SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති බලතල කප්පාදු කොට, ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වැනි කෙටි කාලීනව කළ හැකි

කටයුතු සිදු කොට හැකි ඉක්මණින් මහ මැතිවරණයකට යා හැකි ලෙස රට සූදානම් කිරීම පත් කිරීමට යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ වගකීම විය යුතු බව 43 සේනාංකය පවසයි.

''වර්තමාන අර්බුදය හමුවේ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව හා විපක්ෂය අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග '' පිළිබඳව 43 සේනාංකය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවේ දී මේ අදහස් පල විය.

මෙහිදී  43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන  අදහස් දක්වමින් පවසා සිටියේ මේ වනවිට රට මුහුණපා තිබෙන මේ දේශපාලන අර්බුදයත් එම අර්බුදය විසඳා ගැනීම සඳහා රටක් හැටියට සමාජයක් හැටියට අපට ගත හැකි විකල්ප මොනවාද? යන්න පිළිබඳව මුලිකව සාකච්ජා කල යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරණවිතාන මෙසේ සඳහන් කළේය.


''පාදඩ ක්‍රමයක් පාදඩ ක්‍රමයකින්ම පරාජය කරන්න බැහැ.''- කරූ පරණවිතාන

"කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් අපි අනුමත කරන්නේ නැහැ. ඒ වගේම අපි මේ රටේ සාමය ලැදි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යුක්තිගරුක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට, ගිනි තැබීමකට, මංකොල්ලකෑමකට, මිනිස්සුන්ට හිරිහැර කිරීමට, තමන්ගේ දේශපාලන සතුරාට උනත් හිරිහැර කිරීමට, පෙළඹෙන්නට යන්න එපා. මොකද, පාදඩ ක්‍රමයක් පාදඩ ක්‍රමයකින්ම පරාජය කරන්න බැහැ.

එම නිසා මේ වෙලාවේ, සියලු දෙනාම, සාමකාමීව සිටින්න කියලා අපි ඉල්ලා සිටිනවා.

සැබෑ අරගලකරුවන් ගෙනිච්ච සටනත් මේ නම වෙනිදායින් පස්සේ රට පුරා ඇතිවෙලා තිබෙන ගිනිතැබීම්, මංකොල්ලකාරී ක්‍රියාවන් ඇතුළු ඒ සිද්ධ වෙන ක්‍රියාදාමයත් අතර කිසිම සම්බන්ධයක් නෑ. ඒ අරගලකරුවන්ගේ අරමුණ සහ මේ මංකොල්ලකරුවන්ගේ අරමුණ අතර විශාල පරතරයක් තිබෙනවා. එම නිසා රටේ ජනතාව මේ වෙලාවේ ඒ සංවිධානාත්මකව හෝ අසංවිධානාත්මකව මතුවෙමින් තිබෙන ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවලට, වලට, අයුතු ජන රාශීන් වලට ඒකරාශී වෙන්න එපා කියලා අපේ සංවිධානයක් හැටියට අපි ඉල්ලා සිටිනවා.

මේ වෙලාවේ දැන් රටේ අගමැතිවරයෙක් නෑ. අගමැතිවරයා ඉල්ලා අස් වීම ගැසට් කරලා තියෙනවා. අගමැතිවරයා ඉන්නේ කොහෙද කියලා කවුරුවක්වත් දන්නෙත් නෑ.

ඒ වගේම අගමැතිවරයා අස්වීමත් සමඟම කැබිනට් මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලය දැන් ක්‍රියාත්මක වෙන්නෑ. ඇමති මණ්ඩලය අස්වෙලා හැටියට අපි සලකනවා.

ඒ වගේම තමයි දැන් පාර්ලිමේන්තුවත් නෑ. පාර්ලිමේන්තුව දාහත්වෙනිදා දක්වා කල් තියලා තියෙනවා.

මේ වෙලාවේ රටේ මේ අර්බුදය අතට ගන්න ඕනේ ඒ පාර්ලිමේන්තුව. හැම මන්ත්‍රී කෙනෙක්ම වගකීම් සහගතව මෙන්න මේ කටයුතු ටික කරන්න ඕනේ.

