SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දරුවන් පිරිසක් උද්ඝෝෂණවලට රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් අරඹා ඇත.

ලංකාවේ දෙමව්පියන්ගෙන් බහුතරයක් උද්ඝෝෂනයන්ට පමණක් නොව ඊටත් වැඩි වශයෙන් පසුගිය දශක කිහිපය පුරාම දේශපාලන රැස්වීම්වලටත් දරුවන් ඔසවාගෙන යෑම අප නිරන්තරයෙන්ම දැකගත් කාරණයකි. විශේෂයෙන් මැතිවරණ ප්‍රචාරක රැළිවලදී දේශපාලන නායකයන් ළමුන් ඔසවාගනිමින් මාධ්‍යවලින් තම ප්‍රචාරක කටයුතු සඳහා පාවිච්චි කිරීම පිළිබඳව කිසිවෙකුට කිසිදු ගැටළුවක් බවට පත් නොවුනේ දේශපාලනයට පාවිච්චි වීම සාමාන්‍ය ජනතාවට මෙන්ම රාජ්‍ය සංවිධානවලටත් සාමාන්‍යකරණය වීම නිසාය.

එහෙත් මේ පිළිබඳ විශේෂ කතාබහක් ඇතිවන්නේ ගාළුමුවදොර ජන අරගලය හරහා ක්‍රියාත්මක වූ උද්ඝෝෂණ මාලාවත් සමගය. මෙම අරගලය පිළිබඳවත් ආරම්භයේ අරගලය ගැන සහ මේ වනවිට පවතින අරගලය සම්බන්ධව කියවීම් දෙකක් හටගෙන ඇත. දරුවන් හා තරුණ පිරිස මුලදී මේ සඳහා සහභාගී වීමේදී එවකට තනි මන්ත්‍රී ආසනයක් පමණක් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ දැක්මත්, අද වනවිට අරගලය නිසාවෙන් ජනාධිපති පුටුව අත්පත් කරගත් රනිල් වික්‍රමසිංහගේ කියවීමත් සපුරා වෙනස් ය.

අප මෙම කියවීම් දෙකටම සපුරා එරෙහිවන්නෙමු. මෙවන් අරගලයන් හටගත්තේ කුමක් අරභයාද යන්න පිළිබඳ ආස්ථානය මත මේ තුළින් ලබන ජයග්‍රහණයන් පිළිබඳව අපට කිසිදු වැඩක් නැත. මන්ද පරිභෝජනවාදී අර්චනකාමය සන්තෘප්ත වූ පසු මේ විනාශ සහගත ක්‍රමය පවත්වාගෙන යෑමට උරදීම හැරෙන්නට මේ අරගලකාමීන් සතු වෙනත් කිසිදු අවශ්‍යතායක් හෝ අරගලයක් නොමැත. එනයින් මේ පවත්නා දේශපාලන සංවර්ධන මායාව තුළ තවදුරටත් ගිලෙනවා හැරෙන්නට ඉන් මිදීමක් පිළිබඳ සිතීමක් හෝ නැති ජනමානසිකත්වයක් මේ අරගලකාමය තුළ හටගෙන ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටද අරගලයේ මුල්කාලයේ සහ ඉන් පසු ඔහු රාජ්‍ය නායකයා වූ පසු තත්ත්වය තුළ වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ හෙළුව රටට පෙන්වන්නට මහගු අවස්ථාවක් උදා විය.

වික්‍රමසිංහට වඩා ගෝඨාභය ප්‍රජාතන්ත්‍රවාදී යැයි අද වනවිට බොහෝ දෙනා (අරගලකාමීන්ද ඇතුළුව) පැවසීම තුළ ජනයා වටහාගනිමින් සිටින්නේ කුමක්ද? නැවතත් වික්‍රමසිංහ පෙරළා ගෝඨාභය කෙනෙක් පත්වූ විට ඔවුනට යම් ඉඩක් නිර්මාණය වේයැයි බලාපොරොත්තුවද? ඉතිහාසය පුරාම සිදුවූයේ මේ ප්‍රහසනයම නොවේද?

අද වම යැයි කියාගත් පිරිසට අවශ්‍යව ඇත්තේ කුමක්ද? එකී වම වික්‍රමසිංහලාගෙන් රාජපක්ෂලාගෙන් වෙනස් වන්නේ කොතැනින්ද?

අප ඉහත සිදුවීම පිළිබඳ පුවතට නැවත යොමු වුවහොත් එය මෙසේය.

"පසුගිය 9 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැති විරෝධතාවය අතරතුරදී සිදුවූ ගැටුමට අදාළව ලැබුණු පැමිණිලි දෙකක් පදනම් කරගෙන ඒ විමර්ශනය ආරම්භ කළ බව අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසීය.

දෙමව්පියන් කුඩා දරුවන් විරෝධතාවයට රැගෙන ඒම සම්බන්ධයෙන් සහ පොලිසියේ ක්‍රියාකලාපයට එරෙහිව අදාළ පැමිණිලි දෙක ලැබී ඇත.

