SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැරණිතම මිතුරා ප්‍රංශයයි. වර්ෂ 1775 සිට 1783 දක්වා පැවති ඇමෙරිකානු නිදහස් සටනේ ජයග්‍රහණයට තීරණාත්මක සහයෝගය ලබාදුන්නේ ද ප්‍රංශයයි.

ඇමෙරිකානු ජනපද දහතුනක් එක්ව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීමට කළ එම ඓතිහාසික අරගලයේදී එකී ජානපදිකයන්ගේ සහයෝගයට පැමිණීම හේතුවෙන් ප්‍රංශයට අධික වැය බරක් දැරීමට සිදුවිය. ඔවුන්ගේ ආර්ථිකය බිංදුවටම කඩාවැටුණි. ජනතා අරගල උත්සන්න වී ප්‍රංශ විප්ලවයට පවා මඟ පෑදුණේ ඒ හේතුවෙන් රටතුළ ඇති වූ අසහනකාරී වාතාවරණයයි.

 

shanaka 1

 

පසුගියදා ඇති වු න්‍යෂ්ටික සබ්මැරීන පලහිලව්වක් හේතුවෙන් ඇමෙරිකාව හා ප්‍රංශය අතර තිබූ මෙම දීර්ඝකාලීන මිත්‍රත්වයට කණකොකා හඬන්නට පටන්ගෙන තිබේ. ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සෑදීම සඳහා පහසුකම් සැපයීමට එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය ගිවිසුම්ගත වීමත් සමඟ ප්‍රංශය බොහෝ සෙයින් නොසන්සුන් විය. ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව විසින් ඇතිකරගත් නව ත්‍රෛපාර්ශවික ආරක්ෂක ගිවිසුම යටතේ මෙම සබ්මැරීන ගණුදෙනුව සිදුවිය.

නැඟී එන චීන බලයට එරෙහිව ඉන්දු-පැසිෆික් කලාපය තුළ එක්ව කටයුතු කිරීම සඳහා, විශේෂයෙන් දකුණු චීන මුහුදේ මතභේදාත්මක චීන ක්‍රියාකාරකම් වලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව එක්ව මෑතකදී අත්සන් කරන ලද ගිවිසුම හැඳින්වෙන්නේ AUKUS යන කෙටි නාමයෙනි. එහි මූලික අරමුණ රටවල් තුන අතර බුද්ධිමය තොරතුරු හුවමාරු කරගැනීම වුවත් ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අවශ්‍ය න්‍යෂ්ටික සබ්මැරීන තැනීම සඳහා රහස් තාක්‍ෂණය ලබා දීමත් එහි එක් අරමුණකි. තම රට න්‍යෂ්ටික අවිබලය නොමැති රාජ්‍යයක් නිසා න්‍යෂ්ටික බලවතකු වන චීනයේ දොරකඩ කොන්ද කෙළින් තබාගෙන සිටීමට අවශ්‍යනම් වඩාත් දියුණු යුද තාක්ෂණය තෝරාගත යුතු බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා තීරණය කර ඇති බව පෙනෙන්නට තිබේ.

 

shanaka 2

 

නමුත් ඕස්ට්‍රේලියාව විසින් න්‍යෂ්ටික සබ්මැරීන නිපදවීම සඳහා අලුත් සහකරුවන් සොයාගැනීමට ගත් තීරණය ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්රෝන් මහතාගේ දැඩි කෝපයට හේතු වී ඇත. ඕස්ට්‍රේලියාව ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන තැනූ ප්‍රංශ සමාගමක් සමඟ ඇතිකරගෙන තිබූ ඩොලර් බිලියන 37 ක (පවුම් බිලියන 27) කොන්ත්‍රාත්තුව හිතුමනාපේ අවලංගු කිරීම මෙම කෝපයට හේතුවයි. එමතුදු නොව, මෙම ගිවිසුම අවලංගු කළ බව තමන් දැනගත්තේ එය අවලංගු කිරීමෙනුත් පැය කිහිපයකට පසුව බව ප්‍රංශ රජය ප්‍රකාශ කර ඇත. ඕස්ට්‍රේලියාව විසින් තමන් කෙතරම් රැවටීමකට ලක්කළාද යත් කොන්ත්‍රාත්තුව අවලංගු කරන බව නිවේදනය කිරීමට පැය කිහිපයකට පෙරත් ඕස්ට්‍රේලියානු හමුදා නිලධාරීන් තමන් ප්‍රංශ සබ්මැරීන ගැන සෑහීමකට පත්වන බවට තහවුරු කරමින් ලිපියක් එවූ බව ප්‍රංශය පවසයි. එකට කෑවත් බොක්ක වෙනස් මිතුරන් විසින් තමන්ට පිටුපසින් සිට පිහියෙන් ඇන ඇති බව ප්‍රංශ විදේශ ඇමති ලෙ ඩ්‍රයන් මහතා කෝපයෙන් පවසා ඇත.