පළමුවැන්න තමයි කාටත් පිළිගන්න පුළුවන් අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවේ පත් කරගන්න එක. හැමදෙනාම පිළිගන්න පුළුවන් අගමැතිවරයෙක් පත් කරලා. ඒ අගමැතිවරයා යටතේ තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න ඕනේ. ඊළඟ මැතිවරණය පවත්වන තුරු.


ඒ ආණ්ඩුව කළ යුතු දේ කාරණාව තමයි මේ ඇතිවෙලා තියෙන මේ ප්‍රචණ්ඩත්ව රැල්ල නවතා දැමීම. ඒ වගේම තමයි මේ හදිසි ආර්ථික ආපදාවකට මුහුණ පාලා සිටින මේ රට ගොඩනැගීම සඳහා කළ හැකි හොඳම විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරලා, ඒ වගේම තමයි රටේ නැවත වතාවක් ස්වාධීන පොලිසියක්, ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන අධිකරණයක්, ස්වාධීන රාජ්‍ය සේවයක් පිහිටුවන්නට පුළුවන් ආකාරයට ඒ විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගේන එක. ජනාධිපති බලතල කප්පාදු කරන, ඒ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වගේ කෙටි කාලීනව කරන්න පුළුවන් වැඩකටයුතු ටික කරලා, මහ මැතිවරණයකට යා හැකි පළවෙනි අවස්ථාවේදීම, ඒ සඳහා රට විවෘත කර දීමයි. ඒ අන්තර් ආණ්ඩුවේ වගකීම වෙලා තිබෙන්නේ.

ජනාධිපතිවරයාට වගකීමක් තිබෙනවා ජනාධිපතිවරයා එම ක්‍රියාදාමයට පුළුවන් තරම් සහයෝගය දීලා ඉවත්වීමට.  මේ සටන පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට යන්න කියාගෙනයි.

ඉන්දියානු මැදිහත් වීමක් ගැන කතා කරන හේතුව?-නීතීඥ ශිරාල් ලක්තිලක


මෙහිදී අදහස් දැක්වූ නීතීඥ ශිරාල් ලක්තිලක පෙන්වා දුන්නේ මේ වන විට ශ්‍රී ලංකාව ව්‍යවස්ථාමය, නීතිය හා විධානය පිළිබඳ, සමාජයීය සහ ආර්ථික අරාජිකත්වයකට පත්ව ඇති බවය.

 "අද අපේ රටේ පුරවැසියන් හෝ ව්‍යවස්ථා සම්පාදකයන් හෝ ජනාධිපතිවරයා හෝ විපක්ෂය හෝ මේ රටේ දැනට ඇතිවෙලා තියෙන ව්‍යවස්ථාමය අරාජිකත්වය පිළිබඳව වගක් නැතුව ඉන්නවා. මේක බරපතළ තත්ත්වයක්. ජාතික රාජ්‍යය අසමත් රාජ්‍යයක් බවට පත් වීමේ අවදානමක තියෙනව. ඒ නිසා තමයි ඔය පිටරටවල් වල ඉන්න සුබ්‍රමනියම් සාමිලා වගේ අය ඉන්දියානු මැදිහත් වීමක් ගැනත් කතා කරන්නේ.

මොකද අසමත් රාජ්‍යයක් තුළට ඕනම කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන්. දැන් ඒ නිසා උදාහරණයකට කියනවා නම් අපේ රටේ ආර්ථික අරාජිකත්වයක් තියෙනවා. නමුත් දැන් දවස් තුනක් තිස්සේ මුදල් ඇමතිවරයෙක් නෑ. අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම සිදුවුණේ පෙරේදා. අද වෙනකන් අලුත් කැබිනට්ටුවකුත් නෑ. අගමැති කෙනෙකුත් නෑ. අඩුම වශයෙන් වැඩ බලන්න භාරකාර මුදල් ඇමති කෙනෙක්වත් නෑ. ඒක තමයි අපේ රටේ තත්ත්වය.


දැන් මේ ගැන හැඟීමක්, වගවීමක්, ආණ්ඩු පක්ෂයටත්, විපක්ෂයටත් නෑ. මේක බරපතළ තත්ත්වයක්. ඒ නිසා අරාජිකත්වය වහාම පිටුදැකිය යුතුයි.  අපි විපක්ෂයට වගකිවයුතු විපක්ෂයක් හැටියට අපි බලකර සිටිනවා.

