SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"අලින් පොරබදින විට තැලෙන්නේ තණකොළ පිඩයි"

 

 

ලෝක දේශපාලනයේ සහ බල කඳවුරුවල සිතියම සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කළ හැකි

ඓතිහාසික සහ පෙර නොවූ විරූ සිදුවීමක් චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නුවරදී ආරම්භ වී තිබේ. ඒ, ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවට සමගාමීව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර පැවැත්වෙන ඓතිහාසික තෙවැදෑරුම් සාකච්ඡාවයි.

 

 

මෙම හමුව ලෝක දේශපාලන විචාරකයන් විසින් හඳුන්වනු ලබන්නේ 1945 වසරේ පැවති 'යාල්ටා සමුළුවෙන්' (Yalta Conference) පසුව, ලෝකයේ ප්‍රබලතම න්‍යෂ්ටික බලවතුන් තිදෙනා ලෝකයේ අනාගතය තීරණය කිරීම සඳහා එක්වූ වඩාත්ම තීරණාත්මක සහ සංකීර්ණ හමුව ලෙසයි.

 

 

ඓතිහාසික හමුවේ ප්‍රධාන මාතෘකා සහ ලෝක දේශපාලනයේ හැරවුම් ලක්ෂය

ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවලට හිමිකම් කියන මෙම රාජ්‍යයන් තුනේ නායකයන් දේශීය වේලාවෙන් පස්වරු 2.30 ට මෙම තෙවැදෑරුම් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, මෙහි ප්‍රධානතම මාතෘකාවක් වී ඇත්තේ න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමක ඇති හැකියාවන් පිළිබඳවයි. මීට අමතරව, මෑත සතිවලදී දැඩි සේ උග්‍ර වී ඇති යුක්රේන යුද්ධය, ගෝලීය බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාව මෙන්ම කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික තරඟකාරිත්වයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වේ.

 

 

සමුළුවට පෙර අදහස් දැක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙම හමුව තමන් ලැබූ "ජයග්‍රහණයක්" ලෙස හඳුන්වා දුන් අතර, චීන ජනාධිපති ෂී ජින්පිං තමන්ව පිළිගැනීමට ගුවන් තොටුපළටම පැමිණීම විශේෂ ගෞරවයක් ලෙස සලකන බව පැවසීය. මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ප්‍රකාශ කළේ ආසියා-පැසිෆික් කලාපයේ බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාව සඳහා රුසියාව වෙන් කළ නොහැකි කොටසක් බවයි.

 

 

භූ-දේශපාලනික විචාරය: "නව යාල්ටා ක්‍රමයක්" ද?

මෙම හමුව දෙස බැලීමේදී, ලෝකයේ බලය බෙදී යාමේ නව ප්‍රවණතාවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එක්සත් ජනපදය, රුසියාව සහ චීනය යන ත්‍රිවිධ බල කඳවුරු, තමන් අතර පවතින ගැටුම්කාරී ස්වභාවයන් මධ්‍යයේ වුවද, ලෝකය "තමන්ට අවශ්‍ය පරිදි" පාලනය කිරීමේ සහ බල ප්‍රදේශ බෙදා ගැනීමේ උත්සාහයක නිරත වන බවක් පෙනේ.

 

මෙය කුඩා සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට බරපතළ අනතුරු ඇඟවීමකි. මන්ද, සුපිරි බලවතුන් තමන්ගේ දේශපාලන සහ ආර්ථික ගනුදෙනුවලට එළඹෙන විට, කුඩා රටවල ස්වෛරීභාවය සහ අවශ්‍යතාවන් නොසලකා හැරීමේ ඉතිහාසයක් ලෝකයට තිබේ. ට්‍රම්ප් සහ පූටින් අතර පැවති සංවෘත සාකච්ඡා මෙන්ම චීනයේ සත්කාරකත්වය, නව ගෝලීය දේශපාලන ක්‍රමයක උපත සනිටුහන් කළ හැකිය.

 

 

ලංකාව දැන් කොහේට යයිද?

මෙම සුපිරි බලවතුන්ගේ ඓතිහාසික හමුව හමුවේ, ඉන්දියන් සාගරයේ උපායමාර්ගිකව වැදගත්ම ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග සහ යා යුතු මඟ කුමක්ද?

