්‍රියාත්මකයි. ඇත්තටම මෙවැනි මෙහෙයුම් ඇස්බැන්දුම් නොවේද? තොරොම්බල්, බුදු පිළිම ඉවත් කිරීම තුළ පමණක් ප්‍රශ්න නිරාකරණය කරගත නොහැක. ජනතාවට මෝඩ චූන් එකක් දිය නොහැකිය.

 

මොනයම්ම තත්ත්වයක් යටතෙදිවත් මාධ්‍යයට වාරණ පැනවීමට ජාතික ජනබලවේගය (ජාජබ) රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෑතකදී අවධාරණය කළේය.

 

යම්කිසි රජයක් ජනතාව වෙනුවෙන් මාධ්‍ය මෙහෙයවන ක්‍රමවේදයක් හෝ අවශ්‍යතාවයක් තිබිය නොහැක. මාධ්‍ය මෙහෙයවීම හුදු දේශපාලන අවශ්‍යතාවයක් මිස ජනතාවගේ වුවමනාවක් නොවේ. වෙනත් ආකාරයකින් කිවහොත් යම් රජයකට මාධ්‍ය ආක්‍රමණශීලී ආකාරයට පාවිච්චි කළ හැකිය. එලෙසෙම ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළ හැකිය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට හෝ මැති සභයෙන් පිටත කණ්ඩායමකට 2022 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කළ ‘අරගලය’ අත්දැකීම අමතක කර කටයුතු කළ නොහැකිය.

 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කැබිනට් ප්‍රකාශක ද වන අමාත්‍යවරයා මාධ්‍යයට වාරණ පැනවීමට පියවර නොගන්නා බවට පොරොන්දුවක් ලබා දුන්නේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදීය.

 

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ නියෝජිතයන්ද අමාත්‍යවරයා වෙත යෝජනා සහ අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය. මාධ්‍යයට නිදහසේ සහ ස්වාධීනව කටයුතු කළ හැකි පරිසරයක් සකස් කරමින් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ක්‍රියා කරන ලෙස එම සංගමය ඉල්ලීමක් කරන ලදි. එලෙසම මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතනවල ආරක්ෂාව මෙන්ම ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ද මාධ්‍ය නිදහසට දැනට ඇති බාධාවන් පිළිබඳව ද අමාත්‍යවරයාව දැනුවත් කරන බවද මාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන ලදී.

 

මාධ්‍ය නිදහස කිසිදු රජයක් විසින් මාධ්‍යයට ලබා දෙන විශේෂ වරප්‍රසාදයක් නොවේ. ජාජබ ආණ්ඩුව සම්බන්ධයෙන්ද තත්ත්වය එයම විය යුතුය. පෞද්ගලික අංශයේ මාධ්‍ය නිදහස කිසිසේත්ම වරප්‍රසාදයක් විය යුතු නැත. එලෙසෙම ස්වාධීනව කටයුතු කිරීම (අසාධාරණ දේශපාලන න්‍යාය පත්‍රයක් අනුගමනය නොකිරීම) පෞද්ගලික මාධ්‍ය ක්ෂේත්‍රයේම වගකීම විය යුතු අතර ස්වාධීනභාවයට ද වගවිය යුතුය. සමාජ මාධ්‍ය වේදිකා ද රටේ නීතියට අවනත විය යුතුය. දේශපාලන අධිකාරියට මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඇතුළු මාධ්‍යයට ද මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් විශේෂ වරප්‍රසාද හිමිවිය යුතු නැත. මෙම තත්ත්වය දෙපාර්ශ්වයම පැකිලීමකින් තොරව පිළිගන්නා තුරු සැබෑ මාධ්‍ය භාවිතාවක් බලාපොරොත්තු විය නොහැක.

 

ජාජබ මැතිවරණ ව්‍යාපාරය තුළ ‘මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත’ සංශෝධනය කිරීමට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පොරොන්දු විය. ‘ජනහිතකාමී රාජ්‍ය පාලනයක්’ යන විෂය යටතේ ඉදිරිපත් කර තිබූ කරුණු 8 ක් අතර මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සංශෝධනය ද විය. 2024 ජනවාරි 24 වන දින ඡන්ද 108ක් පක්ෂව සහ 62 ක් විපක්ෂව සම්මත කර ගන්න ලද එම පනත ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට සහ රටේ ඉහළම අධිකරණය අදාළ පනත සම්බන්ධයෙන් දෙනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් එකඟ නොවන බවට මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබේ. නමුත් පැවති පාර්ලිමේන්තුව එම අදහස් දැක්වීම නොසලකා හැරියේය. ‘මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත’ සංශෝධනය සම්බන්ධයෙන් ජාජබ ආණ්ඩුව තම ස්ථාවරය වහාම හෙළිදරව් කළ යුතුය.

