වසර හැත්තෑ හයක් තිස්සේ අහේතුකව, සහමුලින්ම නිර්දෝෂීව, යදමින් බැඳ දමා සිටි ලොව වයෝවෘද්ධම හස්තියකු අද අළුයම් කාලයේ දී,
වණ කැළැල් පිරීගත් සිය දුබල පසුපස පාද යුගලය බිම ඔබා ඉන් සුළු මොහොතකට පසු අවසන් හුස්ම පොද පිට කළා. අප දන්නා කාලයේ පටන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ හරිත පැහැ ආලේපිත, දැවැන්ත ලෝහ අට්ටාලය ඉදිරියෙන් රඳවා තිබූ "බන්දුල - 1949" යනුවෙන් සඳහන් කුඩා දැව පුවරුව අදින් පසු ගලවා දැමෙන්නට නියමිතයි. ජීවතුන් අතර සිටින අති ස්වල්පයක් වූ මිනිසුන් කිහිප දෙනෙකු හැරෙන්නට, මෙරට මිලියන සංඛ්‍යාත ජන සන්නිපාතයක නෙත් සිත් සැනසූ ප්‍රතාපවත් හස්තියා යළි කිසිදාක හමු නොවන බව දැනගැනීමේ වේදනාව අති විශාලයි.
මීට දශක කිහිපයකට කලින් සෑම සති අන්තයකම එහි ආ ගිය කුඩා දරුවෙකු සිය දෙනෙත් ඉදිරිපිට සිටගත් පෙති ගෝමරයෙන් හැඩවූ බන්දුල කෙරෙහි පෑ විශ්මය පිරි ආදරය, ඔහු වියපත් මිනිසෙකු ව තම දියණිය සමඟ වයෝවෘධ මිතුරා ගේ සුවදුක් විමසන්නට පැමිණි කාලය තෙක්ම නොනැසී පැවතුණා. දීර්ඝ කාලයක පටන් අලි පොකුණ සමීපයේ අබලන් අට්ටාලයක බැඳ දමා සිටි බන්දුල, හුදෙකලාව විසින් ඇති කළ කම්පනයෙන් අත් විඳි පීඩාව දිනපතා එහි ආ ගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සංවේදී නොවූ බවට සැකයක් නැහැ.
අගනා ප්‍රදර්ශන භාණ්ඩ කල් ඉකුත් වූ පසු ගබඩා කාමර වල දුහුවිලි සහ මකුළු දැල් අතරට අත් හැර දැමෙන බව ලෝක සත්‍යයක් වුවත්, ආදරය, සමාජ සම්බන්ධතා ආදී සංවේදනා පිරී ගත් යෝධ හදවතක් දිරාගිය තහඩු මඩුවක මළ මුත්‍රා අතර තනි කර දැමීමේ අකාරුණිකත්වය මඟින් යුක්ති සහගත සමාජයකට තම හෘද සාක්ෂියෙන් නැඟෙන හඬට කන්දීමේ අත්‍යවශ්‍ය වුවමනාව ඉතිරි කරනවා.
වරෙක ප්‍රධාන අලි අංගනයේ විලංගු රහිතව නමුත්, වෙළුම් පටි යෙදූ වණ වී ගිය දෙපා අද්දමින් දිවි ගෙවූ බන්දුල, ඉන් අනතුරුව යළිත් "නිදහස් අලි අරණ" ලෙස නාම ගැන්වූ අබලන් සිරගෙය තුළ යදමින් බැඳ දැමුණා. වියපත් බව විසින් හෝ පහව නොගිය දැඩි ලිංගිකාශාවෙන් පීඩා විඳිමින්, පාද තුනකට යොදන ලද යකඩ දම්වැල් සොලවා වේදනාවෙන් හඬා වැළපෙන හස්තියා අසල අප බොහෝ වේලාවන් ගත කර තිබෙනවා. ඒ සා විසල් මෘග ආවේගයක් බලහත්කාරයෙන් බිඳ දමා බෙලහීන කරවීමේ මානව උත්සාහය කෙතරම් නිහීනද යන වග අප අත්දුටුවේ ඒ වේදනාබර අවස්ථා අතරිනුයි. පුරා දශක හතක් ඊට එරෙහි සටන හුදෙකලාවම ගෙන ගිය බන්දුල අවසානයේ දී බිම වැතිර ගන්නට ඇති.
සමීපතමයෙකු නික්ම යාමේ ශෝකය සිත පුරා දැවටෙන මද්දහනක, වෙහෙසකර හදවතක් යළි යළිත් පාරමින්...
@Hiran De Seram