SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිළුමිණ (2022.07.24) පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි.

නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මේ වනවිට පත් වී හමාරයි. රටේ වත්මන් අර්බුද ජයග්‍රහණය කිරීමට ඔහුට තිබෙන සක්‍යතාව කෙබඳුද?

මේ රටේ පවතින ආර්ථික අර්බුදය නිසා දේශපාලන අර්බුදයක් ඇතිවුණා. නමුත් දේශපාලන අර්බුදය දැනටම ස්වාධීන ක්‍රියාදාමයක යමින් පවතින්නේ. පාර්ලිමේන්තුවෙන් පිටත බල අරගලයක් තියෙනවා සහ ඇතුළෙ බල අරගලයන් තියෙනවා. පළවෙනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපති හැටියට තේරී පත්වීම සම්බන්ධයෙන් අපි රටක් විදිහට සුබ පතනවා. ජනාධිපතිවරයාගේ කාර්ය කටයුතු කරන්න පුළුවන් වෙන්න කියලා අපි සුබ පතනවා. නමුත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්න පුළුවන් වුණාට, සමාජයේ ඔහුට අවශ්‍ය කරන සුජාතභාවය පිළිගැනීම බින්දුවයි. ඒවගේම ඔහුට මේ ආර්ථික අර්බුදය ජයගැනීම පිළිබඳව තියෙන අවස්ථා අවමයි. ඒ අනුව තව මාසයක් හමාරක් ඇතුළත බිහිවෙන්න නියමිත අලුත් ආණ්ඩුව පිළිබඳව බලාපොරොත්තු කඩවීම හා අරගල භුමියේ ප්‍රකාශකයන් කියන කතා නොවෙයි. නිර්පාක්ෂිකව මේ අරගලය ජීවමාන කරපු සාමාන්‍ය ජනතාවගේ නැවත නැවතත් නැඟීසිටීම වළක්වන්න නම් බැරි බව තමයි අපේ ස්ථාවරය වෙන්නේ.

මේ මොහොත සමඟි ජනබලවේගය යම් පසුබෑමකට ලක්වෙලා තියෙනවා නේද?

අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිටගෙන කතා කිරීමේදී සජබෙට තමයි මෙවැනි අර්බුදයකට රට ගමන් ගත්විට; ආණ්ඩුව දේශපාලනික වශයෙන් පරාජය කිරීමේ වගකීම තියෙන්නෙත්. ඒ වගේම ඊළඟ ආණ්ඩුව ගොඩනැඟීමේ වගකීම තියෙන්නෙත් සමඟි ජනබලවේගයටයි. නමුත් අපි කවුරුත් බලාපොරොත්තු නොවුණ ආකාරයට මේ රටේ මහජන අරගලයකින් ආණ්ඩුව පලවා හැරීම සිදු කළා.

අලුත් ආණ්ඩුව ගොඩනැඟීම කියන කාරණයේදී ඒ සම්බන්ධයෙන් වූ විශ්වාසය මහජනයා තුළවත්, පාර්ලිමේන්තුව තුළවත් ගොඩනගාගන්න සජබේට මේ වනතෙක් හැකියාව ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩ කිරීම තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වගකීම වෙන්නේ.

ඔබ නියෝජනය කළ සජබ ප්‍රමුඛ කණ්ඩායම පරාජයට පත්වීම හා ජවිපෙ අත්පත් කරගත් ප්‍රතිඵල පිළිබඳ ඔබේ දේශපාලන කියැවීම කෙබඳුද?

