SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

තම ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රය පිළිබඳව අධ්‍යයනය කර අවසන් තීරණයක්

දැනුම් දීම සඳහා පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් (බවුසර්කරුවන්) ලබන සඳුදා දක්වා ඛනිජ තෙල් සංස්ථාවෙන් කල් ඉල්ලා තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයද මැදිහත් වී සකස් කළ බව කියන මෙම නව මිල සූත්‍රය හරහා තම ගාස්තු 20% කින් පමණ ඉහළ යනු ඇතැයි ටැංකි රථ හිමියෝ අපේක්ෂා කරති. ඩීසල් මිල, ටයර්, බැටරි සහ නඩත්තු වියදම් මෙන්ම සේවක වේතන ඉහළ යාම ඊට හේතුව ලෙස ඔවුහු පෙන්වා දෙති.

 

 

 

බැලූ බැල්මට මෙය එක්තරා ව්‍යාපාරික ප්‍රජාවක් සහ රජයේ ආයතනයක් අතර සිදුවන සාමාන්‍ය ගනුදෙනුවක් සේ පෙනෙන්නට තිබුණද, මෙහි අවසන් වින්දිතයා බවට පත්වන්නේ වෙන කිසිවෙකුත් නොව අහිංසක පාරිභෝගිකයා නොහොත් සාමාන්‍ය ජනතාවමය.

 

 

මෙම ප්‍රවාහන ගාස්තු වැඩිකිරීමේ ඉල්ලීම කරළියට පැමිණෙන්නේම, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක විසින් ජනතාවට ලබා දුන්නා යැයි කියන දැවැන්ත "ඉන්ධන සහනාධාරයක්" පිළිබඳව ප්‍රවෘත්තියක් පළව ඇති  පසුබිමකය. අමාත්‍යවරයාට අනුව, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමේ වාසිය (හෝ පාඩුව) ජනතාව මත පැටවීම වැළැක්වීම සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 70 ක සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මේ සඳහා ඉදිරි මාස තුනක කාලය වෙනුවෙන් කැබිනට් අනුමැතිය සහිතව රජය රුපියල් බිලියන 41 ක මුදලක් වෙන් කර තිබේ.

 

 

 

සහනාධාරය යනු ඔබේම සාක්කුවෙන් ගන්නා මුදලක් නොවේද?

මෙහිදී ජනතාව වෙනුවෙන් නැඟිය යුතු ප්‍රධානතම සහ තීරණාත්මකම ප්‍රශ්නය වන්නේ, "මේ රුපියල් බිලියන 41 රජය ගෙනාවේ කොහෙන්ද?" යන්නයි. රජයට වෙනම මුදල් උපයන ගසක් හෝ යන්ත්‍රයක් නැත. රජයේ භාණ්ඩාගාරය පිරෙන්නේ ඔබත් මමත් උදෑසන මිලදී ගන්නා පාන් ගෙඩියේ සිට, අඳින ඇඳුම, පාවිච්චි කරන දුරකථනය දක්වා ගෙවන එකතු කළ අගය මත බද්ද (VAT) ඇතුළු සෘජු හා වක්‍ර බදු මුදල් වලිනි.

 

 

එබැවින් ඩීසල් ලීටරයකට රුපියල් 70 ක සහනාධාරයක් ලබා දෙනවා යැයි කියන්නේම, ජනතාවගෙන් බදු ලෙස අයකරගත් රුපියල් බිලියන 41 ක දැවැන්ත මුදලක් නැවතත් ඉන්ධන සමාගම්වල පාඩුව පියවීමට පොම්ප කිරීමකි. සරලවම කිවහොත් මෙය ජනතාවගේ මුදල්වලින්ම ජනතාවට සහන දෙනවා යැයි පෙන්වන දේශපාලනික ප්‍රෝඩාවකි. මෙය සහනාධාරයක් නොව, සැබැවින්ම එය ජනතාව මත වක්‍රාකාරයෙන් පටවන තවත් බද්දකි. මන්දයත්, මෙම බිලියන 41ක මුදල අධ්‍යාපනයට, සෞඛ්‍යයට හෝ රටේ සංවර්ධනයට යෙදවීමට තිබූ මහජන මුදල් වන බැවිනි.

