නොවැ.01 කැලණිය විශ්වවිද්‍යාලයේ ජිම් කැන්ටින් එකට පැමිණි SYU සංවිධානය නියෝජනය කරන බව කියන දෙවන වසර සිසුවෙක් එහි සිටි ඉහල වසරවල සිසුන් සමඟ ගැටුමක් ඇති කරගනියි.
විශ්වවිද්‍යාල තුළ ගැටුම් ඇතිවීම යහපත් නොවේ. නමුත් තරුණ පිරිස් ගැවසෙන ස්ථානවල නිරන්තර ගැටුම් මතුවීම ස්වභාවිකය. ශිෂ්‍ය සංගම් ව්‍යූහයක් පවතින්නේ එවන් ගැටලු ඇති නොවන තැනට පොදු අරමුණක් කරා බලවේගයක් ලෙස සිසුන් සංවිධානය කිරීමටය. එහෙයින් විශ්වවිද්‍යාල තුළ කුමන අයුරින් හෝ ඇති වන ගැටලු විසඳාගැනීම සඳහා සිසුන්ගෙන් සුසැදි යාන්ත්‍රණයක් තිබෙයි. නමුත් මෙම ගැටුම සිදුවන අවස්ථාවේ අරුමපුදුම සිදුවීමක් සිදුවෙයි. එනම් සිදුවීම සිදුවෙමින් පවතිද්දීම ශිෂ්‍ය සංගමයේ සහෝදරයෙක්ට කිරිබත්ගොඩ පොලීසියේ නිලධාරියෙකු කතා කිරීමයි. පොලීසිය පවසන්නේ සිසුවෙක් සිරකරගෙන නවකවදය ලබාදීමක් ගැන පැමිණිල්ලක් ලැබුණු බවයි. මෙතැන් පටන් සිදුවීම් පෙළ ඉතා රසවත්ය.
1. පසුදින (02) උදෑසනම නිව්ස් බ්ලොග්වල කැලණියේ නවකවද සිදුවීමක් ගැන කියමින් පුවත් දමන්නට විය.
2. එදිනම Homlander vs ragging නමින් දිගින් දිගටම විශ්වවිද්‍යාල තුළ නවකවදය පිළිබඳ ආන්තික ප්‍රචාරණයක් ගෙන යන පේජයක සිසු නායකයින් පිරිසකගේ ඡායාරූප පලවෙයි.
3. ඡායාරූප, නම් සහිතව කිරිබත්ගොඩ පොලීසිය නවකවද සිදුවීමක් ගැන විමර්ශන අරඹයි.
4. විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ටද ඡායාරූප සහිතව සිසුන් පිරිසක් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් වෙයි.
මෙම සිදුවීම් පෙළ ආරම්භ වූ සැක සහිත ස්වභාවය හේතුවෙන් සිසුන් විසින් විශ්වවිද්‍යාලය තුළ JVP නියෝජනය කරමින් කටයුතු කරන සිසුවෙකුගේ ජංගම දුරකතනයක් පරීක්ෂා කරයි. එහි "ආයතන කමිටුව" නමින් ඇති වට්ස්ඇප් ගෘප් එකක් තිබුණු අතර 01 දින ජිම් කැන්ටින් එකේ ගැටුම, පොලීසියට යවන තොරතුරු, පැමිණිලි ඉදිරිපත් කරන ආකාරය, පරිපාලනයට යවන තොරතුරු, හෝම්ලෑන්ඩර්ලට යවන තොරතුරු ලෙස සියල්ල සැලසුම් කළ කුමන්ත්‍රණයක තොරතුරු හෙළිදරව් වෙයි. දෙවන වසර සිසුවා ද ජවිපෙ ආයතන කමිටුව නියෝජනය කරන්නෙක් වන අතර ඔහු කැන්ටින් එකට පැමිණ ඉහළ වසර කණ්ඩායම් සිසුන් සමඟ ගැටුමක් ඇති කරගැනීමද සැලසුම් කරන ලද්දකි.

1. මින් පෙර විශ්වවිද්‍යාලයේ වසර කණ්ඩායම් තුළ ඇති කරන ලද විවිධ ගැටුම්වල සුලමුල
2. අන්තරේ පාගමන්, වැඩමුළුවලට පිරිස සම්බන්ධ වීම වළක්වමින් අසාර්ථක කිරීම සඳහා කරන ලද සැලසුම්
3. ශිෂ්‍ය සංගම් නායකයින් ඉලක්ක කරමින් විශ්වවිද්‍යාලය තුළ ගෙනියන කටකතා ඇතුළු ඉතා නින්දා සහගත මඩ ප්‍රචාරනවල තොරතුරු සහ ඔවුන්ට ඇති කළ යුතු ප්‍රශ්න.
4. විශ්වවිද්‍යාල පරිපාලනයට සිසුන් සම්බන්ධව තොරතුරු ලබාදුන් අවස්ථා
5. විශ්වවිද්‍යාල අභ්‍යන්තර තොරතුරු පොලීසියට ලබාදුන් අවස්ථා
රැසක් එමගින් හෙළිදරව් වෙයි. ඒ අනුව ආසන්න මාස කිහිපය පුරාම කැලණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව සිදුවූ සිදුවීම් පෙළක් සමඟ මෙම ඓතිහාසික පාවාදීමේ පෙළ සම්බන්ධ වන අයුරු වටහාගත හැක.



දේශපාලනය කිරීමට විශ්වවිද්‍යාල තුළ ඕනෑම කෙනෙකුට, සංවිධානයකට නිදහස හා අවස්ථාව තිබේ. නමුත් දේශපාලනය යනු ගේම් ගැසීම නොවේ. ශිෂ්‍ය සංගමයක හෝ අන්තරේ බලය ලබාගැනීම සඳහා එහි නායකයින් පොලීසියට කොටු කර දීම, නවකවද සිදුවීම් සැලසුම් කිරීම, ශිෂ්‍ය සංගමයට විරුද්ධව පරිපාලනය සමඟ කටයුතු කිරීම කුමන දේශපාලනයක්ද? මේ මොහොතේ මර්දනයට එරෙහි අරගලය බෙදා වෙන් කිරීමටත්, හැකිතාක් මඩ ගැසීමටත් ජවිපෙ ඉහළ නායකත්වයේ පටන්ම දෘෂ්ටිවාදී මෙහෙයුමක් දියත් කරන අතර යටින් රජය හා අත්වැල් බැඳගත් මර්දන මෙහෙයුමකට ජවිපෙ අත ගසා තිබේ.
(මෙම තොරතුරු ප්‍රලාප නොවන අතර අදාළ පුද්ගලයන්ගේ නම්, ගම්, සිදුකළ සැලසුම්, ඇතිකළ ගැටුම් පිළිබඳ තොරතුරු සියල්ල අප සතුව පවතී. අවශ්‍ය වුවහොත් ඒවා හෙළි කිරීමට මැලිකමක්ද නැත)