පාර්ලිමේන්තුවේ ආසන 149 ක්‌ පොදුජන පෙරමුණට තිබුණි. ඒකෙන් විවිධ කණ්ඩායම් බිඳිලා ගියත් රනිල් වික්‍රමසිංහගේ ඉදිරිපත් වීම පෙන්වන්නේ පළමුව මොකක්ද? කිව්වොත් පළමුවම පෙන්වන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල තමන්ගේ පක්ෂයේ අනුප්‍රාප්තිජයෙකුට ඉඩදෙනවාට වඩා තමන්ට විරුද්ධ දේශපාලනය කරපු කෙනකුට ඉඩදෙන්න තිබූ කැමැත්තයි. එය තමයි පළමුවෙන්ම පෙන්වන්නේ. මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහට පහර දීලා බලය තහවුරු කරගත්තා. එයින් අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහ ඡන්දය දීමෙන් ප්‍රකාශ කළේ වෙන මොකුත් නෙවෙයි; රාජපක්ෂ පවුලෙන් පිටත කිසි කෙනෙකූට අනුප්‍රාප්තිකයෙක් වෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළෙ ඉඩ නොදෙන බවයි. සමඟි ජන බලවේගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54යි හිටියේ. දෙමළ, මුස්ලිම් ඇතුළු ඒ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළාම 40 යි හිටියේ. රනිල් වික්‍රමසිංහට ඒ 40දෙනා අතරින් කීදෙනෙක් දුන්නද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඇත්තටම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ඡන්දය දෙනවයි කියලා පොරොන්දු වුණ සමගි ජන බලවේගය, ඇතුළු පක්‍ෂ 10ට ස්වාධීන පිරිස් එකතු වුණාම ආසන 151 ක්‌ තිබුණා; සහය දෙනවා කියපු 31 දෙනාත් ඇතුළත්ව. එතකොට 151 ක්‌ 82 වෙන්නේ සැලකිය යුතු පිරිසක් වෙනත් ආකාරයකට රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා තියෙන නිසා. ඒ අනුව ඒ ප්‍රශ්නයේ පැති කිහිපයක් තියෙනවා. පළමු වැනි කරුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතරේ තමන්ගේ ජිවිත ආරක්ෂාව වගේම තමන්ට සමාජයේ ඉදිරියට යාමට නොහැකි වන විදිහට ඇති වී ඇති කරගෙන තියෙන සමාජ මතවාදය හා අරගල භුමියේ ඇතැම් අයගේ ප්‍රචණ්ඩ හැසිරීම කියන කාරණාව නිසා ඒ අයට ආරක්ෂාවක්‌ ඕන වුණා. දෙවනුව ඔවුන් බහුතරයකට අවශ්‍ය වුණේ නැහැ; පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න.ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරිම පිළිබඳව සමගි ජන බලවේගය ගෙනාපු අදහසට ඔවුන් බිය වුණා. තුන්වෙනි කරුණ මේ දැන් කරන්න තියෙන කාර්යයන් ඉදිරියේදී කිරීමට ඇති කටයුතු සම්බන්ධයෙන් ඔවුන් බියවුණා.

විශේෂයෙන් අරගලයට මුහුණදීම වගේ දේශපාලන කාරණා. IMF ගොසින් සාකච්ඡා කිරීම වගේ ආර්ථික කාරණා අරභයා වඩා පළපුරුදු නායකයා රනිල් යයි කියනෙක ගැන යම් අදහසක් තිබුණා. ඒ නිසා එයත් ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් මම හිතනවා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඔය තීරණය ගත්ත නම් මාස හයකට කලින් රාජපක්ෂලා පරාජය කිරීමට ඔහුට පාර්ලිමේන්තුව තුළත් පිටතත් ඇතිවෙන මතවාදයත් එක්ක මීට වඩා තත්ත්වයක් උදාවෙන්න තිබුණා.

කෙසේ වෙතත් ප්‍රබල විපක්ෂයක් නිර්මාණය නොවීමේ ගැටලුවක් ඉදිරියේදි මතුවිය හැකියි නේද?

පැහැදිලියි ඔව්. විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුව පරාජය කිරීමත්; ඊළඟ ආණ්ඩුව බවට පත්වීමත් බව තේරුම් ගන්න අවශ්‍යයි. ඒ දෙකම කරන්න නම් ජනතා ප්‍රසාදය පැත්තෙන් අසමත්භාවය තමන් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. පුරසාරම් කියනවාට වඩා කළ යුත්තේ එය තේරුම් ගැනීමයි.

