කාබුල් ගුවන් තොටුපළේ සිදු වූ ම්ලේඡ්ච ලේ වැගිරීමෙන් පසු ඇෆ්ගනිස්තාන අර්බුදය වෙනස්ම මුහුණුවරක් ගෙන තිබෙනවා.
මේ ප්‍රහාරය සිදුකරන ලද්දේ IS හෙවත් Islamic State සංවිධානයට අනුබද්ධ IS-K නම් කණ්ඩායමක් බව වාර්තාවෙනවා. මියගිය පුද්ගලයන්ගේ ප්‍රමාණය පිළිබඳව මේ වන විටත් නිවැරදි අදහසක් නොමැති වුවත් අඩුම තරමින් ඇෆ්ගන් ජාතිකයන් 200ක්වත් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරනවා. මෙම ප්‍රහාරයෙන් මියගිය එක්සත් ජනපද හමුදා සාමාජිකයන්ගේ ප්‍රමාණය 13ක්. ජෝ බයිඩන් මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මුහුණපාන්නට සිදු වූ බරපතලම අර්බුදය මෙම බෝම්බ ප්‍රහාරය බව පැහැදිලියි.
"අපි ඔබට සමාව නොදෙන බවත්, මේ ක්‍රියාව අමතක නොකරන බවත් ඒ වගේම මේ වෙනුවෙන් ඔබට වන්දි ගෙවන්න සිදුවන බවත් මේ බියගුළු ප්‍රහාරය කළ අය මතක තබා ගත යුතුයි. ඒ වගේම ඇමෙරිකාවට හානියක් කිරීමට හිතන අයත් එය මතක තබා ගත යුතුයි." බයිඩන් මහතා අද ධවල මන්දිර මාධ්‍ය හමුවේදී දැඩි ස්වරයකින් පවසා සිටියා.
මෙම ප්‍රහාරයට වගකිව යුතු IS-K නම් ත්‍රස්තවාදී සංවිධානය කුමක්දැයි දැන් ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. IS-K නොහොත් IS-KP යනු පැරණි ISIS සංවිධානයේ නවතම දිගුවයි. එහි KP යන්නෙන් හැඳින්වෙන්නේ Khorasan Province හෙවත් කොරසන් පළාතයි. ඉරානයෙන් වැඩිකොටසකුත්, ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය ද ඇතුළත් කලාපයේ තිබූ පැරණි ඉස්ලාම් අධිරාජ්‍ය්‍ය සිහිවීමට මෙම Khorasan නාමය ඊට ලබා දී තිබෙනවා. මෙම සංවිධානය ආරම්භ කර තිබෙන්නේ 2015 වසරේ එවකට ‘පකිස්තාන් තලේබාන්’ සංවිධානයෙන් කැඩී ආ පිරිසක් විසින්. කෙසේ නමුත් කැපී පෙනෙන ලේ වැගිරීමක් කර ඉස්ලාම් අන්තවාදීන්ගේ සිත් දිනා ගැනීමට මේ සතිය වෙනතුරු ඔවුන්ට හැකි වුණේ නැහැ. අද මේ ත්‍රස්තවාදීන් උවමනාවටත් වඩා තමන්ගේ අරමුණ ඉෂ්ඨ කර ගත්තා.
IS-K ආරම්භ කළ මුල් යුගයේදී විරුද්ධවාදීන් මරා දමමින් ඉදිරියට ඒමට උත්සාහ කළත් තලේබාන් සංවිධානයේ ක්‍රියාකාරීත්වය හමුවේ ඔවුන් පසුබැස ගියා. IS-K සංවිධානය සමන්විත වෙන්නේ තලේබාන්වරුන්ගෙන් කැඩී ගිය සන්නද්ධ නායකයන්ගෙන්, පාකිස්තානුවන්ගෙන් හා උස්බෙක් ජාතිකයන්ගෙනුයි. එවැනි පිටස්තර අළුත් චණ්ඩියෙකුට තම කලාපයේ සෙල්ලම් දැමීමට කොහොමත් තලේබාන්වරු ඉඩ නොදෙන බව පැහැදිලියි.
