SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වී අලෙවි මණ්ඩලය අද පත්ව තිබෙන තත්ත්වය ඉහත සඳහන් ශීර්ෂපාඨයෙන් නිරූපණය වේ.

1970 ගණන්වල බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් කරන ලද හොඳම දේශීය ව්‍යාපෘතිවලින් එකක් ලෙස වී අලෙවි මණ්ඩලය හඳුනා ගත හැකිය.

 

 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ස්වකීය රාජ්‍ය පාලන සමය තුළ ස්වයංපෝෂිත රාජ්‍යයක් බිහි කිරීමට උත්සාහ කළාය. එහෙත් ඉවසිල්ලක් නැති ජනතාවකුත් රෙස්ට් හවුස්වලදී තරුණියන්ට ගුරු පත්වීම් දෙන ඇමැතිවරුන් කිහිප දෙනකුත් නිසා ඇගේ සියලු සංකල්පවලට කෙළවුණු අතර අන්තිමේදී ප්‍රජා අයිතියත් නැති විය. ශ්‍රී ලංකාවේ යකඩ ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා ඇය වානේ සංස්ථාව හඳුන්වා දුන්නාය. එමගින් නිෂ්පාදනය කරන ලද “ලංකා ලෝහ” උදලු තල ලංකාවේ ජනප්‍රියම උදලු තල බවට පත්විය. බණ්ඩාරනායක මැතිනිය මෙරට අගමැති වන විටත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයකි. රටේ හැමතැනම කුඹුරු ගොවිතැන තිබිණ.

 

 

එකල ලංකාවේ ගොවීන්ට තිබූ ලොකුම ප්‍රශ්නයක් වූයේ හොඳ උදලු තලයක් සොයා ගැනීමය. ඉන්දියාවේ සහ එංගලන්තයේ නිෂ්පාදනය කෙරුණු උදලු තල මෙරට තිබූ නමුත් ඒවා මහ පොළොව කපාගෙන ඇතුළට යනවා වෙනුවට බම්ප් විය. ලංකා ලෝහ උදලු තලය ඒ ප්‍රශ්නයට ලැබුණු හොඳම විසඳුම විය. වානේ සංස්ථාව අදටත් තිබේ. අප දන්නා පරිදි අද එහි උදලු තල හදන්නේ නැත. එයට හේතුව උදලු තලවලට මාර්කට් එකක් නැති වීමය. අද පෞද්ගලික අංශය අතට පත්ව තිබෙන වානේ සංස්ථාව නිපදවන්නේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන නාරම්දඟර වානේ කූරු සහ ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය ස්වල්පයක් පමණි. බණ්ඩාරනායක මැතිනිය අත්යන්ත්‍ර පෙහෙකම් කර්මාන්තයට සහ බලවේග පෙහෙකම් කර්මාන්තයට උදව් කළාය. එහෙත් 1977 දී මේ රටට කඩා වැදුණු විවෘත ආර්ථික කුණාටුව නිසා ඒ සියල්ල ගසාගෙන ගියේය. අන්තිමට වී අලෙවි මණ්ඩලය පමණක් ඉතිරි විය. එහෙත් වී අලෙවි මණ්ඩලය තිබුණොත් පුද්ගලික අංශයට හාල් බිස්නස් කිරීමට බැරිය. එබැවින් 1977 න් පසු බලයට පත් වූ සියලු ආණ්ඩු වී අලෙවි මණ්ඩලය අත්හැර දැමුවේය. අදත් වී අලෙවි මණ්ඩලය තිබේ. එය ඔෆිස් එකකට පමණක් සීමා වී ඇත. එය සතුව රට පුරා තිබෙන වී ගබඩා වල් වැදී තිබේ. ඇතැම් ගබඩා ගණිකා ව්‍යාපාරය සඳහාත්, හරක් මඩු ලෙසත්, පාවිච්චි කරනු ලැබේ.

 

 

රට වැසියන් බහුතරය බත් කන රටක් වන ශ්‍රී ලංකාවේ නිපදවන වී ප්‍රමාණය රටේ ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් නැත. අප මේ ලේඛනය ලියන අවස්ථාවේ දී රට තුළ සහල් හිඟයක් තිබේ. රතු කැකුළු පාලන මිලට ලබා ගැනීමට නොහැක. නාඩු අතුරුදන් වෙලාය. කීරි සම්බා පමණක් රටේ හැම තැනම කිලෝව රුපියල් 260 ගණනේ ලබාගැනීමට පුළුවන. එහෙත් කීරි සම්බාවලින් කිරිබත් උයන්නට බැරිය. රතු කැකුළු හාලට කට පුරුදු ජනයාට කීරි සම්බාවලින් වැඩක් නැත.

 

 

සම්බා යනු ඉන්දියාවෙන් මෙහි පැමිණි වී වර්ගයකි. සූදුරු සම්බා, මුතු සම්බා, සාමාන්‍ය සම්බා යනාදී වශයෙන් සම්බා වර්ග රාශියක් 1980 ගණන්වලත් තිබිණ. 1994 වන විට මේ රටේ හාල් කිලෝවක් රුපියල් 40කි. 1998 වන විට සම්බා කිලෝවක් රුපියල් 60ක් විය. සහල් මිල ඉහළ යෑම නිසා ජනතාව තුළ විශාල විරෝධයක් ඇති විය. එම විරෝධයට මුහුණ දීම සඳහා ආණ්ඩුව පිටරටින් හාල් ගෙනාවේය. රටින් හාල් ගෙන ඒම මේ රට තුළ සංසාර පුරුද්දක් බවට පත්ව තිබේ. බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ චීනයෙන් හාල් ගෙන්වන ලදී. ඒ වෙනුවට අපි චීනයට රබර් යැව්වෙමු. අද වන විට චීනයට යැවීමට රබර් තබා කැටපෝලයක් සාදා ගැනීමට තරම්වත් රබර් කෑල්ලක් අප සතුව නැත. එසේ කියා චීනය ද අප අත්හැරියේ නැත. චීනය අපට විශාල වශයෙන් මුදල් ණයට දී තිබේ. ඒ කිසිදු මුදලකින් කිසිදු ආණ්ඩුවක් වී අලෙවි මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තේ නැත.

 

 

පසුගිය දිනවල රටේ තිබූ හාල් හිඟය මගහැරීම සඳහා බලපත්‍ර නැතිව පිටරටින් හාල් ගෙන්වීමට ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට ඉඩ දුන්නේය. ඉන්දියාවේ හාල් කිලෝවක් රුපියල් 30කි. ලංකාවේ මුදලින් එය රුපියල් 90කි. එම හාල් මාර්කට් එකේ දී රුපියල් 260කි. ඒ අතර එසේ හාල් ගෙන්වීම නැවැත්වීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. රටේ හාල් හිඟයට රජය වහාම පියවරක් නොගත්තොත් නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට සිදුවන්නේ දෙයියන්ගේ හාල් කෑමටය.

 

 

වී අලෙවි මණ්ඩය ප්‍රතිසංස්කරණය කරන ලෙස අපි නැවතත් ආණ්ඩුවෙන් ඉල්ලමු. මේ රටේ ප්‍රධාන ආහාරය රජය යටතේ තිබීමේ කිසිදු වරදක් නැත. වී අලෙවි මණ්ඩලය ප්‍රතිසංස්කරණය කළ හැක්කේ ද මේ ප්‍රගතිශීලී ආණ්ඩුවටම පමණි.

මේ කතාව තවත් දවසක ලියනතුරු නවතිමු.

 

දිවයින කතු වැකියෙන්