මේවන විට පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය වෙන්නේ නැහැ කියලා ඇතැමුන්ගේ අදහස වෙලා තියෙනවා?

පැහැදිලිවම පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය වෙන්නෙ නැහැ. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුව 2020 පත්වුණ ජනමතය නෙවෙයි. දැන් රටේ ජනතාවගෙන් සියයට 97 ක්‌ම පොදු පෙරමුණට විරුද්ධයි. ආසන්න දිනයක පවත්වපු ජනමතය අනුව රාජපක්ෂ පවුලත් ඒ කණ්ඩායම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙත් 2020 ජනමතය අනුව රාජපක්ෂ ආණ්ඩුවට තවම පාර්ලිමේන්තුවේ 134 ක්‌ තියෙනවා. එයයි ඇත්ත. නමුත් පැහැදිලිවම ඒක රටේ ජනමතය නෙවෙයි. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට රටේ ජනමතයේ සුජාත භාවයක් නැහැ.

ඉදිරියේදී රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙයි කියලා ඔබ හිතනවාද?

දේශපාලන ප්‍රශ්නය දැන් ආර්ථිකයෙන් ජනනය වුණාට එය වෙනම ක්‍රියා කරන්නේ. ඒ නිසා ඒ දේශපාලන ක්‍රියාවලිය ස්ථාවර කරගැනීම අවශ්‍යයි. මම හිතන්නේ නැහැ ඉදිරි සති කිහිපය තුළ පමණක් පොඩි ස්ථාවරත්වයක් ඇති වෙයි කියලා. කුඩා සාමකාමී තත්ත්වයක් ඇතිවෙයි. නමුත් ප්‍රශ්න විසඳෙන්නේ නැති නිසා අනාගතයේ දී ඒ ප්‍රශ්න යළි මතුවීම වැළක්වීමට නොහැකියි.

ඒ වගේම අරගල භුමියේ ඉන්න බහුතරයක් දෙනා මතක තියාගන්න අවශ්‍යයි; මේ රටේ හිටපු අතිවිශාල සාමාන්‍ය ජනතාවක් මේ අරගලයට කොළඹට ආව බව. ඒ වගේම ශ්‍රීලංකා යුද හමුදාව අණ අනුව වෙඩි තිබ්බා නම් ඔය තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔවුන් එහෙම කළේ නැහැ. ශ්‍රී ලංකා පොලිසිය නායකයෝ කියන කියන විදිහට එහෙම නැටුවේ නැහැ. ඒ අය සාධාරණය ඉටු කළා. මුළු රාජ්‍ය ක්ෂේත්‍රයේම තිබුණ කලකිරීමක්. මේ ඔක්කොගෙම එකතුවක් විදිහට තමයි මේ අරගලයේ ජයග්‍රහණය කළේ.

නමුත් ඒකට දැන් අයිතිය අරගෙන පාර්ලිමේන්තුවෙන් පිටත බලය පිහිටුවන්න ඕන කියලා ඇතැම් දේශපාලනික පක්ෂ එළියේ ඉදගෙන කියනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන කියලා ඒ අය කියනවා. පරණ රුසියානු පන්නයේ විප්ලව යටි හිතේ තියාගෙන ඉන්න පිරිස් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න ඕනෑ කියලා ජනතාව කැඳවල විකාර කරලා වැඩක් නැහැ. රටේ සාමාන්‍ය ජනතාව ඊට සම්පුර්ණයෙන් වෙනස් තැනක ඉන්නෙ. ජනතාවට අවශ්‍ය මේ අදූරදර්ශි පාලනය පරාජය කිරීමයි.

එසේම විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර යම් සම්මුතියක අවශ්‍යතාව ඇතැමුන් මතු කරනවා. එවැනි සම්මුතික දේශපාලනයකට ඔබ සූදානම් ද?