 

කුමන පක්ෂය බලයේ සිටියත් රාජ්‍ය මාධ්‍ය එම ආණ්ඩුවේ කොටසකි. ඊට විකල්පයක් නැත. ජාජබ ආණ්ඩුව යටතේද තත්ත්වය එය බව අමුතුවෙන් කිවයුතු නැත. මහරගම අපේක්ෂා රෝහලට රුහුණු කතරගම මහා දේවාලයේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් ලබා දුන් පස්මහල් ගොඩනැඟිල්ල රජයට භාර දුන් අවස්ථාවේදී වර්තමාන මාධ්‍ය අමාත්‍යවරයා කළ ආන්දෝලණාත්මක අදහස් දැක්වීම සහ ඊට දැඩි විරෝධයක් එල්ල වූ විට ඔහු ජාජබ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය කාගේත් අවධානයට යොමු විය.

 

තිස්තුන් කෝටියක් දෙවිවරුන්ට වඩා භාණ්ඩාගාරය සෞඛ්‍යයට වැය කරනවා යැයි කළ ප්‍රකාශය අමාත්‍යවරයා එම අවස්ථාවේදී කිසිසේත්ම නොකළ යුතුව තිබිණි. ඔහුගේ ප්‍රකාශය මූල්‍ය සහ බෙහෙත් ඇතුළු ද්‍රව්‍යමය ආධාර සපයන්නන් අධෛර්යමත් කරන ප්‍රකාශයකි.

 

නමුත් සෞඛ්‍යයට කරන පෞද්ගලික ආයෝජන පවා සමස්ත ජාතික සැලැස්මක් තුළ සිදු විය යුතු බවට අමාත්‍යවරයා කළ අවධාරණය කිරීම ප්‍රතික්ෂේප කළ නොහැක. ඕනෑම ප්‍රධාන විෂයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියක් නොමැති වීම බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍යයට නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම දැඩි අභියෝගයක් විය හැකිය.

 

වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව 2023 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එරෙහිවූ එවුන්ද ජාජබ සෞඛ්‍ය අමාත්‍යවරයා අපේක්ෂා රෝහලේ කළ කතාව හෙළා දකිති. එල්ලෙන්නට වැළක් නොමැතිව නන්නත්තාර වී සිටින විපක්ෂය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ එල්ලීම පුදුමයක් නොවේ. ජාජබ විපක්ෂයේ සිටියා නම් කරන්නේද එයමය.

 

පාර්ලිමේන්තුවට කළුතර දිස්ත්‍රික්කයෙන් පළමුවරට 2015 දී පත්වූ වෛද්‍ය ජයතිස්ස එදා හය දෙනකුගෙන් සමන්විත ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයකු විය. එම හය දෙනා අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දෙදෙනකු ද විය (ඒ සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායකය. මෙවර පාර්ලිමේන්තුවේද එම දෙදෙනා ජාජබ ජාතික ලැයිස්තුව නියෝජනය කරයි). කළුතර ජනතාව 2020 මහා මැතිවරණයේදී ජවිපෙ ආසන තුනට ඇද දැමූ අතර වෛද්‍ය ජයතිස්ස කළුතර දිස්ත්‍රික්කයෙන් ප්‍රතික්ෂේප විය. පසුගියදා නැවතත් වෛද්‍ය ජයතිස්ස කළුතරින් ඉහළින්ම පාර්ලිමේන්තුවට පත්වූ අතර වර්තමාන මැති සබය නියෝජනය කරන 159 දෙනාගෙන් කෙනෙකි. එතුමා ජවිපෙ මෙන්ම ජාජබ නායකත්වයද නියෝජනය කරයි.

 

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ ව්‍යාපෘතිය වන ‘ ක්ලීන් ශ්‍රී ලංකා’ ඉලක්ක කර ප්‍රවෘත්තියක් පල කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිංහල පුවත්පතකට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය. නමුත් එම පුවත්පත තම ප්‍රවෘත්තියේ නිවැරදිභාවය වෙනුවෙන් දැඩිව පෙනී සිටින බව පැහැදිලිය. ගැටුමට හේතුව වූයේ මහා මාර්ගය දෙපස වෙළෙඳාම් කිරීමට ජනතාවට අයිතියක් තිබේද යන බවයි. එම ගැටුම අතරතුරේ මහජන ආරක්ෂාව භාර නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පොලිසියට දීර්ඝ කාලයක් එලෙස වෙළෙඳාම් කළ පුද්ගලයන්ට තවදුරටත් රජය මෙම තත්ත්වය සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නා තුරු අවස්ථාව ලබා දෙන ලෙස උපදෙස් දීම සිදුවිය.

