SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • මහින්ද මහත්තය කරපු වැඩ කොටස කාටවත් කරන්න බැහැ
  • අපි යහපාලනේට රට භාරදෙනකොට වර්ධනය 7% යි. ආපසු ගන්නකොට වර්ධනය 2% යි
  • අරගලයට සම්බන්ධ තුන්වැනි පාර්ශ්වය ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ
  • මිනිස්සු මරණ උදවිය වෙනුවෙන් අත්පුඩි ගහන යුගයක් තිබුණා
  • පොහොට්ටුවෙ නායකයන්ට තනතුරු ලැබිය යුතුයි
  • එදා තෙල් ඇමැති ඇවිල්ල කියන්න ගත්තා රටේ තෙල් නැහැ කියල
  • මම ඇමැතිකමක් නොගන්නෙ ආණ්ඩුවේ සමහර තීන්දුවලට එකඟ නැති නිසා

 

ඔබේ පවුල මේ රට පාලනය කළ අය. පසුව ඔබේ කණ්ඩායම විසින්ම වර්තමාන ජනාධිපතිවරයා පත්කර ගන්නවා. දැන් ඔබලට මොකද හිතෙන්නෙ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයව මේ ධූරයට ගන්න හේතුවක් තිබුණා. ඒ තමයි අරගලය නිසා ප්‍රථමයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයත් පසුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ධූරවලින් ඉවත් වුණාම අරගලය කියන අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් හොඳම විකල්පය ලෙස අපි එතුමව පත්කර ගත්තා. ඒ වෙලාවේ එතුමට අභියෝගයක් තිබුණා. ඒකක් මේ රට ආර්ථික වශයෙන් ස්ථාවර කරන්නත්, අනෙක සමාජීය වශයෙන් රට ස්ථාවර කරන්නත්. මොකද ඒ වෙලාවේ අරගලය නිසා නීතිය වල්වැදිලා තිබුණෙ. පොලිසියට කීකරු නැති ගෙවල් බස් ගිනි තියන, මිනිස්සු මරණ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න, ඒ අයට අත්පුඩි ගහන යුගයකට පරිවර්තනය වෙමින් තිබුණෙ රට. මේ වෙලාවේ ඒ දේවල්වලට මුහුණ දෙන්න පළපුරුදු නායකයෙක් හැටියට අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා තෝරගත්තා. ඒ වගකීම එතුමා යම්කිසි මට්ටමකින් ඉෂ්ඨ කරලා තියෙනවා වගේම රට යම්කිසි මට්ටමකින් පාලනය කරලා තියෙනවා.

 

ජනාධිපතිගේ ප්‍රතිපත්ති සමඟ එකඟද?

ප්‍රතිපත්ති අතර යම් යම් අර්බුද තියෙනවා. විශේෂයෙන් ගම් මට්ටමින් කුඩා ව්‍යාපාරිකයො ගොඩනගනවා වගේම රැකියා අහිමිවීම ගැන ආණ්ඩුව මීට වඩා සිතිය යුතුයි කියලා මම හිතනවා.

 

රනිල් වික්‍රමසිංහ මහත්තයා තෝරගත්තෙ රටට වඩා රාජපක්ෂවරු රුකගන්න කියලා කිව්වොත් ඔබ මොකද කියන්නෙ?

රාජපක්ෂවරුන්ට අරක්ෂාවක් ලබාගන්න නම් අපිට මේ ආණ්ඩුවේ තනතුරු ගන්න තිබුණනෙ. අපිට 69 ලක්ෂයක ජනවරමක් ලැබුණා. ඒක ලැබුණේ මම හිතන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වඩා මහින්ද රාජපක්ෂ මහත්තයට තියෙන ආදරයට. ඒත් ඒ වෙලාවේ රටේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්නත් එක්ක, ජනතාවට තිබුණු ප්‍රශ්නත් එක්ක අපි ඒ වෙලාවේ කල්පනා කළා අඩියක් පස්සට ගන්න ඕන කියලා. රාජපක්ෂවරු හැමදාම රට වෙනුවෙන් තීරණය ගත්තෙ. පෞද්ගලිකත්වය වෙනුවෙන් තීන්දු ගත්තෙ නෑ. එහෙම තීන්දු ගත්තා නම් අපි යුද්ධයකට යන්නෙත් නෑ. මොකද ඊට කලින් හිටිය නායකයෝ තීන්දු ගත්තෙ පෞද්ගලිකත්වය මත.