අනිවාර්යෙන්ම. පැහැදිලිවම ඒක කරන්න තිබුණේ ජනාධිපතිවරණය පාර්ලිමේන්තුව තුළ පවත්වන්න කලින්. සම්මුතියකින් ජනාධිපති පත්කරගන්න තිබුණා. ඒ නිසයි අපි යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව. එසේම ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවේ සර්ව පාක්ෂික පක්‍ෂ වල නායකයින් විසින් ප්‍රතිපත්ති තීරණය කරන ජාතික සභාවක්. ඒකට පිටස්තර ආයතන සහ විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ ආයතන ශ්‍රීලංකා නීතිඥ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, Direction sri Lanka, ඒ වගේම ආගමික නායකත්වයේ ඉන්න මහජන සභාව වැනි ආයතනවල නියෝජනයක්‌ සහිතව මෙය කළ යුතුව තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී 224 ම අමාත්‍යාංශවලට අනුයුක්ත කරලා ස්ථාවර නියෝග හරහා අමාත්‍යාංශ කාරක සභාවල බලතල වැඩිකරලා මේදේවල් ශක්තිමත් කළ යුතුව තිබුණා. ඇමතිවරයා කාරක සභාවේ සභාපති ධූරයට සීමා කළ යුතුව තිබුණා.

ඉදිරියේදී බිඳවැටීමට නියමිත රාජ්‍ය ආයතන තවදුරටත් දේශපාලන හෙංචයියන් ලවා පාලනය කරන්න දෙන්න බැහැ. ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සිට දේශපාලනයෙන් තොර වෘත්තීය පිරිසක් අතට පත්කරන්න ඕන. මහා බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා ගැනත් ප්‍රශ්නයක් නැහැ.

මේ මූල්‍ය අර්බුදය රාජපක්ෂලා විතරක් හදපු එකක් නෙවෙයි. මෙයට වග කියන්න ඕන නිලධාරී පැලන්තියක්‌ ඉන්නවා. මේ රට ණය බරින් කඩාවැටෙනවා කියන දේ දේශපාලකන්ට නෙවෙයිනේ තේරෙන්නේ. ඔවුන්ට සම්පුර්ණයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. මේ ක්ෂේත්‍රවලට අවංක වෘත්තීයවේදීන් පිරිසක් අනිවාර්යෙන් පත්කළ යුතුයි. යම් සැලසුමකට අනුව රටට ඇත්ත කියලා ගමන් කළ යුතුයි. රටේ විශ්වාසය නැත්නම් මොන හොඳ පියවර ගත්තත් එයට විරුද්ධව කටයුතු කිරීම තමයි සිද්ධ වෙන්නේ.

ඇතැම් පිරිස් ජනතා සම්මුතිවාදී ආණ්ඩුවක් පාර්ලිමේන්තුවෙන් පිටත නිර්මාණය විය යුතු බවත්, පවතින සමස්ත ක්‍රියාවලිය ම වෙනස් විය යුතු බවටත් පවසමින් අරගලයක නිරත වෙනවා. ඒ සම්බන්ධ ඔබේ පක්ෂයේ ප්‍රතිචාරය කෙබඳු ද?

සම්මුතිවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමත් පද්ධතියේ වෙනසක් ඇති කිරීමටත් තමයි අපි මේ හැම යෝජනාවක් ම කළේ. මේ ඇතැම් ආර්ථික විචාරකයෝ කියන දේවල් නෙවෙයි; ආර්ථික දැනුම තියෙන, වැඩ කරලා පුරුදු අයයි මේ රටේ නව ක්‍රමවේදයක් ගොඩනැඟීමේ යෝජනා ගෙන ඒම කරන්න අවශ්‍ය වෙන්නේ.

ඉදිරියටත් ආර්ථික විචාරකයෝ සහ විශේෂඥයෝ පත් කළා කියලා මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. වැඩ කරලා පුරුදු අවංක ප්‍රයෝගික වෘත්තීයවේදීන් මේ තනතුරුවලට පත් කළ යුතුයි. එයයි සිස්ටම් චේන්ජ් එක කියන්නේ. එළියේ ඉඳගෙන පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න 225 ට බැණ බැණ ඉන්නෙ නැතුව ඒ අයට පුළුවන් ඡන්දෙ ඉල්ලලා බලයට ඇවිල්ලා රට වෙනුවෙන් කටයුතු කරන්න.

