SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත වහාම සංශෝධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිවේදනය කරන්නේ, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පණත් කෙටුම්පත පිළිබඳව ඔවුන්  ඉතා බැරෑරුම්ව අවධානය යෙමු කළ බවයි.

 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් වන නමුත්, මෙම යෝජිත නීතිය මගින් අතීතයේ සිට පැවති මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමේ අවදානමක් ඇති බව  අදාළ නිවේදනය මගින් පෙන්වා දෙයි.

මෙම  පනත් කෙටුම්පත මේ  සම්මත වුවහොත්, විධායකයට අධීක බලතල ලබා දෙනු ඇති බවද ඔවුන් සඳහන් කරයි.

එය වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය නීතිමය පදනම දුර්වල කරනු ඇති අතර , දීර්ඝ නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීමට අවසර දෙනු ඇත.

 

 

|දැනට  යෝජිත නීතියේ ත්‍රස්තවාදී ක්‍රියා අතිශය පුළුල් ලෙස නිර්වචනය කිරීමත්, විශේෂයෙන් රැඳවුම් නියෝගවල නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇපකරවල විෂය පථය සීමා කිරීමත්, මෙහිදී මානව හිමිකම් කොමිසමේ අවධානයට ලක්වූ කරුණු අතර වේ.

 

 

එමෙන්ම රැඳවුම් ස්ථාන නැරඹීමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමා කිරීම ද අවධානයට ලක්වී ඇති තවත් කරුණකි.

ජාත්‍යන්තර මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන් සමග සම්පුර්ණයෙන්ම අනුකූල වන ලෙස යෝජිත පනත් කෙටුම්පත බරපතල ලෙස සංශෝධනය කළ යුතු බවය.

 

 

|එහෙත්  යුක්තියේ මෙහෙයුමේ දී මානව හිමිකම් උල්ලංඝනය වන බවට නිසි සොයා බැලීමකින් තොරව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ ලිපිය තුට්ටු දෙකකට මායිම් නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ  (ජනවාරි 18) පවසා ඇත.

 

 

'' UN එකේ ඉහළ පෙළේ මහත්තයෙකුට මම ඊයේ පෙරේදා ආවහම එයාගේ මූණටම කිව්වා කරුණාකරලා ඔය හියුමන් රයිට්ස් එකේ අයට කියන්න මෙහෙම ස්ටේට්මන්ට් දෙන්නේ නැතුව අපෙන් ඉස්සෙල්ල අහන්න. අපෙන් ඉස්සෙල්ලා දැනගන්න අපි කරන්නේ මොකද්ද?. ඊට පස්සේ වැරදි යමක් කරනවනම් මොනවාහරි කිව්වට කමක් නෑ.''

යනුවෙන් ටිරාන් අලස් අමාත්‍යවරයා පවසා ඇත.