 

69 ලක්ෂයක් ඡන්දය දුන්නෙ ඔබ කියන විදිහට මහින්ද මහත්තයා වෙනුවෙන් නම්, ඔහුට විරුද්ධව හිටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්කර ගැනීමත් එක්ක ඔබ හිතනවද ඒ තීරණය අර 69 ලක්ෂයට කළ සාධාරණයක් කියලා. ඒක ජනතාව පිළිගනීද?

මම හිතන්නෙ ඒ වෙලාවේ ඇතිවෙලා තිබුණු දේශපාලන තත්ත්වයත් එක්ක තමයි ඒ තීන්දුව ගත්තෙ. ඔබ දන්නවා කොවිඩ් අර්බුදයත් එක්ක රට හිරවුණා. අපි යහපාලන ආණ්ඩුවට බලය දෙද්දි තිබුණෙ 7% ගාණක ආර්ථික වර්ධන වේගයක්. ඒත් අපිට ආයේ දෙද්දි ඒක 2% ට බැහැලා තිබුණෙ. මේ සියල්ල එක්ක ඇතිවුණු අර්බුද හමුවේ තමයි රට තුළ විවිධ අර්බුද ගොඩනැගුණෙ. ඒ නිසයි අපි රනිල් වික්‍රමසිංහ මත්තයා තෝරගත්තෙ අවසානය වෙද්දි. ඒ කොහොම කළත් අපි ඒ කළෙත් 69 ලක්ෂයේ ජනවරමට සාධාරණය ඉෂ්ඨ කළ එක.

 

තමන් පත් කළ ජනාධිපති අගමැති තනතුරු දාලා යද්දි 69 ලක්ෂයේ ජනවරමට සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙ කොහොමද? මොකද ඔබලගේ තෝරාගැනීම මිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා 69 ලක්ෂයේ තෝරාගැනීම නෙමේ?

අපි පිළිගන්න දෙයක් තමා අරගලයකින් ආණ්ඩු මාරු කරන්න බෑ. ඒත් සුළු පිරිසකගේ ප්‍රචණ්ඩත්වයෙන්, තර්ජනයෙන් ආණ්ඩුව මාරු කළා. අන්න එතනයි ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම. ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටුණම හැදෙන්නෙ විකෘතියක්. ඒත් අපි උපරිම උත්සාහ කළේ මේ තත්ත්වය වෙනස් කරන්න. අපි දැන් ඒක කරමින් යනවා. ඒ වගේම 69 ලක්ෂයේ අපේක්ෂාවන් ඉෂ්ඨ කරමින් යනවා.

 

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ වෙලාවේ තමන්ගෙ බලය අත්හැරියා. ඔබ හිතන්නෙ ඒක හරිද? වැරදිද?

මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයා ඉවත් වීම කියන්නෙ සුළු සිදුවීමක් අරගලයෙදි. ඒත් ඊට වඩා හානියක් අරගලය නිසා සිද්ධ වුණා. ආර්ථික හානිය, සමාජ හානිය අරගලය නිසා ගොඩක් වුණා. කවුද මේවට වග කියන්නෙ? ඒ අරගලය හරහා වෙච්ච සමාජ ව්‍යවසනය කොච්චරද කියනවා නම් අරගල භූමියේ වෙච්ච සමහර දේවල් දැන් අරගල භූමියෙන් පිට ඉස්මතු වෙන්න පටන් අරන් තියෙනවා.