ප්‍රංශය ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් උනන්දු වීමට හේතුව හුදෙක් යුද අවි ගණුදෙනුවක පාර්ශවකරුවකු වීම පමණක් නොවේ. එහි ප්‍රංශයට අයත් දූපත් හා භූමි ප්‍රදේශ රාශියක් පිහිටා ඇත. ප්‍රංශ පොලිනීසියාව, නිව් කැලිඩෝනියාව,ක්ලිපර්ටන් දූපත් ආදී මෙම භූමි ප්‍රදේශ තුළ ඔවුන්ගේ පුරවැසියන් මිලියන දෙකක් පමණ ජීවත් වේ. අදාල කලාපය තුළ හත්දහසක පමණ ප්‍රංශ හමුදා භට පිරිසක් ද රඳවා ඇත. ඉන්දු-පැසිෆික් කලාපයේ තම හිතවත් රටවල් සමඟ ආරක්ෂක සහයෝගීතාවක් පවත්වා ගැනීමට ප්‍රංශය උනන්දු වන ප්‍රධානම හේතුව එයයි. කලාපය තුළ චීන බලපෑම උත්සන්න වෙමින් ඇති වාතාවරණයක ඕස්ට්‍රේලියාව සමඟ තිබූ සබ්මැරීන ගනුදෙනුව අවලංගු වීම තම අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් ලෙස ප්‍රංශය විසින් සලකන බව පෙනෙන්නට තිබේ.

 

shanaka 3

 

සබ්මැරීන කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට විරෝධය පළ කිරීමක් ලෙස ඕස්ට්‍රේලියාව හා එක්සත් ජනපදය සඳහා පත්කර තිබූ තම තානාපතිවරුන් දෙදෙනා වහාම සියරට කැඳවීමට ප්‍රංශ ජනාධිපතිවරයා කටයුතු කළේය. තානාපතිවරයෙකු නැවත කැඳවීමේ ක්‍රියාව සාමාන්‍යයෙන් සංකේතාත්මක හා කෙටි කාලීනව විරෝධතාවයක් සනිටුහන් කිරීම සඳහා වූ ප්‍රසිද්ධ රාජ්‍ය තාන්ත්‍රික මෙවලමකි. නමුත් තම දීර්ඝකාලීන ගමන් සගයාගේ විරසකය ඇමෙරිකාවේ හදවතටම වැදී ඇති බව පසක් වූයේ ජනාධිපති බයිඩන් මහතා තත්ත්වය සමථයකට පත්කර ගැනීමට දැරූ ප්‍රයත්න හේතුවෙනි. ඔහු මැක්රෝන් මහතාට දුරකථනයෙන් ඇමතීමට උත්සාහ කළත් මුල් අවස්ථාවේ එය අසාර්ථක විය. ප්‍රංශ ජනාධිපතිවරයාව සම්බන්ධ කර ගැනීමට බයිඩන් මහතාට හැකි වූයේ දින පහක් වෙහෙසීමෙන් අනතුරුවය. ජනාධිපතිවරුන් දෙදෙනා අතර දුරකථන සංවාදයේදී එතෙක් පැවති රාජ්‍යතාන්ත්‍රික උණුසුම යම් ආකරයෙන් සමනය වී ඇති බවක් වාර්තා වූ අතර ඊට සමගාමීව දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ද නිව්යෝක් නුවරදී පැවැත්වුණි. එහිදී තම තානාපතිවරයා නැවත වොෂින්ටනයට එවීමට මැක්රෝන් මහතා එකඟතාවය පළකරන ලද බව ද වාර්තා වෙයි.

එක්සත් ජනපදය හා ප්‍රංශය අතර යම් සංහිඳියාවක් ඇති වුවද ඕස්ට්‍රේලියානු අගමැතිවරයාට තවමත් මැක්රෝන් මහතාව සම්බන්ධ කරගැනීමට නොහැකි වී තිබේ. ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් සබ්මැරීන කොන්ත්‍රාත්තුව හදිසියේ හා අනපේක්ෂිත ලෙස අවලංගු කිරීම නිසා තමන්ට සිදුවූ පාඩුව පියවා ගැනීමට සවිස්තරාත්මක ඉන්වොයිසියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අදාල ප්‍රංශ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසා ඇත.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා මේ සම්බන්ධයෙන් දරන්නේ වෙනස්ම ස්ථාවරයකි. ඔහු තවමත් ප්‍රංශය සැනසීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයකට ඉදිරිපත් නොවී ඇති අතර AUKUS ආරක්ෂක ගිවිසුම ගෝලීය වශයෙන් තමන්ගේ ස්ථාවරය තහවුරු කිරීමක් ලෙස හුවා දක්වයි. BREXIT ක්‍රියාවලිය තුළින් යුරෝපයේ විලංගු වලින් එක්සත් රාජධානිය දැන් නිදහස් වී ඇති හෙයින් ජාත්‍යන්තර වශයෙන් විශාල කාර්යභාරයක් ඉටුකිරීමට තමන්ට දැන් හැකි බව ඔහු පවසයි. ඒ නිසා කාලාන්තරයක් තිස්සේ යුරෝපානුබද්ධව පවත්වාගෙන ආ තම විදේශ ප්‍රතිපත්තිය විවිධාංගීකරණය කිරීමට ජොන්සන් මහතා උත්සාහ දරන බව පෙනී යයි. එසේම කරුණු පෙළගැසෙනා ආකාරයෙන් පෙනී යන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ද ඉදිරි දශකයේ ඇතිවිය හැකි මූලෝපායික අරගලයට හොඳින් සූදානම් වන බවයි.