මේ බලයට පෙර රට ගැන හිතන්න අපේ රට බරපතළ අවදානම් තත්ත්වයකට පත්වෙලා තියෙනවා ව්‍යවස්ථාමය වශයෙන්. නීතිය හා විධානය කඩා වැටිලා තියෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මහජනතාවගෙන් ගුටි කනවා අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැ දැක්කා. ඒ කියන්නේ මේ දවස් වල පොලිසිය අකර්මණ්‍ය වීම ඒ තත්වය හොඳ හැටියෙන්ම පෙන්නුම් කරන්නේ එම සිද්ධියෙන්.

 මේ අවාසනාවන්ත තත්වය තුළ මේ රටේ නීතිය හා විධානය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. ඒ හින්දා නීතියේ බලය කියන එක අද නැතිවෙලා තියෙනවා. ඒ නිසා, බරපතළ සමාජීය, අරාජික භාවයක් ඇතිවෙලා තියෙනවා.

ප්‍රතිපත්තියක් හැටියට මහජන පුද්ගලික දේපල වලට පහරදීම් අනුමත කරන්නේ නෑ. මන්ත්‍රීවරුන්ගෙ නිවාස ගිනිබත් කිරීම අපි අනුමත කරන්නේ නෑ. ජනතාව ප්‍රකෝප වුණා මහින්ද රාජපක්ෂ සහ එම නඩය විසින් කරන ලද තුච්ච, මිලේච්ඡ, නින්දිත ප්‍රහාරය හමුවේ. නමුත් ඊට අනුපාතිකව ප්‍රතික්‍රියා කිරීම අපිට තේරුම් ගත හැකියි. නමුත් ඊයේ දවසේ, වෙන ප්‍රහාර අපිට ප්‍රශ්නයක්.


උදාහරණයකට ඊයේ හවස තමයි දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ ගෙදරට පහරදීම් කරන්නේ. ඒ සිදුවීම වෙලා පැය විසි හතරකට පස්සේ. ඒ සිදුවීම් පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් මීගමුවේ ඊයේ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව අපිට ප්‍රශ්නාර්ථ නගන්න වෙලා තියෙනවා. මේ සියල්ලම සිදුවෙලා තියෙන්නේ නීතිය හා විධානය කඩා වැටීම තුළින්.

එතකොට නීතිය හා විධානය ක්‍රියාත්මක කරන්න ආරක්ෂක ඇමතිවරයෙක් හැටියට ඉන්නේ ජනාධිපති. අභ්‍යන්තර ආරක්ෂක ඇමතිවරයෙක් දැනට නැහැ. ඒ නිසා පොලිස්පති ක්‍රියාත්මක කිරීමේ හැකියාව නෑ.

මේ වෙලාවේ මේ රටේ ඉන්නේ ඒකාධිපති පාලකයෙක්. නාමික ඒකාධිපතියෙක්. ඒ කියන්නේ මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒකාධිපතියෙක් හැටියට ක්‍රියා කරනවා නෙමෙයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ව්‍යවස්ථාවේන්ම නාමික ඒකාධිපතියෙක් බවට පත්වෙලා තියෙනවා. මොකද? එතුමා තමයි හමුදාව ඒ සේනාවේ ප්‍රධානියා. රාජ්‍යයේ ප්‍රධානියා ආණ්ඩුවේ ප්‍රධානියා කැබිනට් මණ්ඩලයක් නෑ. අගමැති කෙනෙක් නෑ. පාර්ලිමේන්තුව වහලා. එතකොට එක පුද්ගලයයි ඉන්නේ.

රාජ්‍යයටත්, රාජ්‍යය මෙහෙයවන ජනාධිපතිවරයාටත්, ඒ වගේම පුරවැසියන්ට විපක්ෂයට, දේශපාලන සමාජයට කියනවා අපි කවදාවත් අත් නොවිඳපු බරපතල ව්‍යසනයකට අපි යමින් ඉන්නවා. මේ ගැන අපි උනන්දු නොවුනොත්, මැදිහත් නොවුනොත් මේ විනාශය කොතනින් නැවතෙයි ද කියලා අපිට කියන්න බැහැ.

ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් මේ රටේ යම්කිසි හෝ මොලයක් තියෙන, තර්කනයක් තියෙන, බුද්ධියක් තියෙන, පුද්ගලයෝ ඉන්නවනම් මේ සඳහා වහාම මැදිහත් වෙන්න කියලා කියනවා.

එසේ නොවුණොත්, අපි මේ තත්වය දඩමීමා කරගෙන මේ හමුදාවත් ජනාධිපතිගෙ තියෙන ඒකාධිපති බලතලත් පාවිච්චි කරලා යම් අධිකාරිවාදී පාලනයකට යන්න හිතෙනවා නම් අපි අන්න ඔවුන්ටත් අනතුරු අඟවනවා මේ තත්ත්වයෙන් වහාම මිදෙන්න කියලා. ඒ නිසා පුරවැසියන් හැටියට, දේශපාලන සමාජය හැටියට, වෘත්තීය සමිති හැටියට ජනාධිපති හැටියට, මේ හැම කෙනාටම, අපි සියලු දෙනාටම  මග හැරිය නොහැකි වගකීමක් තියෙනවා.

ඒ වගකීම ඉටුකිරීම අපි 43 සේනාංකය හැටියට හැකි උපරිමයෙන් ජනතාව දැනුවත් කිරීම, ජනතාව ඒකරාශී කිරීම, සහ ජනතාව මේ සඳහා පොළඹවා ගැනීමට කටයුතු කරනවා"


''පොලිස්පති වහාම තමන්ගේ නිලයෙන් ඉල්ලා අස්විය යුතුයි'' - බන්දුල චන්ද්‍රසේකර



43 සේනාංකය වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් බන්දුල චන්ද්‍රසේකර ද මේ අවස්ථාවේ අදහස් දැක්වීය. ඔහු එහිදී මෙසේ සඳහන් කළේය.

"ජනතා අරගලයට පහරදීමට පැමිණි දේශපාලන මැරයින් විතරක් නෙමෙයි ඒ මැරයින්ට නායකත්වය දුන්නු බස්නාහිර පළාතේ පොලිස් නායකයා ඒ වගේම ඒවාට අනුබල සැපයුම්, බන්ධනාගාර කොමසාරිස්වරයා ඒවාට අනුබල හිටපු ඇමතිවරු මේ සියල්ල වහාම අත්අඩංගුවට ගත යුතුයි.


අත්අඩංගුවට අරගෙන ඔවුන්ට නීතියෙන් දඬුවම් පැමිණෙන තැනට කටයුතු කළේ නැත්නම් මේ රටේ පොදු ජනතාවට මේ රටේ සාමය ඇති කිරීම පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්නේ නෑ. පොලිස්පති වහාම තමන්ගේ නිලයෙන් ඉල්ලා අස්විය යුතු වෙනවා.

ආර්ථිකය නගා නගා සිටුවන්න විධිමත් වැදගත් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් ඒ සඳහා අවශ්‍ය කරන වාතාවරණය සැකසීම මේ රටේ සියලුම දේශපාලන පක්ෂවල, පක්ෂ නායකයින්ගේ යුතුකම වෙලා තියෙනවා.

ඒ නිසා ඒ ඉල්ලීමට ඉතා සාවධානව කන්දීලා අවශ්‍ය සාකච්ඡා මේ සියලුම ආගමික නායකයින් සමඟ ඒ වගේම වෘත්තීය සමිති නායකයින් සමඟ ඒ වගේම වෘත්තීය සංවිධානවල නායකයින් සමඟ සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න එසේ නොවෙනවා නම් අපට සිද්ධ වෙනවා තවදුරටත් මේ ජනතා අරගලය ශක්තිමත් කරමින් ඒ වගේම බහුජන සංවිධාන වල අරගලය ශක්තිමත් කරමින් වෘත්තීය සමිතිවල අරගලය ශක්තිමත් කරමින් ආගමික නායකයින් අද ලබාදීලා තියෙන නායකත්වය සමග වෘත්තීය සංවිධාන මේ සියලුම අය ඒකරාශී කරගනිමින් මේ බලය තව තවත් ශක්තිමත් කරමින් මේ ආණ්ඩුවටත්, ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත් බල කරන්න. වහාම මේ සඳහා විසඳුම් ලබා දෙන්න කියලා.