SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිදහස් අධ්‍යාපනයට හෝ තරගකාරීත්වය තුළින් වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, නීති ආදී ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ස්ථානය පලුදු කිරීමට,

සාමාන්‍ය ජනතාවට ඉහළ යාමට තිබෙන ඉනිමඟට පහර දීමට කිසිම විටෙක ඉඩ දිය යුතු නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

අද (05) පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක;

 

“අද මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ සංවාදයක් නැවත ඇතිවෙලා තියෙනවා. මොකද රජය මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරගෙන යන බව අපිට දැන් පේනවා. මේ පිළිබඳව විවිධ විරෝධතා මේ සමාජයේ තිබෙනවා.

 

ඒ වගේම අද මේ සමාජයේ මතු කරලා තියෙන අදහසක් තමයි මේ රටේ ප්‍රභූ දේශපාලනයක් තියෙන්නේ. ඒ ප්‍රභූ දේශපාලනය නිර්ප්‍රභූන් අතට පරිවර්තනය වෙන අවස්ථාවක තියෙනවා කියලා ඇතැම් දේශපාලන විද්වතුන් අදහස් ප්‍රකාශ කරගෙන යනවා. මේ රටේ ඉතිහාසය අරන් බැලුවොත් මේ රටේ 1931 මේ සර්වජන ඡන්ද අයිතිය අපට ලබා දුන්නාම එතන තමයි ප්‍රථම වතාවට ප්‍රභූවරු අතේ තිබිච්ච දේශපාලනය නිර්ප්‍රභූන් අතට පත්වුණේ. ඊට පෙර පවුම් තුන්දාහට වඩා ආදායම තියෙන, ඉංග්‍රීසි ලියන්න කියන්න පුළුවන් අවුරුදු තිහට වැඩි පිරිමින්ට විතරක් තිබිච්ච ඡන්ද අයිතිය මේ රටේ සමස්ත ජනතාවට ලැබුණේ. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ එංගලන්තෙත් ඒ අයිතිය ඊට වසර කීපයකට කලින්. ඒ වගේම එංගලන්ත යටත් විජිත වල කිසිම තැනක නොතිබිච්ච අයිතියක් තමයි අපිට දුන්නේ. ඒ සර්වජන ඡන්ද අයිතියෙන් පස්සේ මේ රටේ සිදුවෙච්ච ලොකුම දේශපාලන සමාජ විප්ලවය තමයි නිදහස් අධ්‍යාපනය. ඒ 1943 ඇතිවෙලා 46 ඉඳන් අද මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර ඒ රත්නායක වැනි මහත්තුරුන්ට මේ රට ණයගැතියි. අද මෙතන ඉන්නේ ඒ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපනයට පින් සිදු වෙන්නයි. ඒ වගේම 1952 දි මේ පාර්ලිමේන්තුව තීරණය කළා රක්ෂණ ප්‍රතිලාභයක් වෙනුවට නිදහස් සෞඛ්‍ය සේවයක් ඉදිරියට ගෙනියන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද ඇමරිකා එක්සත් ජනපදයට සමාන ආයු කාලයක් අද අපේ රටේ ජනතාව භුක්ති විඳින්නෙ.

 

මං මේ කාරණා ටික කිව්වේ මොකද මේ රටේ මතයක් තියෙනවා මේ පහුගිය අවුරුදු හැත්තෑ හයේම මොකුත් උනේ නෑ. දැන් තමයි වෙන්නේ කියලා. මේ රටේ මේ පසුගිය කාලයේ දේශපාලන මැදිහත්වීම තුළින් ප්‍රභූවරුන්ට විතරක් හිමිවෙලා තිබ්බ අධ්‍යාපනය, එතෙක් කල් ප්‍රභූවරුන්ට විතරක් තිබුනු සෞඛ්‍ය සේවය, ඒ වගේම එක්දහස් නවසිය පනස් හයේ හා එක්දාස් නමසිය හැට එකේ සිදුවූ ස්වභාෂා අධ්‍යාපනය මේ හරහා මේ රටේ මේ නිර්ප්‍රභූ දේශපාලනයක් බලාත්මක වෙලා තියෙනවා. ඒක අමතක කරලා අපිට කටයුතු කරන්න බැහැ. හැබැයි විටින් විට විවිධ පිරිස් ඉදිරිපත් වෙලා, තමන්ගේ පවුල, තමන්ගේ කල්ලිය, තමන්ගේ පක්ෂය ඉදිරියට ගැනීම නිසා විශාල පිරිසකට අවස්ථා අහිමි වුණා.