පසුගිය කාලයේ සිදුකරන ලද තලේබාන් ප්‍රහාර වලින් මෙන්ම ඇමෙරිකා සහ ඇෆ්ගනිස්ථානු රජයේ හමුදා මෙහෙයුම් වලින් නැගෙනහිර ඇෆ්ගනිස්ථානය තුළ IS-K බලය විනාශ වී ගියා. ඒ නිසා ඔවුන්ට ඊසානදිග පිහිටි කුනාර් පළාතේ කුඩා නිම්න දෙකකට පමණක් තම බල ප්‍රදේශය සීමා කරගන්නට සිදුවුනා. කෙසේ වෙතත් මේ වසරේ තලේබාන්වරුන් විසින් IS-K කණ්ඩායමට එරෙහිව සිදුකරන ලද ප්‍රහාර ඒ තරම් සාර්ථක වුණේ නැහැ. ඇමෙරිකානු හා නේටෝ හමුදා ඉවත් වීමෙන් පසු තලේබාන් සංවිධානය විසින් මුලින්ම IS-K සංවිධානය විනාශ කර ඉන් පසුව පන්ජ්ශීර් නිම්නයේ ප්‍රබල සතුරා ගැන අවධානය යොමු කරනු ඇතැයි සිතිය හැකියි.
කෙසේ නමුත් කාබුල් ගුවන් තොටුපළේ IS-K ත්‍රස්තවාදීන් විසින් සිදුකළ මහා මිනිස් සංහාරයෙන් පසු එක්සත් ජනපදය උහතෝකෝටිකයට මුහුණ දෙන බවනම් පැහැදිලියි. ඇෆ්ගනිස්ථානයේ පාලනය බොහෝ කලක සිට පැවතුනේ "මගේ සතුරාගේ සතුරා මගේ මිතුරා" යන සංකල්පයෙන්. දැන් තමන් සහාය ලබා දෙන්නේ කාටදැයි ඉතා ඉක්මනින් තීරණය කිරීමට එක්සත් ජනපදයට සිදුවෙනවා. තලේබාන් සංවිධානයට මෙන්ම ඇමෙරිකාවටත් එරෙහි IS-K සංවිධානය කිසිවිටෙකත් ඇමෙරිකාවේ මිතුරකු වීමට ඉඩක් නැහැ. ඒ වගේම තලේබාන්වරුන්ට විරුද්ධ ඇමෙරිකාවට හිතවත් පන්ජ්ශීර් බලකාය ඇමෙරිකාවේ සතුරකු වීමටත් ඉඩක් නැහැ. නමුත් ඇමෙරිකාවේ සතුරා IS-K නම්, ඒ නිසාම තලේබාන්වරුන් තම මිතුරන් කරගැනීමට ඇමෙරිකාවට සදාචාරාත්මකව පුළුවන්ද?
IS-K සංවිධානය එක්සත් ජනපදය හා තලේබාන් සංවිධානය යන දෙපාර්ශවයේම අළුත් සතුරා බව පැහැදිලි යි. ඔවුන් තම දෘෂ්ටිවාදය සකස්කර ගත්තේ ගල්ෆ් කලාපයේ වහාබ් මුස්ලිම්වරුන්ගේ බලපෑමට හසු වූ "සලාෆි-ජිහාර්ඩ්" මූලධර්ම වලින්. එසේම බින් ලාඩන්ලා විසින් ගෝලීයකරණය කරන ලද මතවාදයන්ගෙන්. එහි අවසාන පරමාර්ථය වෙන්නේ ලෝකය පුරාම පැතිරී ගිය තනි ඉස්ලාම් රාජ්‍යයක් හෙවත් ඉස්ලාම් කැලිපේතයක්. එය පිහිටුවීමෙන් පසු තනි තනි ඉස්ලාම් ජාතීන් විසුරුවා හරිනු ලබනවා. IS-K සංවිධානයේ මතය අනුව තලේබාන්ලා යනු ඉස්ලාම් ඇදහිල්ල අත්හැරපු පිරිසක්. ඊට හේතුව තලේබාන් සංවිධානය බටහිර රටවල් සමඟ යම් යම් එකඟතා වලට එලැඹීමයි .
තලේබාන්වරු විශ්වාසය කරන්නේ ජාතික රාජ්‍යය යන සංකල්පය. නමුත් එය වාර්ගික හා නිකායික මූලධර්මවාදී රාජ්‍යයක් වන බවට සැකයක් නැහැ. මේ වන තෙක් ඇෆ්ගනිස්ථානයෙන් බාහිර රටක ත්‍රස්ත ප්‍රහාරයකට තලේබාන් සංවිධානය කෙලින්ම සම්බන්ධ වී නැහැ . ඔවුන් කැලිපේතයක් පිහිටුවීමට උත්සාහ කරලත් නැහැ. ඔවුන් සටන් කරමින් සිටින්නේ “එමිරේට්ස්” නම් ජාතික රාජ්‍යයකට. එය IS සංවිධානයේ ඒකාබද්ධ ගෝලීය ඉස්ලාම් රාජ්‍යයට වඩා කුඩා අරමුණක්.
IS-K සංවිධානයට ඉරාකයේ IS නායකයාගෙන් ඩොලර් මිලියන 20 ක පරිත්‍යාගයක් පසුගිය වසරේ ලැබී තිබෙනවා. ඔවුන්ගේ හදිසි නැඟිටීමට එයත් හේතුවක් වී තිබෙනවා. ඊට අමතරව ඔවුන් විසින් මැද මට්ටමේ තලේබාන් නායකයන් ගණනාවක් ඝාතනය කළා. කාබුල් ප්‍රහාරය සිදුකරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්තානයේ නව පාලකයන්ගේ ප්‍රචණ්ඩ ඒකාධිකාරය තමන් තුට්ටුවකටවත් මායිම් නොකරන බව. ඒ වගේම තම සංවිධානයද බලතුලනයේ ඇතුළත් පන්තියට අයිති විය යුතු බව බටහිර ආණ්ඩු වලට සියුම් ඉඟියක් ද ලබා දෙනවා.
මේ අතර තලේබාන් සංවිධානය ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමේ ඔවුන්ගේ ආශාව පෙන්නුම් කර තිබෙනවා. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා මූලික විශ්වාසයන්ට අනුගත වීමට ඔවුන්ගේ නායකයින් කෙතරම් දුරට සූදානම්ද යන්න තවමත් පැහැදිලි නැහැ. නමුත් කාබුල් ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය හා තලේබාන් සංවිධානයට ඇත්තටම පොදු සතුරෙක් දැන් ලැබී තිබෙනවා. බොහෝ විට බුද්ධි තොරතුරු හුවමාරු කිරීමට පමණක් මේ දෙපාර්ශවය එකට වැඩ කරනු ඇති බව කියන්න පුළුවන්.
නමුත් ප්‍රතිවිපාක වලට මුහුණ නොදී ලෙහෙසියෙන් රටක් හැර යන්න බැරි බව දැන් එක්සත් ජනපදය තේරුම් ගන්න වෙනවා. පැමිණීම වගේම පිටවීමටත් මිලක් තිබෙනවා. ක්‍රීඩාවේ නීතිරීති තීරණය කරන්නේ වොෂින්ටනයේ ප්‍රතිපත්ති සම්පාදකයන් විතරක් නෙවෙයි. ඇත්තටම ක්‍රීඩකයන්ටත් පුළුවන් දැන් නීතිරීති තීරණය කරන්න. තලේබාන්ලා විතරක් නෙවෙයි IS-Kලාත් දැන් කරන්නේ ඒක. ඒ නිසා එක්සත් ජනපදයට දැන් තමන්ගේ සතුරා කවුද මිතුරා කවුද යන්න ඉක්මනින් තීරණය කරන්න වෙනවා.
The Guardian පුවත්පතට ජේසන් බර්ග් විසින් රචිත ලිපියක් ඇසුරිණි.
@ ශානක මධුෂාන් ලියනගම