SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව මේ දිනවල

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන අතර, එහි සිව්වන සාක්ෂිකරුගේ හරස් ප්‍රශ්න ඇසීම හරහා නඩු විභාගය නව මුහුණුවරක් ගෙන තිබේ. නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් 'මුරලි' විසින් අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂි සහ හරස් ප්‍රශ්න හමුවේ කළ අනාවරණයන් නීතිමය වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද දැඩි අවධානයකට ලක්ව ඇත.

 

 

මෙම නඩුව සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ, කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි අධිකරණ පරිශ්‍රයේදී විභාගයට ගැනේ.

 

 

මෙම සාක්ෂිකරු නැවත කැඳවීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ඉකුත් ජූලි 24 වැනිදා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර, ඊට විත්තියේ නීතිඥවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. කෙසේ වෙතත් එම විරෝධතා සලකා බැලූ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේ සාක්ෂිකරු යළි කැඳවීමට අවසර ලබා දීමටයි.

 

 

එම නියෝගයට එරෙහිව විත්තියේ නීතිඥවරුන් අභියාචනයක් ගොනු කළ අතර, එම අභියාචනයේ තීන්දුව ලැබෙන තුරු මහාධිකරණයේ නඩු කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලා සිටින ලදී. එහෙත්, සැප්තැම්බර් 04 වනදා තීන්දුවක් ලබා දෙමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ, අතුරු නියෝගයක් අභියාචනයකට ලක් කළ නොහැකි බැවින් සාක්ෂි කැඳවීම අඛණ්ඩව සිදු කරන බවයි. මෙය අපරාධ නඩු විධාන සංග්‍රහය සහ අධිකරණ බලතල භාවිතය සම්බන්ධයෙන් නෛතික වශයෙන් වැදගත් පූර්වාදර්ශයකි.

 

 

නැවත සාක්ෂි කූඩුවට පිවිසි සිව්වන සාක්ෂිකරු අධිකරණය හමුවේ බරපතල චෝදනාවක් එල්ල කළේය. ඔහු ප්‍රකාශ කළේ මෙම නඩුවේ පළමු විත්තිකරු වන ෂම්මි කුමාරරත්න විසින් නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි ලබාදෙන ලෙස තමන්ට අවස්ථා කිහිපයකදීම තර්ජනය කරමින් බලපෑම් කළ බවයි. අපරාධ නඩු විභාගයකදී සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල වන බරපතල අභියෝගයක් බැවින් මෙම ප්‍රකාශය නඩු විභාගයේදී ඉතා තීරණාත්මක වනු ඇත.

 

 

හරස් ප්‍රශ්න විමසීම

නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන විසින් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළ අතර, එහිදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් හෙළිදරව් විය.

 

නීතිඥවරයා: "ඔබ එක්නැලිගොඩ හමුවුවාද?"

සාක්ෂිකරු: "එක් අවස්ථාවක එක්නැලිගොඩ හමුවුණා. හබරණ වත්තකදී. ඒ කියන්නේ එක්නැලිගොඩගේ වත්තකදී."

නීතිඥවරයා: "හමුවෙලා කතා කළේ මොනවාද?"

සාක්ෂිකරු: "එවකට හිටපු පාලකයන් එළවන්න ඕන, ඔවුන්ව සමූල ඝාතනය කරන්න ඕන කියලා එක්නැලිගොඩ මාත් එක්ක කිව්වා. මිසයිල ගහන්න ඕන කියලත් කිව්වා."

 

සාක්ෂිකරු විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශය, පැහැරගැනීමට පෙර එක්නැලිගොඩගේ මානසිකත්වය සහ ඔහුගේ අදහස් පිළිබඳව විත්තිය විසින් ගොඩනගන තර්කයන් සඳහා යම් පදනමක් සැපයීමට ඉඩ ඇති බව නීති විශ්ලේෂකයන්ගේ මතයයි.

 

 

ඉදිරි නඩු කටයුතු

එදිනට වෙන්කර තිබූ කාල සීමාව අවසන් වීම හේතුවෙන් වැඩිදුර සාක්ෂි විභාගය ලබන 16 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය. එදිනට සාක්ෂි අංක 53 සහ 98 කැඳවීම සඳහා නොතීසි නිකුත් කෙරුණු අතර, ඉදිරි දිනයකදී ප්‍රකට බුද්ධි අංශ නිලධාරියෙකු වන සුරේෂ් සලේ ද සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමට නියමිතය.

 

 

මෙම නඩුව 2010 ජනවාරි 25 දින හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ සහ කොට්ටාව යන ප්‍රදේශවලදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මත ගොනු කර ඇත. ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී . උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකු මීට අදාළව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

 

 

දේශීය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ ස්වාධීනත්වය උරගා බලන සංධිස්ථානයක් ලෙස තවදුරටත් ඉදිරියට ඇදෙමින් පවතී.

 

 

(අධිකරණ වාර්තාව උපුටාගැනීම මූලාශ්‍ර - 'ද ලීඩර්')

නවතම ලිපි