SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරිපත් කර ඇති නව මහ බැංකු පනත ජනතා පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමේ උත්සාහයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාර්තු 12වැනිදා බෙලිඅත්ත සමූපකාර ශාලාවේ පැවැත්වුණු "චන්දෙ නෑලු - උන්ට බෑලු" නම් සම්මන්ත්‍රණයකදී  ප්‍රකාශ කළේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් නොවූ, ජනතාවට වග නොකියන නිලධාරී තන්ත්‍රයකට ජනතාවගේ ආර්ථික ජීවිතය සම්බන්ධ තීරණ ගැනීමේ ඒකාධිකාර බලය පවරා දීම ජනතාවගේ අයිතීන් උදුරා ගැනීමක් බවයි.

ඒ සම්බන්ධයෙන් එම සම්මන්ත්‍රණයේදී ඔහු මෙසේ කරුණු ගෙනහැර දැක්විය.


"අලුතින් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සම්මත වුවහොත් දැනට බලපවත්වන 1949 අංක 58 දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත අහෝසි වෙනවා. වර්තමාන පනතට අනුව ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ හැසිරීම පිලිබඳ තීරණ ගන්නේ මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යංශ ලේකම්, ජනාධිපතිවරයා විසින් පත් කරන නියෝජිතයෙකු ආදීන්ගෙන් සමන්විත මූල්‍ය මණ්ඩලයකින්.

අලුත් පනත මගින් මූල්‍ය මණ්ඩලය අහෝසි වෙලා පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ලෙස මණ්ඩල දෙකක් ස්ථාපිත කෙරෙනවා. පාලක මණ්ඩලය සමන්විත වෙන්නේ මහ බැංකු අධිපතිවරයාගෙන් සහ පත් කරනු ලබන වෘත්තිකයන් 6 දෙනෙකුගෙන්. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට එම සත් දෙනාට අමතරව මූල්‍ය විශේෂඥයන් දෙදෙනෙක් සහ මිල ස්ථායිතාව- මූල්‍ය පද්ධති ස්ථායිතාව යන ක්ෂේත්‍ර දෙකේ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් දෙදෙනා සහිත 11 දෙනෙකු පත් වෙනවා. රටේ ආර්ථිකය පිළිබඳවත් ජනතාවගේ ආර්ථික ජීවිතය සහ එහි අයිතීන් පිළිබඳවත් තීරණ ගැනීමේ ඒකාධිකාර බලය තිබෙන්නේ මේ නිලධාරීන් 11 දෙනාට.

වත්මන් පනතේ මූල්‍ය මණ්ඩලයට මුදල් අමාත්‍යංශ ලේකම් පත් කර තිබෙන්නේ විධායකය හරහා ෆිස්කල් ප්‍රතිපත්තිය සම්බන්ධ කරන්න. ඒ වගේම වත්මන් පනතේ මූල්‍ය මණ්ඩල සාමාජිකයන් පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කිරීමේ බලය සහ මූල්‍ය මණ්ඩල කටයුතු අධීක්ෂණය කිරීමේ බලය පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන්නේ රටේ ආර්ථික තීරණ ගැනීම සඳහා ජනතාවගේ ඡන්දයෙන් තේරීපත්වූ නියෝජිතයන්හට, ව්‍යවස්ථාදායකයට මැදිහත් විය හැකියි කියන මූලධර්මය යටතේ.


අලුත් පනතට අනුව මේ මණ්ඩල දෙකේම මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ෑ!


නමුත් අලුත් පනතට අනුව මේ මණ්ඩල දෙකේම මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නැහැ. මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ ආණ්ඩුවේ ෆිස්කල් ප්‍රතිපත්ති අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්.

1965 වියට්නාම් ආක්‍රමණය සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සහ එරට ෆෙඩරල් බැංකුව (US Federal Reserve) අතර ඇතිවූ ගැටුම උදාහරණයක් ලෙස ගන්න පුළුවන්.

 

ඊටත් වඩා ප්‍රධාන ප්‍රශ්නය මේ අලුත් පනතින් රටේ ආර්ථික තීරණ සඳහා පාර්ලිමේන්තුවට මැදිහත් වීමට ඇති අවකාශය මුළුමනින්ම පාහේ හකුළුවා තිබීම. පනතේ 5(3) වගන්තියට අනුව මහ බැංකුවේ මණ්ඩල දෙකේ කටයුතු වලට කවර තැනැත්තෙකුට හෝ අස්ථිත්වයකට (Person or Entity) බලපෑම් කරන්නත් බෑ, බාධා කරන්නත් බෑ. මහ බැංකු අධිපතිවරයාව පමණක් ප්‍රශ්නකාරී අවස්ථා වලදී පාර්ලිමේන්තුවට කැඳවිය හැකියි. ඒත් ගන්නා තීරණ වෙනස් කරන්න පුලුවන්ද කියා පැහැදිලි නැහැ.