 

 

 

පහර දෙකක් එකවර: සහනයකුත් නැත, බඩු මිලත් ඉහළට

මෙම ඊනියා "සහනාධාරය" ලබාදෙන බව කියන අතරතුරදීම, ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් රුපියල් 10 කින් ද, සුපිරි ඩීසල් රුපියල් 50 කින් ද ඉහළ දැමීමට රජය පියවර ගත්තේය. එනම්, පාරිභෝගිකයාට ෂෙඩ් එකේදී වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවනවා පමණක් නොව, ඉතිරි පාඩුව පියවීමට තමන්ගේම බදු මුදල් (බිලියන 41) ද කැප කිරීමට සිදුවී ඇත.

 

 

පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් තමන්ගේ ගාස්තු 20% කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටින්නේ මෙන්න මේ ඩීසල් මිල වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ලබන සඳුදා වනවිට රජය ඔවුන්ගේ ඉල්ලීමට එකඟ වී ප්‍රවාහන ගාස්තු ඉහළ දැමුවහොත් කුමක් සිදුවේද? ඛනිජ තෙල් සංස්ථාවේ වියදම් තවත් ඉහළ යනු ඇත. එවිට සංස්ථාව එම බර නැවතත් පටවන්නේ ජනතාව මතය. එක්කෝ යළිත් ඉන්ධන මිල ඉහළ දමනු ඇත; නැතිනම් තවත් "සහනාධාරයක්" නමින් ජනතාවගේ බදු මුදල් බිලියන ගණනින් ඛනිජ තෙල් සංස්ථාවට හරවා යවනු ඇත.

 

 

අනෙක් අතට, ඉන්ධන ප්‍රවාහන ගාස්තු 20% කින් ඉහළ යාම යනු, සමස්ත සැපයුම් දාමයේම ප්‍රවාහන වියදම් ඉහළ යාමට ලබා දෙන පූර්වාදර්ශයකි. මේ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩවල සිට එළවළු, මාළු දක්වා සියලු දේවල මිල ඉහළ යාමේ අවදානමක් නිර්මාණය වේ.

 

 

 

ඩිජිටල් පොරොන්දුව සහ යථාර්ථය

අමාත්‍යවරයා පවසන්නේ අනාගතයේදී පොදු ප්‍රවාහනය, ධීවර හා කෘෂිකාර්මික අංශ ඉලක්ක කරගෙන ඩිජිටල් ක්‍රමවේදයක් (Digital Mechanism) හරහා පමණක් සහනාධාර ලබාදීමට සැලසුම් කර ඇති බවයි. එය න්‍යායාත්මකව ඉතා හොඳ, වියදම් කළමනාකරණය කළ හැකි ක්‍රමයකි. නමුත් යථාර්ථය වන්නේ, එම පද්ධතිය හඳුන්වා දෙන තුරු දැනට වෙන් කර ඇති රුපියල් බිලියන 41 ක මුදල පොදුවේ වාෂ්ප වී යාමයි. එමෙන්ම ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් බවුසර්කරුවන් ඇතුළු ප්‍රවාහන අංශ ගාස්තු වැඩිකළ පසු, අනාගතයේදී ඩිජිටල් සහනාධාරයක් දුන්නද, ඒ වනවිටත් ඉහළ ගිය බඩු මිල නැවත පහළ නොයනු ඇත.

 

 

 

අවසාන වශයෙන් කිව යුත්තේ, ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යනවිට එය දරාගැනීමට රජයක් අවශ්‍ය බව සැබෑවකි. නමුත් "සහනාධාර" යන ලේබලය අලවා ජනතාවගේම බදු මුදල් බිලියන ගණනින් විනාශ කිරීම කිසිසේත්ම ආර්ථික සහනයක් නොවේ. බවුසර්කරුවන් ලබන සඳුදා කෙසේ තීරණය කළත්, මේ නිර්මාණය වී ඇති විෂම චක්‍රය තුළ පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවම පමණි. රජය කළ යුත්තේ ජනතාවගේ මුදල් ජනතාවටම දී ණයකාරයන් කිරීම නොව, විනිවිදභාවයෙන් යුක්තව බලශක්ති ක්ෂේත්‍රයේ පාඩු අවම කරන ස්ථිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. ඊට ඉන්ධන පරිභෝජනය පිළිබඳ දැඩි තීරණ ගත යුතුවම ඇත.

 

 

 

# නයෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි