අත්අඩංගුවට ගැනීම් ගැන, රනිල්ගෙන් කොටුව මහේස්ත්‍රාත්ට බලපෑම්? රනිල්ගේ කුයියෙක් කී කතාව!
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතවතුන් දමිතා අබේරත්න සහ ජෝසප් ස්ටාලින්ට රඳවා තබාගැනීම පිළිබඳ බලපෑම් කළායැයි සැක සිතෙන ප්‍රකාශයක් සැප්තැම්බර් 12 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහගේ හිතවතෙකු ප්‍රසිද්ධියේ කියා තිබෙනවා.
මේ දෙදෙනාට ඇප ලබා දීම සඳහා බලය තිබුණේත්, ඇප ලබාදීම සිදු කළේත් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට. ඒ අනුව උක්ත ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් වක්‍රාකාරව පෙන්වන්නට උත්සාහ කර තිබෙන්නේ කොටුව මහේස්ත්‍රාත් රනිල් වික්‍රමසිංහගේ සාක්කුවේ සිටින බව. අත්අඩංගුවට ගැනීම් සහ ඇප ලබා දීම් රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට සිද්ධ වෙන බව.
රනිල් ළඟ ඉන්න කුයියෙකු කළ මෙම කතාවෙන් වඩාත්ම අසාධාරණයක් වී තිබෙන්නේ කොටුව මහේස්ත්‍රාත්වරයාට.
මෙම කතාව කර ඇති රනිල් වික්‍රමසිංහගේ වන්දිභට්ටයා හෙවත් කුයියා වෙන කවුරුත් නොවෙයි, ජනාධිපතිවරයාගේ වෘත්තිය සමිති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය.
ඔහු කියා තිබුණේ මෙසේයි. ‘එකතු වෙන්නෙ නැති තැන තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. සැකයි. කකුල් මාට්ටු දානවා. එතකොට ආණ්ඩුව සැකෙන් බලන්නේ. එතකොට ගැටලු ඇති වෙනවා. ඉතින්, එතකොට පොලීසිය පොලීසියේ ක්‍රියාකාරීත්වය කරගෙන යනවා. එතකොට ආරක්ෂක අංශ තමන්ගේ ක්‍රියාකාරීත්වය කරගෙන යනවා.
මම කණගාටු වෙනවා දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීම පිළිබඳව. ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගත්ත වෙලාවේ අපි මැදිහත් වුණා. මැදිහත් වෙලා පුළුවන් තරම් ඉක්මනට එළියට දැම්මා. ළහිරු වීරසේකර අත්අඩංගුවට ගත්තා. අපි මැදිහත් වෙලා ඉක්මනින් ඒක අවසන් කළා. අපි ආණ්ඩුවට යෝජනා කළේ දමිතා අබේරත්නටත් ඉක්මනින් ඇප දෙන්න කියන යෝජනාව අපි කළා. ඒ කාරණා එහෙම බේරගන්න වෙනවා. එහෙම නැතිව ජිනීවාවලට ගිහිල්ලා, ජිනීවා තොණ්ඩුව ලංකාවට දැම්මාම…‘
ඔහුගේ කතාවේ ඉතාම පැහැදිලිව උලුප්පා පෙන්වන්න උත්සාහ කරන්නේ ආණ්ඩුවට ‘කකුල් මාට්ටු‘ දාන විට ආණ්ඩුවට සැකයක් ඇති වෙන බවත්, ඒ අනුව පොලීසියේ ක්‍රියාකාරීත්වය ඇති වන බවත්. ඒ අනුව අත්අඩංගුවට ගැනීම් සිදුවෙන බව ඔහුගේ ප්‍රකාශයෙන් කියැවෙනවා.
ඊට අමතරව ඇප ලබාදීමේ හැකියාව තිබෙන්නේත් ආණ්ඩුවට බව ඔහු උලුප්පා පෙන්වන අතර, ඒ සඳහා තමන් කළායැයි කියන බලපෑම් ගැනත් ප්‍රසිද්ධියේ කියනවා.
අවසානයේ ඔහු යෝජනා කරන්නේ ‘ජිනීවා නොගොස් ආණ්ඩුව සමග කතා කරලා ‘බේරගන්න‘ කියායි.
