වෛද්‍ය හසංජන ගුණවර්ධන විසින් ශල්‍ය කර්මයකට භාජනය කරනු ලැබූ හර්ෂණී ධර්මවික්‍රම නැමති තරුණියක් ශල්‍ය කර්මය වැරදීම නිසා අභාග්‍ය සම්පන්න ලෙස මිය ගොස් ඇත.
ඔහු අතින් මෙවැනි දෑ දිගින් දිගටම සිදුවී ඇති බවත් මොහුගේ ශල්‍ය කර්ම වලට ලක්වී මෙවන් විපත්වලට ගොදුරු වූ අයගේ ඥාතීන් විසින් සමාජ මාධ්‍යයන්හී තබා තිබූ සටහන් වලින් දක්නට ලැබුණි.
එපමණක් නොව රෝගීන් විවිධ පරීක්ෂණ වලට ලක් කොට සැත්කමක් කරවීමට පොළඹවන අතර එම සැත්කම් සඳහා ඔහු සේවය සපයන පුද්ගලික රෝහල් වලින් ඔහුව හමුවන ලෙසත් අනියමින් බලපෑම් කොට ඇති බව දක්නට ලැබුණි.
මේ කරුණු කාරණා නිසා අදාල වෛද්‍යවරයා දාම මිනීමරුවෙක් යැයි සමාජ මාධ්‍ය හරහා විවිධ අය මත පල කොට තිබිණි. දාම මිනීමරු කතාව කෙසේ වෙතත් අපට එක් දෙයක් දැක ගත හැක එනම් තම වෘත්තීය වැටුප ප්‍රමාණවත් නොවන නිසා පුද්ගලික ආයතනයක සේවය සැපයීමට මෙම වෛද්‍යවරයා යොමු වී ඇති බවය. එමෙන්ම එම පුද්ගලික සේවා සැපයීම හරහා යහමින් මුදල් ඉපයීම අරමුණු කරගෙන රෝගීන්ට විවිධ බලපෑම් කරමින් ඔවුන් තම පුද්ගලික රෝහල වෙත ගෙන ඒමටත් අදාල සැත්කම් එම රෝහලේ සිදුකිරීමට රෝගීන් පොළඹවීමටත් මෙම වෛද්‍යවරයා යොමු වී ඇත.
කාටත් අත නොපා තම සිහින කරා යා හැකි මිනිසා නිර්මාණය කිරීමේ අධ්‍යාපන පද්ධතිය තුල අග්‍ර ඵලය නම් වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වීමත්, වෛද්‍ය උපාධිය ලබා ගැනීමත් ය. ලංකාවේ බැරි නම් විදේශයක යවා හෝ තම දරුවන් වෛද්‍යවරුන් බවට පත් බහුතරයක් කිරීම දෙමාපියන් ගේ උවමනාවයි. ඉඩ කඩම් විකුණා හෝ දරුවා වෛද්‍යවරයෙකු කරවන්නේ "පත්වීම ගත්තට පස්සේ ඉඩම් ගන්න එක කරන්න බැරියෑ පවසමිනි ".
99%ක් මධ්‍යම පාංතික දෙමාපියන් තම දරුවන් වෛද්‍යවරුන් කිරීමට වෙහෙසෙන්නේ ඔවුන් විසින් ලෙඩුන් සුව කරනු දැකීමට වඩා ඔවුන් විසින් මුදල් උපයනු දැකීමටය. වෛද්‍ය උපාධිය ලබා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ වෙනුවෙන් වසර ගණනක් කැප කිරීමට අවශ්‍ය වේ. වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමට ඇත්තේ ලේසි පහසු තරඟයක් නොවේ , වෛද්‍ය විද්‍යාලයට ඇතුලුවීමට උසස්පෙල විභාගය විශිෂ්ට ලෙස සමත්විය යුතු අතර වෛද්‍ය උපාධිය සඳහාද නිදි වරාගෙන අධ්‍යයන කටයුතු වල නියැලිය යුතුය. ලියුම් කරුට හමුවී ඇති මෙසා විසාල කැප කිරීමක් කරන වෛද්‍ය සිසුන් සියල්ලම පහේ ඒ කැප කිරීම කරනුයේ උපාධියෙන් පසු තමන්ට ලඟා කරගත හැකි ආර්ථික සමුර්ධිය අරමුණු කරගෙනය, ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමටය.