අපිට අරගල භුමියේ ඇතැමුන් ගැන ඇහෙන චෝදනාවලින් පේන්නේ මේ රටේ දේශපාලකයෝ අවුරුදු 60 ක්‌ තිස්සේ කරපු දේවල්. දේශපාලකයෝයි, අරගල භූමියේ නායකයෝ කියලා ඉන්න අයයි අතරේ කිසි වෙනසක් නැහැ. ඒ වගේම ජන අරගලය අපිය කියලා අරගල භූමියේ ඉන්න කීපදෙනෙක් ඒක අත්පත් කරගන්න දරන වෑයමයි අතර සහ රාජපක්ෂලාගෙයි කිසි වෙනසක් නැහැ.

ජනතාව මුහුණ දෙන ආහාර, ඉන්ධන, ගෑස්, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල මූලික ගැටලු විසඳා ගැනීමට නම් රටේ දේශපාලන ස්ථාවරත්වයක අවශ්‍යතාව ඔබ පිළිගන්නවාද?

මම මේ අර්බුදය ගැන කිව්වේ 2013 දීයි. ඒ අවස්ථාවේ අර්බුදය ගැන කියපු අපිට කිව්වේ අපි එල්ටිටීඊ හිතවාදීන් කියලා. අද ඔය සමහරු දෙමළ සන්ධානයත් එක්ක එකට ගිහින් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ඡන්දය පාවිච්චි කළා. හැබැයි එදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ පාවිච්චි කරනකොට අපිව රට බෙදන ද්‍රෝහියෝ කිව්වා ඒ අයම. MCC වැනි ප්‍රතිපත්තිමය යෝජනාවලට ව්‍යාජ විරෝධයක් මේ රටේ හැදුවා. ව්‍යාජ මුස්ලිම් විරෝධයක් රටේ හැදුවා. එහෙම තමයි ඒ ආණ්ඩුව බිඳ වැට්ටුවේ. අද පවතින තත්ත්වය වෙනවා කියලා මම කිව්වේ 2013 දී. අද ඒවා අකුරක් නෑර සත්‍ය වෙලා තියෙනවා.

ඔබට මේ අර්බුදයෙන් රට ගොඩගැනීමට යෝජනා තියෙනවාද?

එදා ඉඳන් දැන් තියෙන තත්ත්වය යටතේ මුහුණ දීමට කරුණු පහක් යෝජනා කළා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ විසි තුන්වෙනිදායි මම ඒ යෝජනා ඉදිරිපත් කළේ. එහි පළවෙනි කරුණ දේශපාලන ප්‍රතිසංස්කරණය, රටට අවශ්‍ය සර්වපාක්ෂික නියෝජනය, වෘත්තීය පාලනය, ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර බල තුලනය කිරීම. දෙවැනි කරුණ අපේ ණය ප්‍රතිවුහගත කිරීම.

ඒ වගේම අපේ රාජ්‍ය මුල්‍ය ආදයම් වියදම් සම්පුර්ණයෙන්ම සීමා කරලා අදායම වැඩි කරලා, වියදම කපා හැරලා මේ තත්ත්වය සමතුලිතත්වයකට ගෙන ඒමයි. ඒ වගේම අවම ප්‍රතිපත්ති මාලාවක් ඒ සඳහා තනා ගැනීම. මේ කියන කාරණා සමඟ සමාජීය වශයෙන් වැදගත් වෘත්තීය පිරිසකට ඒ අවම වැඩපිළිවෙළට සාපේක්ෂව රාජ්‍ය පාලනය ඒ අයට ලබාදිය යුතුයි. මේ අවම වැඩපිළිවෙළ ගැන යෝජනා කළාම ඒවායේ මොනවද තියෙන්නේ කියලා දැන් අපි කතා කරන්න ඕන. ඉතා පැහැදිලි ව IMF එක අපේ රටේ ප්‍රධානින් එක්ක කරපු සාකච්ඡාවලදි ඒගොල්ලෝන්ගේ මාර්ග සිතියම ලබාදීලා තියෙනවා. හැබැයි ඒ මාර්ග සිතියම අපි දන්නේ නැහැ. ඒක රටට කියලා ඒ ගැන රටේ අවධානය කැමැත්ත දිනාගන්න ඕන. රාජ්‍ය සේවයේ කළයුතු ප්‍රතිසංස්කරණ මොනවද කියලා සංවාදයන් අවශ්‍යයි.