 

shanak 5

තමන්ගේ ප්‍රධානම භූ දේශපාලනික සතුරා වන චීනය සමඟ මුහුණට මුහුණ සටනකට සූදානම් විය යුතු බැවින් බයිඩන් මහතා බටහිර සන්ධානය නම් දාම් ලෑල්ලේ ඉත්තන් කඩිමුඩියේ වෙනස් කරමින් සිටී. යුරෝපා සංගමය සිය ආර්ථික ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමේදී චීනය සමඟ සහයෝගයකින් කටයුතු කිරීම ඇමෙරිකාවට අනුව තම මූලෝපායික සැලසුම් සඳහා බාධාවකි. ඒ නිසා චීනය සම්බන්ධව කටයුතු කිරීමේදී බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව වැනි සම්ප්‍රදායික ඉංග්‍රීසි බලඈණිය සමඟ වැඩි නැඹුරුවකින් කටයුතු කිරීමේ ඇමෙරිකානු කැමැත්ත බැහැර කළ නොහැකිය.

ප්‍රංශය හා බ්‍රිතාන්‍යය යන රටවල් දෙකටම ඉන්දු-පැසිෆික් කලාපය තුළ කැපී පෙනෙන යුද බලයක් ගොඩනඟා ගැනීමට තවම හැකියාවක් ලැබී නැත. කලාපය තුළ දෙරටේම හමුදා ක්‍රියාකාරකම් සිදුවන්නේ ඉතා ස්වල්ප වශයෙනි. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් යුද නෞකාවකුත් ප්‍රංශයේ හමුදා ප්‍රවාහනය කරන නෞකා දෙකකුත් හැර දෙරටේ වෙනත් හමුදා ක්‍රියාකාරකමක් පැසිෆික් සාගරයේ දක්නට නොමැති තරම්ය. ඒ වෙනුවට එහි දක්නට ලැබෙන්නේ චීනය හා ඇමෙරිකාව අතර උපාය මාර්ගික ක්‍රීඩාවකි. එක් අන්තයකින් චීනය තනිවම සටනට බැස ඇත. අනෙක් අන්තයෙන් ඇමෙරිකාව තම Quad සන්ධානයේ සගයන් වන ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව සමඟ සටනට බැස ඇත. ඊට අමතරව දකුණු කොරියාව, වියට්නාමය හා නවසීලන්තය ද ඇමෙරිකානු බලඇණිය සමඟ එක්ව ගමන් කරන බවක් පෙනෙන්නට තිබේ.

ඕස්ට්‍රේලියාවට පැසිෆික් කලාපය තුළ තවදුරටත් නිස්කලංක යෝධයෙකු මෙන් පවතිනවාට වඩා චීන මකරා හමුවේ පසු නොබසින ගලිවරයෙකුගේ භූමිකාවක් රඟදැක්වීමට ඇති බව අගමැති ස්කොට් මොරිසන් තේරුම් ගෙන ඇත. පසුගිය කාලයේ ද දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික වාග් ප්‍රහාර දැඩිවූයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව එකිනෙකාට චෝදනා කරගනිමිනි. මේ නිසා කලාපය තුළ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාවට වඩාත් ශක්තිමත් සගයකු වුවමනා වී තිබුණි. එක්සත් ජනපදය ඒ රික්තයට වඩාත් සුදුස්සා බව මොරිසන් මහතා විසින් නිගමනය කර ඇති බව පෙනී යයි. ප්‍රංශය සමඟ තිබූ සබ්මැරීන ගනුදෙනුව තමන්ට අහිතකර නොවූව ද චීනය සමඟ සටන්කිරීමට වඩාත්ම සුදුස්සා තෝරාගැනීමේ ඕස්ට්‍රේලියානු උවමනාව මේ නිසා බැහැර කළ නොහැකිය.