 

ගෝඨාභය මහත්තයට ලොකුම අරගලය සිද්ධ වුණේ පවුලේ ඇතුළෙන් කියලා සමාජයේ කතාවක් තියෙනවා. ඒක ඇත්තද?

පවුල සහ රාජ්‍ය පාලනය කියන්නෙ දෙකක්. ඒක සමහර අය පටලවගෙන තියෙන්නෙ. සමහර අය පටවලන්නත් යනවා ඇති. මගේ තාත්තත් ගෝඨාභය මහත්තයත් රාජ්‍ය පාලනයෙදි පවුල මත තීන්දු ගත්තෙ නෑ. අරගලයෙන් ආර්ථික, දේශපාලන වාසි ලබාගත්ත අය මේ වගේ දේවල් ප්‍රචාරය කරනවා. ඒ අය තවමත් උත්සාහ කරන්නෙ රට අස්ථාවර කරන්න. ඒ නිසා මම කියන්නෙ මේ අරගලයට එහා ගිය දේශපාලන කියැවීමක් අවශ්‍යයි, මේ පිටිපස්සේ ඉන්නෙ කවුද? කින්ද මන්ද? කියලා. එහෙම නොකළොත් වෙන්නෙ නැවත මේ වගේ දේවල් ඇතිවෙන එක.

 

ඔබ හිතන්නෙ නැද්ද ගෝඨාභය මහත්තයගේ ආණ්ඩුව විසින් ගත්ත යම් යම් තීන්දු නිසා මේ අරගලයක් ඉස්මතු වුණා කියලා. ඒක සාධාරණ නැද්ද?

අරගලයේ කොටස් තුනක් හිටියා. පැය 16 කරන්ට් එක නැතිව, තෙල් ගන්න පෝලිමේ ඉද්දි එහෙම බැස්ස කට්ටියක් හිටියා සාධාරණව. තව මේ හරහා දේශපාලන ආර්ථික අරමුණු ඉෂ්ඨ කර ගන්න ආපු කට්ටියකුත් හිටියා. ඒ වගේම මේ දෙගොල්ලන්වම මෙහෙයවපු තුන්වැනි පාර්ශ්වයකුත් හිටියා. මම කියන්නෙ තුන්වැනි කණ්ඩායම ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. ඒ වගේම කියන්න ඕන ගෝඨාභය මහත්තයා ගත්ත හැම තීන්දුවක්ම සර්ව සාධාරණයි කියලා කියන්නෙ නෑ මම. ඒත් ගත්ත ඇතැම් තීන්දු සාධාරණ තීන්දු. ඒ වගේම අපේ කවුරුත් හිතන්නෙ නෑ තෙල් පෝලිම් ඇතිවුණේ කොහොමද? ගෑස් පෝලිම් ඇතිවුණේ කොහොමද? කියලා. අපි මේ අර්බුදවලට පිළියම් හොයද්දි තමා යහපාලන ආණ්ඩුව ආවේ. ඒ ආණ්ඩුව අපි යෝජනා කරපු බලාගාර පවා නැවැත්තුවා. ඒ විතරක් නෙමේ තෙල් ඇමැති ඇවිල්ලා කියද්දි තෙල් නෑ කියලා, ඒකත් ප්‍රශ්නයක් තමා. මේවත් එක්කයි අර්බුදය ඇතිවුණේ. මේවා කාලානුරූපීව ගොඩනගපු ප්‍රශ්න.

 

දැන් ඔබලා කියනවා තෙල් ඇමැති නිසා තෙල් ප්‍රශ්නය ආවා කියලා. ඒක හැමෝම කියනවා. ඒ ආණ්ඩුව දාලා ගිය විමල් වීරවංශ කියනවා මේක පිටිපස්සේ ඉන්නෙ ඇමෙරිකානු බලවේගයක් කියලා. දැන් මොකක්ද ඇත්ත?

මට එතුමගේ පොත කියවන්න ලැබුණා. ඒ බොහෝ කාරණා ගැන අපෙත් අවධානය යොමුවෙලා තියෙනවා. නමුත් මම කියන්නෙ ඊට වඩා කියවීමක් මේ අරගලය සම්බන්ධයෙන් ආණ්ඩුව ගොඩනගන්න ඕන.