නව ජනතා පෙරමුණේ සාමාජිකයන් පිරිසක් ඊයේ  (11) ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, අරගලකරුවන් යැයි කියාගන්නා පිරිසක් රාජ්‍ය විරෝධී ක්‍රියා වෙනුවෙන් කුඩා දරුවන් පලිහක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා තිබිණ.

සිද්ධිය පිළිබඳව පුළුල් ලෙස කරුණු සොයා බලන බව පැවසූ සභාපතිවරයා, මවුපියන් අතින් වරදක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.


''අපරාධ වරදක් අනාවරණය වෙනවා''


අදාළ පැමිණිලි සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මෙසේ සඳහන් කළේය.

"දෙමාපියන්, භාරකරුවන් මේ ආකාරයෙන් දරුවන් අරගල නැත්වලට, නොසන්සුන්කාරී නැත්වලට මහජන උද්ඝෝෂණ තැන්වලට ගෙනයාම තුළින් දරුවන්ට හිරිහැරයක් පීඩාවකට පත්වෙන්න පුළුවන් කියන පැමිණිල්ල තමයි එක පාර්ශවයක් අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ.

ඊට වඩා වෙනස් මතයක් දරණ පාර්ශවය ඉදිරිපත් කරලා තිබෙන පැමිණිලිවල සඳහන් වන්නේ, සාමකාමී විරෝධතාවයකදී පොලීසිය මේ දරුවා පීඩාවට පත්වන ආකාරයේ කටයුතු  කර දරුවන් පීඩාවට පත්වන ආකාරයේ ක්‍රියා කරලා තිබෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා සුදුසු ක්‍රියාමාර්ග ගන්න කියන කාරණය තමයි තිබෙන්නේ. 

එතකොට මේ පැමිණිලි දෙකම භාරගෙන තිබෙනවා. මේ පැමිණිලි දෙකටම අපි ඉතාම ස්වාධීන අපක්ෂපාතී ආයතනයක් හැටියට ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා බලනවා. එතකොට මේ පැමිණිලි දෙකත්.. අපට ඇත්ත වශයෙන්ම අපරාධ වරදක් අනාවරණය වෙනවා.

ප්‍රධාන වශයෙන්ම මේ දරුවා මේ ස්ථානයට රැගෙන යාම දෙමාපියන් විසින් කරන ලද වරදක්.  ඊට දඬුවම් කරන්න කියන ඉල්ලීම තුළ යම්කිසි අපරාධ වරදක් අනාවරණය වෙනවානම්, මූලික විමර්ශනවලදී අපිට පෙනී යනවානම් ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ බලතල පොලිස් දෙපාර්තමේන්තුවට තිබෙනවා.

දෙවෙනි කාරණය පොලීසියේ ක්‍රියාකලාපය නිසා දරුවා අගතියට පත්වුණා, පීඩාවට පත්වුණා කියන කාරණය සම්බන්ධයෙන් එවැනි වරදක් අනාවරණය වෙනවානම්  ඒ සම්බන්ධයෙන්  බලය පැවරුණු බලාධිකාරියට පුළුවන්කම තිබෙනවා  අධිකරණයට කරුණු වාර්තාකරන්න." - (උපුටාගැනීම -Theleader.lk)

අද දරුවන් අගතියට පත්වන අවස්ථා පිළිබඳව ජාතික ළමාරක්ෂන අධිකාරිය නැමැති හිස් ආයතනය දන්නේ මොනවාද? මේ වනවිට ජනගහනයෙන් හරි අඩකටත් වඩා දරුවන්ට කුස පිරෙන්නට ආහාර නොමැති බව ඔවුන් දැන සිටිනවාද? එය සමාජයක් විදිහට අප වගකිවයුතු බරපතලම වරදක් නොවන්නේද? රනිල් වික්‍රමසිංහගේ පශ්චාත්භාගයේ බලෙන් මෙන් එල්ලෙන්නට උත්සාහ දරණ චින්තන ධර්මදාස වැනි මෙම වගකීම පිළිබඳ අල්පමාත්‍රයක හෘද සාක්ෂියක් නොමැති ඇඩ්වටයිසින්කාරයින් දරුවන් පිළිබඳව ඔවුන් මේ මොහොතේ විඳවන ජීවිතය පිළිබඳව දන්නේ කුමක්ද?

ජාතික ළමාරක්ෂක අධිකාරිය හරිනම් පෙනී සිටිය යුත්තේ දරුවන් අතේ දරා නිරායුධව ඒකරාශීව සිටින ජනසමූහයක් මැද්දට පැන තම වෛරී දේශපාලන ගැතිභාවය ප්‍රකාශ කරන පොලිසිය ප්‍රම්‍රඛ ආරක්ෂක අංශයන් පිළිබඳ බරපතල ලෙස තීරණයක් ගැනීම නොවේද? ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ගයන් ගැනීම නොවේද?

දරුවනි. මෙයයි නුඹලාගේ වැඩිහිටියන් වසර පහෙන් පහට ඡන්දය පාවිච්චි කරමින් තනාදුන් රට. මෙයයි නුඹලාගේ වාමාංශික වැඩිහිටියන් නිර්මාණය කළ ක්‍රමය.

@සමාරා පරණවිතාන

නවතම ලිපි