තවද, අතීතයේ අධිරාජ්‍යයන් පවත්වා ගත් ප්‍රමුඛතම යුරෝපීය සගයන් දෙදෙනා වන බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අතර ඇතිවන ඕනෑම මතභේදයක් යුරෝපා සංගමයේ පැවැත්මට අහිතකර ලෙස බලපානු ඇත. වඩාත් සැලකියයුතු කාරණය වන්නේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් NATO හි පැවැත්ම කෙරෙහි ඇතිවන බලපෑමයි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම නේටෝවට යම් බලපෑමක් කළාද ඊට වඩා කිහිප ගුණයකින් යුතු බලපෑමක් බ්‍රිතාන්‍යය AUKUS ගිවිසුමට ඇතුළත් වීම තුළින් සිදුවිය හැකි බව විචාරකයන්ගේ මතයයි.

යුරෝපයේ නිලනොවන නායිකාව හෙවත් de facto leader ලෙස සැලකෙන ඇන්ජලා මර්කෙල් මැතිණිය නොබෝ දිනකින් විශ්‍රාම යෑමට නියමිත වුවත් ඇය විසින් යුරෝපයේ එකමුතුව වෙනුවෙන් කරන ලද බලපෑම AUKUS අර්බුදයේදී වඩාත් ඉස්මතු වනු ඇත. යුරෝපා සංගමය කිසිසේත්ම ප්‍රංශය තනිනොකරන බව පැහැදිලි අතර එහි බොහෝ නායකයන් AUKUS සන්ධානයේ රටවල් ත්‍රිත්වයටම දෝෂාරෝපණය කර තිබුණි.

shanaka4

කෙසේ නමුත් බටහිර බලකඳවුර තුළ ඇති වූ මේ දෙදරීම තාවකාලික අර්බුදයක් පමණක් බවත් එය නුදුරේදීම සමථයකට පත්වීමට වැඩි ඉඩක් ඇති බවත් මධ්‍යස්ථ විචාරකයන්ගේ මතයයි. ප්‍රංශය මීට ඉහතදීත් බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය සමඟ රාජ්‍යතාන්ත්‍රික ගැටුම් ඇතිකර ගෙන තිබුණි. විශේෂයෙන් 2003 වර්ෂයේදී ඉරාකය ආක්‍රමණය කිරීම පිළිබඳව පැරීසිය හා ලන්ඩනය අතර දැඩි ප්‍රතිවිරෝධතා ඇතිවිය. ඒ අවස්ථාවේදී ද අර්බුදය ඉක්මනින් සමථයට පත්විය. එසේම ප්‍රංශ හා ඇමෙරිකානු ජනාධිපතිවරුන් අතර ද මුහුණට මුහුණ හමුවක් මේ සතියේදී වොෂින්ටනයේදී පැවැත්වීමට ද නියමිතය. සබ්මැරීන කොන්ත්‍රාත්තුව අවලංගුවීම හේතුවෙන් ප්‍රංශයට යම් මූල්‍ය පාඩුවක් සිදුවූවානම් එය පියවීමේ ක්‍රියාවලියකට අදාල පාර්ශව එකඟ කරවා ගැනීමට බයිඩන් මහතා කටයුතු කරනු ඇතැයි සිතිය හැක. ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීම හා AUKUS ගිවිසුම ආදී ආන්දෝලනාත්මක තීරණ හේතුවෙන් බයිඩන් මහතා සියලු බර අවි සූදානම් කරන්නේ චීන අභියෝගයට මුහුණ දීම සඳහා බව පැහැදිලිය.

හදිසියේ ඇති වූ සබ්මැරීන අර්බුදය යුරෝපා කලාපය තුළ චීනයට යම් වාසිදායක තත්ත්වයක් ඇතිකරන බව නම් පැහැදිලිය. ඇමෙරිකානු හස්තයේ බලපෑමට හසුවී චීනය බිල්ලෙකු ලෙස සැලකීමේ ප්‍රතිපත්තියෙන් ප්‍රංශය හා යුරෝපයේ ප්‍රධාන රටවල් මුදවා ගැනීමට මෙය අවස්ථාවක් කරගත හැකි බව චීන හිතවාදී මාධ්‍ය විසින් පෙන්වා දී ඇත. ලෝකය බෙදා ගැනීමේ අරගලය කළමනාකරණය කරගැනීමට බටහිර හා චීන නායකයන් ගන්නා උපාය මාර්ගික තීරණ දෙස ලොව බොහෝ පිරිස් අවධානයෙන් පසුවන්නේ එය හුදෙක් ලෝක භූ දේශපාලනයට පමණක් නොව සමස්ථ ලෝක වාසීන්ගේ පැවැත්මටද බලපාන බැවිනි.

නවතම ලිපි