 

ඔබ හිතනවද මහින්ද මහත්තයට තියෙන ජනවරම ආයේ කිසිම රාජපක්ෂ කෙනකුට තියෙයි කියලා?

අපේ ජනතාව බුද්ධිමත්. මිනිස්සු දේශපාලනය ගැන අවබෝධයෙන් ඉන්නෙ. ඊළඟ නායකයා පත්කර ගනිද්දි ජනතාවට පුද්ගල චරිතයට වඩා ප්‍රතිපත්ති වැදගත් වෙන්නෙ. මොකද රටේ අනාගතය වෙනුවෙන් ඒක වැදගත්. අපිටත් පක්ෂයක් හැටියට යුතුකමක් තියෙනවා ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රතිපත්තිමය වෙනස කරන්න.

 

ඔබට ඊළඟට සුදුසු නායකයෙක් ඉන්නවද? නැත්නම් ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයමද?

මෙහෙමනෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ නායකයා වෙයි කියලා මීට අවුරුද්දකට කලින් හිතුවේ නෑනේ. එතුමා පාර්ලිමේන්තු ආවෙත් නෑ. ඒ නිසා මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න නරකයි. ඒකට ඉදිරියේදි සියලු පාර්ශ්ව එක්ක කතා කරලා සුදුසු තීන්දුව ගන්න ඕන.

 

ඔබලා බලාපොරොත්තු වුණු ඇමැතිකම් හම්බුණේ නෑ කියලා පොහොට්ටුවේ අය ප්‍රශ්නයක ඉන්නෙ කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද? ඇයි නොදුන්නේ?

මම පෞද්ගලිකව හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කළේ යම් එකඟතාවකට අනුව මේ රට ස්ථාවර කරන්න. ඒ වගේම පොහොට්ටුවේ ජනතාවගේ අභිලාෂයන් අපි ඉෂ්ඨ කරන්න ඕන. එහෙම ඉෂ්ඨ කරන්න පොහොට්ටුවේ නායකයන් යම් තනතුරු දැරිය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා. ඒකෙ රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඉන්නවා. කොහොම වුණත් මම කිව්වා වගේ අපි අතර තියෙන්නෙ දේශපාලන ප්‍රතිපත්ති දෙකක්. මහින්ද මහත්තයගෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙත් දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වෙලා නෑ මේ ඉතිහාසයේ. අන්ත දෙකක්. ඒ අන්ත දෙක මේ කෙටි කාලයක් සඳහා රටට විසඳුම් දෙන්න එකතුවෙලා විතරයි ඉන්නෙ.

 

ඔබට හිතෙන්නෙ නැද්ද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්ත තීන්දු රිවස් කරපු එකයි ඒ වගේම සමහර වැරදි තීන්දුයි මේ අර්බුදයට බලපෑවා කියලා?

නෑ. එතුමගේ කාලයේ තිබුණෙ රට වහනවද? අරිනවද? කියන එක අවුරුදු දෙකක්ම. රනිල් වික්‍රමසිංහ මහත්තයට තියෙන්නෙ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරන එක. ඒත් මේ දෙන්නම නොගත්ත තීන්දු කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන එක ගැන. ඒකයි වැදගත්. හැබැයි ගෝඨාභය මහත්තයගේ අන්තිම අයවැයේදි නිෂ්පාදන ආර්ථිකය සඳහා විශාල මුදලක් වෙන් වුණා. ඒක අවුරුද්දක් වුණා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ. නමුත් මේ ආණ්ඩුව ඒක කරලත් නෑ. මම හිතනවා ඉදිරියේ ඒ සඳහා වැඩි අවධානයක් දෙයි.

 

රාජපක්ෂවරුන්ගේ රජවීමේ දේශපාලනය ඉවරද?