විසඳුමක් ලෙස රාජ්‍ය සේවය පුද්ගලිකකරණයෙන් දැන් මේ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් නම් එය කරන්න අවශ්‍යයි. එයින් ප්‍රශ්න විසඳෙන ආකාරය ගැන සංවාදයක් තියන්න අවශ්‍යයි.කුමක්ද කෙරෙන්නේ කියන කරුණ ගැන සංවාදයක් තියෙන්න අවශ්‍යයි. රාජ්‍යයේ වියදම් පාලනයට මොකද කරන්නේ.

මේ ආණ්ඩුව පසුගිය කාලයේ රටට ගෙනාපු ඉතාම වැදගත් ව්‍යාපෘති 322 අවලංගු කළා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු දුම්රිය හා බස් ව්‍යාපෘති අවලංගු කළා. ඒ සහාසික අපරාධය කරලා තමයි අධිවේගී මාර්ගවලින් මුදල් ගහන්න හැදුවේ ආයෙත් වතාවක්‌. ඒවා දැන් තවදුරටත් කරන්න බැහැ.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනයට නිවැරදි තීන්දු තීරණ ගැනීමට සහ රට අරාජිකත්වයකට නොයා ගොඩගැනීමට අනෙක් පාර්ශ්වවලින් යම් සහයෝගයක් සහ කාල රාමුවක් අවශ්‍ය යැයි ඔබ පිළිගන්නවාද.?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපිට සහයෝගයකට එන්නේ අපි අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තොත් පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කරගන්නවා කියන්නේ දේශිය සහ විදේශිය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමයි. දැනටම චීනය දැනුම් දීලා තියෙනවා ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න දෙන්නේ නැහැ කියලා. එතකොට මොකක්ද කරන්නේ; අපේ රටට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා; මේ මාසයේ 25වැනිදා නොගෙවා තියෙන බැදුම්කරයක් සම්බන්ධව. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ගත් බැඳුම්කරයක්.

ඒ බැඳුම්කරය 2012 වසරේ දි අත්තනෝමතිකව ක්‍රියාකරන්න ගත්ත බැඳුම්කරයක්. ඒ බැඳුම්කරය පියවන්න තිබුණත් එය පියවන්න බැහැ. එයට නඩුවක් දාලා තියෙනවා. දේශිය ණය සම්බන්ධයෙන් තවමත් මුකුත් ප්‍රකාශවෙලා නැහැ. රාජ්‍ය බැංකුවක් ලබා දිලා තියෙනවා තමන්ගේ වත්කම්වලින් සියයට 57 පාරවල් හදන්න. ඒ දේවල්වලට මොනවද කරන්නේ. ඒවාට මොකද කරන්නේ තැන්පත් කරුවන්ට මොනවද වෙන්නේ. මේ දේවල් ගැන විවෘත සාකචඡාවක් අවශ්‍යයි. පාඩු ලබන සංස්ථා සමාගම්වලට මොනවද කරන්නේ කියලා කතා කරන්න අවශ්‍යයි. ජනතාවට කියන්න අවශ්‍යයි.

සමගි ජන බලවේගය නියෝජනය කළත් ඔබ වෙනම දේශපාලන අනන්‍යතාවක් සහ වෙනම දේශපාලන පෞරුෂයක් ගොඩනඟා ගත් අයෙක්. මේ ව්‍යසනකාරී මොහොතේ රට ගොඩගැනීමේ කාර්යය සඳහා පංගුකාරයෝ වන ලෙස ඔබට යම් ආරාධනාවක් ලැබුණහොත් ඔබ ඊට දක්වන ප්‍රතිචාරය?