 

කුසලතාවාදය මේ රට තුළ නැති නිසා තමයි අද මේ රට මුහුණ දීලා තියෙන මේ බලවත් අර්බුද ගණනාවකටම මූල සාධකය. නමුත් මේ රටේ මේසා විශාල අධ්‍යාපන ව්‍යාපාරයක් පහේ ශිෂ්‍යත්වයේ ඉඳන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල මට්ටමට ඇතිවෙලා තියෙන්නේ. මේසා විශාල පිරිසක් දැඩි උනන්දුවකින් මෙතෙන්ට කටයුතු කරන්නේ විභාග දෙපාර්තමේන්තුව කියන මේ ආයතනය ස්වාධීනව නිසයි. විශ්වවිද්‍යාලයටත්, දේශපාලකයාගේ ලිපියෙන් පත්වීම ලබාගන්න පුළුවන්කම තිබුණා නම්, මේ රටේ ඔවැනි අධ්‍යාපන ව්‍යාපාරයක් පවතින්නේ නෑ. මේ විභාග දෙපාර්තමේන්තුව හරහා, පරිගණකය හරහා, කුසලතා පදනමෙන් විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලබා දීම නිසත්, විශ්වවිද්‍යාලවල උපාධි ආදිය ලබා ගැනීමේ කුසලතා පදනම තිබීම නිසා තමයි, මේසා විශාල අධ්‍යාපන ව්‍යාපාරයක් මේ රටේ ඇතිවෙලා තියෙන්නේ. ඉතින් නිකමට හිතලා බලන්න. රටේ කෘෂිකර්මයේ, රටේ ව්‍යාපාරකරණයේ, රටේ දේශපාලනයේ මේ හැම තැනකම විභාග දෙපාර්තමේන්තුව වගේ කුසලතාවයට පමණක් මුල් තැන දෙන ක්‍රියාවලියක් තිබුණා නම්, රට මොන තරම් විප්ලවීය පරිවර්තනයකට භාජනය වෙයිද කියලා මේ රට. අදටත්, මේ රට මේ අර්බුදයෙන් ගලවා ගන්න පුළුවන්, මේ රටේ නිදහස් අධ්‍යාපනය හරහා බිහි වූ ඒ කුසලතා පරපුරට පමණයි. ඒ පරපුරට වගකීම් දෙන, ඒ පරපුරට බලය දෙන ක්‍රියාවලියකින් පමණයි මේ අර්බුදය අපට ජයගත හැකි වන්නේ. ඉතින් ඒ සඳහා මේ රජය පමණක් නෙවෙයි වෙන ඕන රජයක් මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අත තියන්න යනවා නම් කිසිම විටෙක ඒ කන්නන්ගර මූලධර්ම හෝ ඒ වගේම මේ විභාග ක්ෂේත්‍රයේ තියෙන මේ තරඟකාරීත්වය හෝ විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපනය අපි ලබාගෙන තියෙන තැන වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, නීති ආදී ක්ෂේත්‍රවල අපි ලබාගෙන තියෙන ස්ථානය පළුදු කරගන්න, හානි කරගන්න ඒ වගේම අපේ සාමාන්‍ය ජනතාවට ඉහළට නගින්න තියෙන එකම ඉනිමගට පහර දෙන්න කිසිම විටක උත්සාහ කළ යුතු නෑ. ඒකට ඉඩ දිය යුතුත් නෑ. ඒකට ඉඩ දෙන්න ගිහිල්ලා රටේ තරුණ කැරලි හරහා සිය දහස් ගාණක්, ලක්ෂ ගාණක් මේ රටේ මිය ගිය බවත් අපි අවධාරණය කරන්න ඕනේ. ඒ නිසා මේ කවර පනතක් ගෙනාවත්, මේ ගෙනල්ලා තියෙන යෝජනාවල එවැනි හානිකර අංග විශාල ප්‍රමාණයක් තිබෙන බවත්, මේ අවස්ථාවේ අවධාරණය කරනවා. ඒ නිසා මීට වඩා පුළුල් කතිකාවතක් හරහා මේ ක්‍රියාවලිය සිදුකළ යුතුයි.”

 

@ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ලේකම් (පා: ම පාඨලී චම්පික රණවක)