නෑ. රාජපක්ෂ කියන නාමය හැදිලා තියෙන්නෙ මහින්ද රාජපක්ෂ හරහා. එතුමා කරපු වැඩ කාටවත් තවම කරන්න බෑ. ජනතාව එතුමා ගැන ලොකු විශ්වාසයක තවමත්  ඉන්නෙ. එතුමට තියෙන ආදරය තමයි අපිටත් ගලාගෙන එන්නෙ. ඒ ජනතා ආදරය හැමදාම මහින්ද මහත්තයට තිබුණා. ඒක බලය තිබුණත් නැතත්. කොහොම වුණත් එතුමගේ ප්‍රතිපත්ති ඉදිරියට අරගෙන යනවා.

 

ඔබලා එක්ක ඉඳලා දැන් ආණ්ඩුවට ගිය අය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ තීන්දු අගය කරනවා. ඒකෙන් වෙන්නෙ ඔබලා ගත්ත තීන්දු වැරදි කියන එක නේද?

ඒකෙන් එකක් ගම්‍ය වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි තෝරාගත්ත එක හරි කියලා නේද? මෙහෙමයි. ඒ ඒ කාලවලට අනුවයි මේ තීන්දු ගන්නෙ. ඒ ගන්න තීන්දු අගය කරන එක වරදක් නෑ.

 

ඇයි නාමල් රාජපක්ෂ ඇමැතිකමක් නොගන්නෙ?

මට හිතෙනවා පක්ෂය වෙනුවෙන් මගේ වගකීම වැඩියි. ඒ වගේම මේ ආණ්ඩුවේ යම් යම් තීන්දු සම්බන්ධයෙන් එකඟ නෑ මම. එහෙම එකඟ වෙන්න බැරි තැනකට යන එක වැරදියි.

 

දැන් සජබයත් ජාතික ජන බලවේගයත් ශීඝ්‍රයෙන් වැඩ කරගෙන යනවා. ඔබත් පක්ෂය වෙනුවෙන් වැඩ. දැන් අර පක්ෂ දෙක අභියෝගයක් නෙමේද?

කිසිම අභියෝගයක් නෑ අපිට. මොකද? කඳවුරු දෙකක් අපි කට්ටිය. අපේ කඳවුර වෙන තැනක ඉන්නෙ. ඔය විපක්ෂයේ ඉන්න සජිත් මහත්තයා, අනුර කුමාර මහත්තයා විතරක් නෙමෙයි, රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ප්‍රතිපත්තිත් එකම එකයි. ඒත් අපේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් මේ හැමදේටම වඩා. ඉතින් අපේ තියෙන දේශපාලනය දේශීය සම්පත් රකින දෙයක්. ඒ අයගේ වෙනස්. ඒ නිසා අපේ ප්‍රතිපත්ති ඉදිරියේදී ශ්‍රී ලංකන් මොඩලයකට ගොඩනැගෙයි.

 

අවසන් ප්‍රශ්නය. වර්තමානයේ ආගමික කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගීමක් තියෙනවා. ඒ හැම වෙලාවකම චෝදනා එල්ල වෙන්නෙ මේ ආගමික ගැටලුව පිටිපස්සේ ඉන්නෙ ඔබලා කියලා. මොකක්ද මේ කාරණය?

ආගම කියන කාරණය ඉතාම සංවේදී කාරණයක් හැටියට දකිනවා. අපි ආගමානුකූල සමාජයක ගොඩනැගුණු අය. අපි අනෙක් ආගම්වලටත් ගරු කරනවා වගේම කිට්ටු ඇසුරක් තියෙනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නෙත් නෑ. අපි ඒ වෙනුවෙන් කතා කළාම, විශ්වාස කළාම හිතනවා අපි මේ දේවල් පිටුපස ඉන්නවා කියලා. මේක නිරාගමික රටක් නෙමෙයිනෙ. ඒ ඒ ආගම් රැකෙන්න ඕන.

 

@ගයාන් ගාල්ලගේ

Deshaya.lk