 

ශ්‍රී ලංකාව සාම්ප්‍රදායිකව අනුගමනය කරන්නේ "නොබැඳි" විදේශ ප්‍රතිපත්තියකි. එහෙත්, මෙම සුපිරි බලවතුන් තිදෙනා එක්ව නව ගෝලීය සම්මුතීන්ට එළඹෙන විට හෝ ඔවුන් අතර නව මතභේද හටගන්නා විට, ලංකාවට "මැද මාවතක" සිටීම වඩාත් දුෂ්කර වනු ඇත. විශේෂයෙන්ම මෑත කාලයේ වත්මන් ආණ්ඩුව වැඩි නැඹුරුවක් ඉන්දියාව වෙත තිබීමත් සමග යම් විවේචනයන්ද එල්ල වෙමින් තුබුණි. කෙසේ වුවද චීනයේ 'එක් තීරයක් - එක් මාවතක්' (BRI) වැඩසටහනේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන ලංකාවට, චීනය සමීපව ඇසුරු කරන අතරම, ඇමරිකාවේ ඉන්දු-පැසිෆික් උපායමාර්ගික අවශ්‍යතා සහ රුසියාව සමග පවතින සාම්ප්‍රදායික සබඳතා සමබරව පවත්වා ගැනීමට සිදුවේ.

 

 

ශ්‍රී ලංකාව දැනටමත් දැවැන්ත ආර්ථික අර්බුදයකින් බැටකමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සටන් වදින රටකි. ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණයහිමියා වන්නේ චීනයයි. අනෙක් අතට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පිටුපස සිටින ප්‍රධාන බලවතා ඇමරිකාවයි. මෙම සුපිරි බලවතුන්ගේ එකඟතාවන් හෝ ගැටුම්කාරී ස්වභාවයන් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සෘජුවම බලපානු ඇත. චීනය සහ ඇමරිකාව අතර වෙළඳ යුද්ධ ලිහිල් වුවහොත් එය ලංකාවට හිතකර විය හැකි නමුත්, ඔවුන් ලෝකය කඳවුරුවලට බෙදාගතහොත් ලංකාවට එක් පාර්ශ්වයකට පක්ෂපාතී වීමට සිදුවීමේ දැඩි දේශපාලන බලපෑම් එල්ල විය හැකිය.

 

 

මෙම තෙවැදෑරුම් හමුවට ඉන්දියාව ඇතුළත් නොවීම විශේෂත්වයකි. ලංකාවේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව, චීනයේ සහ රුසියාවේ මෙම සමීප වීම් සහ ඇමරිකාවේ හැසිරීම් දෙස දැඩි විමසිල්ලෙන් බලා සිටී. ලංකාව චීන-රුසියානු-ඇමරිකානු බල තුලනයට හසුවන ඕනෑම මොහොතක, ඉන්දියාවේ කලාපීය ආරක්ෂක අවශ්‍යතාවන් සමග ගැටීමට සිදුවනු ඇත. එබැවින්, ඉන්දියාව අමනාප නොකර ගනිමින් මෙම ගෝලීය බල කේන්ද්‍රයන් සමග ගනුදෙනු කිරීම ලංකාවට අතිශය සංකීර්ණ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රීඩාවක්  වනු නොඅනුමානය.

     

    "අලින් පොරබදින විට තැලෙන්නේ තණකොළ පිඩ" යන්න පැරණි කියමනකි. එහෙත් සුපිරි බලවත් "අලි" තිදෙනෙකු එකඟතාවයකට පැමිණෙන විට හෝ බෙදී යන විට, ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයකට තවදුරටත් නිෂ්ක්‍රීය නිරීක්ෂකයෙකු වී සිටිය නොහැක. ශ්‍රී ලංකාව දැන්වත් සාම්ප්‍රදායික, උදාසීන විදේශ ප්‍රතිපත්තියෙන් මිදී, "භූ-දේශපාලනිකව බුද්ධිමත්" සහ ක්‍රියාකාරී විදේශ ප්‍රතිපත්තියක් දෙසට ගමන් කළ යුතුය.

     

     

    ලෝකයේ බලවතුන් ෂෙන්සෙන් නුවරදී ලෝකයේ අනාගතය තීරණය කරන විට, අපේ රටේ පැවැත්ම තීරණය වන්නේ අප ගන්නා දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික තීන්දු තීරණවල ප්‍රබලතාව සහ ස්වාධීනත්වය මතය. ලංකාව යා යුත්තේ කිසිදු බල කඳවුරක ගොදුරක් නොවී, තම රටේ ජාතික අවශ්‍යතා පෙරදැරි කරගත්, බුද්ධිමත් ගෝලීය තුලනයක් දෙසටය.

     

     

    # නිරෝමි සුබ්‍රමනියම්

    නවතම ලිපි