ලියුම්කරු දන්නා, ඉහල වැටුප් ලබන රැකියාවල නියුතු දෙමාපියන් සිටින වෛද්‍ය සිසුවන් බොහෝ දෙනෙක් වෛද්‍ය උපාධිය හදාරණ අතර විවිධ ක්‍රම වලින් මුදල් ඉපයීමට යොමුවී ඇත. උපකාරක පංති පැවැත්වීම, online ව්‍යාපාරවල නිරත වීම , විශ්ව විද්‍යාලය තුල මුදල් උපයන ව්‍යාපාර සකසා ගැනීම මොවුන් සිදු කරයි. වඩා වැදගත් කාරණාව නම් මොවුන් මෙලෙස මුදල් ඉපයීම් කරන්නේ තම දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය මුදල් දෙමාපියන්ගෙන් නොමසුරුව ලැබෙන තත්වයක් තුලය. අප අධ්‍යාපනය බලාපොරොත්තු වන සාර්ථකත්වය කරා යන ව්‍යවසායකයා ඔවුන් තුල හොඳින් ගොඩ නැංවී ඇත. උපාධියෙන් පසු ඔවුන් විවිද ධන උල්පත් කරා යොමුවේ. ඖෂධ සමාගම් සමග කෙරෙන සම්භදතාවල සිට වාහන ව්‍යාපාර, හෝටල්, දේපල වෙළඳාම්, පුද්ගලික රෝහල් යන ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර කරා ඔවුන් යොමුවේ.
එපමණක් නොව අනීතික ජාවාරම් කාර ව්‍යාපාර කරන වෛද්‍යවරුන් ද ඇත. නිධන් හෑරීම, මිනිස් අවයව වෙළඳාම , මත්ද්‍රව්‍ය වැනි කලාපවලද වෛද්‍යවරුන් නිරත වේ.
ධනවාදයට අවශ්‍ය , ධනවාදය විසින් ගොඩ නගන විපරීත මිනිසුන්ගෙන් වෛද්‍යවරුන් නිර්මාණය වීම සමකාලීන යුගයේ සමාජය මුහුණ දෙන අර්භුදයන්ගෙන් එකකි. ලොව දෙවනියට නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ආ ආර්ථිකය වූ ශ්‍රී ලංකාවේ J.R ජයවර්ධන විසින් මුලින්ම හඳුන්වා දුන් රාජ්‍ය ප්‍රතිපත්තියක් වූයේ වෛද්‍යවරුන්ට පුද්ගලික සේවයේ නිරතවීමට තිබූ නීතිමය බාදා ඉවත් කිරීමය. කෙළවරක් නැති පාරිභෝජන ආශාවල් හඹායාමට අවශ්‍ය ධනය එකරැස් කිරීමට මාවතක් නිදහස් අධ්‍යාපනය හරහා මිනිසුන්ට ලබාදීමට ජයවර්ධන ජනාධිපතිතුමා මාර්ගයක් ලබාදී ඇත. විපරීත මිනිසුන් ඒ මාර්ගයේ ගමන් කරන අතට රෝගීන් සුවපත් කිරීමේ සැබෑ අරමුණු සහිත බොහෝ දෙනා මෙමෙ තරඟය තුල හැලීයයි.
එසේ හැලීයන උන් අතරින් කළාතුරකින් එකෙක් දෙන්නෙක් වෛද්‍යවරුන් බවට පත්වෙයි.වෛද්‍ය හසංජන ගුණවර්ධන වැනි දාම මිනීමරුවන් ( serial killers ) යැයි ලේබල් වන වෛද්‍යවරුන් බිහිවන්නේ මේ සමාජය විසින්ම ඉල්ලා සිටින ධනේශ්වරය ආර්ථික අගතීන් තුල බව සමාජයක් ලෙස අප වටහා ගන්නා තාක්. අපට මෙවන් පුවත් වලින් අඩුවක් නොවනු ඇත.
@පු.කේ.මායාදුන්න