මීට පෙර ලැට්වියාවේ මහ බැංකු අධිපතිවරයා මුදල් විශුද්ධිකරණ හා දූෂණ චෝදනා මත ධුරයෙන් පහ කිරීමට එරට පාර්ලිමේන්තුව තීරණය කළ අවස්තාවේදී නීතියෙන් එවැනි බලයක් නෑ කියා එයට බාධා පැමිණුනා. ලංකාවේ ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට මෙතරම් මැදිහත්වීමේ බලයක් ලබාදී තිබියදීත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති බවට පත්වූ පසු සිදුවූ විනාශය අපි දැක්කා.

මේ පනතෙන් ඒ අවම බලයත් නැති කළාම මොන වගේ විනාශයක් වෙයිද? අඩුම ගානේ පාර්ලිමේන්තුවෙන්වත් නියාමනය නොවන මේ නිලධාරීන් මූල්‍ය ඒකාධිකාර සමාගම් වල ලාභ අවශ්‍යතා වෙනුවෙන් රටේ බහුතර ජනතාවගේ අයිතීන් අහිමි කරන දිශාවට ආර්ථිකය මෙහෙයවන තීරණ ගත්තොත් මොකද කරන්නේ?

අනෙක් එක මේ නිලධාරීන් 11 දෙනා කියන්නේ දෙවියන් වහන්සේ අපිව ගලවා ගන්න එවපු ගැලවුම්කාරයෝ කණ්ඩායමක් කියලා පිලිගන්නද අපට කියන්නේ? ජනතාව විසින් පත් නොකරන, ජනතාවට ධුර වලින් ඉවත් කළ නොහැකි, ජනතාවට වග නොකියන, අවම වශයෙන් පාර්ලිමේන්තුවට පවා හැසිරවිය නොහැකි සර්වාධිකාර බලයක් මේ අයට දෙන්න පුලුවන් ද?

අල්ලස් ගැනීම් හෝ ලැදියාවන් අතර ගැටුම් හරහා රටේම ආර්ථිකය හසුරුවන බලය ඒකාධිකාර මූල්‍ය ධනපතියෝ දෙතුන් දෙනෙක් අතට ගත්තොත් මොකද වෙන්නේ? 2017දී බ්‍රසීලයේ සහ 2018 තුර්කියේ අත්දැකීම් බලන්න. ඒ නිලධාරීන් සමාගම් වලින් අල්ලස් ගෙන රටේම ජනතාවගේ ආර්ථික අයිතීන් විනාශ කළා.


මේ ක්‍රියාවලියට නම දාලා තියෙන්නේ මහ බැංකුව ස්වාධීන කිරීම කියලා.

මේ ස්වාධීන කිරීම මොකක්ද?

ජනතාවගෙන් වෙන් කරලා නිලධාරීන් 11 දෙනෙකුට ලක්ෂ 220ක් ජනතාවගේ ජීවිත වල ඉරණම තීරණය කරන ස්වාධීනත්වයක් දෙනවා.

මහ බැංකුවේ බහුවිධ කාර්යභාරය උද්ධමනය පාලනය කිරීමට සහ මූල්‍ය සමාගම් රැක ගැනීමට පටු කරනවා. බැංකු පොලී අනුපාතික, විදේශ විනිමය අනුපාතික ආදී සියල්ල හසුරුවන්නේ ඒ ක්ෂේත්‍ර දෙක ගැන විතරක් බලලා. එතකොට ආර්ථික විෂමතාව අඩු කිරීම, ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම, විරැකියාව අඩු කිරීම, නිෂ්පාදනය වර්ධනය කිරීම වැනි ක්ෂේත්‍ර වලට මොකද වෙන්නේ? ඒ ඔක්කොම නොසලකා හරිනවාද?

 

මේ මහ බැංකු ස්වාධීන කරන කතාව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ උවමනාවට පටවන එකක්. ලෝකයේ අනෙක් රටවලට වගේම ලංකාවටත් මේක පටවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනාවකට අනුව කියලා වාර්තා වෙනවා. ආණ්ඩුව දැන් විවෘතවම  කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ඇපකරය දෙන්න මහ බැංකුව ස්වාධීන කිරීමේ කොන්දේසියක් ඉදිරිපත් කළා කියලා. ඩොලර් බිලියන 2.9ක සොච්චම් ණයක් වෙනුවෙන් සමස්ත ජනතාවගේ ජීවිත බිල්ලට දෙනවා ද?

 

මේ විනාශකාරී පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත පුළුල් මැදිහත්වීමක් කරන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපේක්ෂා කරනවා. ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න සහ ජනතාව මේ විනාශය ගැන අවබෝධයකට ගෙනැවිත් පාර්ලිමේන්තුවෙන් පිටත මේ පනත පරාජය කරන ජන බලයක් ගොඩ නගන්න අපි මැදිහත් වෙනවා."

 

@theleader.lk

නවතම ලිපි