සර්ව පාක්ෂීක ආණ්ඩුවක් හදන්න පොදු වැඩපිළිවෙළක් හදන්න කියලා 224 දෙනාම සම්බන්ධ කරගන්න; මේ ආයතනයන් භාර දෙන්න. අපි අපේ වගකිම් එවිට ඉටුකරන්න ලෑස්තියි කියලා අපි කිව්වා. එසේ නොකර මේ අර්බුදය අස්සෙත් ගෑස් ටිකෙනුත් හොරකම් කරනවා නම්, තෙල්වලින් හොරකම් කරන්න ඉන්නවා නම් ඒවගේ ක්‍රියාවලියකට අපි දායක වෙන්නේ නැහැ.

මම දේශපාලනයට ආවේ තාත්තාගේ අම්මගේ හයියෙන් හෝ එතනොල් බිස්නස් කරලා, මත්කුඩු විකුණලා, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය අයිතිකරුවන්ගේ අනුග්‍රාහකත්වය ලබලා දේශපාලනයට ආව කෙනෙක් නොවෙයි. මම අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ මගේ කකුල් දෙකේ හයියෙන් දෑතේ හයියෙන්. ඒවගේම තව මේ රටේ ඉන්නවා අවස්ථා අහිමි කරපු පරපුරක්. ඒ පරපුර දැන් නැගිටලා ඉන්නවා. ඒ නැඟිටපු පරපුර වෙනුවෙන් වෙනසක් ඇති කරන්න අපි කැපවෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එම ධූරයට පත්වීම අරගලයට සම්බන්ධ වූවන් අනුමත කරන්නේ නැහැ. ඔවුන් උද්ඝෝෂණවලට ඉදිරියේදිත් යොමු වූවහොත්; ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳුද?

ඔවුන්ට උද්ඝෝෂණ කළ හැකියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ සීමාවේ සහ රාමුවේ සිටිමින් කළ යුතුයි. සමහරුන්ට සන්නද්ධ බලයක් හදලා පාර්ලිමේන්තුවෙන් පිට බලයක් හදලා සෝවියට පන්නයේ විප්ලවයක් කිරීමට අවශ්‍යයි. ඒ අයට මට කියන්න තියෙන්නේ ඒවගේ විප්ලවයක් කළා කියුබාවේ. එය පිදෙල් කැස්ත්‍රෝ විසින් එය කළේ. නමුත් අවුරුදු 60 ගිහිනුත් තාම පෝලිම් යුගය අවසන් වෙලා නැහැ. පොදු මහජනතාවගේ කම්පනය වේදනාව අපි තේරුම් ගන්න අවශ්‍යයි. දරුවෝ පාසල් යවා ගන්න බැහැ, බෙහෙතක් ගන්න බැහැ, වැඩි හිටියන්ට රෝහලේ හෝ පුද්ගලික ආරෝග්‍ය ශාලාවල බෙහෙත් නැහැ, තෙල් ටික නැහැ, රැකියාවට යන්න බැහැ, ජීවිකාව ගෙනයන්න බැහැ.

විදුලි කප්පාදුව නිසා රැකියාව කරගන්න බැහැ. ලබන සැප්තැම්බර් මාසයේ සිට පැය 14 විදුලිය කප්පාදු කරන්න වෙනවා; ගල්අඟුරුටික ගේන්න බැරිවුණොත්. අපි මහජනතාවගේ කම්පනය දන්නවා.ඒවා අවියෙන් විසඳන්න බැහැ. ආරක්ෂක හමුදා පසුගිය දවස්වල මේ වෙනුවෙන් හඬනඟන අයට විරුද්ධව වෙඩි තිබ්බේ නැහැ. එයට හේතුව ඒ අය දන්නවා ඒඅයගේ ගෙදරත් ගෑස් ටික නැහැ; දරුවන්ට පාසල් නැහැ; ඒ මිනිසුනුත් මේ දුක විඳිනවා. ඒ අය දන්නවා මේ ජනතාවගේ දුක. පයින් බස්එකෙන් ඒ අයත් වැඩට යන්නේ.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි