SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ පවතින ඖෂධ හිගය සහ බොහොමයක් රෝහල් පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උදාවී තිබීම පිළිබඳව පසුගිය අයවැය විවාදයේදී හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න

නිවැරදි සංඛ්‍යා දත්ත හා තොරතුරු පදනම් කරගනිමින් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ කතාව බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූ බව අපි දනිමු. එහෙත් එහිදී වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා වූ කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ එවැනි කිසිදු ඖෂධ හිගයක් රට තුළ හෝ රෝහල් පද්ධතිය ආශ්‍රිතව නොපවතින බවය.

එහෙත් ඉනික්බිතිව එම සෞඛ්‍ය අමාත්‍යවරයාම 2022.12.05 වැනි දින කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින්, වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 151ක්, ශල්‍ය වෛද්‍ය උපකරණ හා පාරිභෝජන භාණ්ඩ 5278ක්, විකිරණශීලී උපකරණ 18ක්, නිත්‍ය සහ අනුපූරක රසායනාගාර උපකරණ 850ක් තොග ශූන්‍ය මට්ටමක පවතින බව  ඉදිරිපත් කර තිබුනි. එසේම ඉදිරි සති තුනක කාල සීමාව තුළ තවත් බොහෝ උපකරණවල තොග අවසන් වනු ඇති බවත් එම කැබිනට් පත්‍රිකාවේ විස්තරය හා සාධාරණීකරණය කිරීම යටතේ වැඩිදුරටත් ඔහු දක්වා ඇත.

මෙහිදී වැදගත්ම සිදුවීම වන්නේ පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශ කරමින් ඊට ඉඳුරාම ප්‍රතිපක්ෂ තොරතුරු ඉදිරිපත් කරමින් කඩිමුඩියේ කැබිනට් පත්‍රිකා දමමින් කෙහෙලිය අමාත්‍යවරයා ඖෂධ මිළඳී ගැනීමේ සියළු ක්‍රමවේදයන් බිඳ හෙලීමත් ඒ පිළිබඳව සියල්ල දත් යැයි සිතන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේවා නොදැක්කා සේ නිහඩව බලා සිටීමත් ය.

මේ පිළිබඳව Thecolombopost, rawanalankanews.lk සහ Sri Lanka News වේබ අඩවිවල සිදු කර ඇති හෙළිදරව්ව පහත පරිදිය.

NMRA අනුමත නොකළ ඖෂධ 28 ක් ගෙන ඒමට සෞඛ්‍ය ඇමති ඉන්දියාවට.
සංචාරයේ සියළු වියදම් ඖෂධ සමාගමෙන්...

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ විසි අටක් ඉන්දියාවේ kausikh pharmaceutical නම් සමාගමෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අමාත්‍ය මණ්ඩළ අනුමැතිය ලබාගෙන ඇති බව වාර්තාවේ.

මේ දිනවල රට තුළ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ඉදිරියට දමා සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව හදිසි සැපයුමක් ලෙස මෙම ඖෂධ තොගය ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අමාත්‍ය මණ්ඩළ අනුමැතිය ලබාගෙන ඇති බව වෘතීය සමිති ආරංචි මාර්ග පවසයි.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 151 ක්,ශල්‍ය උපකරණ ඇතුළු පරිභෝජන භාණ්ඩ 5268 ක්, රසායනික ද්‍රව්‍ය 850 ක්, විකිරණශීලි ද්‍රව්‍ය 18 ක තොග මේ වන විටත් රට තුළ නොමැති බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය ඔක්තෝබර් 25 වැනිදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වේ.

මෙම සමාගම නිෂ්පාදනය කරන ඖෂධද ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ලියාපදිංචි කර නොමැති අතර ඖෂධ ආනයනය සඳහා මෙම සමාගම තෝරාගත් ආකාරය කැබිනට් පත්‍රිකාවේ සදහන් නොවීමද විශේෂත්වයකි. එහෙත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙම ඖෂධ අනුමත කර ඇති බව ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. කෙසේවෙතත් සෞඛ්‍ය ආරංචිමාර්ග පවසනුයේ ශ්‍රිලංකාවේ රෝගීන් භාවිතා කරන ඖෂධ අනුමත කිරීම ඖෂධ සංස්ථාවේ නොව ඖෂධ නියාමන අධිකාරියේ වගකිමක් බවය.

යෝජිත සැපයුම්කරු තෝරාගෙන ඇත්තේ අත්‍යවශ්‍ය පදනමක් මත බැවින් මිළ හා ගුණාත්මකභාවය පිළිබද සාකච්ඡා කළ යුතු බව මුදල් අමාත්‍යංශය සිය නිරීක්ෂණ මගින් දැනුම් දී ඇත. මෙම කැබිනට් පත්‍රිකාව අනුමත කර ගැනීමෙන් පසුවද සෞඛ්‍ය ඇමතිවරයා වෙනත් සමාගමකින් ඖෂධ මිළදි ගැනීම සඳහාද තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි kausikh pharmaceutical සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර නොමැත. මෙම සමාගම නිරීක්ෂණයට සෞඛ්‍ය ඇමතිවරයාට පසුගිය 17 වැනිදා ආරාධනාවක් ලැබී ඇත. ඒ සඳහා සෞඛ්‍ය ඇමතිවරයා හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අද දින ඉන්දියාවට යාමට නියමිතය. කෙසේවෙතත් මෙම චාරිකාව සඳහා ඖෂධවේදීන් සහභාගි කරගෙන නැති බව දැනගන්නට තිබේ.
මෙම චාරිකාව සඳහා සියලු වියදම් මෙම සමාගම දරා ඇති අතර තරු පහේ සුඛෝපභෝගී හෝටල් කාමරයක් අමාත්‍යවරයා වෙනුවෙන් වෙන් කර අති බවද වාර්තා වේ. 

ඉන්දීය ණය පහසුකම් යටතේ ඉතිරි වී ඇති ඇමරිකන් ඩොලර් මිලියන 46ක මුදලක් භාවිතා කරමින් මෙම ඖෂධ ගෙන්වීමට නියමිතය.

මේ පිළිබඳව වීඩියෝ සාක්ෂි සහිතව විමර්ශනයන් ravanalankanews.lk වෙබ් අඩවියඉදිරිපත් කර ඇත.

(මේවා අසත්‍යය නම් ඒ  පිලිබඳව සත්‍ය රටට අනාවරණය කිරිමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බවත් ඔහුගේ ප්‍රකාශයට වෙබ් අඩවිය තුළ ඉඩ කඩ වෙන්කර තිබෙන බවත් ravanalankanews.lk තම ලිපිය මගින් දක්වා ඇත.

අපටද කිව හැක්කේ රටක් විපතට පත්ව ඇති මේ මොහොතේ ඊට සෘජුවම වගකිව යුතු දේශපාලනඥයින් විසින් තවදුරටත් ‌මෙවැනි තුප්පහි වංචාවන් සිදුකරන්නේ නම් සිස්ටම් චේන්ජ් ඉල්ලා සිටි මේ රටේ තරුණ ප්‍රජාව ආසන්නතම ඡන්දයකදී හෝ ඊට වගකිවයුතු බවය.

(මේ සම්බන්ධ සියළු අනාවරණයන්ට අදාළ සාක්ෂි ලේඛණ  හෙළිදරව්වන් සිදුකළ ආයතන සතුව පවතී) 

නවතම ලිපි