 

මාධ්‍ය අමාත්‍යවරයා සහ මාධ්‍ය අතර ගැටුම ජාජබ රජය සහ මාධ්‍ය අතර ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන ආරවුලක් බවට පත් වී ඇත. ජාජබ මන්ත්‍රී අසෝක රන්වල තමන්ට නොතිබූ ආචාර්ය පදවියකට අයිතිවාසිකම් කීමට ගොස් දැඩි මාධ්‍ය ප්‍රහාරයකට ලක්විය. ජවිපෙට මෙන්ම ජාජබ ටද එම ප්‍රහාරය ව්‍යාප්ත විය. ඒ ප්‍රශ්නය කෙළවර වූයේ දෙසැම්බර් 13 වන දින රන්වල කථානායක ධුරයට සමුදීමෙනි.

 

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රිනි කොට්ටහච්චි කළ ආන්දෝලණාත්මක ඕනෑම බොරුවක් ඇත්තක් කිරීමේ ප්‍රකාශය ද ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම අවාසිදායක විය. විපක්ෂයේ සිට කරන ප්‍රකාශ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු/සාමාජිකාවක ලෙස කරන ප්‍රකාශ අතර වෙනස මහජන නියෝජිතයන් වටහාගත යුතුය.‍

 

ජාජබ ආණ්ඩුව එක්තරා පසුබෑමකට ලක් වී ඇති බව එම පක්ෂය පිළිගත යුතුය. ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගත් ජාජබ ආණ්ඩුව අඩියක් ආපස්සට ගැනීමට සිදුවූයේ පෞද්ගලික බස් සංගම් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ පොලිසිය තමන් ඉලක්ක කර සිදුකරන මෙහෙයුමට එරෙහිව වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කිරීමත් සමගයි. පෞද්ගලික බස් සංගම් ද තම පාර්ශ්වයේ දැඩි අඩුපාඩු ඇති බව ප්‍රසිද්ධියේ පිළිගැනීම ද ඉතාමත් හොඳ තත්ත්වයකි.

 

මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද පොලිස් මෙහෙයුම තාවකාලිකව අඩපණ කිරීමට පෞද්ගලික බස් සංගම්වලට හැකිවූ බව පිළිගැනීමට රජයට සිදුවී ඇත. දෙපාර්ශ්වය අතර මාස තුනක එකඟතාවය එක්තරා ආකාරයක ‘සටන් විරාමයක්’ ලෙස හැඳින්විය හැකිය.

 

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද කිහිප වරක් සම්බන්ධ කර ගනිමින් පොලිස් මූලස්ථානයේ බස් සංගම් නියෝජිතයන් සමග පසුගිය බදාදා (08දා) කළ සාකච්ඡාව අවධාරණය කළේ පෞද්ගලික බස් කර්මාන්තය මෙල්ල කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි.

 

මෙවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව ජනවාරි 21 සහ 22 වන දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීම වරදක් නැත. නමුත් තේරුමක් ද නැත. පාර්ලිමේන්තුව තුළ තත්ත්වය සහ එයින් පිටත තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. ජාජබ ආණ්ඩුවට 2/3 අද්විතීය බලයක් පාර්ලිමේන්තුව තුළ හිමිවීම පිටත ගොඩනැඟෙමින් පවතින දේශපාලන විරෝධතාවලට කිසිසේත්ම අදාළ නැත. පෞද්ගලික බස් සහ ත්‍රිරෝද සංගම් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජාජබ වෙනුවෙන් කළ මැදිහත්වීම නොසලකා කටයුතු කිරීමට ජාජබ ආණ්ඩුවට නොහැකිය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රය ඉලක්ක කර ක්‍රියාත්මක කළ මෙහෙයුම මන්දගාමී කිරීමට සිදුවීම මෙම රජයට එක්තරා ආකාරයක දැනෙන පාඩමකි. මෙවැනි මෙහෙයුම්වලට මීට පෙරද මෙවැනි ඉරණමක් අත්විය. නමුත් මෙම තත්ත්වය ඇතිවීම විමසා බැලිය යුතු වන්නේ මෙම රජය සහ පොලිසියද ‘යුක්තිය’ නමැති අතිශය දේශපාලනික පොලිස් මෙහෙයුම වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ පන්නයේ මාධ්‍ය මෙහෙයුමක් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට සමගාමීව කිරීම ඔවුන්ටම බලපෑ බවයි.

 

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ආරම්භයේදී දිසානායක ජනාධිපතිවරයා කළ කතාව අවධානයෙන් අසා සිටිය කෙනකුට එම ව්‍යාපෘතිය නිසි ලෙස තේරුම් ගැනීම අපහසු නැත. නමුත් අවාසනාවකට ජනවාරි 1 වන දින ආරම්භ කළ ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ මෙහෙයුම අවසානයේදී පෞද්ගලික බස් කර්මාන්තය, ත්‍රිරෝද රථ ව්‍යාපාරය සහ සමස්තයක් ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රය ඉලක්ක කර කළ හඹා යෑමක් ලෙස ජනගත වීම කනගාටුදායකය.

 

ජනවාරි 08 වන දින රජය සහ පෞද්ගලික බස් සංගම් ඇතිකර ගනු ලැබූ එකඟතාවය සම්බන්ධයෙන් බස් සංගම් සහ පොලිසිය වෙන වෙනම මාධ්‍ය දැනුවත් කළේය. නමුත් පොලිස් මූලස්ථානයේදී සිදු වූ කතාබහ ඒ ආකාරයෙන්ම මාධ්‍යයට හෙළි කළ නොහැකි බව බස් සංගම් අවධාරණය කළ අතර එය හොඳ තත්ත්වයකි.

 

ඊට අමතරව එදිනම පොලිසිය රජයට එරෙහි විරෝධතාවයක් වැළැක්වීමට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දෙනු ලැබූ නියෝගය නොසලකා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංවිධානය කළ විරෝධතාවය රටේ අවධානයට යොමු විය යුතුය. ගෝඨාභය රාජපක්ෂ පලවා දැමූ මෙහෙයුමේ ජාජබ සමග ක්‍රියාත්මක වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරන්නේ 2012 අප්‍රේල් මාසයේදී ජවිපෙන් වෙන්වූ කණ්ඩායමයි (පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි). අරගලයේ දේශපාලන වාසිය සම්පූර්ණයෙන්ම ජවිපෙ නායකත්වය දෙන ජාජබට හිමිවිය. ඒ දේශපාලනයේ ස්වභාවයයි. ජාජබ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද මිලියන 5.7ක ඡන්ද ලබා ගත් අතර පෙරටුගාමීන් ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේට ඡන්ද 11,191(0.08% හිමිවිය). ඊට එහා ඒ දෙපාර්ශ්වය අතර වෙනස සාකච්ඡා කිරීමේ තේරුමක් නොමැත. නමුත් ජාජබට එරෙහිව සම්ප්‍රදායෙන් පිට මහ පාරේ විරෝධතාවයක් ගොඩනැඟීම වෙනමම කාරණාවකි. 2020 පාර්ලිමේන්තුවේ යන්තම් ආසන තුනක් හිමි වී තිබූ ජාජබ ඊට වසර හතරකට පසුව ගොඩනැඟූ දේශපාලනය නැවතත් අවධාරණය කරන්නේ දේශපාලනයේ අවිනිශ්චිතභාවයයි.

 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, පූජ්‍ය මැදිරිගිරියේ ඉස්ද්‍රසර ධම්ම හිමි, රශ්මික චමෝද් රණසිංහ, උදාර රණසිංහ සහ තරුෂාන් පියුමන්ත හේරත් යන අයට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

 

කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) ප්‍රතිපාදන අනුව මෙම නියෝගය නිකුත් කළේය.

 

ඒ අනුව එම කණ්ඩායමට ජනවාරි 08 වන දින පස්වරු 1:00ත් සවස 6:00ත් කාලය තුළ කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වාද NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු පාරද, අවහිර නොකරන ලෙස ද මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට ඇතුළුවීමෙන් වළකින ලෙසද දැනුම්දී තිබේ.

 

පෙරටුගාමීන් පොලිසියේ ප්‍රතිචාරය පරික්ෂාවට ලක්කළ බව පැහැදිලිය. ගුරු සංගම් සහ ජල මණ්ඩලයේ සේවකයෝද එදිනම ආණ්ඩුවට අනතුරු ඇඟවූ අතර නැවතත් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක පඩි වැඩි කිරීමක් ඉල්ලා මාධ්‍ය සාකච්ඡාවක් ජනවාරි 8 වන දින පැවැත්විණි.

