SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින වකවානුවක, නීත්‍යානුකූල

ආනයන ආවරණය යොදාගනිමින් මෙරටින් ඇමරිකානු ඩොලර් මිලියන 700 කට අධික (රුපියල් බිලියන 190 කට අධික) මුදලක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු ඊයේ (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

 

 

රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම සංවිධානාත්මක ආර්ථික අපරාධය, මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සහ නීතිවිරෝධී මූල්‍ය පහසුකම් සපයන්නන් අතර පවතින අඳුරු සබඳතාව මැනවින් නිරාවරණය කරයි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ගොනු කළ කරුණු මත පදනම් වූ මෙම නඩු වාර්තාව, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආයතනික පාලනය සහ නීතිමය අනුකූලතාව පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරයි.

 

 

ප්‍රධාන පෙළේ සමාගම්වල මැදිහත්වීම සහ නිරාවරණය වූ සමාගම් හය

මෙම අපරාධයේ වඩාත්ම අවධානයට ලක්විය යුතු නෛතික සහ ආර්ථික කාරණාව වන්නේ, ඊට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමයි. ආයතනික විනිවිදභාවය මුළුමනින්ම උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම ක්‍රියාවලියේදී, මේ වන විට ප්‍රධාන සමාගම් කිහිපයක්ම නීතියේ දැලට කොටුවී ඇත.

 

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රබල ප්‍රකාශයක් ඊයේ සිදුකළේය.  

 

"භාණ්ඩ ආනයනය කරන බවට අඟවමින් රුපියල් බිලියන 190ක අධික වටිනාකමින් යුත් ඩොලර් විදේශගත කිරීම සම්බන්ධයෙන්... මෙම සමාගම් අතරින් සමාගම් 06ක් දැනට අනාවරණය වී ඇති බවත්, හවුස් ඔෆ් ෆැෂන් මෝල් නැමති සමාගමක් ඒ අතර වන බවත් පවසා සිටියා."

 

 

මෙම ප්‍රකාශය හරහා තහවුරු වන්නේ, සාමාන්‍ය ජනතාව අතර ඉහළ විශ්වාසයක් දිනාගත් "හවුස් ඔෆ් ෆැෂන් මෝල්" (House of Fashion Mall) වැනි ප්‍රමුඛ පෙළේ වාණිජ සමාගම් පවා මෙවැනි විදේශ විනිමය අවභාවිතයන්ට සෘජුවම සම්බන්ධ වී ඇති බවයි. සමාගම් 36 ක ගිණුම් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝදිසියට ලක්ව ඇති අතර, ඉතිරි සමාගම් ද නුදුරේදීම අනාවරණය වනු ඇත.

 

 

ජාවාරමේ ස්වභාවය සහ රේගු දත්ත හිඩැස

කොළඹ කොටුව ප්‍රදේශයේ "ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්" (A.Y. Investment) නැමැති ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි ප්‍රධාන සැකකරු වන ජෙෆ්‍රි මොහොමඩ්, මෙම ජාවාරමේ මූලික සැලසුම්කරු සහ පහසුකම් සපයන්නා ලෙස කටයුතු කර ඇත. ඔහු හරහා මෙම සමාගම් ව්‍යාජ ආනයන ලියකියවිලි පෙන්වමින් ඩොලර් මිලියන 700ක් විදේශගත කර ඇත.

 

මෙම අපරාධයේ බරපතලකම මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට පැහැදිලි කළේ මෙසේය.

 

"අවස්ථා 10,156 වතාවක් මුදල් පිටරට යවා ඇති නමුත්, ඒ මුදල් වලින් ආනයනය කළ භාණ්ඩ පිළිබඳව රේගුවේ සටහනක් නෑ. ආනයනික භාණ්ඩ වලට අඩු වටිනාකම් යොදා රජයට බදු අහිමි කිරීමේ ජාවාරමක් ද යන්න තවදුරටත් විමර්ශනය කරනවා."

 

 

 

වාර 10,156 ක් පුරා ඩොලර් විදේශගත වුවද ඊට අදාළ භාණ්ඩ රේගුව හරහා මෙරටට නොපැමිණීම මගින්, වාණිජ බැංකු පද්ධතිය සහ ශ්‍රී ලංකා රේගුව අතර දත්ත හුවමාරුවේ පවතින අතිවිශාල පරතරය මැනවින් පෙන්නුම් කරයි. මෙය හුදෙක් මුදල් විශුද්ධිකරණයක් පමණක් නොව, භාණ්ඩවලට අඩු වටිනාකම් යෙදීම (Under-invoicing) හරහා රජයට ලැබිය යුතු බිලියන ගණනක බදු ආදායම් අහිමි කිරීමේ දැවැන්ත රාජ්‍ය මූල්‍ය අපරාධයකි.

 

 

නෛතික ක්‍රියාමාර්ග සහ අධිකරණයේ ස්ථාවරය

මෙවැනි මහා පරිමාණ ආර්ථික අපරාධයකදී සැකකරුවන්ට ඇප ලබා දීම විමර්ශනවලට දැඩි බාධාවක් බව රහස් පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය. සැකකරු සතුව තිබී රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක්, රුපියල් කෝටි 20 කට අධික සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රත්‍රන් තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ නීතිවිරෝධී වත්කම්වල තරම තහවුරු වේ. තවද, සැකකරු විසින් මීට සම්බන්ධ සෙසු සමාගම් හෙළි නොකිරීම සහ විමර්ශනවලට සහාය නොදැක්වීම ද රහස් පොලිසිය අධිකරණයේ අවධානයට යොමු කළේය.

 

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුවයිර් සහ නීතිඥ අසංක පෙරේරා නියමිත පරිදි භාණ්ඩ ආනයනය කර ඇති බව පවසමින් ඇප ඉල්ලා සිටියද, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

 

මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ලබා දෙමින් අවධාරණය කළේ,

"සාක්ෂි සැඟවීමට උත්සාහ කිරීම, අධිකරණය මගහැර සිටීම ඇතුළු කරුණු සලකා බැලීමේ දී මෙවන් විමර්ශනයකට සැකකරුගෙන් ඉදිරියේදී සහයක් බලාපොරොත්තු විය නොහැකි බව" ය.

ඒ අනුව සැකකරු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

 

 

 

මෙම නඩු වාර්තාව හුදෙක් එක් ජාවාරම්කරුවෙකුගේ කතාවක් නොව, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ආචාරධර්ම සහ නීති පද්ධතියේ දුර්වලතා ගසාකමින් ජාතික ධනය සූරාකන සංවිධානාත්මක සුදු කරපටි අපරාධ ජාලයක මිනුම් දණ්ඩකි. හවුස් ඔෆ් ෆැෂන් මෝල් ඇතුළු සමාගම් 06 ක් දැනටමත් අනාවරණය වී ඇති පසුබිමක, මෙරටට බදු අහිමි කළ මහා පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් නීතිය හමුවට ගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන යන පුළුල් විමර්ශනය, රටේ ආර්ථික යුක්තිය පසිඳලීමේ තීරණාත්මක කඩඉමක් වනු ඇත.

 

නවතම ලිපි