මෙහිදී අරගලය නියෝජනය කරමින් නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පිරිස් ජිනීවා යෑම ගැන රනිල් වික්‍රමසිංහලාට ඇතිව තිබෙන වේදනාවත්, ඔහුගේ කතාව තුළින් මතුව පෙනෙනවා.
කෙසේ වෙතත් වඩාත්ම බලපෑම් සහගත කාරණාව වන්නේ ‘ඇප ලබාදීම සඳහා‘ කළායැයි කියන බලපෑම් ගැනත්, අත්අඩංගුවට ගැනීම් ආණ්ඩුවට ‘කකුල් මාට්ටු‘ දමන නිසා සිදුවන දේවල් බව ප්‍රසිද්ධියේ පිළිගැනීමත්.
ඔහු ‘ඇප ලබා දීම‘ මහා උදව්වක් වගේ පෙන්නුවාට, ඇත්තම කාරණය ඇප දෙන්න ඔය කිසිවෙක් ඇතුළට යා යුතු නොවීම. සාමකාමී විරෝධතා පැවැත්වීම අයිතියක්. මේ අය කළායැයි විවිධාකාර වැරදි ඉස්මතු කරමින්, දැවැන්ත චෝදනා මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියට ගියාම බන්ධනාගාරගත කරන්නට නියෝග දෙන්නේ මහේස්ත්‍රාත්වරුන්. මේ මහේස්ත්‍රාත්වරුන් එහිදී සලකා බලන්නේ තමන් වෙතට පොලීසිය ඉදිරිපත් කරන චෝදනා. ඇප ලබාදීමේදීත්, ඒ චෝදනා ගැන සහ ඒවා පිළිබඳ දෙපැත්තේ නීතිඥවරුන් ඉදිරිපත් කරන කරුණු සලකා බලනවා. ඒ අනුව ඇප ලබා දෙන්න මැදිහත්වීමක් කරනවා නම් එක්කෝ නීතිඥවරයෙක් විදියට අධිකරණයේ ඉදිරිපත් වෙන්න ඕනෑ. නැත්නම් නීතිවිරෝධී ලෙස මහේස්ත්‍රාත්ට බලපෑම් කරන්න ඕනෑ.
ලොවපුරා වෘත්තිය සමිති සහ වාමාංශික කණ්ඩායම් අතර තිබෙන සංකල්පයක් තමයි වෘත්තිය සමිති සහ අනෙකුත් පීඩිත පිරිස් මර්දනය කරන්න ‘මර්දන අවියක්‘ විදියට නීතිරීති, පොලිස් හ හමුදා කොටස් යෙදවීම. සැබෑ ලෙස රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවට, පාලකයන්ට ජනතාවගෙන් බලය රැකගන්න අවියක් විදියට ඒ අංශ යොදාගැනීම.
සමන් කරන්නේ ‘ඔව්, මේවා මර්දන අවි තමයි. ඒ නිසා පාලකයා එක්ක ෂේප් එකේ හිටපල්ලා‘ කියන එක නොකියා කියන එක.
අනෙක් පැත්තෙන් ඔහු කඩේ යන්නේ ‘ලිබරල්‘ රනිල් වික්‍රමසිංහට. නූතන ලිබරල් මානව හිමිකම් සංකල්ප අනුව ‘අධිකරණමය හිංසාවන්‘ කියන්නේ නීතිය, පොලීසිය පාවිච්චි කරමින් විරෝධතාකරුවන් මර්දනය කිරීම ගැන. සමන් මේ කියන්නේ ‘ඔව්, අධිකරණමය හිංසාවන් කරනවා තමයි.‘ කියන එක.
මේ කරන්නට උත්සාහ කරන්නේ, දේශීය හෝ ජාත්‍යන්තර නීතියකට ගරු කරන්නේ නැති, පාලකයන්ගේ පදයට නටන රටක් හදන්න උත්සාහ ගන්න එක. ඉස්සර මහින්ද රාජපක්ෂට කඩේ ගිය උදවිය කළ දේ, අද සමන් රත්නප්‍රිය වැනි ඉස්සර ‘ප්‍රගතිශීලී‘ වෙස්මූණු දාගෙන හිටපු අය අද නිර්ලජ්ජිත විදියට කරනවා.