SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආන්දෝලනය!

'නෙළුම් කුලුන' ඉදිකිරිම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙක චීන සමාගම් වූ අතර මෙය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව ණය මුදලක් ලබාදීමට කටයුතු කර තිබිණි.

චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් (BRI - Belt and Road Initiative) නම් වැඩපිළිවෙල යටතේ ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබිණි.

ඡායාරූප මූලාශ්‍රය,LAKRUWAN WANNIARACHCHI

චීනයේ එක්සිම් බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ද ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය වී තිබිණි.

එම සැලසුමට අනුව තීරණය කෙරුණේ නෙළුම් කුලුන මඟින් ලබාගන්නා ආදායමෙන් වසර 40කින් එම ණය මුදල ගෙවීමය. දින 912කින් එනම් 2015 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණින් වැඩ ආරම්භ කළත් ඊට වසර 7ක් ගත විය.

දකුණු ආසියාවේ උසම කුලුන වූ මෙම කුලුනේ ඉදිකිරිම් හා එහි මෙහෙයුම් සඳහා චීනය සම්බන්ධ වීමත් සමඟ ඉන්දියාව මෙම කුලුන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබිණි. විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍යවල මෙම කුලුන දකුණු ආසියාවේ ආවේක්ෂණ කටයුතු සඳහා භාවිත කිරීමට චීනය සුදානම් වන බවට ද වාර්තා පළකර තිබිණි.

එහෙත් එම චෝදනා ඉදිකිරීම් සමාගම් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබූ අතර එවැනි කිසිදු උපකරණ එහි නොමැති බව ඔවුහු අවධාරණය කළහ.

මෙහි හිමිකාරීත්වය ඇත්තේ චීනයට නොව ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමට බව ද චීන සමාගම එම චෝදනාවට ලබාදුන් පිළිතුරුවල සඳහන් වේ.

මේ අතර 2019 සැප්තැම්බර් 16 වැනිදා කොළඹ නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවකු වූ චීනයේ 'ඒලිට්' නැමැති සමාගමක් ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් දුන් රුපියල් බිලියන දෙකක (ඒ කාලයේ හැටියට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක) අත්තිකාරම් මුදල රැගෙන අතුරුදහන් වූ බවයි.

මේ චෝදනාව රොයිටර් පුවත් සේවය ඇතුළු විදේශීය ප්‍රවෘත්ති සේවා මඟින් සැනෙකින් මුළු ලෝකය පුරාම ප්‍රචාරය කිරීම හේතුවෙන් එය ආසියානු රටවල් ගණනාවක මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට ද පත් විය.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ 2019 අප්‍රෙල් මාසයේදී මෙම කුලුන සම්බන්ධයෙන් පළවූ පිටු 670 ක විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවේ ද රුපියල් බිලියන දෙකක් රැගෙන අතුරුදන් වූ චීන කොන්ත්‍රාත්කරුවකු පිළිබඳ කිසිදු සඳහනක් නැති බවයි.

 

නෙළුම් කුළුන 2 

ණය ගෙවන්නේ කොහොමද?

2019 වසරේදී විවෘත කළ නෙළුම් කුලුන මේ දක්වා මහජනතාව සඳහා විවෘත නොවීම හේතුවෙන් මෙය චීන ණය උගුලට හසුවූ තවත් සුදු අලියෙකු බවට විපක්ෂයෙන් චෝදනා එල්ල විය. ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මෙය 'ණය කුලුන' ලෙසද හඳුන්වා දී තිබුණි.

 

නෙලුම් කුලුන ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 113කි. එය ශ්‍රී ලංකා රුපියල් වලින් මිලියන 40,680කි.

චීන එක්සිම් බැංකුවෙන් ලබා දී ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 67.25කි. ණය සඳහා ගෙවිය යුතු පොලී ප්‍රතිශතය ආසන්න වශයෙන් 7.75%කි.

2023 වසරේදී මෙහි අපේක්ෂිත ආදයම රුපියල් මිලියන 680කි. 2024 දී රුපියල් මිලියන 1000ක ආදායමක් මින් අපේක්ෂිතය. 2024 වසරේ සිට රුපියල් මිලියන 200ක මෙහෙයුම් ලාභයක් ලැබීමට අපේක්ෂා කරන බවට කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසීය.

 

ඒ අනුව ගණන් බැලු විට එහි මුලික පිරිවැය පියවාගැනීමට වසර 203ක් පමණ කාලයක් ගතවනු ඇති බවට ආර්ථික විශේෂඥයින් පවසයි.

 

කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසුවේ අදාළ ණය මුදල පියවීම ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිසන් සභාව මඟින් සිදුකරනු ඇති බවත් තම සමගම එහි මෙහෙයිම් පමණක් භාරව කටයුතු කරන බවයි.

උද්ධමනය අධික ලෙස ඉහළගොස් ඇති අවස්ථාවක මෙන්ම රට ආර්ථික අර්බුදයකට මුහුණුදී ඇති මේ අවස්ථාවේදී නෙළුම් කුලුන මහජනතාවට විවෘත කිරීම තුළින් මේසා විශාල අදායමක් උපයා ගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි.

ඒ අනුව ව්‍යාපෘතිය සඳහා වැය වූ වියදම පියවා ගැනීම සඳහා තවත් කොපමණ වසර ගණනාවක් ගතවේද යන්න ද ප්‍රශ්නාර්ථයක් බව විචාරකයෝ පෙන්වා දෙති.

 

@BBC ඇසුරිනි

නවතම ලිපි