 

ගෝඨාභය රාජපක්ෂ රජයට සහ වික්‍රමසිංහ – රාජපක්ෂ රජයට එරෙහිව විරෝධතා මෙහෙයවූ ජවිපෙ/ජාජබ කල්පනාකාරී නොවුවහොත් තත්ත්වය නරක අතට නැතහොත් පාලනය කරගත නොහැකි තත්ත්වයකට යෑමට වැඩි කාලයක් ගත නොවේ. 2022 අරගලයෙන් පසුව රටේ ඇතිවූ තත්ත්වය නොසලකා කටයුතු කිරීමට කිසිදු පක්ෂයකට නොහැකිය. මැති ඇමැතිවරු 159 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාජබට විශේෂ ආරක්ෂාවක් නොමැත. භූමියේ තත්ත්වය අතිශය සංවේදීය.

 

ආණ්ඩුවට සහ විපක්ෂයට බලය උරගා බැලීමට ළඟ එන පළාත් පාලන මැතිවරණය අවස්ථාවක් දෙනු ඇත. ජාජබට තිබූ ජන ප්‍රසාදය යම්තාක් දුරට අඩුවී තිබෙන බව නව ප්‍රවෘත්තියක් නොවේ. නමුත් එම තත්ත්වය කිසිසේත්ම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට (සජබ) වාසිදායක නොවේ. එම පක්ෂයට නිසි වැඩ පිළිවෙළක් තවමත් නොමැත. එවැනි අවශ්‍යතාවයක් එම පාර්ලිමේන්තු කණ්ඩායමට තිබෙන බවට පෙනෙන්නේ නැත. එජාපය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටු පක්ෂයෙන්) වෙන්වූ කණ්ඩායමකින් සමන්විත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනකු සිටින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට නිසි දැක්මක් නොමැත. නාමල් රාජපක්ෂගේ තුන් දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කණ්ඩායම ඛේදවාචකයකි.

 

නමුත් ජාජබ රජය පාර්ලිමේන්තුවේ විපක්ෂය සමග ජනතා විපක්ෂය සැසඳීම සුදුසු නැත. ඡන්දදායකයන් මිලියන    පළාත් මැතිවරණයේදී ඡන්දය දීමට සුදුසුකම් ලබන ඡන්දදායකයන් මිලියන 18 ආසන්න ප්‍රමාණය ක්‍රියාකරන ආකාරය නිශ්චිතව කිසිම පක්ෂයකට කිව නොහැක. ජනාධිපතිවරණයේදී මිලියන 17.1 ඡන්දදායකයන්ගෙන් මිලියන 3.5 පමණ ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මහ මැතිවරණයේදී එම සංඛ්‍යාව මිලියන 5.3 දක්වා වැඩිවිය. 2025 ජුනි මාසයට පෙර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත.

 

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ද ආණ්ඩුවට එක්තරා ආකාරයක පාරාවළල්ලක් විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම භාරව සිටින කණ්ඩායම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනවාරි 1 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී කළ කතාව නැවත අවධානයෙන් සවන් දිය යුතුය. මාර්ග නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රමුඛතාවය දිය යුතු කරුණු කාරණා හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය. ඊට ජනාධිපතිවරයාගේ කතාව අනිවාර්යෙන්ම පිටුවහලක් වනු ඇත.

 

දේශීය සහ විදේශීය අභියෝග හඳුනා ගැනීම සහ දේශීයව ප්‍රතිවිපාක ඇතිකරන විදේශීය අභියෝග සම්බන්ධයෙන්ද නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුය. බංකොළොත් ශ්‍රී ලංකාවට දැන්වත් පක්ෂ සහ යම්කිසි ආණ්ඩුවක ප්‍රතිපත්තිවලට එහා ගිය වැඩපිළිවෙළක් ජාතික ප්‍රශ්න පිළිබඳව තිබිය යුතුමය. එය රටේ ආරක්ෂක ප්‍රතිපත්තිය විය හැකිය. නැතහොත් විදේශ හෝ ආර්ථික ප්‍රතිපත්තිය විය හැකිය. සමස්ත ආර්ථික – දේශපාලන -සමාජීය අර්බුදය තවමත් රටම වෙලා ගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම තත්ත්වය වටහා ගෙන කටයුතු කරන බවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයක් පෙන්නුම් නොකරයි. යම් අවස්ථාවල දී දේශපාලන වාසි තකා පමණක් ආර්ථිකය සම්බන්ධයෙන් ජාජබ ආණ්ඩුවට අනතුරු ඇඟවීම නිෂ්ඵල ක්‍රියාවකි.

 

 

@ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

දිවයින

නවතම ලිපි